“දැන් කොවිඩ් හමාරයි!” කියා රටම සැනසුම් සුසුමක් හෙළද්දී ගම්පහ, මිනුවන්ගොඩ ආශ්‍රිතව කොවිඩ් 19 රෝගයේ අලුත් පොකුරක් එළියට පැන්නේය. ඉතා කෙටි කලකින් වෙනත් තැන්වලින්ද පොකුරු මතුවන්නට විය. මෙවර වෛරසයේ හැසිරීම කලින් වතාවන්ට වඩා ප්‍රචණ්ඩ බව බැලූ බැල්මටම කාටත් පෙනී ගිය කාරණයකි. පැතිරීම වැඩි අතර ආසාදිතයන් බහුලව හමුවන්නට විය. එමෙන්ම එතෙක් මාස ගණනාවත් එක තැන නතරව තිබූ මරණ දර්ශකයද නොසිතූ ලෙසින් ඉහළ නඟින්නට විය. මේ අතර රට තුළ සැකසහිත කසුකුසුවක් පැතිර ගියේ රට තුළ අලුත් රෝගී පොකුරට මුල් වී ඇත්තේ අලුත් වෛරස මාදිලියක්දෝ කියාය. ඒ නිසාම මිනුවන්ගොඩින් වාර්තා වූ වෛරසයේ සැබෑ රුව ගුණ සෙවීමේ කාර්යය අපේ විද්‍යාඥයින් වෙත භාරවුණේය.
පසුගියදා මේ රටේ ප්‍රධානතම වෛරස විද්‍යාගාරය අලුත් ආරංචියක් රටට රැගෙන ආවේය. ගම්පහ, පෑලියගොඩ මෙන්ම කොළඹ නගර කලාපය ආශ්‍රිතව මතුවෙමින් ඇති අලුත් ආසාදිත පොකුරු හටගැන්වීමට මුල් වී ඇත්තේ කැපී පෙනෙන වෙනස්කමකට ලක්ව ඇති වෛරස මාදිලියක්ය යන්නය. රටපුරා බොහෝ අය මේ රට තුළ පිටතින් ආ නව වෛරසයක් පැතිරෙන බව කීහ. සමහරු රෝගය සමාජය ඔස්සේ පැතිර යන බව කීහ. ඒ අතරේ වසංගත රෝග විද්‍යා අංශය දිගින් දිගටම කීවේ එබඳු සමාජ ව්‍යාප්තියක් නැති බවත් මේ තැන තැන ඇති පොකුරු එකිනෙකට සම්බන්ධ බවත්ය. නමුත් මේ ප්‍රකාශ ගැන පවා සැකසංකා එල්ලවී තිබුණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ සහ සෛල ජෛව විද්‍යා අංශයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය වෙත මෙම වෛරසයෙ සැබෑ රුව ගුණ සෙවීම බාරවිය. ඒ අනුව එම ඒකකයේ පර්යේෂකයෝ තමන් වෙත ලද ජෛව සාම්පල මගින් වෛරසයේ ජාන සැකසුම සහ ක්‍රියාකාරීත්වයේ වෙනස ගැන සොයා බැලූහ. එහි ප්‍රතිඵලයක් ලෙස මේ මිනුවන්ගොඩ වෛරසය ප්‍රධාන පෙළේ වෙනස්කමකට ලක්වූ මාදිලියකට අයත් අලුත් විභේදනයක් බව එළදරව් කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි.
ජයවර්ධනපුර පර්යේෂකයෝ පසුගිය මාර්තු මාසයේ ප්‍රථමවතාවට ශ්‍රී ලංකාවේ පර්යේෂණාගාරයක් තුළදී වෛරසයක පූර්ණ ජාන සැකැස්ම - whole genomic sequencing, එළිදරව් කරගන්නට සමත්වූහ. එතෙක් කලක් ශ්‍රී ලංකාවේදී වෛරසවලට අදාළ පරීක්ෂණ සිදුකිරීමේදී අනුගමනය කළ ක්‍රමවේදය වුණේ වෛරසයේ ප්‍රවේණිගත ලක්ෂණ සහිත RNA (Ribo Nucleic Acid) වෙන්කරගෙන වැඩිදුර පර්යේෂණ සඳහා වෙනත් රටක රසායනාගාරයකට යැවීමයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
පර් යේෂණ කණ්ඩායම ඉතිහාසගත සොයාගැනීමක් සිදු කරමින් එදා ලංකාවේ පැතිරෙන වෛරසය වෙන්කර හඳුනාගන්නට සමත් වූහ.
