20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එතෙක් ව්‍යවස්ථාදායක සභාව මගින් ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේ බලය ජනාධිපති යටතට පත් කෙරිණි. ඒ සඳහා නිරීක්ෂණ ලබාගැනීමට පාර්ලිමේන්තු සභාවක් පත්කර තිබේ. එමෙන්ම එතෙක් පැවැති ස්වාධීන කොමිෂන් සභා දහයෙන් දෙකක් වන විගණන කොමිෂන් සභාව සහ සහ ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කෙරිණි. විගණාකාධිපතිවරයාගේ බලතල වැඩි කොට විගණන කටයුතු ඔහු වෙත පැවරිණි. ව්‍යවස්ථාදායක සභාවේ සිටි සාමාජිකයන් අට දෙනාගෙන් සිවිල් සමාජය නියෝජනය කළ සාමාජිකයන් තිදෙනා ඉවත්කොට අගමැති හා ඔහුගේ නියෝජිතයකු, විපක්ෂනායක හා ඔහුගේ නියෝජිතයකු සහ කතානායකවරයාගෙන් සමන්විත පාර්ලිමේන්තු සභාව පිහිටුවා තිබේ. ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම සඳහා පාර්ලිමේන්තු සභාව මගින් ඉදිරිපත් කරන නිර්දේශ අනුව ඔවුන් පත් කිරීමේ බලය දැන් ඇත්තේ ජනාධිපතිවරයා අතය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවන ලද පාර්ලිමේන්තු සභාව හා එහි යහපත් අයහපත්භාවය පිළිබඳව විද්වතුන් කිහිප දෙනකුගෙන් අපි විමසා සිටියෙමු. මේ ඔවුන් පලකළ අදහස්ය.
ස්වාධීන කොමිෂන් සභා ඇති කළේ රාජ්‍ය සේවය දේශපාලන ග්‍රහණයෙන් මුදා ගැනීමටයි
ජාතික සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාවට ලබාදුන් මානුෂික මුහුණුවර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් යටපත් කිරීමක් සිදුව තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ඇති කළේ රාජ්‍ය සේවය දේශපාලන ග්‍රහණයෙන් මුදා ගැනීමටයි. එහෙත් ස්වාධීන කොමිෂන් සභාවල යම් යම් අඩුපාඩුකම් තිබූ බවට සමාජ මතයක් තිබුණා.. පුද්ගලයන් තෝරා ගැනීමේ ක්‍රමවේදය, සාමාජිකයන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ යම් නිර්ණායකයක් සකස් කිරීමත් ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරය නිශ්චය කිරීමත් එම කොමිෂන් සභාවලට අවශ්‍ය පහසුකම් ලබා දීමත් වැනි කරුණු සම්බන්ධයෙන් යම් ගැටලු තිබුණා. 19 ව්‍යවස්ථා සංශෝධනය අංග සම්පූර්ණ වූවක් නොවෙයි. එහි අඩුපාඩුකම් තිබුණා. අපි කිව්වේ 19 ප්ලස් කියලා. 19වැනි සංශෝධනය තවදුරටත් ශක්තිමත් කරමින් එහි පවතින වැරදි නිවැරදි කරමින් ඉදිරියට යා යුතුයි කියලයි. ස්වාධීන කොමිෂන් සභා ඇගයීමට ලක්කරන නිශ්චිත ස්ථානයක් තිබිය යුතුයි. ඒ තමයි පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක සභාව. අවාසනාවකට මෙන් පාර්ලිමේන්තුවට හා ව්‍යවස්ථාදායක සභාවට ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය හා හැසිරීම නිශ්චය කිරීමේ වගකීමක් පැවරී තිබුණාද යන ගැටලුව තිබුණා. එම වැරුද්ද නිවැරදි කිරීමට ක්‍රමවේදයක් යොජනා කිරීම වෙනුවට පාර්ලිමේන්තු සභාවක් මගින් ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මින් සිදුවන්නේ රාජ්‍ය සේවයට නැවත වරක් තමන්ගේ හිතවතුන් පත්කර ගැනීම සහ රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම පමණයි.
