මේ රටේ කුඩු, මිනීමැරුම්, කප්පම් ආදී අපරාධ ගොන්නට අයිති වන තවත් අපරාධයක් වන්නේ මහා පරිමාණ ඉඩම් වංචාවයි. ඒ සඳහා මෙරට පාතාලයත් දේශපාලනයත් කරට කර හවුල් වී ඇත. මේ නිසාම බොහෝ කෝටි ගණන් වටිනා ඉඩම්වලට තමන්ගේ හිමිකම ඔප්පුවෙන් සහතික කර තිබියදීත් අයිතිකරුවන්ට නඩු කීමට සිදුවී ඇත. එකී නඩු වසරකින් දෙකකින් නොව වසර ගණන් ඇදී යන නඩුය. පුදුමය නම් එවැනි නඩු ඇදි ඇදී යනවිටත් එකී ඉඩම්වලට අදාළව වංචා නැවත නැවතත් සිදුවීමය. ඇතැම් විට නඩුපිට නඩුය. නඩු නිසා මේ රටේ කෝටි ගණන් ඉඩම් විනාශ වී යන්නේ ඇස් පනාපිටය. ඊටත් වඩා මේ ඉඩම් නිසා ජීවිත අහිමි වන්නෝද එමටය.
කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව පත්වූ සැණින් මේ ඉඩම් වංචා සම්බන්ධයෙන් වැදගත් තීන්දුවක් ගනු ලැබීය. ඒ ඉඩම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමටය. මේ සඳහා ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා වෙත නියෝග දී තිබුණේ අනුන්ගේ ඉඩම් විකිණීමේ වංචා සම්බන්ධයෙන් සොයා බලන ලෙසය. ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරගෙන යනු ලබයි.
මේ සියල්ල එසේ සිදුවනවිට පසුගිය සතියේ විශේෂ සීසීටීවී වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන්නට විය. එකී විඩීයෝ පටයේ ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නම් පවසමින් යම් තර්ජනයක් කරන අයුරුත් ඊටපසුව පුද්ගලයන් කණ්ඩායමක් හිස් භූමියකට පැමිණ එහි ඉබියතුරු කඩා ඇතුළු වන ආකාරයත් දකින්නට ඇත. මෙහි විශේෂම කොටස වන්නේ මේ ඇතුළුවන පිරිස සමඟ හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර මහතාද ඇතුළු වන අයුරු දැකගන්නට හැකිවීමය. එහිදී මේ වීඩියෝ පටයේ පසුබිමෙන් හඬ කවන පුද්ගලයා පවසන්නේ හම්බන්තොට නගරාධිපතිවරයා විසින් තමන් සතු ආරක්ෂක සමාගමේ ආරක්ෂකයන් යොදවා බලහත්කාරයෙන් කොළඹ කෝටි ගණන් ඉඩම් අල්ලන බවය. අදාළ ඉඩම ඉතාලියේ වෙසෙන කාන්තාවකට අයත් බවත් ඒ කාන්තාව මෙකී ඉඩමට ගංගොඩවිල උසාවියේ නඩුවක් දමා ඇති අතරතුර මෙම ඉඩම බලහත්කාරයෙන් නගරාධිපතිවරයා ඇතුළු පිරිස අල්ලා ගත් බවත් සඳහන් කරනු ලබයි.
කොළඹ මෙවැනි බලහත්කාරයෙන් ඉඩම් ඇල්ලීම් එමට සිදුවෙයි. ඒ අපරාධ පාතාලය මැදිහත්ව සිදුකරන බවද නොරහසකි. ඒ සඳහා ව්‍යාජ ඔප්පු සැදීම සාමාන්‍ය දෙයක් වී ඇත. එවැනි පසුබිමක මෙම සිද්ධියත් මෙම සිද්ධියට හම්බන්තොට නගරාධිපතිවරයා සම්බන්ධ වීමත් පුදුමයක් වන්නේ නැත. කෙසේ වෙතත් මේ සිද්ධියේ වීඩියෝ පටය සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වූවා පමණක් නොව මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර සිටියේ තම පවුලේ අයගේ නම් ප්‍රචාරය කර සිදුකරන මේ ක්‍රියාව හෙළාදකින බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවත්ය.
