2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා

කොරෝනා මරණ වැඩිවීමේ අවදානම

 2020 නොවැම්බර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් රැල්ලෙන් ඇරඹි කොවිඩ්  දෙවැනි රැල්ල මේ වනවිට රටම භීතියෙන් සලිත කිරීම අරඹා තිබේ. දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් හමුවීම 300 ක පමණ සාමාන්‍යයකට යටත්ව සිදුවන බව පෙනී යයි. එසේම කොවිඩ් 19 හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවද සැලකියයුතු අන්දමින් ඉහළ යමින් තිබේ. ආරම්භයේ මරණ සංඛ්‍යාව ඉතාම අඩු අගයක රැඳී තිබුණද පසුගිය දෙසතිය තුළ වේගයෙන් කොවිඩ් මරණ වාර්තා වූයේය.

කෙසේ වෙතත් තවමත් ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව මෙරට කොවිඩ් මරණ වාර්තාවීම ඉතා අවම ප්‍රතිශතයකි. එහෙත් මෙරට කොවිඩ් 19 මරණ වාර්තා වීම පිළිබඳ ගෙවුණු දෙසතියේ යම් සමාජ සංවාදයක් ඇතිවී තිබේ. අපිද එහි පාර්ශවකරුවන් වීමට තීරණය කළෙමු. මෙරටදී වාර්තා වෙන කොවිඩ් මරණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා විශේෂ අදහසක් මතුකර තිබුණි. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තාගත කරන බව ඔහු පෙන්වා දෙයි.

එම පැහැදිලි කිරීමට අනුව මෙරට සිදුවන කොවිඩ් මරණසෘජු කොවිඩ් ආශ්‍රිත මරණ සහ වක්‍ර කොවිඩ් ආශ්‍රිත මරණ ලෙස වර්ගකර දැක්වීම සිදුවේ. රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන කොරෝනා වෛරස් රෝගීන්ගේ මරණ සෘජුවම කොවිඩ් ආශ්‍රිත මරණ යනුවෙන් හඳුන්වනු ලබයි. මේ දිනවල සිදුවන සිය දිවි නසාගැනීම් ඇතුළු හදිසි මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වද්දී සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්ෂණවලදී කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවන වන මරණ වක්‍ර කොවිඩ් ආශ්‍රිත මරණ සේ සැලකෙයි. ඒ අනුව ගෙවුණු සතිය තුළ වක්‍ර කොවිඩ් මරණ කිහිපයක් සිදුවූ බව අපට පෙනීයයි.

උදාහරණයක් ලෙස ඔක්තෝබර් 30 වැනිදා දුම්රියට පැන සිය දිවි නසාගැනීමට තැත් කළ පානදුර ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණයාගේ මරණයත් දැක්විය හැකිය. එය ශ්‍රී ලංකාවේ වාර්තා වූ 22 වැනි කොවිඩ් මරණය විය. පසුව එම මරණය කොවිඩ් මරණයක් ලෙස නොසැලකීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කළේය. මෙම තරුණයාට වෛරසය වැළඳී ඇති බව තහවුරු වූයේ පශ්චාත් මරණ පරික්ෂණයේදී සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණය මගිනි. ඒ අනුව මෙය වක්‍ර මරණයක් බව පෙනී ගියේය. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් එම මරණය කොවිඩ් මරණයක් නොසැලකීමට මෙසේ කරුණු පැහැදිලි කර තිබුණි.

“2020 ඔක්තෝබර් මස 31 වැනි දින පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි 27 හැවිරිදි පුද්ගලයකු කොවිඩ් 19 ආසාදිතයෙක් බව පසුව තහවුරු කරන ලදී. මෙම පුද්ගලයා කොවිඩ් 19 ආසාදිතයන් අතර සිදුවූ 22 වැනි මරණය ලෙස වසංගත රෝග විද්‍යා අංශය විසින් වාර්තා කරන ලදී. එහෙත් මෙම මරණයට කොවිඩ් 19 රෝගයේ දායකවීමක් නොමැත. කොවිඩ් 19 රෝගයේ බලපෑම තක්සේරු කිරීම සඳහා වැදගත් වන්නේ එම රෝගයේ දායකත්වයෙන් සිදුවන මරණ බැවින් එම මරණය වෙනම වාර්තා කිරීමට තීරණය කර ඇත. මේ අනුව මේ දක්වා ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 21ක් පමණක් බව වාර්තා කරමි.”

කෙසේ වෙතත් පසුව මෙම තරුණයා ජීවත් වූ ප්‍රදේශය හුදකලා කිරීමටද සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගත්තේය. එම අවස්ථාවට සහභාගී වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දුන්නේ මෙම මරණය සමඟ ප්‍රදේශයට දැඩි අවදානමක් මතුවී ඇති බවයි. ඒ අනුව වක්‍ර කොවිඩ් මරණ වාර්තාවීම ඉහළ යාම හරහා සමස්ත රටම දැඩි අවදානමකට ලක්වන බව පෙනීයයි. මෙම මරණ කොවිඩ් මරණ ලෙස වාර්තා කළද නොකළද මතුවන අවදානම සුළුකොට තැකීමට හැකියාවක් නොමැත.