20 වැනි සංශෝධනය සිදු කළ ක්‍රමවේදය අපි පිළිගන්නේ නැහැ. නව ක්‍රමය යටතේ පාර්ලිමේන්තු සභාවට පත්වෙන බහුතරය ආණ්ඩු පක්ෂයේ අයයි. විපක්ෂනායක හිටියත් ඔහුගේ මතයට එරෙහිව ඔවුන්ට කැමති තීරණ ගත හැකියි. ඒ අනුව ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් තෝරා පත්කර ගැනීමේ සිට අනෙකුත් කාරණා සියල්ල දේශපාලන වුවමනා මත සිදුවිය හැකියි. ස්වාධීන කොමිෂන් සභාවලට පත් කරන පුද්ගලයන්ද ස්වාධීන විය යුතුයි. එසේ නොවන අවස්ථා පසුගිය කාලයේ දැකගත හැකි වුණා. විගණන හා ප්‍රසම්පාදන කොමිෂන් සභා දෙක අහෝසි කර තිබෙනවා. රාජ්‍ය මූල්‍ය හැසිරවීමේ බලයත් ඒවා නිවැරදි ලෙස භාවිත කෙරෙනවාද යන්න නිරීක්ෂණය කිරීමේ බලය හා ඇගයීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි.. එය ව්‍යවස්ථාවෙන්ම හිමියි. විගණනය යනු මෙහි එක අංශයක්. ලබා දුන් මුදල් නිවැරුදි ලෙස භාවිත කර තිබේද යන්න හා එහි කිසියම් අක්‍රමිකතා සිදු වී තිබේද යන කරුණු සොයා බලන්නේ විගණනය මගින්. අනෙක් අංශය ප්‍රසම්පාදනය. එමගින් කෙරෙනුයේ රාජ්‍ය මුදල් යෙදවීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් පරිපාටිය ක්‍රියාත්මක කිරීමයි. 20 වැනි සංශෝධනය මගින් ප්‍රසම්පාදන කොමිසම අහෝසි කොට විගණනය සම්බන්ධ බලතල විගණකාධිපතිවරයා වෙත පවරා තිබෙනවා. මෙහි ගැටලුවත් තිබෙනවා. ඒ විගණකාධිපතිවරයා පත් කරනු ලබන්නේ පාර්ලිමේන්තු සභාව හරහා ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව අනුවයි. විගණනය හා ප්‍රසම්පාදනය ඉතා වැදගත්. ඒ මගින් තමයි සොරකම සහ වංචාව වළක්වන්නේ. එය නිවැරදිව සිදු නොවනවා නම් සොරකමට හා වංචාවට ඉඩ සැලසෙනවා. විනිවිද පෙනෙන ආණ්ඩුවක මූලික වගකීමක් වන්නේ විගණනය හා ප්‍රසම්පාදනය නිවැරදිව පවත්වාගෙ යෑමයි..
පාර්ලිමේන්තු සභාව මගහැර ජනාධිපතිවරයාට තීරණ ගත නොහැකියි
ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා
කලින් පැවැති ක්‍රමය අනුව ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කිසිදු බලයක් නැති තත්ත්වයක් ඇතිවුණා. උදාහරණයක් ලෙස පොලිස් කොමිසම සඳහා ජනාධිපතිවරයා නම් තුනක් යැවූ විට ඒ අය අතරින් නුසුදුසුම පුද්ගලයා පත් කිරීමට ස්වාධීන යැයි කියාගත් කොමිසම කටයුතු කර තිබුණා. මැතිවරණ කොමිසමට පත්කළ එක්තරා පුද්ගලයකු රටට හානිදායක ලෙස හැසිරෙන විට ඔහු ඉවත් කිරීමට නොහැකි වූයේ ජනාධිපතිවරයාට ඒ සඳහා බලයක් නොතිබුණු බැවිනුයි. ස්වාධීන කොමිෂන් සභා මගින් පත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට ජනාධිපතිවරයාට බලයක් තිබුණේ නැහැ. ඉහළ රාජ්‍ය නිලධාරියකු ඉවත් කිරීම සම්බන්ධයෙන් වන පනතක් තිබෙනවා. ඒ අනුව කිසියම් ඉහළ නිලධාරියකු ඉවත් කිරීමට නම් එය පාර්ලිමේන්තු යෝජනාවක් ලෙස ගෙන ආ යුතුයි. නිශ්චිත අත්සන් සංඛ්‍යාවක් එයට ලැබිය යුතුයි. එය කතානායකවරයා විසින් පිළිගෙන ඒ සඳහා කමිටුවක් පත් කළ යුතුයි. එමගින් චෝදනා පත්‍රයක් දිය යුතුයි. එයට පිළිතුර දීමට චෝදනාවට ලක් වූ නිලධාරයාට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ සම්බන්ධයෙන් විභාග කළ යුතුයි. එම පුද්ගලයා ඉවක් කළ යුතුද නැතිද යන්න එම කමිටුව මගින් නිර්දේශ කළ යුතුයි. එම ඉහළ නිලධාරියා ඉවත් කළ හැකිවූයේ එම යෝජනාව යළි පාර්ලිමේන්තුවට ගෙනත් බහුතරයකින් අනුමත වී ජනාධිපතිවරයා විසින් අනුමත කිරීමෙන් පමණයි. මෙම ක්‍රියාවලියට විශාල කාලයක් හා ශ්‍රමයක් වැය වුණා. එමගින් රටේ අවශ්‍යතාව ඉටුකර ගත නොහැකි වුණා. නව රජය පාර්ලිමේන්තු සභාවක් පිහිටුවීමට පියවර ගත්තේ මෙවැනි හේතු මතයි.
