2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

නිවසේදී නිරෝධායනය වෙන්න උපදෙස්

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

කොවිඩ් - 19 වෛරසයෙන් මුළු රටපුරාම ආසාදිතයක් වාර්තා වීමත් සමඟම බස්නාහිර පළාත ඇතුළුව තවත් ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය පැනවිණි. මේ අතර කොවිඩ් වෛරස රෝගය වැළඳීමට වැඩි අවදානමක් ඇති නමුත්, රෝග ලක්ෂණ නොමැති පිරිස් මේ වනවිට නිවාසවල ස්වයං නිරෝධායනය හෙවත් නිවෙස්ගත නිරෝධායනය සඳහා යොමුකර සිටිති.

නිවෙස්ගත නිරෝධායනය වන කෙනකු මේ කාල සීමාව ඇතුළත කෙසේ පරිස්සම් විය යුතුදැයි කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා මෙනවිය දේශයට මෙසේ අදහස් දැක්වූවාය.
කොවිඩ් -19 වෛරසය වැළඳීම සම්බන්ධයෙන් යම්කිසි සැකසහිත පුද්ගලයකු නිවසේ සිටී නම් එම පුද්ගලයාට වෙනම කාමරයක හෝ නිවසේ අනිත් සාමාජිකයන්ගෙන් මීටර් දෙකකටවත් ඈත්ව සිටින සේ ඔහුගේ ඇඳ හෝ නිදන පැදුර තබා ගතයුතු වෙනවා. එම දින දාහතර ඇතුළත එම පුද්ගලයා නිවෙසේ අනෙකුත් සාමාජිකයන් සමඟ ඇසුරු කිරීම නොකළ යුතු වෙනවා. එම පුද්ගලයා කන, බොන, ඇඳුම් පැළඳුම් ආදී සියලුම දේවල් ඔහුටම වෙන්ව තනිව තැබිය යුතු වෙනවා.

මේ අනුව නිවසේ වෙනමම කාමරයක මෙම පුද්ගලයාට තැබිය නොහැකි නම් (එවැනි වෙන්වූ කාමරයක් නැතිනම්) එම පුද්ගලයාව නිවසේ අනෙක් සාමාජිකයින්ගෙන් වෙන්ව සිටිය යුතුවේ. ඔහු පරිහරණය කරනු ලබන සියලුම දෑ වෙන්ව තැබිය යුතු වේ. ඇඳ ඇතිරිලි, ඇඳුම් පැළඳුම්, කෑම බීම පමණක් නොව ඔහු කියවන සඟරා, පොත්පත් පවා ඔහුට වෙන්කර තැබිය යුතුවේ. සුරතල් සතුන් පවා මේ දින කිහිපය තුළදී ඈත්ව තැබීම ඉතා වැදගත් වේ. වඩාත්ම සුදුසු වන්නේ නිරෝධායනය වන පුද්ගලයා වෙනම නාන කාමරයක් සහ වැසිකිළියක් භාවිත කිරීමයි.

සෑම නිවෙසකම කාමරවලට වෙන්වුණු වැසිකිළි පහසුකම් නැත. නිවෙසේ එක වැසිකිළියක්, නාන කාමරයක් ඇති නිවසක් නම් එය පරිහරණය කරද්දී සැලකිලිමත් විය යුතු වෙනවා. නිරෝධායනය වන පුද්ගලයා වැසිකිළිය පරිහරණය කිරීමෙන් පසුව සම්පූර්ණයෙන්ම නාන කාමරය සහ වැසිකිළිය පිරිසිදු කිරීම ඉතා අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. මෙහිදී එහි ජල කරාම, දොර හැඬලය පවා සබන් ගා ජලය යොදා හොඳින් පිරිසුදු කරන්න. හැකියාවක් ඇත්නම් නිවසේ අනෙක් සාමාජිකයන් නාන කාමරය පරිහරණය කිරීමට පෙර නිරෝධායනය වන පුද්ගලයාට පරිහරණය සඳහා ලබාදීමට උත්සාහ ගන්න. එසේ නොමැති වුවද ඔහු මේ සියල්ල පරිහරණය කිරීමෙන් පසුව පිරිසිදු කිරීමෙන් පසුව නිවසේ සාමාජිකයන් එය පරිහරණය කරන්නට වගබලා ගන්න. ඊට අමතරව පහත සඳහන් උපදෙස්ද පිළිපැදිය යුතුය.