කොවිඩ් මරණ වැඩිවීම පිළිබඳ සැලකීමේදී මතුවන විශේෂ අවදානමක් සම්බන්ධවද අද වනවිටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කතාබහක් නිර්මාණය වී තිබේ. ඊට අනුව කියැවෙන්නේ මෙරට ජනගහනයෙන් පහෙන් එකක් පමණ වැඩිහිටියන් ජීවත්වන බැවින් වෛරසය අධික ලෙස සමාජයට කාන්දු වුවහොත් මරණ සංඛ්‍යාව වැඩිවීමේ අවදානමක් ඇති බවයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යා 10,000ට වැඩිවීම සමඟ මරණ සම්බන්ධයෙන් රටක් ලෙස අපට දරුණු ලෙස පීඩා විඳීමට සිදුවනු ඇතැයිද මීට සමගාමීව කියැවේ. එනිසාවෙන් ඉදිරියේ ප්‍රවේසම් නොවුණොත් රෝගීන් සහ මරණ වැඩිවිය හැකි බවද සමස්ත සාමාජය අවබෝධ කර ගත යුතුය.

අප මෙම සටහන තබන මොහොත වනවිට වාර්තවන කොවිඩ් මරණය 24න් ද වැඩි දෙනෙක් වැඩිහිටි අය සහ නිදන්ගත රෝග ඇති අය බව පෙනීයයි. මෙලෙස මරණ වාර්තා වීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංගමයේ දැඩි අවධානයක් යොමුව තිබේ. ඔවුන් සෘජු සහ විවෘතව අදහස් දක්වයි. ඒ අනුව මෙරට කොරෝනා හා මරණ සංඛ්‍යාව ඉහළ යාම යම්කිසි බරපතළ තත්ත්වයක් බව සියලුදෙනා අවබෝධ කරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එනිසා වෛරසයේ අවදානම් කාණ්ඩ රැකගැනීම සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගතයුතු බවද ඔහු පෙන්වා දෙයි.

එසේ නොකළහොත් කොරෝනා මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනු ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය අනතුරු අඟවයි. ඉදිරි මාස දෙකක කාලය ඇතුළත මෙම තත්ත්වයට මුහුණ දීමට විශාල ඉඩකඩක් ඇති නමුත් එම තත්ත්වය තවදුරටත් පවතින්නේ වළක්වා ගත හැකි මට්ටමේ බව ඔවුන්ගේ අදහස වී තිබේ. එනිසා එක් එක් ප්‍රදේශවල ඇති නියම අවදානම එහි ජනතාවට නොසඟවා පවසන ලෙසද ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

මේ අතර මරණ සංඛ්‍යාව ඉහළ යාමට මෙවර පැතිරෙමින් ඇති වෛරසයේ බරපතළ බවද හේතුවනු ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබේ. පසුගියදා මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්-19 වෛරසය “B.1.42” යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වීමත් සමඟ මෙම මතය සමාජ ගතවී ඇත. එහි යම් සත්‍යතාවක්ද ඇති පෙනී යන්නේ කොවිඩ් දෙවැනි රැල්ලේ ආසාදිතයින්ගේ සංකූලතා ඉහළ මට්ටමක වේ යැයි කියවෙන වාර්තා හේතුවෙනි.

කොරෝනා මරණ පිළිබඳ අවධානය යොමුකිරීමේදී ලෝක මට්ටමින් එළඹෙන සීතකාලය පිළිබඳවද අවධානය යොමුකර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් පවා නිකුත් කරමින්  පෙන්වා දෙන්නේ සීත කාලයේ කොවිඩ් වසංගතයට මුහුණ දීමට දුප්පත් පවුල්වලට ඉතා අපහසු වනු ඇතැයි ද තම නිවාස උණුසුම්ව පවත්වා ගැනීම ඔවුනට දැඩි අභියෝගයක් වනු ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි. එම නිසා ශීත කාලයේ මහජනතාවට පහසුකම් සැපයීම පිළිබඳ ඔවුන් යුරෝපාකරයේ රටවල අවධානය යොමුකර ඇත. කෙසේ වෙතත් මෙරට දැඩි ශීත කාලයක් නොවූවද පොදුවේ වයෝවෘද්ධ අය කෙරෙහි ඉදිරි මාස දෙක තුළ අවදානමක් පවතින බව කියැවේ. ඒ අනුව මේ ගෙවෙන්නේ අධි අවදානම් කාලයක්, වකවානුවක් බව අප අවබෝධ කර ගත යුතුය. එම නිසාම සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීමට අප හැම සිත තබාගත යුතුය.

 චමිඳු නිසල් ද සිල්වා