කොරෝනා වයිරස් වසංගතය නිසා රටේ ඇඳිරි නීතිය පැනවීම හේතු කරගෙන රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉතාම සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. මෙම බොහෝ ආහාරවලට රජයේ පාලන මිලක් ප්‍රකාශයට පත්කර තිබෙන නමුත් එම මිලට අලෙවි කරන වෙළෙඳුන් නොමැති බව වෙළෙඳපොළ ගවේෂණයක යෙදෙන විට දැනගත හැකිය. පාරිභෝගික සේවා අධිකාරිය පාරිභෝගිකයාට සහන සැලසීමේ පරමාර්ථයෙන් ස්ථාපිත කර තිබුණද එයින් ජනතා අභිලාෂයන් ඉටු නොවන බවක් දක්නට ඇත. නියම කළ උපරිම මිල නමට පමණක් වී ඇත. කොළඹදී නිලධාරීන් රැස්වී විවිධ තීරණ ගත්තද එම තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේ.
මේ වනවිට ස්ථීර ආදායම් මාර්ගයක් නොමැතිව කුසට ආහාර වේලක් අහිමිව දුක් විඳින ජනතාව තවදුරටත් ගසා කෑමට කූට වෙළෙඳුන් සැදී පැහැදී සිටීම ඉතාම කනගාටුදායකය. රජය විසින් ජනතාවට රුපියල් 10,000ක බඩු මල්ලක් දෙන බවටද රුපියල් 5000ක මූල්‍ය ආධාරයක් දෙස බවටද ප්‍රකාශ කරනු ලැබ ඇති නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී සිදුවන දුර්වලතා හේතුවෙන් සාධාරණයක් ඉටු නොවන බවට තව පිරිසක් මැසිවිලි නගති.
අද ඇත්තේ භාණ්ඩ හිඟයකට වඩා ඒවා නිසියාකාරව ජනතාව අතට සාධාරණ මිලකට නොයාම පිළිබඳ ගැටලුවකි. ඒ තත්ත්වයට ප්‍රායෝගික විසඳුමක් ලබාදීමට වගකිව යුත්තන් අපොහොසත් වී ඇති වාතාවරණයක ඉදිරියේදී මෙම තත්ත්වය වඩාත් උග්‍රවනු ඇතැයි අනතුරු හඟවන්නට සිදුව ඇත.
අපිටත් නොකියා ගන්න තීරණ පලක් නෑ
මැනිං මාර්කට් තොග වෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ:
කොළඹ මැනිං මාර්කට් එළවළු වෙළෙඳ පොළ රතු කලාපයක් බවට පත් කරලයි තියෙන්නේ. පසුගිය දෙවැනි දා ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු විවෘත කරන බව නිවේදනය කළද එය සිදුවී නැහැ. මේ වනවිට මුළු ප්‍රදේශයම වසා දමලයි තියෙන්නේ. කවදා අරීද කියලා කියන්න බැහැ.
මැනිං වෙළෙඳපොළේ වෙළෙඳුන්ට පාස් එකක් දීලා පොලිසිය කියනවා. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ගොස් එළවළු අලෙවි කරන්න කියලා. ඒක කරන්න පුළුවන් දෙයක් නොවෙයි. මෙහෙට එන එක ලොරියක සියයකට අධික සංඛ්‍යාවක බඩු තියෙනවා. කෑලි 1-2 වශයෙන් සහ ඊට වැඩියෙන් බඩු අයිති අය ඉන්නවා. මේ අයට බඩු දීලා සල්ලි එකතු කරලා පියවනවා. මෙහෙම ක්‍රමවේදයක් තමා මෙහෙ තියෙන්නෙ. මේ ක්‍රමවේදය වෙනතැන්වල ප්‍රායෝගිකව කරන්න බැහැ.
පාක්වල දමලා එළියේ විකුණන්න කියල කියනවා. ඒකත් කරන්න බැහැ. කවුද පාක්වලට බඩු ගන්න එන්නේ? පාක්වල විකුණන්න කැමැති අයට විකුණන්න පුළුවන්. ඒත් එහෙම අය නැහැ. පාක්වලට මිනිස්සු යන්නේ නැහැ. මෙහෙට එන ලොරියටම බද්ධවුණු ගොවි මහත්වරු ඉන්නවා. මේක සතිපොළක් නොවෙයි. වෙළෙඳ මධ්‍යස්ථානයක්. දඹුල්ලට ගෙනා මාධ්‍යවල පෙන්නපු එළවළු අපට සම්බන්ධ ඒවා නොවෙයි. ඒවා ආර්ථික මධ්‍යස්ථානවලට ගෙනෙන එළවළුයි. කිලෝ ලක්ෂ 50 විතර ඇති බව කියනවා. කවදත් ආර්ථික මධ්‍යස්ථානවලට ගෙනෙන එළවළු අපතේ යනවා. කුණු කොල්ලයට දෙන්න වෙනවා. ඒවා සාමාන්‍ය දේවල්.