මෙවර මිනුවන්ගොඩ වෛරසය හඳුනාගන්නට ඉදිරිපත්වූයේද එම පිරිසයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ කොළඹ නගර සභාව ආශ්‍රිතව ලබාගත් ජෛව සාම්පල මගින් රට කැළඹීමට හේතුවූ අලුත් වෛරසය කුමක්දැයි සොයන්නට වූහ. ඒ සඳහා සාම්පල 16ක් අතරින් 13ක් නිවැරදිව වෙන් කරගත් ඔවුන්ට එම 13න් 12ක්ම සමාන ලක්ෂණ සහ හැසිරීම් සහිත වෙනස් විභේදනයක් ලෙස හඳුනාගන්නට හැකිවී තිබේ. සාමාන්‍යයෙන් වෛරසයක් මිනිස් සිරුර තුළ බෙදෙමින් පැතිරෙමින් යනවිට සති 2ක කාලයකදී විවිධ වෙනස්කම් සහ විකෘති ඇතිකර ගනියි. එනම් මාසයකට දෙවරක් සිදුවන මේ වෙනස්කම් දක්නට ලැබෙන අතර කැපී පෙනෙන මහා පරිමාණ වෙනස්කම්ද ඉඳහිට මතුවේ. එබඳු වෙනස්කම් වෛරසයේ හැසීරිමේ තදබල අසාමාන්‍යතා පෙන්වයි. මිනුවන්ගොඩින් මෙවර ඔවුන්ට හමුවූයේද එබඳු කැපී පෙනෙන වෙනසකට ලක්වූ විභේදනයක් සහිත මාදිලියකි. එහි විශේෂ ජාන සැකසුමක් දක්නට ලැබුණි. ඒ D614G ලෙස හැඳින්වෙන සැකසුමයි. මේ සැකසුම මගින් එයට තිලිණ කරන ලක්ෂණය වන්නේ වෛරස ප්‍රමාණය වැඩිකර ගැනීමේ හැකියාවයි. නව වෛරසය වේගයෙන් පැතිර යාමට මේ ලක්ෂණය ප්‍රධාන හේතුවක්ව තිබේ.
මාර්තු මස සිදුකළ පර්යේෂණ අනුව ලංකාවේ වෛරස මාදිලි 04ක් හඳුනාගන්නට මෙම පර්යේෂකයන්ම සමත්වූහ. ඒවා පිළිවෙළින් B.1, B.2, B 1.1 සහ B.4 යන පරම්පරාවන්ට අයත්විය. කන්දකාඩු වෛරසය එම මාදිලිවලට සබඳතා දක්වන්නකි. අලුතෙන් රට තුළ පෙරළි කරන වෛරසය ඒවාට වඩා වෙනස් ලක්ෂණ සහිත පරම්පරාවක් වන B.1.42 ට අයත් බව දැන් හඳුනාගෙන තිබේ. මෙහි ඇති වෙනස් ප්‍රවේණික ලක්ෂණය නිසා වෛරස ප්‍රමාණය වැඩිවීමත් ඒනිසා රෝගී ආසාදිතයෙක් වෙතින් පිටවෙන වෛරස සංඛ්‍යාව අධික වීමෙන් වැඩි පිරිසකට ආසාදනය පැතිර යාමත් සිදුවන බව දැන් සනාථ වී හමාරය. ආසාදිතයන් වැඩිවීමත් සමග මරණ සංඛ්‍යාවද ප්‍රමාණාත්මකව ඉහළ යාම ස්වභාවිකවම සිදුවෙයි.
රට තුළ මිනුවන්ගොඩ පොකුර සම්බන්ධව පැනනැඟී තිබූ දුර්මතයක්ද මෙහිදී දැනට යටපත්ව තිබේ. එනම් මෙය ඉන්දියානු සම්භවයක් සහිත මාදිලියක් බවට වූ මතයයි. මෙම වෙනස්වීම් සහිත වෛරසය ජානමය ලක්ෂණ අතින් වඩාත් සමානකම් පෙන්වන්නේ යුරෝපයේ හෙවත් ඩෙන්මාර්ක් හෝ ස්වීඩන් ආශ්‍රීත වෛරස් මාදිලිවලට බව පර් යේෂණ ප්‍රතිඵල මගින් ඉඟිකරයි. වෛරසය සම්බන්ධ දිගුදුර අධ්‍යයනය සඳහා අවශ්‍ය සමහර පහසුකම් මේ පර්යේෂණාගාරය සතුව නැත. නිදසුනක් ලෙස පර්යේෂණ උදෙසා වෛරස වගාකර ගැනීමේ පහසුකම් මෙහි නැත. එසේ පැවතියා නම් මේ පර්යේෂණ මගින් වඩාත් තීව්‍ර නිරවද්‍යතාවකින් යුතු ස්ථිරසාර ප්‍රථිඵල ලබාදෙන්නට ඔවුන්ට හැකියාව ලැබෙනු නියතය.
අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ වෛද්‍ය මාලිකා කරුණාරත්නගේ මූලිකත්වයෙන් වෛද්‍ය චන්දිම ජීවන්දර වෛද්‍ය දෙශ්නි ජයතිලක, වෛද්‍ය දිනුක ආරියරත්න සහ දියනාත් රණසිංහ, ලක්සිරි ගෝමස් මහත්වරු මේ මඟ සොයාගැනීමට දායක වූවෝය.
පසුගිය වසරේ චීනයේ වූහාන් පළාතේන් ලෝකයේ මුල්වරට කොවිඩ් 19 වාර්තා වීමත් සමඟ එයට හේතුවන වෛරසය ගැන පර් යේෂණ ලොව පුරා සිදුවිය. පසුව SARScov2 ලෙස නම් ලද එම වෛරසය පිළිබඳ අනාවරණවලදී එම පර් යේෂණ අතර මුල් තැනක් ගනු ලැබුවේ වෛරසයේ ප්‍රවේනික ද්‍රව්‍ය සමුහය එනම් වෛරස ජිනෝමය අනාවරණය කර ගැනීමයි. මෙය මුල්වරට චීනයේ සිදුකළ අතර මේ වනවිට ලොවපුරා රෝගීන්ගෙන් ලබාගත් එම වෛරස 52,600 කට අධික ප්‍රමාණයක ජිනෝමය අනාවරණය කරගෙන ඇත. මෙලෙස වෛරස ජිනෝමය පිළිබඳව සොයාබැලීමේ ප්‍රධාන වාසිය වන්නේ කලින් කලට SARS-Cov-19 වයිරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය අනුපිළිවෙලේ ඇතිවන යම් යම් වෙනස්කම් පිළිබද සොයා බැලීමට හැකිවීමයි. මේ ප්‍රවේනික ද්‍රව්‍ය සමූහ හෙවත් ජිනොමයන් පරීක්ෂා කිරීමෙන් පසුව එක් අධ්‍යනයකදී SARS-Cov-19 වෛරසයේ ප්‍රධාන ආකාර පහකින් යුක්ත වන බව සොයාගන්නා ලදී. එබඳු ප්‍රධාන වෙනස්කම් සහිත ආකාර Clades ලෙස හඳුන්වනු ලැබේ. Clade එකක් යනු පරිණාම විද්‍යාවේදී යම් එකම පූර්වජයෙකුගෙන් පැවත එන ප්‍රවේනික ද්‍රව්‍යයේ යම් යම් වෙනස්කම් සහිත ජීවී කණ්ඩායම් ආකාරයක් ලෙස හැඳින්විය හැකිය. එම Clades ආකාර හඳුනාගැනීමේදී ප්‍රධාන වශයෙන් පදනම් වී ඇත්තේ SARS-Cov-19 වෛරසයේ කාලයත් සමග සිදුවන ප්‍රවේණික වෙනස්වීම සහ විකෘතීන්ය. අපේ රට තුළ මතුව ඇති මිනුවන්ගොඩ ප්‍රමුඛ අලුත් රෝගි පොකුරු තනන වෛරසයද එබඳු එකම මුලක් සහිත වෙනසට බඳුන්වූ Clade එකක් ලෙස හැඳින්වීම වඩාත් විද්‍යාත්මක පැහැදිලි කිරීමයි. මේ හරබර වචන වලින් කියන වෛරස විකෘතීන් පිළිබඳ හැදෑරීම් අපේ අනාගතය තීන්දු කරන බව මතක තබා ගතයුතුය. මේ වෛරස මාරකවලින් බේරෙන්නට එන්නතක් ඖෂධයක් සොයා ගන්නට අපට හැකිවන්නේ මේ විද්‍යාත්මක සොයාගැනීම් සහ එම විද්‍යාඥයන්ගේ කැපවීමට පින් සිදුවන්නටය. එහෙයින්ම මේ පර් යේෂණාගාර තත්ත්වයන් දියුණු කිරීමට මෙන්ම රට නොහැර ගොස් අප සමග සිටින පර් යේෂණ විද්‍යාඥයන්ට අවශ්‍ය ප්‍රතිපාදන නොපමාව සැපයීමද බලධාරීන් සතු කාලීන සුපිරි වගකීමක් බව මේ මොහොතේ සටහන් කළ යුතුමය.
සුගත් පී.කුලතුංග ආරච්චි