කොමිෂන් සභාවන්හි කාලසීමාව අවසන් වූ විට එහි සාමාජිකයන් ඉවත් කිරීමේ හා නැවත පත්කිරීමේ බලය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට හිමි වෙනවා.. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව නිර්මාණය කෙරුණු පාර්ලිමේන්තු සභාවට අයත් වන්නේ අගමැතිවරයා හා ඔහුගේ නියෝජිතයකු , විපක්ෂ නායක හා ඔහුගේ නියෝජිතයකු සහ කතානායකවරයායි. පාර්ලිමේන්තු සභාව ලෙස හැඳින්වෙන්නේ මෙම පස්දෙනාගෙන් සැදුම්ලත් කණ්ඩායමයි. මෙම කමිටුව මගහැර ජනාධිපතිවරයාට තීරණ ගත නොහැකියි. කොමිෂන් සභා සඳහා නිලධාරීන් පත් කිරීමේදී පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ලබාගත යුතු වන්නේය යනුවෙන් ඉතා වැදගත් වාක්‍යයක් තිබෙනවා. යුතු වන්නේය යන වගන්තිය නිසා ඇතැම් අය සිතනවා ජනාධිපතිවරයාට අවශ්‍ය දෙයක් කළ හැකිය කියලා. එය වැරදියි. ඉන් ගම්‍ය වන්නේ එය අනිවාර්යයෙන්ම කළ යුතුය යන අදහසයි. ඒ අනුව පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ජනාධිපතිවරයා ලබාගත යුතුයි. එහෙත් එම කමිටුව නිරීක්ෂණ ලබා දීම පැහැර හරින හෝ ප්‍රමාද කරන හෝ අවස්ථාවක ඉන් රටට වන හානිය වළක්වා ගැනීම සඳහා එය නොසලකා කටයුතු කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතිනවා. එහෙත් පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ කැඳවීමකින් තොරව කුමන තත්ත්වයක් යටතේ හෝ කටයුතු කළ නොහැකියි. ශ්‍රී ලංකාව ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජ්‍යයක් බැවින් අවසාන තීරණය ගැනීමේ හැකියාව ඔහු සතු විය යුතුයි. එහෙයින් පාර්ලිමේන්තු සභාව මගින් ලබා දෙන නිර්දේශ සලකා බලා සුදුසු නම් ඒ අනුව පත් කිරීම් සිදු කිරීමට හෝ නුසුදුසු නම් වෙනත් විකල්ප පියවරක් ගැනීමට ජනාධිපතිවරයාට හැකියි. ජනාධිපතිවරයා කිසිදු බැඳීමකට යටත් නොවන බවට ඇතැම් පිරිස් ප්‍රකාශ කරන්නේ මේ නිසයි. එහෙත් එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විමසිය හැකියි. විපක්ෂ නායකවරයාට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැකියි. යම් ලෙසකින් ජනාධිපතිවරයා හිතුමතේට පත් කිරීම් සිදු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකියි.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් කොමිෂන් සභා දෙකක් ඉවත් කෙරුණා. ඒ විගණන හා ප්‍රසම්පාදන කොමිෂන් දෙකයි. විගණන කොමිෂන් සභාව අහෝසි කළාට විගණකාධිපතිවරයාට බලතල පැවරී තිබෙනවා. අපේ රටේ ‘2018 අංක 19 දරන ජාතික විගණන පනතෙ^ නමින් පනතක් තිබෙනවා. එම පනතේ 55 වැනි වගන්තිය අනුව රජයේ හා රජයට හා පෞද්ගලික අංශයට කොටස් හිමි ඕනෑම ආයතනයක් (20 ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපති හා අගමැති ලේකම් කාර්යාලයද ඇතුළුව) විගණනය කිරීමේ බලතල විගණකාධිපතිවරයා සතුයි. විගණන කොමිෂන් සභාව අහෝසි කෙරුණේ විගණකාධිපතිවරයාට එම කාර්යය ඉටු කළ හැකි බැවිනුයි. සෑම රාජ්‍ය ආයතනයකම ප්‍රසම්පාදන කමිටු ඇති බැවින් ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් අවශ්‍ය නොව හෙයින් එයද අහෝසි කෙරුණා.