රට තුළ සංචාරණය කරන්න නොදීමටයි මෙවැනි වෙනස්කම් යෝජනා කරන්නේ. ඒවා අපි සමග සාකච්ඡා නොකර බලධරයන් ගන්නා තීරණ. මාධ්‍යවලින් නොයෙක් දේ පෙන්වූවාම මන්ත්‍රීවරු ෆෝම්වෙලා නොයෙක් තීරණවලට එළඹෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න බැරි බව ඒ අයට වැටහෙන්නේ නැහැ.
කොළඹ තොග කඩ දැන් ඇරලා
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජී. රාජේන්ද්‍රන් පවසන්නේ පවතින තත්ත්වය හමුවේ වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට හෝ අලෙවි කිරීමට බාධාවක් නොමැති බවයි.
පිටකොටුවේ හතරවන හා පස්වන හරස් වීදිවල තොග කඩවල් අද (03) සිට දිගටම උදේ 5.00 සිට රාත්‍රිය දක්වාම විවෘතව පවතිනවා. ඕනෑ කෙනෙකුට ඇවිත් මිලදී ගන්න පුළුවන්. අඳිරි නීති බලපත්‍රයක් ලබාගෙන පිටකොටුවට පැමිණ බඩු ගෙනයාමට කාටවත් බාධාවක් නැහැ. රජයේ තීරණ අනුව එලෙස ගෙනියන බඩු සිල්ලරට අලෙවි කරන්න පුළුවන්. සිල්ලර වෙළෙඳාම පිළිබඳ අපි මැදිහත් වන්නේ නැහැ. රජයේ බලධාරීන් තමා ඒ පිළිබඳ ක්‍රියාමාර්ග අරගෙන ජනතාවට භාණ්ඩ ලබාදිය යුත්තේ. ආදායම් මාර්ග ඇහිරී ඇති පාරිභෝගිකයන්ට එලෙස විශාල වශයෙන් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. එය තේරුම් ගෙන ඔවුන්ට සාධාරණයක් ඉටුවන අයුරු ක්‍රියාකළ යුතුයි. දැනට අපි ජනතාවගේ තත්ත්වය තේරුම් අරගෙන සුළු ලාභයක් තබාගෙනයි අලෙවි කරන්නේ. එහෙත් ඇතැම් සිල්ලර වෙළෙඳුන් ඉතා විශාල ලෙස ලාභ තබාගෙන අලෙවි කරලා පාරිභෝගිකයා සූරා කන බවටයි දැනගන්නට ලැබී තියෙන්නේ. අප අලෙවිකරන තොගමිල මෙසේයි. සියලු මිල කිලෝවක් සඳහායි.
අර්තාපල් - විදේශීය රුපියල් 150 දේශීය 250, රටලූනු - විදේශීය රුපියල් 100-140 දේශීය 280-300, රතුලූනු - 240, සීනි - 125, මයිසූර් පරිප්පු - 165, කඩල පරිප්පු - 140, කොත්තමල්ලි - 230
මේවා සාධාරණ ලාභයක් තබාගෙන ජනතාවට අලෙවි කරවීමට වගකිවයුත්තන් මැදිහත් විය යුතුයි.
මාළු මාකට් වැසීමෙන් බරපතළ ගැටලු
පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය තොග වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.ඒ. ජයසිරි පවසන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වසා දැමීම නිසා ලක්ෂ සංඛ්‍යාත වෙළෙඳාමට සම්බන්ධ ජනතාවකගේ ජීවනෝපාය කඩා වැටී ඇති බවය. පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් 154 දෙනකුගේ වෙළෙඳ ස්ථාන තිබෙන අතර එක ලෑල්ලක 10 දෙනෙක් පමණ සේවය කරන බව උපකල්පනය කළහොත් 1540කට ඍජුව මෙම අහිතකර තත්ත්වය බලපා තිබෙන බව ඔහු කියයි. මේ හැර කම්කරුවන්, සුළු වෙළෙඳුන්, රියැදුරන්, යතුරුපැදි, ත්‍රිරෝද රථ, ඩිමෝ බට්ටන් ආදී වශයෙන් ලක්ෂයකට අධික පිරිසක් මාළු ව්‍යාපාරය නිසා යැපෙන බව ඔහු කියයි.
මේ වනවිට පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණය පමණක් නොව මීගමුව, වෙන්නප්පුව, හලාවත, ගාල්ල, පුත්තලම හා මාදම්පිටිය ආදී ධීවර වරාය ආශ්‍රිත වෙළෙඳපොළවල් වසා දමලා. ඒ නිසා එම ව්‍යාපාරිකයන්ද අමාරුවේ වැටිලා සිටින අතර පාරිභෝගිකයන්ටද මාළු කෑමට ඉඩ නැතිවෙලා. එසේම මත්ස්‍ය වෙළෙඳාමට සම්බන්ධ බොහෝ දෙනෙක් කොරෝනා වසංගතය නිසා අසනීප වෙලා. රෝහල්වලට සහ නිරෝධායන ස්ථානවලට කොටුවෙලා ඉන්නවා. නිරෝධායනයට දැනට ලක්වෙලා සිටින අය තව දින 14ක් නැවතත් නිරෝධායනයට යවන බව රජය කියනවා. එතකොට දින 28ක් එක දිගටම ඒ අය සමාජයෙන් වෙන්කරලා තියෙනවා. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් අඩාල වෙලා. පවුල්වල සාමාජිකයන්ට සහ යැපෙන අය අමාරුවේ වැටිලා.
ධීවර සංස්ථාව ගන්නේ කෙලවල්ලන්, බලයන්, කොප්පරා සහ තලපත් පමණයි. පොඩි මසුන් ගන්නේ නැහැ. ඒ නිසා ඒවායේ මිල බොහෝම අඩුවෙලා. ඒවා කරවල බවට පත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. එහෙත් කරවල මිලද අධික ලෙස වැඩිවෙලා.
මෙම කොරෝනා වෛරස් රෝගී තත්ත්වය හමුවේ රජයට සහය දෙන්න ධීවර ප්‍රජාව සූදානම්. අපි රජයේ නීති රීතිවලට අනුගත වෙනවා. එහෙත් අප ඉල්ලා සිටින්නේ දැනට කඩාවැටුණු ධීවර කර්මාන්තය යළි නගා සිටුවීමට බලධරයන් උදව් කළ යුතු බවයි.
බලපිටියෙන් යන මාළුවලටත් බිස්නස් නෑ
බලපිටිය පොදුජන ධීවර පෙරමුණේ සභාපති ආර්.ආර්.පී. සේනාරත්න:
බලපිටියේ මාළු තවම පෑලියගොඩට ගන්නේ නැහැ. දැන් සිද්ධ වෙන්නේ පොඩි බෝට්ටු මගින් පන්න ක්‍රමයට ඇල්ලූ මසුන් අලෙවි කිරීමක්. මෙම මාළු වෙනදා වගේම නුගේගොඩ, කොට්ටාව, මහරගම, කඩුවෙල ආදී සුළු නගරවල ලෑලිවලට යනවා. ඒත් මේ දිනවල මාළු අලෙවිය අඩු නිසා මෙයද හරියට කෙරෙන්නේ නැහැ.
බහුදින ධීවර යාත්‍රාවලින් මාළු ඇල්ලීම මේ දිනවල කෙරෙන්නේ නැහැ. ඒ නිසා එයට සම්බන්ධව රුකියාව කරන විශාල පිරිසක් අමාරුවේ වැටිලා. බලපිටියේ ජැටියක් නැති නිසා ලොකු බෝට්ටුවලට ගොඩට එන්න බැහැ. දැන් කරන්නේ ලොකු බෝට්ටුවලින් මාළු අල්ලාගෙන මගක් දුරට ඇවිත් ඒවා මුහුද මැද නැංගුරම් දමා තබාගෙන කුඩා බෝට්ටුවලින් මාළු ගොඩබිමට ගෙන ඒමයි. මෙහෙම මසුන් අලෙවියත් නීතියෙන් තහනම්. ඒ වුණත් නිරෝධායන නීතිවලින් රිංගා ගොස් මේ විදියටයි මාළු ව්‍යාපාරය මේ පැත්තේ කරන්නේ. ධීවර වරායවල් තිබෙන අම්බලන්ගොඩ වගේ ප්‍රදේශවලත් දැන් ලොකු බෝට්ටු එන්නේ නැතුව පොඩි බෝට්ටුවලින් තමා බිස්නස් කරන්නේ. එයට හේතුව දමලා තියෙන නීතිවලින් බේරිලා යාමයි.