ඒ අනුව මේ සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ නීතිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුකරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් මගින් යොමුකර තිබුණි. නීතිපතිවරයා සඳහන් කර සිටියේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා හොර ඔප්පු සාදා විකුණන ජාවාරම සම්බන්ධයෙන් පරීක්ෂණයක් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුකරන ලෙසය. මේ සිද්ධියට අදාළව නම් සඳහන්ව ඇති හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර, ඩෙක්ස්‍ටර් අජිත් බාලසුරිය, සනිත් සංජීව වීරරත්න සහ මොහොමඩ් මසාහීර් මොහොමඩ් නසිර්දීන් අය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ලෙසටත් දන්වා තිබුණි. නීතිපතිවරයා විසින් එම වීඩියෝව නරඹා හෙළිදරව් කරගත් කාරණා තුනක්ද සටහන් කර තිබුණි. ඒ අජිත් බාලසූරිය යන අය හම්බන්තොට නගරාධිපතිවරයාට ව්‍යාජ ඔප්පු සාදාදෙන බවත්, එම ඉඩම්වලට නගරාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ අය යවන බවත්, නුගේගොඩ ප්‍රදේශයේ ඉඩමකට ඉබියතුරු කඩා බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බවත් එහි සඳහන් කර තිබුණි. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා පරීක්ෂණ පවත්වන්නැයි නියෝග කර ඇත්තේ එම වීඩියෝ පටය උපයෝගී කරගෙනය.
මේ අතර එම වීඩියෝ පටයෙන් පසුව තවත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නට විය. ඒ මෙම ඉඩමේ හිමිකරු බව කියන සනිත් සංජීව වීරරත්න විසිනි. ඔහු එම වීඩියෝ පටයෙන් කියා සිටියේ මෙම ඉඩම තමන් සතු ඉඩමක් බවත් ඒ ඉඩමේ ආරක්ෂාව සඳහා හම්බන්තොට නගරාධිපතිවරයාගේ ආරක්ෂක සමාගමෙන් ආරක්ෂාව ඉල්ලා ගත් බවත්ය. ඔහු එහිදී පවසන්නේ තමන් හම්බන්තොට පදිංචි පුද්ගලයෙකු බවත් තමන්ගේ මේ ඉඩමට පාතාලය විසින් අයිතිවාසිකම් කියන්නට යන බවත්ය. මේ පාතාලයන් තමන්ට කඩු පොලුවලින් පහරදුන් බවත් ඒ පිළිබඳව මිරිහාන පොලිසියේ පැමිණිලි යොමුකර ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කරන්නේය. එසේම කොට දයා නැමැති පුද්ගලයා තමන් අමතා තර්ජනය කළ බවත් ඔවුන් ලක්ෂ 20ක කප්පමක් ඉල්ලූ බවත් ඔහු මෙහිදී සඳහන් කරයි. ඒ නිසා තමන් එම ඉඩමේ ආරක්ෂාව ලබාගැනීම සඳහා හම්බන්තොට නගරාධිපතිගේ ආරක්ෂක අංශය සම්බන්ධ කරගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව ඔහු එම වීඩියෝ පටයට පහළින් තමන් විසින් සිදුකළ සියලුම පොලිස් පැමිණිලිත්, නගරාධිපතිවරයාගේ ආරක්ෂක අංශය සමඟ සිදුකළ ගිවිසුමේ පිටපත්ද ප්‍රසිද්ධ කර තිබුණි. ඒ අනුව මේ සිද්ධියේදී හම්බන්තොට නගරාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඒ ඉඩමට හිමිකම් කියන පුද්ගලයා ලෙස සනිත් වීරරත්න පෙනී සිටියි. එහෙත් මේ ඉඩම සම්බන්ධයෙන් වංචාවක් සිදුකර ඇති බවට වෙනත් පාර්ශ්වයකින් තවම කිසිදු පුද්ලයකු ඉදිරිපත් වන්නේ නැත. එපමණක් නොව ඒ සඳහා පැමිණිල්ලක්ද තවම නැත. එසේ නම් මෙකී ඉඩම් වංචාව සිදුවී ඇත්තේ කාටද? එය ප්‍රශ්නයකි. එහෙත් මේ කතාවේ ප්‍රධාන චූදිතයා වී ඇත්තේ හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍රය. ඒ නිසාම අපි ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුගෙන් මේ ගැන විමසුවෙමු.
• නගරාධිපතිතුමා ඇයි මේ කොළඹ ඉඩම් බලෙන් අල්ලන් හොර ඔප්පු හදන්නේ?
නෑ මම කිසිම වෙලාවක හොර ඔප්පු හදලත් නෑ. බලෙන් ඉඩම් අල්ලලත් නෑ. මට එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නෑ. හොර ඉඩමක් තියා මගේ නමටවත් තවම ඉඩමක් නෑ.
• එහෙනම් මේ වීඩියෝ යන්නේ. නීතිපතිවරයා පොලිස්පතිවරයාටත් වහාම මේ ගැන විමර්ශනය කරන්න කියා තිබෙනවා?