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා. පාර්ලිමේන්තුව නිසි පනත් අනුමක නොකරන්නේ නම් හෝ මුදල් ප්‍රතිපාදන නිසි පරිදි ලබා නොදෙන්නේ නම් හෝ රටට අහිතකර අයුරින් කටයුතු කරන්නේ නම් වසර දෙකහමාරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙනවා. එමෙන්ම පාර්ලිමේන්තුවද ජනාධිපතිවරයා දෙස අවධානයෙන් බලා සිටිනවා. ජනාධිපතිවරයා රට ව්‍යසනයක් කරා ගෙන යන්නේ නම් හෝ ඒකාධිපති පාලනයක් ගෙන යන්නේ නම් එවැනි අවස්ථාවක ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන විත් ජනාධිපතිවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව පවතිනවා.
පාර්ලිමේන්තු සභාවේ සිටින්නේ ජනතාව විසින් පරමාධිපත්‍ය බලය ලබාදුන් පුද්ගලයන්
කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායක ඩිව් ගුණසේකර
කලින් ව්‍යවස්ථාදායක සභාවේ ජනතා පරමාධිපත්‍ය බලයෙන් පත් නොවූ සිවිල් සාමාජිකයන් තිදෙනකු සිටියා. ස්වාධීන කොමිෂන් සභා කියන නම ආවේ සිවිල් පුද්ගලයන්ද ව්‍යවස්ථාදායක සභාවේ සිටි නිසයි. එවක ආණ්ඩුවට අවශ්‍ය වුණේ ව්‍යවස්ථාදායක සභාවට සිවිල් පුද්ගලයන් පමණක් පත් කිරීමටයි. එහෙත් විවිධ විරෝධතා නිසා එය කළ හැකි වූයේ නැහැ. ස්වාධීන කොමිෂන් සභා පත් කළේ ව්‍යවස්ථාදායක සභාව මගින්. ඒවා ස්වාධීන නොවූ බව පැහැදිලිවම පෙනුණා. එමෙන්ම ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ මතය නොපිළිගන්නා තත්ත්වයක් ඇති වුණා. ජනාධිපතිවරයා යනු රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ කෙනෙක්. පරමාධිපත්‍ය බලය නොතිබූ පිටස්තර පුද්ගලයන් පිරිසක් විසින් ජනාධිපතිවරයාගේ මතයට විරුද්ධව කටයුතු කළා. ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගැටුමක් ඇතිවුණා. එවැනි ක්‍රමවේදයක් ඇති කිරීමට මුල්වූයේ රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම නිසයි.
අලුතින් ඇති කළ පාර්ලිමේන්තු සභාවේ සිටින්නේ ජනතාව විසින් පරමාධිපත්‍ය බලය ලබා දුන් පුද්ගලයන් පස් දෙනෙක්. පාර්ලිමේන්තු සභාවත් කලින් තිබූ ව්‍යවස්ථාදායක සභාව මෙන්ම ක්‍රියාත්මක වනවා.. ඉදිරියේදී ස්වාධීන කොමිෂන් සභා පත් කරන්නේ මෙම පාර්ලිමේන්තු සභාව මගිනුයි. ඔවුන්ගේ නිර්දේශ අනුව ජනාධිපතිවරයා එම කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කරනු ලබනවා. මෙම තනතුරු සඳහා නිර්දේශපාලනිකරණය වූ පුද්ගලයන් පත් කළ යුතුයි. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, රාජ්‍ය සේවයේ සිටි ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැනි ඉහළ නිලධාරීන් පිරිසක් ඒ සඳහා පත් කළ යුතුයි. එවිට එම කොමිෂන් සභා ඇත්ත වශයෙන්ම ස්වාධීනව කටයුතු කරාවි.