මේ වනවිට මේ ප්‍රදේශයේ මාළු මිල ඉතාම පහළ වැටිලා. කෙලවල්ලෝ කිලෝව රුපියල් 200, බලයා කිලෝව රුපියල් 100 ඒරමහ (තෝර විශේෂයක්) රුපියල් 300, ලොකු ලින්නෝ රුපියල් 160 ආදී වශයෙන් මත්ස්‍ය මිල පහළ බැහැලා. ධීවරයා අමාරුවේ වැටිලා.
අත්‍යවශ්‍ය ආහාර මිල වැඩිවෙලා
පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ:
ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන හාල්, අර්තාපල්, පරිප්පු, ලුණු, පොල්, සීනි වැනි ඒවායේ මිල ඉතාම අසාධාරණ ලෙස ඉහළ ගිහින්. සාමාන්‍ය ජනතාවට මෙම තත්ත්වය ඉතාම අහිතකර ලෙස බලපානවා. ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශවල මේවා ගණන් ගියා යැයි කීම යම් පමණක සාධාරණයක් තිබුණත් ඇඳිරිය පනවා නැති ප්‍රදේශවලද මිල ඉහළ ගිහින්. එසේම මෙම භාණ්ඩවල හිඟයක්ද පවතිනවා. භාණ්ඩ හිඟය නිසාම ඇති වෙළෙඳුන් අධික ලාභ ලබාගන්නට උත්සාහ කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වෙලා. මෙම භාණ්ඩවලට පාලන මිලක් තිබුණත් එය නමට පමණයි. වෙළෙඳුන් තමාට හිතූ මිලට විකුණනවා. මෙලෙස එළිපිට වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය කිසිදු පියවරක් අරගෙන නැහැ. ඒ සඳහා ඒ අයගේ සැලසුමක් තිබෙන බවක්ද පෙනෙන්නට නැහැ. මෙහිදී අදාළ රාජ්‍ය ආයතන ස්වකීය වගකීම් ඉටු කිරීමෙන් බැහැරවෙලා කියලා කියන්නට වෙලා තියෙනවා.
ජනතාව දැන් ගසාකෑම්වලට අහුවෙලා
මහජන අයිතීන් සුරැකීමේ පදනමේ ජාතික සංවිධායක අසේල සම්පත්:
පසුගිය 29දා ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල 02 වැනිදා අනිවාර්යයෙන් එය ඉවත් කරන බව වගකිවයුත්තන් මාධ්‍ය මගින් යළි යළිත් ප්‍රකාශ කළා. ජනතාව බඩු බාහිරාදිය මිලට ගත්තේ දින 2-3කට සෑහෙන්නයි. වැඩි කොටසකට ආදායම් මාර්ග අහිමි වූ නිසා ඔවුන් ඉමහත් හිරිහැරයකට පත්වෙලා. ඒ නිසා මාස ගණනකට ආහාර ද්‍රව්‍ය ගන්න මුදල් නැහැ. දිගටම ඇඳිරි නීතිය දැම්ම නිසා ඒ අයට කුසගින්නේ ඉන්නයි වෙලා තියෙන්නේ.
දැන් භාණ්ඩ හිඟවීම නිසා අධික මිලට අලෙවි කරලා ජනතාව ගසා කෑමට කූට වෙළෙඳුන් පටන් අරන්. ඒ නිසා අප ඉල්ලා සිටින්නේ ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල භාණ්ඩ අලෙවි කිරීමට බලපත්‍ර දෙන විට ඒවා අලෙවි කළයුතු උපරිම මිල නියම කළයුතු බවයි. එහෙම නැතිනම් මේ අයට ජනතාව ගසා කෑමට තිබෙන ඉඩ වැඩිවෙනවා.
වැඩි මිලට වික්කොත් දැඩි පියවර ගන්නවා
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක පවසන්නේ ඇති තරම් ආහාර ද්‍රව්‍ය තිබෙන බවය.
හාල්, පරිප්පු, කරවල, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස තිබෙනවා. ඒවා රටපුරා හිඟයකින් තොරව බෙදාහරිනවා. රටේ ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය පැවතීම නිසා හා සංචරණ සීමා පැවතීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යම් ප්‍රමාදයක් ඇති නමුත් කිසිදු හිඟයක් නැහැ.
ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී අත්‍යවශය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව බෙදාහැරිය යුතු බවට තීරණය කළා. ඒ අනුව කටයුතු කිරීම සැමගේම වගකීමක්. පවතින තත්ත්වය යටතේ වෙළෙඳුන්ට වැඩි මිලට අලෙවි කරන්න බැහැ. එහෙම කවුරු හරි වැඩි මිලට අලෙවි කරනවා නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
යසවර්ධන රුද්රිගු