ඔය ඉඩමට මම සම්බන්ධ වෙන්නේ ආරක්ෂාව සලසලා දීලා. ඒක මගේ පෞද්ගලික ආරක්ෂක අංශයෙන් කරන්නේ. ඒ ඉඩමට ආරක්ෂව ඉල්ලුවේ සනිත් වීරරත්න කියන කෙනා. අනික නිකම් හොර ඉඩම්වලට ආරක්ෂාව සපයන්න බෑ. මොකද පෞද්ගලික ආරක්ෂක අංශයක් සම්බන්ධ වෙනවා නම් එම දේපල නීත්‍යානුකූල දෙයක් වෙන්න ඕන. අපේ අය සියලුම නීත්‍යානුකූල පියවර තමයි අරන් තියෙන්නේ.
• ඔබ ඇතුළු පිරිසක් ගිහින් ඉබි යතුරු කඩන්නේ එහෙනම්?
මේ ඉඩම පාතාලයේ අය අල්ලන් ඉන්නේ. මම මේකට මගේ ආරක්ෂක ආයතනයේ අය දෙන්නෙක් දාන්න හැදුවත් එතන ලොකු ප්‍රශ්නයක් තියෙන බව පෙනුණා. ඒ නිසා මම ආරක්ෂාවට දහයක් දැම්මා. ඔය පිටිපස්සේ ඉඩමෙන් ගිහිල්ලා අනිත් අය ඉබියතුරු දාලා වහලා තිබ්බ එකයි අපි කැඩුවේ. මොකද ඒකේ අයිති පුද්ගලයා මටයි ආරක්ෂාව බාරදීලා තියෙන්නේ.
• ඔබගේ ආරක්ෂක සමාගමට දුන්නම ඔබ යන්නේ ඇයි ඉඩම්වලට?
ඔය ඉඩම මගේ ආරක්ෂක සමාගමේ පිටිපස්සේ තියෙන්නේ. මම නුගේගොඩ පැත්තේ අවුරුදු දහයක ඉඳන් මේ සමාගම කරන්නේ. මාව දන්නවා. ඔය ඉඩමේ ප්‍රශ්නයට ඉන්නේ පිටිපස්සේ ගෙදර ඉන්න චන්දන කියන පුද්ගලයා. ඒ අය බලහත්කාරයෙන් අල්ලන් මේ අයිතිකාරයගෙන් ලක්ෂ 20ක් කප්පම් ඉල්ලලා තිබ්බා. පස්සේ ඒක දෙන්න පොරොන්දු වුණාම කියලා තියෙනවා ඉඩම විකුණලා කෝටි දෙකක් දෙන්න කියලා. ඒ නිසයි ඒ මනුස්සයා මගේ ළඟට ආවේ. මම ගියේ ඒ හැමදෙනාටම පේන්න මේ ඉඩමේ ආරක්ෂාව මම බාරගෙන තියෙන්නේ කියන්නයි.
• ඉඩමට නඩුවක් තියෙනවා ගංගොඩවිල දිසා අධිකරණයේ. අයිතිකාර කෙනා ඉතාලි කාන්තාවක්. එහෙම කොහොමද බලෙන් යන්නේ?
ඒක තමයි මෙතන ප්‍රශ්නය. ඔතන ඉඩම් දෙකක්. වරිපනම් අංක දෙකක්. එකක් 136 අනික 136/1. ඔන්න ඔය 136/1ට තමා නඩු තියෙන්නේ. ඒකට තමයි ඉතාලි කාන්තාව සම්බන්ධ. මම ඇයටත් කතා කළා මේ සිද්ධියෙන් පස්සේ. ඇයයි තවත් දෙන්නෙක් අතර නඩුව යන්නේ. ඒත් ඔය පිටිපස්සේ ඉන්න චන්දන කියන පුද්ගලයා මේ ඉඩමත් අල්ලන්න හදන්නේ. එයාගේ සිසීටීවි එක ගහලා තියෙන්නේ මේ ඉඩමට. ඒකයි ඒ සීසීටීවී එකෙන් මේ සියල්ලම එයා බලාගෙන ඉන්නේ.
• දැන් ඔබ කියන්නේ ඔබ මේ ජාවාරමට සම්බන්ධයක් නෑ කියලද?
නෑ නෑ... මම කිසිම සම්බන්ධයක් නෑ. මට ඔය චන්දන කියන කෙනාගේ පුතෙක් කතා කළා දවසක්. එයා එන්න කිව්වා රෑ කෑමකට ගෙදර. මම එයාව දන්නවා කාලයක්. හැබැයි චන්දනගේ සම්බන්ධය දන්නේ නෑ. ගියාම කියනවා මට මේ කේස් එකෙන් අයින් වෙන්න කියලා. කෝටියක් දෙන්නම් කිව්වා ඉඩම විකුණලා. මම ඇහුවා ඇයි නීත්‍යානුකූල ඉඩමකට මට සල්ලි දෙන්නේ කියලා. ඊටපස්සේ පොඩි බහින් බස් වීමකුත් වුණා.