පුද්ගල ක්‍රියා කලාපය කොමිෂන් සභා අසාර්ථක වීමට බලපෑවා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ
ව්‍යවස්ථාදායක සභාවෙන් ජනාධිපතිවරයාට වඩා පාර්ලිමේන්තුවට බලය වැඩි වුණා. සිවිල් සාමාජිකයන් පිළිබඳව තීරණ වුණේ පාර්ලිමේන්තුවෙන්. ඒ අනුව පාර්ලිමේන්තු සාමාජිකයන් පස් දෙනා සහ සිවිල් සමාජයෙන් තිදෙනකු ව්‍යවස්ථාදායක සභාවේ සිටියා. ස්වාධීන කොමිෂන් සභා සඳහා පුද්ගලයන් පත් කළේ මේ පිරිසයි.
19 වැනි සංශෝධනය ගෙන අවස්ථාවේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් විපක්ෂනායකවරයාත් යන තිදෙනාම එකම පැත්තක සිටි පිරිසක්. ඒ අනුව එම ව්‍යවස්ථාදායක සභාව කෙතරම් දුරකට ස්වාධීනද යන ගැටලුව පැවතුණා. එමෙන්ම පත් කරන පුද්ගලයන් කෙතරම් ස්වාධීන ද යන ගැටලුවත් තිබුණා. අපේ රටේ බොහෝ පුද්ගලයන් සාර්ධර්ම අනුගමනය කරමින් කටයුතු කරන පිරිසක් නොවෙයි. එහෙයින් තනතුරුවලට පත්කළ ඇතැම් පුද්ගලයන් සවිඥ්ඥානිකව කටයුතු නොකළ අවස්ථා තිබුණා. ස්වාධීන කොමිෂන් සභා ස්වාධීනව කටයුතු නොකිරීමටත්, ජනතාවට එපා වීමටත් බලපෑවේ මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයයි. උදාහරණයක් ලෙස මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකුගේ ක්‍රියා කලාපය ඉතා අප්‍රසන්න බව ජනතාව දැක්කා. එමෙන්ම පොලිස් කොමිසම සම්බන්ධයෙන්ද ගැටලු තිබුණා. සාමාජිකයකු ඉවත් කිරීමට ජනාධිපතිට හැකියාවක් තිබුණේ නැහැ. ඉදිරියේදී පාර්ලිමේන්තු සභාවෙන් පත් කරන පුද්ගලයන්ද අනිසි ලෙස කටයුතු කිරීමේ හැකියාවක් තිබෙනවා. මෙම තත්ත්වය ඇතිවන්නේ ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියා කලාපය අනුවයි. ව්‍යවස්ථාදායක සභාවේ සිටි සිවිල් නියෝජිතයන් තිදෙනා ඔවුන්ගේ භූමිකාව නිසි ලෙස ඉටු කළාද යන ගැටලුවත් තිබෙනවා. මන්ද ඔවුන් රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ පිරිස්. විදේශ හස්තවලට ඔවුන් පාලනය කිරීමේ හැකියාවක් තිබුණා. 19 වැනි සංශෝධනයේ වරදකට වඩා ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන්ගේ අඩුපාඩුවක් ලෙසයි මට හැඟෙන්නේ. හොඳ ආණ්ඩු පක්ෂයක් හා ප්‍රබල විපක්ෂයක් තිබුණා නම් එය වෙනස් විදිහකට ක්‍රියාත්මක විය හැකිව තිබුණා. කොමිෂන් සභා වලට සාමාජිකයන් පත් කිරීමේදී සමාජ ක්‍රියාකාරිකයන්ගෙන් විමසා බලා එවැනි පුද්ගලයන් අතුරින් සුදුසු අය තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයක් තිබුණා නම් ඇතැම් විට වඩාත් සාර්ථක විය හැකිව තිබුණා. එමෙන්ම අහිතකර ලෙස කටයුතු කරන සාමාජිකයන් ඉවත් කිරීමේ බලතල තිබුණා නම් ඔවුන් මීට වඩා වගකීම් සහගත ලෙස කටයුතු කිරීමට ඉඩ තිබුණා.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා