2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

තාක්ෂණය වෙනුවෙන් දරුවන්ට ගොවන්නට සිදුවන මිල

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

දෙවැනි වතාවට රට තුළ කොවිඩ් වයිරසය පැතිරෙන තත්ත්වයක් උද්ගත වී තිබේ. දිස්ත්‍රික්ක විසි පහක වයිරස ආසාදිතයන් හමුවී ඇත. එය ශ‍්‍රී ලංකාවට පමණක් බලපා ඇති තත්ත්වයක් නොවේ. පළමු වටයෙන් බැට කෑ ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ප‍්‍රංශය ඇතුළු යුරෝපා රටවල් දෙවැනි හා තෙවැනි කොවිඩ් වයිරසයේ රැළි වලින් අර්බුදයකට පත්ව ඇත. බ්‍රිතාන්‍ය හා ප‍්‍රංශය යන රටවල් ලබන දෙසැම්බර් මාසය දක්වා සහ මුලින්ම වසා දමා ඇති බව විදේශ වාර්තා අනාවරණය කරයි.

වෛද්‍ය විශේෂඥයන් දක්වන පරිදි මෙම වයිරසය පරාජය කරන ප‍්‍රතිකර්මයක් සොයා ගන්නා තෙක් එය විහිදෙනු ඇත. වසර මුල පළමු කොවිඩ් වැළඳුන රෝගියා වාර්තා වීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ පැවැති වාතාවරණය අමතක කළ යුතු නැත. අද එයට නොදෙවෙනි ස්වභාවයකි. පළමු අවස්ථාවේදී රටපුරා පොලිස් ඇඳිරි නීතිය පනවන ලද අතර අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පමණක් කාර්යාල විවෘත වී තිබුණි. රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවාවලින් සෑහෙන කොටසක් නිවසේ සිට කරගෙන යන ස්වභාවයකට පරිවර්තනය විය. දැනට බස්නාහිර පළාත සහ තෝරාගත් ස්ථාන පමණක් නිරෝධායන ඇඳිරි නීතියට යටත්කර තිබේ. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්නට ඉඩ දී ඇත. නිතිපතා තම අවශ්‍යතා සම්පූර්ණ කරගත නොහැකි විශාල ජන කොටසක් වසංගතය ඉදිරියේ බලධාරීනුට දොස් පවරමින් සිටිති.

නිරෝධායන ඇඳිරි නීති බලපත‍්‍රයක් සඳහා අරගලයක් 

රට තුළ අලුත් නීති පනවා ජන ජීවිතය අවහිර කරන විට අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා යුතුය. දින කිහිපයකට තාවකාලිකව පැනැවූ නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කළ අතර ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පවා අවස්ථාවක් නොලැබුණ පිරිස අති විශාලය. දවසක් දෙකක් සඳහා පමණක් ආහාර පාන රුස්කරගෙන තබාගන්නා පිරිස බහුලය. වැඩි කොටසක් එදිනෙදා අතට ලැබෙන දෙයින් ජීවත් වෙති. ආදායම අහිමි අතර ආහාරයට ගත හැකි යමක් සඳහා ඇති ඉඩකඩද අවුරන අවස්ථාවක වයිසරයේ භීතිය පරාජය කර දරුවන් ගේ කුසගිනි නිවන අරගලය මතුවන බව සැලකිය යුතුය. 

ආරක්ෂක අංශ නිවේදනය කළ පරිදි නිරෝධායන නීති කඩකරන අයවලුන්ගේ දේපොල පවා තහනම් කෙරේ. කිහිප දෙනෙකුට නඩු පවරා දඩ නියම කර ඇත. එහෙත් තම දේපොල තහනම් කරන අවදානම තිබියදී පාරට පැමිණ නොයෙක් දේ වෙනුවෙන් සැරිසරන පිරිස බහුලය. පසුගිය දිනවල සිය වෙළඳාම, වෘත්තීය අවශ්‍යතා සහ සෞඛ්‍ය හේතු මත බැහැර ගමන් කරන්නට අවශ්‍ය පිරිස් පොලිසිය, ග්‍රාම නිලධාරීන් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල අවට රැස්වී බලවත් විරෝධයකින් පසු වු බව වාර්තා කෙරිණ. නිසි උපදෙස් නොලැබීමෙන් තත්ත්වය ව්‍යාකූල විය. වත්මන් රජය තාක්ෂණය සම්බන්ධයෙන් මහත් ලැදියාවකය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාක්ෂණය භාවිතා කර කාර්ය පහසුකරන තීරණ ගත යුතු බව පුන පුනා ප‍්‍රකාශ කරයි. එහෙත් මෙරට වගකිවයුතු නිලධාරීන්ට බලපත‍්‍රයක් නිකුත් කරන්නට පිළිවෙළක් සකස් කරගත නොහැකිය. ජංගම දුරකතනයේ පණිවුඩයක් මගින් ඉල්ලීමක් කර අදාළ බලධාරියා අතට පත්වීමෙන් පසු සාධාරණත්වය සලකා නිල සංකේතයක් සහිත කෙටි පණිවුඩයකින් ගමන් කළ හැකි සීමාව සටහන් කර ආපසු පණිවුඩයක් එවන්නට අසමත්වීම නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවයකි. නිර්මාණාත්මකව කල්පනා කිරීමට අසමත්වීමේ ප‍්‍රතිඵලයකි.  

ලෝකයේ අනෙක් රටවල තාක්ෂණය භාවිතාව

මැකෙන්සි පර් යේෂණ ආයතනය නිකුත් කරන වාර්තාවකට අනුව කොවිඩ් වසංගත තත්ත්වය ලෝකයේ තාක්ෂණ හැකියාව වර්ධනය කර තිබේ. වසර පහක් තුළ කරගත හැකිවනු ඇතැයි අපේක්ෂා කළ ජන ජීවිතයට තාක්ෂණය එකතුවීමේ වේගය සති අටක් තුළ සාක්ෂාත් කරගත හැකි වී තිබේ. එය විශාල ජයග‍්‍රහණයකි. ලෝකයේ ඉදිරි ගමනට බලවත් පිටිවහලක් විය හැකි තාක්ෂණයේ උපයෝගීත්වය මෙපමණ වේගයකින් ළඟා කරගත හැකිවීම බලවත් සාධකයක් බව තහවුරු  වී ඇත. මැකෙන්සි ආයතනය පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් අවධානයට ගත යුතුය. තාක්ෂණයෙන් සේවාවක් ඉටුකර ගැනීමට අලුතින්ම නැඹුරුවන යම් ප‍්‍රජාවක් අතරින් සියයට හැත්තෑ පහක් අඛණ්ඩව එයට නැඹුරුවන බවය. අන්තර් ජාලයෙන් යමක් ඇනවුම් කළ එහි පහසුව විඳින අයෙකු එය අත්හැර දමන්නේ නැත. එය ඉතා ප‍්‍රයෝජනවත් බව තහවුරු කරගනී. කොවිඩ් අන්ධකාරය තුළ එය රිදී රේඛාවක් බවට පත් වී තිබේ.

මෙයට අමතරව සංවර්ධිත රටවල අන්තර්ජාල භාවිතාව සියයට හැටකින් ඉහළ නැග තිබේ. එය වාර්තාගත තත්ත්වයකි. බැංකු, අධ්‍යාපන, සෞඛ්‍ය සහ අත්‍යවශ්‍ය සේවා සැපයුම් වෙනුවෙන් තාක්ෂණය භාවිතා කරන බව ඔප්පු වී ඇති කරුණකි. එපමණක් නොවේ. ජනතා ප‍්‍රශ්න විසඳන්නට දත්ත විශ්ලේෂණය ප‍්‍රයෝජනයට ගෙන ඇත. බිග් ඩේටා ක‍්‍රමයද එකක් වෙන්නට ඉඩ තිබේ. පසුගියදා කොළඹ අවට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ‍්‍රිතව ජනතාව එකතුවන විට එතැන ඩේටා එකතුවකි. එක තැනෙකින් එක අවස්ථාවක වැඩිම සන්නිවේදනයක් සිදුවන විට ප‍්‍රශ්නයක් ඇති බව ඒත්තු ගැන්වෙයි. බලධාරීන්ට එහි ඇති ගැටලුව ගැන අවධානයක් යොමුකළ හැකිය. ප‍්‍රශ්න විසඳන්නට පහසුව ඇති කරන දත්ත කෙරෙහි මෙරට ආයතනික නැඹුරුවක් නැත. එය අවාසියකි. වයිරසයෙන් එල්ලවන පීඩනය අතරතුර ජනතාව දුරස් කරන අතර තාක්ෂණය බෙහෙවින් සමීප කරන පියවර ඉතා වැදගත්ය.

අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය හැකි අවස්ථා

විශ්වවිද්‍යාල, පාසල්, සහ අතිරේක පන්ති වෙනුවෙන් තාක්ෂණයෙන් ලබාදිය හැකි සහාය බලවත්ය. රූපවාහිනිය මගින් අධ්‍යාපන සේවා නාලිකා අරඹන්නට කැබිනට් අනුමැතියක් ලැබී තිබේ. එය ඉතා හොඳ පියවරකි. විනෝදය අතර අධ්‍යාපනය වෙනුවෙන් අවස්ථාව ඇති කළ යුතුය. අප‍්‍රමාණ තරංග ප‍්‍රමාණයක් අවකාශයෙහි තිබේ. තරංග ආයාමය අනුව කෙලින්ම සන්නිවේදනය පහසු කරන තාක්ෂණය පැමිණ තිබේ. දැනට දියුණුම පර් යේෂණ අනුව විදුලිය, දුරකතනය හා ටෙලිවිෂන් නාලිකා පවා එකම රැහැන් පද්ධතියකින් නිවසට යොමු කළ හැකිව තිබේ. එය වානිජ වශයෙන් භාවිතාවට ගැනෙන කාලය ඉක්මනින් ළඟාවනු නිසැකය. විශාල මුදල් ගෙවා නඩත්තු කරන ටෙලිවිෂන් වලින් පමණක් නොව සමාජ මාධ්‍යවලින් පවා මෙම අවස්ථාවේදී ප‍්‍රයෝජන ගැනීම බලවත් අවශ්‍යතාවයකි. 

අන්තර්ජාල අධ්‍යාපනය අද ලෝකයේ දියුණුම ප‍්‍රවණතාවයකි. ශ‍්‍රී ලංකාවේ 2019 වසරේ විශ්වවිද්‍යාල ප‍්‍රවේශ විභාගයට පෙනී සිටි දරුවන්ගේ සුදුසුකම් ලැබුණ ලකුණු නිකුත්වූයේ පසුගියදාය. එහි ඉසෙඩ් අගය දෝෂ සහිත බව විවේචනය කරන්නට පටන් ගෙන ඇත. හේතුව ලක්ෂ ගණනක් විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන සුදුසුකම් ලබන නමුත් තෝරාගන්නේ තිස්දහසකි. විශ්වවිද්‍යාල පද්ධතියේ ඉඩ නැත. 2019 වසරේ විභාගයට පෙනී සිටි දරැවන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ 2021 දී ය. එම අවස්ථාව ද කොවිඩ් වයිරසය නිසා අවහිරවී තිබේ. ශ‍්‍රී ලංකාව වසා සමීප සම්බන්ධතා සහිත චීනයෙන් පාඩමක් ඉගෙන ගත හැකිය. වයිරසයේ බලපෑම නිසා එරට අධ්‍යාපනය නතරවී නැත. විශ්ව විද්‍යාලවලට සිසුන් නොඑන නමුත් නිවසේ සිට ඉගෙන ගනිති. විශේෂ ඇප් නිර්මාණය කර තිබේ. ගුරුවරු මුදාහරින වීඩියෝ නිසි වෙලාවට බලන්නට අවශ්‍යය. පසුව බැලීමට, පටිගත කිරීමට හෝ නතර කරමින් බලන්නට පුළුවන්කමක් නැත. ශිෂ්‍යයා ගුරුවරාගේ ප‍්‍රශ්න සාකච්ඡා කරන විට සම්බන්ධවන වාරයක් පාසා ස්වයංක්‍රීයව ලකුණු එකතු වෙයි. ඒවායෙන් ශිෂ්‍යයාගේ උනන්දුව මැන ගැනේ. අධ්‍යයන වාර විභාග පවා නිවසේ දී පවත්වයි. ඒ වෙනුවෙන් විශේෂ ඇප් නිර්මාණය කර ඇත. විභාගයට වාඩිවන ශිෂ්‍යයාගේ මේසය මත කිසිවක් නැති බව ඔහුගේ කැමරාවෙන් අධීක්ෂකවරයා දකී. විභාග කාලය තුළ පරිගණක තිරයෙන් ඇස් ඉවත් වුවහොත් විශේෂ එලාම් එකක් නාද වෙයි. එය කොපි කරන බවට අනතුරු ඇඟවීමකි. මේවා ප‍්‍රායෝගිකව කරන චීනය වේගයෙන් අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කරගෙන තිබේ. මෙකී නවීන අවස්ථා කෙරෙහි මෙරට බලධාරීන් සොයා බැලීම සුදුසුය. චීන ශ‍්‍රී ලංකා ආධාර යනු හුදෙක් ණය පමණක් නොවේ.