• දැන් තවමත් එතන ඔබේ ආරක්ෂකයෝ ඉන්නවද?
ඔව් ඉන්නවා. මට කවුරුත් අයින් කරන්න කිව්වේ නෑ. අර මනුස්සයා එක්ක ඇග්‍රිමන්‍ට් ගහලා ලක්ෂයක් ඇඩ්වාන්ස් අරන් තියෙන්නේ. ඉතිං මම ඒ මනුස්සයට සේවා සලසනවා. මොකද මම කොතැනවත් වැරැද්දක් කරලා නෑ. මම කරලා තියෙන්නේ මගේ ආයතනයේ සේවය සැලසීම.
• ඔබට විරුද්ධව දැන් පැමිණිල්ලක් විභාග වෙනවා?
ඔව්. මම කියන්නෙත් හොයන්න. මම වැරැද්දක් කරලා නෑ.
• ඇයි අර රාජපක්ෂවරුන්ගේ නම් විකුණන්නේ?
ඒක මම එක්ක ගිය වෙලාවේ වුණ දෙයක් නෙමෙයි. මේ අයිතිකාර කෙනත් අවුරුද්දකට කලින් ගිහින් වෙච්ච දෙයක්. ඒකට මගේ සම්බන්ධයක් නෑ. එතන ඉන්නේ පිටිපස්සේ ඉඩමේ චන්දන කියන කෙනා. එයා එක්ක වුණ සංවාදයක්. මේ සියල්ල එඩිට් කරලා හදලා තියෙන්නේ. අනික මම මේ වීඩියෝ එක දාපු ඉතාලි කාන්තාවට කතා කළා. එය කිව්වා ඒ ෆේස්බුක් ගිණුම ඇයගේ නෙමෙයි ව්‍යාජ එකක් කියලා.
• ඔබට තියෙන බලය නිසා පාතාලයත් බයයි වගේ නේද?
නෑ ඇත්තටම මේ සිද්ධිය පිටිපස්සේ පාතාලය ඉන්නේ. ඒක පොඩි නෑ. මොකද මේ වෙද්දී මට මරණ තර්ජන පවා එල්ලවෙලා. මාව ඝාතනය කරනවා කියලා තියෙන්නේ. ඒත් මම බය නෑ.
හම්බන්තොට නගරාධිපතිවරයා පවසන්නේ එවැනි කතාවකි. දැන් මේ කතාවේ ඇත්තේ චෝදනා එල්ලවෙන පාර්ශ්වයත්, වීඩියෝ පටයකුත් පමණි. එහෙත් මේ ඉඩමට අයිතිවාසිකම් කියනා පුද්ගලයකු තවමත් නිශ්චිතවම ඉදිරිපත්ව නැත. ඇත්තටම මේ වංචාවට හසුවී සිටින කාන්තාව ඉතාලියේ සිටින කාන්තාව නම් ඇයට සිදුවී ඇති අසාධාරණය සුළුපටු නැත. එසේම මේ ඉඩම නගරාධිපතිවරයා විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇත්නම් ඔහුටද කිසිදු සමාවක් දියයුතු නැත. මේ සම්බන්ධයෙන් විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතුමය. සත්‍ය සොයාගත හැක්කේ එවැනි පරීක්ෂණයකින් පමණක් වන බැවිනි.
කෙසේ වෙතත් නුගේගොඩ, බත්තරමුල්ල, කොස්වත්ත, රාජගිරිය ආදී ප්‍රදේශවල පාතාලය යොදාවා බලහත්කාරයෙන් ඉඩම් ඇල්ලිලි බොහෝය. එපමණක් නොව ඒවාට එරෙහිව පොලීසිය පවා පසුගිය කාලයේ ක්‍රියාත්මක වූයේ මන්දාමීවය. ඇතැම් ඒවා අල්ලසට යටවීය. මේ හේතුවෙන් ඇතැම් අධිකරණවල එක ඉඩමට නඩු පිට නඩුය. අන්සතු ඉඩමක් පාතාලයකුට හෝ දේශපාලනඥයකුට හෝ අනෙකුත් ඕනෑම කණ්ඩායමකට බලහත්කාරයෙන් ඇල්ලීමට අයිතියක් නැත. ඒ සඳහා කිසිදු ඉඩක් තිබිය යුතු නැත.
I ගයාන් ගාල්ලගේ