ඉතාමත් අත්‍යවශ්‍ය කාරණාවකට හැර කිසිදු බාහිර පුද්ගලයකු නිරෝධායනය වන පුද්ගලයාගේ නිවෙසට ඇතුළු නොවිය යුතු අතර, නිරෝධායනය වන පුද්ගලයා කිසිදු මොහොතක කිසිදු අමුත්තකු හමු නොවිය යුතු වේ. නිරෝධායන වන පුද්ගලයා හා නිවසේ අනෙකුත් සාමාජිකයන් නිතරම සබන් යොදා අත් සේදීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුවේ. අත් සේදීමේදී වරකට අවම වශයෙන් තත්ත්පර 20ක්වත් දෙඅත් සේදිය යුතු වේ. අත් සේදීමේ පහසුකම් නොමැති විටදී ඇල්කොහොල් අඩංගු අත් සේදුම්කාරකයක් භාවිත කළ යුතුවේ. නිතරම අත්වලින් ඇස, නාසය, මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතුය.

නිරෝධායනය වන පුද්ගලයා හොඳින් හිරුඑළිය, නැවුම් වාතාශ්‍රය ලැබෙන තැනක විවේක සුවයෙන් සිටිය යුතුවේ. පරිසර උෂ්ණත්වය වැඩිවන තරමට රෝගී තත්ත්වය අමාරු නොවේ. මේ කාලය තුළදී වායුසමනය කළ කාමරවල නොසිටිය යුතුය. එමන්ම සීත පළාත්වල සිටින පුද්ගලයන්ට උණුසුම සැපයිය යුතුය.

නිරෝධායනය වන පුද්ගලයාට කෑම බීම ලබාදීමේදී සෑමවිටකම නිවසේ එක් පුද්ගලයකු පමණක් ඒ සඳහා වෙන්ව සිටීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් මේ සඳහා නිවෙසේ සිටින නිරෝගී පුද්ගලයකු යොදවන්න. වරින්වර නිවසේ සාමාජිකයන් ඒ සඳහා මාරුවෙමින් උපස්ථාන කිරීම නොකළ යුතු වෙනවා. එලෙස කෑම බීම ලබාදීමේදී අනිවාර්යයෙන්ම උපස්ථාන කරන පුද්ගලයා මුඛ ආවරණයක් මෙන්ම අත්වැසුම්ද පැළඳිය යුතු වෙනවා. මෙයින් නිවසේ අන් අයටද වැළඳීමට වැඩි ඉඩක් ඇති නිසා අවදානම් සහිත අය සිටී නම් හැකියාවක් ඇත්නම් ඔවුන් නිවසෙන් පිට කිරීම කළයුතු වෙනවා. නිරෝධායන වන පුද්ගලයා පුළුවන් සෑමවිටම මුඛ ආවරණයක් පැළඳීම අත්‍යවශ්‍ය වෙනවා. ඔහු හෝ ඇය වෙනුවෙන් සබන් කැටයක්, දන්තාලේප, තුවාය, පනාවන් ආදී සියල්ලම වෙන්ව තබන්න. සෑමවිටම  එම නිරෝධායනය වන පුද්ගලයා සිටින පරිසරය පිරිසුදුව තබන්න. දූවිලි ඇති ප්‍රදේශයක ජීවත්වීමෙන් එම දූවිලිවලින් එම පුද්ගලයාගේ පෙනහළුවලට හානි ඇතිවිය හැකි බැවින් පිරිසිදුකම අත්‍යවශ්‍ය වෙනවා. සෑම දිනකම ඔහු ඉන්නා පරිසරය මෙන්ම ඔහු පරිහරණය කරන ඇඳුම් පැළඳුම් ඇඳ ඇතිරිලි වෙනම සෝදා තද අව්වේ හොඳින් වියළා ගතයුතු වෙනවා. එම ඇඳුම් පැළඳුම් සෝදන්නත් එම පුද්ගලයා හෝ ඔහුට උපස්ථාන කරන පුද්ගලයා පමණක් විය යුතු වෙනවා.

නිරෝධායනය වන පුද්ගලයා සෑමවිටම සමබර පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගත යුතුවේ. විශේෂයෙන් කාබෝහයිට්ඩ්‍රේට් පුළුවන් තරමින් අඩුකළ යුතුවේ. එමෙන්ම දිනපතා අවශ්‍ය වතුර වීදුරු 8-10ක් පානය කළ යුතුවේ. මේ කාලයේදී වැඩිපුර මඳ රස්නය ඇති ජලය පානය කිරීම ඉතා වැදගත්වේ. නිරෝධායන වන පුද්ගලයාගේ කැමැත්ත හා ප්‍රියතාවය අනුව කොත්තමල්ලි ආදී ආයුර්වේද ඖෂධ ලබාදීමත් යෝග්‍යය.

