රටක කාලීන අවශ්‍යතා අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අලුතින් සම්පාදනය කිරීම හෝ නව සංශෝධන ගෙන ඒම හෝ සිදුවිය යුත්තකි. ලෝකයේ දියුණු වන රාජ්‍යයන් පරණ ව්‍යවස්ථාවන් මතම රාජ්‍ය පාලනය ගෙන යන්නේ නැත. 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවට වසර හතළිස් දෙකක් පිරී ඇත. වසර හතළිස් දෙකක් යනු සැලැකිය යුතු කාලයකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම එරටේ දේශපාලනයේ අනාගතය පිළිබඳ ඉතා තීරණාත්මක, වැදගත් කාරණයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වූ පසු සාකච්ඡා කළ යුත්තේ එකී සංශෝධනය රටේ දේශපාලනයට, ජනතාවට බලපාන්නේ කුමන ආකාරයෙන්ද යන කාරණය සම්බන්ධයෙනි.
ලබන වසරේ නොවැම්බර් මාසයට යෙදෙන ජනාධිපතිවරයාගේ දෙවැනි පදවි ප්‍රාප්ති සැමරුමට පෙර මුළුමනින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව ආණ්ඩුව ප්‍රකාශ කොට තිබේ. එහිදී විසිවැනි සංශෝධනයේ ඇතැම් කොටස්ද යළි සංශෝධනය කිරීමටද තීරණය වී තිබේ. මේ නිසා විසිවැනි සංශෝධනයේ අන්තර්ගතය පිළිබඳ සාකච්ඡා නොකළද එම සංශෝධන ක්‍රියාදාමය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාදාමයට ඉතා වැදගත් වනු ඇත.
දහනවය හා විස්ස පිළිබඳ සංවාදයේදී මතු වූ වැදගත්ම කරුණක් වන්නේ සංශෝධන දෙක තුළම සාධනීය ලක්ෂණ මෙන්ම නිෂේධනීය ලක්ෂණද ඇති බවය. ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පුළුල් කතිකාවකට දොර විවෘත කරදීම යහපත් ප්‍රවණතාවකි. ජනතාවට කන්දීම, වියතුන්ට කන් දීම, දේශප්‍රේමී සංවිධාන සමඟ සාකච්ඡා කිරීම වැනි සාධක දේශපාලන වශයෙන් ඉතා වැදගත්ය. එලෙසම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමද පියවරෙන් පියවර ඉදිරියට යා යුතු කාරණයකි. එහිදී සියලු පක්ෂ සමඟ මෙන්ම විවිධ සංවිධාන සමඟද සාකච්ඡා කරන තැනකට යෑම ඉතා ප්‍රයෝජනවත්ය. නව ව්‍යවස්ථාවක් සම්පාදනය විය යුත්තේ සියල්ලන්ගේම සහයෝගය හා විශ්වාසය ඇතිවය. එය සාමූහික ප්‍රයත්නයක් වීම වඩා සුදුසුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු එක් පුද්ගලයකුගේ, පක්ෂයක හෝ කණ්ඩායමක අවශ්‍යතාව වෙනුවෙන් සම්මත කළ යුත්තක් නොව, රටේ සියලු දෙනාගේ හිතසුව පිණිස ගෙන ආ යුත්තකි. එසේම ව්‍යස්ථාවක් ගෙන ආ යුත්තේ අදට පමණක් නොව හෙටට ද ගැළපෙන පරිදිය. එසේම කා සමග හෝ ඇති ඇරියස් කවර් කිරීමට නොවන බවද සිහිපත් කළ යුතුය.
ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා
^78 ව්‍යවස්ථාවෙන් මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ටිකින් ටික සම්පූර්ණයෙන් අහිමි කළා. එතෙක් සිය කොට්ඨාශය නියෝජනය කළ මන්ත්‍රීවරයා ජනතාවට අහිමි කළා. ඒ වෙනුවට හඳුන්වා දුන් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ නිසා ආණ්ඩු පිහිටුවීමේ බලය සුළුතර අන්තවාදීන් අතට ගියා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සඳහා උවමනා ඡන්ද ප්‍රතිශතය 12.5 සිට 5 දක්වා අඩු කරන්න 15 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කටයුතු කළා. එය තත්ත්වය තවත් බරපතළ කළා. මේ නිසා 2009 යුද ජයග්‍රහණය අවස්ථාව හැරුණු විට අපට කිසිම අවස්ථාවක ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවා ගන්න බැරි වුණා. රටේ මොන ප්‍රශ්න ඇති වුණත් ආණ්ඩුව මොන වරද කළත් පාර්ලිමේන්තුව අවුරුදු හතරහමාරක් යනතුරු විසුරුවන්න බැරි තැනට 19 වැනි සංශෝධනයෙන් නීති සම්මත කළා. මේ නිසා මුළු රටම අස්ථාවර වුණා. අපට පුරවැසියගේ ජීවිත ආරක්ෂා කරගන්න බැරි වුණා. දැන් 78 ව්‍යවස්ථාව 20 වතාවක් සංශෝධනය වෙලා තියනවා. ඒ නිසා දැන් මේ රටට අවශ්‍යය රට සුරකින ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමයි.
මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දින සීයක් ඇතුළත කඩිනමින් ගෙනා එකක්. ඔවුනුත් විසි වෙනි සංශෝධනයක් ගෙනෙන බවට පොරොන්දු වුණා. හැබැයි විසිවැනි සංශෝධනයක් ආවේ නැහැ. 19 තුළ සාධනීය කරුණු ගණනාවක් ආවා. ද්විත්ව පුරවැසිභාවය එම සාධනීය කරුණු අතර එකක් බව අපි දකිනවා. මෙහි දේශපාලන අරමුණක් තිබෙන්න පුළුවන්. එක දේශපාලන කණ්ඩායමක්, එක පවුලක් ඉලක්ක කරලා ඔවුන් දේශපාලන අරමුණක් ජයක් ලැබුවා වෙන්න පුළුවන්. ඒක නැහැ කියන්න අපිට හැකියාවක් නැහැ. එය සම්පාදනය වෙන විට එය අභ්‍යන්තරිකව සිදු වුණාද කියලා අපි දන්නේ නැහැ. එසේ හොඳ අරමුණකින් නොවන දෙයකින් වුණත් එය රටට යහපත්. රටේ තීන්දු ගන්න ආයතනවල සිටින අයට ද්විත්ව පුරවැසිභාවයක් තිබෙන්න බැහැ. සිවිල් සංවිධානවල නායකයන්ට පවා ද්විත්ව පුරවැසිභාවයක් තියෙනවා නම් ඔවුන්ට සුජාත අයිතියක් නැති වෙනවා. රට වෙනුවෙන් බලපෑමක් කරන තීන්දු ගන්න ස්ථානයක සිටිනවා නම් වෙනත් රටක පුරවැසිභාවයක් නොතිබිය යුතුයි. එය මැතිවරණ කොමිසමටත් අනෙක් කොමිසම් සභාවලටත් අදාළයි. ඔවුන් ගන්න තීන්දු රටට යහපත් වෙන්නත්, අයහපත් වෙන්නත් පුළුවන්. රටට අයහපත් වුණොත් ඔවුන් රට අතහැර යන්න පුළුවන්. එහිදී රට වෙනුවෙන් ඔහුට කොපමණ බැඳීමක් තියෙනවාද කියලා බලන්න වෙනවා. මේක පෞද්ගලිකව බලපාන දෙයක් නොවේ රට වෙනුවෙන් බලපාන කරුණක්. මේක ආණ්ඩුව සම්බන්ධයෙන් හෝ ඊට සම්බන්ධ ප්‍රධාන කණ්ඩායම් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. අපි මාර්තු 12 ව්‍යාපාරය ලෙස පැවැති ආණ්ඩුත් සමග සාධනීය කරුණුවලදී අත්වැල් බැඳගත්තා. විස්සේ සමහර ඒවට අකමැති වගේම රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙනැල්ලා රටට යහපත් ලෙස කටයුතු කළොත් ඊට අපි දෑත් දෙකම ඔසවා සහයෝගය දෙනවා.
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
සියලු කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා අනිවාර්යයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් වෙන්න ඕනේ. ඒ සඳහා බලවත් පාර්ලිමේන්තුවක් මේ වනවිට තිබෙනවා රට හදන දැක්ම එක්ක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මීළඟ වගකීම විය යුත්තේ හැකි ඉක්මනින් සංඝයා වහන්සේලාගේ, විද්වතුන්ගේ, සමාජයේ අනිකුත් පුර වැසියන්ගේ අදහස් විමසලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් රටට ඉදිරිපත් කිරීම.
අධිනීතිඥ ලාල් විජේනායක
මේ වනවිට වර්තාමාන ආණ්ඩුව 20 වැනි සංශෝධනය සම්මත කර ගෙන තිබෙනවා එමගින් මෙරට පුරවැසියන්ට අත් වන්නේ විශාල අවාසියක් 19 වැනි ව්‍යවසථා සංශෝධනය තුළ තිබුණු කරුණු සම්පූරණයෙන් අහෝසි කරලා ඔවුනට හිතැති ව්‍යවස්ථා සංශෝධනයක් තමයි මේ ආණ්ඩුවක සම්මත කර ගත්තේ මෙහෙම විටින් විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට අවශ්‍ය නැහැ ඒ වගේම අපිට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් නැහැ ඒ ගැන කිසිදු සැකයක් නැහැ.
සටහන: හසිත් අංජන