ලොක්ඩවුන් නොවන තාක්ෂණික සමාජයක්

වයිරසය තවදුරටත් පැතිරීම වළක්වනු සඳහා රට ලොක්ඩවුන් කරන ලෙස යෝජනා වෙයි. පොලිස් ඇඳිරිනීතිය පනවනු ලැබ තිබේ. මෙම වසරේ මුල් භාගයේද රට නිසොල්මන් කළේය. රජයේ සහ පුද්ගලික අංශයේ කටයුතු ඇන හිටින ලද අතර එය විශාල අවාසියකි. මහ බැංකුවේ අලුත් වාර්තා අනුව රට ආර්ථික වශයෙන් පසුබෑමකය. සියයට 1.7 ක ඍණ අගයක් 2020 දී වාර්තා විය හැකිය. රට තුළ ආර්ථික සහ සමාජයීය කටයුතු අවහිර වනවිට වෙනත් දෙයක් අපේක්ෂා කළ නොහැක. පැතිර යන අවදානම හමුවේ රජයේ හා පුද්ගලික අංශයේ කාර්යාල ගණනාවක් මහජනතාවට විවෘත නැති බව නිවේදනය කර තිබේ. සමහර අංශ විවෘතය. එහෙත් අත්‍යවශ්‍ය සේවා කටයුතු වෙනුවෙන් පමණකි. වාහන ආදායම් බලපත‍්‍රය පවා නතර කරන විට එය රජයට ආදායම් අහිමි වන පියවරකි. තවත් වසර දෙකකට වැඩි කාලයක් කොවිඩ් වසංගත තත්ත්වය සමග ලෝකය පවතින බව පර් යේෂකයෝ කියා තිබේ. එයට විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කිරීම උවමනා කරයි. ජන ජීවිත ආරක්ෂා කරගැනීම පළමු වගකීමකි. එහෙත් සේවා ජාලය අඩාල නොවන පරිදි කටයුතු කරගෙන යන්නට නොහැකියාවක් නැත. තාක්ෂණය බහුලව භාවිතාවට ගැනෙමින් තිබෙන කාලවකවානුවකි. පස්වැනි පරම්පරාවට අයත් රැහැන් රහිත සන්නිවේදනය අද භාවිතාවට ගැනෙමින් තිබේ. මනුෂ්‍ය මෙහෙයවීමක් නැතිව යන්ත‍්‍ර මගින් කාර්ය ඉටුකරන කාල වකවානුවකි. රටට එම අංශ සඳහා ආයෝජනය කළ හැකිය. රට නිසොල්මන් නොඑසේ නම් ලොක්ඩවුන් කර පුරවැසියන් නිවසට කොටු කරන අතර එදිනෙදා අවශ්‍යතා අන්තර් ජාලයෙන් කරගත හැකි වන සේ දියුණු කිරීමට සුදුසුම අවස්ථාවකි.

 ගාමිණී සරත් ගොඩකන්ද

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04