හොඳ නින්ද නිරෝධායන වන පුද්ගලයාට අත්‍යවශය දෙයකි. එමෙන්ම හිතට සැහැල්ලුව ගෙනෙන ක්‍රියාවල නිරත වීමද ඉතා වැදගත් වේ. රූපවාහිනිය නරඹද්දී තනිව එය නැරඹීමට අමතර රූපවාහිනියක් නොමැති නම් නිවෙස් සාමාජිකයන්ට බොහෝ ඈත්ව හිඳ, කෙළවරක හිඳ රෑපවාහිනිය නරඹන්න. මානසික සුවය ලැබෙන සේ ගීත අසන්න. ආධ්‍යාත්මික සුවය ලැබෙන සේ ඉක්මන් සුවය පතමින් තමන් අදහන ආගමික වැඩකටයුතුවල නිරත වන්නටත් අවශ්‍ය පසුබිම එම පුද්ගලයාට ලබාදිය යුතුවේ. චිත්‍ර ඇඳීමට, කතාවක් ලියන්න, තමන් ලැබූ අත්දැකීම් වචනවලට එකතු කරලන්නට අවශ්‍ය පරිසරයක් එම පුද්ගලයාට ලබාදීමෙන් මානසික සුවයක්ද හිතට දැනේ.

මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇබ්බැහි වූවෙකු මේ කාලයේදී එයින් මිදීම අත්‍යවශ්‍ය වේ. ඒවා ගැනීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය නැති වී ඉක්මනින් දුර්වල වේ.
රෝගී තත්ත්වයේ සිටින කෙනෙකු වෛද්‍ය මුඛ ආවරණයක් පැළඳීම ඉතා යෝග්‍ය වේ. නමුත් එවැනි මුඛ ආවරණයක් නොමැති නම් ආවරණ තුනක් සහිත මුඛ ආවරණයක් නිවසේදී මසාගන්න. පුද්ගලයාගේ මුව ආසන්නයේම කපු රෙද්දකින්ද, මැද කොටස සින්තටික් රෙද්කකින්ද (කෘත්‍රිමව වියන ලද රෙද්දකි) ඉදිරිපසට පොලියස්ටර් රෙද්දක් දැමූ මුඛ ආවරණයක් නිවසේදී මසාගත හැකිය. තනි රෙද්දකින් මැසූ මුඛ අවරණයට වඩා මෙය වඩාත් සුරක්ෂිත වේ. එහිදී නාසය, මුඛය හා නිකට ආවරණය වන සේ මුඛ ආවරණය පැළඳිය යුතුය.

මෙම මුඛ ආවරණය සෝදද්දී අත්වැසුම් දමා හොඳින් සේදිය යුතුය. පසුව එය නටන උණු ජලයේ විනාඩියක් පමණ දමා හොඳින් වියළා ගන්න. එසේත් නැත්නම් හොඳින් සෝදා 0.1% ක්ලෝරීන්වල විනාඩියක් බහා තබා එය නැවතත් සෝදා හොඳින් වියළා ගත හැකිය.

කොයිකාලේදීත් උණුසුම් ආහාර ගැනීම ඉතා වැදගත් වෙනවා. නිවුණ කෑම ආහාරයට ගන්නවාට වඩා මඳ රස්නය ඇති ආහාර ගැනීම කෑම රුචිය වැඩි කරනවා. මෙයින් ඕනෑම විෂබීජයක් නසනවා. ශරීරයටත් යෝග්‍යයි. ඒ නිසා උදේ පාන්දර අවදි වූ සැණින් කිරි වීදුරුවට පළමුව මඳ රස්නය ඇති වතුර වීදුරවක් පානය කරන්න. ආහාර උණුසුම්ව ගැනීම තමන්ට ප්‍රියමනාප වෙනවා. නිරෝධායනය වෙන අය හිතුමතේ වේදනා නාශක වැනි බීම හිතකර වන්නේ නැත. ඖෂධයක් නියම කරන්නට බලය ඇත්තේ වෛද්‍යවරයකුට පමණයි. වෛද්‍යවරයකු නියම කරන මාත්‍රාව, වේලාව, ප්‍රමාණය අනුව පමණක් ඕනෑම වේදනා නාශකයක් ගතහැකි වන්නේ. නිරෝධායනය වන පුද්ගලයෙකු කිසියම් රෝගයකට දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබාගත්තේ නම් මේ සම්බන්ධව තම වෛද්‍යවරයාව දැනුවත් කරන්න.

උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, උගුරේ වේදනාව, ඇඟපත රුදාව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත වහාම දැනුම්දිය යුතුය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04