මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත රෝගීන්ගේ වර්ධන තත්ත්වය පාලනය කිරීමට මහජනතාව එක්රැස් වෙන කටයුතු සිදු නොකිරීමට රජය තීරණයක් ගෙන තිබිණි. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ බලධාරීන් හා පොලීසිය එක්ව ගනු ලැබූ එම තීරණය එවකට සිටි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ උද්ගතව ඇති අවදානම නිසාය.
බස්නාහිර පළාත මූලිකව තවත් ප්‍රදේශ ගණනාවකට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය පවතින අතරතුර සමයේ යළිත් දැනුම් දෙනතුරු රට පුරා සියලු උත්සව තහනම් කිරීමට මෙහිදී රජය තීරණය කොට තිබිණ. ඒ අනුව ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහර හා අත්‍යාවශ්‍ය නොවන රැස්වීම් රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු පැවැත්විය නොහැකි බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තරයේම දන්වනු ලැබීය.
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික් ඇතුළුව බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පනවා තිබියදී එම පළාතට ඇතුල්වීම හා එම පළාතෙන් පිටවීමද සම්පූර්ණයෙන්ම තහනම් කොට තිබුණි. එතෙකින් නොනැවතුණ බලධාරීන් ජනතාව ඒකරාශී වන සියලු ආකාරයේ උත්සව පැවැත්වීම සපුරා තහනම් කොට තිබිණි. ඒ මහජනතාවගේම ආරක්ෂාව උදෙසාය. බහුතරයක් ජනතාව එම උපදෙස් අවවාද නිසිලෙස පිළිපදින පසුබිමක විවාහ මංගල උත්සවයක් කොළඹ කොල්ලුපිටියේ පිහිටි තරු පන්තියේ හෝටලයක හරසරින් පවත්වා ඇති බවට වාර්තා විය. ඒ ඇඳිරි නීතිය පනවා තිබූ ඉකුත් 30 වැනිදා පෙරවරුවේය.
සතියකට පෙර දිනය 30 වැනි සිකුරාදාය. කොළඹ ගෝල්ෆේස් පිටියට නුදුරුව ප්‍රධාන මාර්ගයකට මුහුණලා පිහිටි ප්‍රධාන පෙළේ තරු පන්තියක හෝටලයකි. වතුකරය නියෝජනය කරමින් දේශපාලනයේ නිරත ප්‍රබලයෙක්ද එහි සිටි බවද පැවසිණි. ඔහුගේ ඥාතියකුගේ විවාහ මංගල උත්සව පැවැත්වීමට සූදානම් බව පෙනෙන්නට තිබිණ. එහෙත් බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක මොහොතේ කෙරෙන කාර්යය නීතිවිරෝධීය.
වැඩිවේලාවක් ගතවන්නට මත්තෙන් කොල්ලුපිටිය පොලීසියට ලද දුරකතන ඇමතුමකි. සියලු උත්සව තහනම් වෙලාවක සුපිරි මංගල සාදයක් පැවැත්වෙන බව පවසා තිබිණ. වහා ක්‍රියාත්මක වූ කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීහු අදාළ හෝටලය වෙත ගොස් උත්සවය පැවැත්වූ ශාලාවට ඇතුල් වූහ. ඒ වනවිටත් ද්‍රවිඩ විවාහ මංගල උත්සවයක් පැවැතී ඇත. විශාල පිරිසක් සහභාගී නොවුණද සාදය ඉහළ තලයේ එකකි. වතුකරය නියෝජනය කරන දේශපාලන ප්‍රබලයාද පොලීසිය හමුවේ කරුණු කීමට ඉදිරිපත්ව සිටි බවද කියති. විවාහ ගිවිස ගැනීමක් චාම්ව සමරන බවද ඔහු කියා ඇතැයි සඳහන්ය. කෙසේ වුවද පසුව නිවේදනයක් නිකුත් කරමින් අදාළ දේශපාලනඥයා ප්‍රකාශ කර තිබුණේ අදාළ උත්සවයට තමන්ට කිසිදු සම්බන්ධයක් නොතිබූ බවය.
මේ උත්සවයේ මනාලයා සහ මනාලිය කොටහේන හා වත්තල ප්‍රදේශවල පදිංචිකරැවන් බවට කියා තිබිණි. කෙසේ වුවද පනහක විතර පිරිසක් සහභාගීව නිරෝධායන ඇඳිරි නීතිය කඩකරමින් පැවැත්වූ අදාළ විවාහ උත්සවය පොලීසිය මැදිහත්වීමෙන් නතර කොට තිබිණ.
පවතින අවදානම් මොහොතේ මෙවැනි සාදයකට ඉඩදීම තරුපන්ති හෝටලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙන්ම කළමනාකාරීත්වයේ වරදකි. ඔවුන්ට මෙන්ම උත්සව සංවිධායකයන්ට හා සහභාගී වූවන්ටද පොලිසිය තරයේ අවවාද කොට තිබිණ. ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසූවේ සී.සී.ටී.වී. කැමරා දර්ශන ආශ්‍රයෙන් සහභාගී වූවන් හඳුනාගැනීමට කටයුතු කරමින් සිටින බවය.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදී මෙවැනි උත්සව කිහිපයක් හොර රහසේ නිරෝධායන ඇඳිරි නීතිය කඩකරමින් පවත්වා ඇති බවට සිය සංගමය වෙත තොරතුරු ලැබී ඇති බවය. ඒවා දෙහිවල ඇතුළු ප්‍රදේශ කිහිපයක පවත්වා ඇතැයිද කීය. එවැනි සාදයක් පැවැත්වූ එක්තරා හෝටලයකට සහභාගී වූවන් සමඟ සේවක පිරිසද නිරෝධායනයට යොමුකිරීමට සිදුවූ බවද කියා සිටියේය.
පැවති ඇඳිරි නීතිය සහ සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් හක්මණ ප්‍රදේශයේ නිවසක පැවැත්වූ මත්පැන් සාදයක් වටලා තරුණයන් හයදෙනකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය වාර්තා කළේය. මේ අතර ඇඳිරි නීතිය මැද ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ මත්පැන් සාදයක් පැවැත්වූ පිරිසක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මීට ඉහත නාවික හමුදාවට කොවිඩ් ආසාදනය වී තිබුණේ මෙම ප්‍රදේශයේ මෙහෙයුමකට සහභාගී වීමෙන් පසුවය. ඇඳිරි නීතිය සහ සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් මත්පැන් සාද පැවැත්වූ බව කියන තරැණයන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කිරීමට කටයුතු කොට ඇත.
කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීමට ජනතාව ඒකරාශී වන සියලු ආකාරයේ උත්සව පැවැත්වීම සපුරා තහනම් කෙරුණද යම් තරමක සහනයක් ලෙස අවදානම අඩු ප්‍රදේශවල නම් විවාහ උත්සවයක් සඳහා 50 දෙනකුත් අවමඟුල් උත්සවයක් නම් රැඳී සිටින පිරිස 25ක්ද කොවිඩ් රෝගී මරණයක් නම් සෞඛ්‍ය උපදෙස් මත මරණකරුගේ ළඟම නෑදෑ කෙනකු පමණක් වශයෙන් සහභාගී වීමට දැනුම්වත් කොට තිබේ. මේ නීති උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වන කවරෙකුට වුවද නව නිරෝධායන නීති යටතේ කටයුතු කිරීමට පොලීසිය සූදානමිනි.
සමන්ත ප්‍රදීප් විල්තෙර