2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

වයස්ගතම අපේක්ෂකයන් තරග වදින ඇමෙරිකානු ඡන්දය

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 157

ඇමෙරිකානු ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් 3 වැනිදා අඟහරුවාදා පැවැත්වීමට නියමිතය මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනා වනුයේ රිපබ්ලිකන් පාක්ෂික වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා  ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් ය. මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලය සඳහා තරග වදින අතර ජෝ බයිඩන් පළමුවරට ජනාධිපතිවරණයට මුහුණ දෙයි.  මේ හැර තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙක්ම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිති.  ලිබටේරියන් පක්ෂයෙන් තරග වදින ජෝ ජෝර්ජෙන්සන්,  හරිත පක්ෂයෙන් තරග කරන හොවි හෝකින්ස්, සමාජවාදී හා නිදහස් පක්ෂයෙන් තරග වදින ග්ලොරියා ලා රිවා, සන්ධාන පක්ෂයෙන් තරග වදින රොකි ඩි ලා ෆොන්ටේ, කොන්ස්ටිටියුෂන් පක්ෂයෙන් ඉදිරිපත්වන ඩොන් බ්ලැන්කන්ෂිප්  ද ඒ අතර වෙති.  කෙසේ වුවද ජනාධිපති තරගය පවතින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජෝ බයිඩන් අතරය.

ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම සෑම වසර හතරකට වරක් පැවැත්වෙයි. එය  පැවැත්වෙන්නේ නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසුව එළැඹෙන පළමු වන අඟහරුවාදා දිනයේදීය.  ඒ අනුව එම දිනය මෙවර නොවැම්බර් 3 වැනිදාට යෙදී තිබේ.

වෙනත් බොහෝ රටවල් මෙන් නොව, ඇමෙරිකානු දේශපාලන ක්‍රමය තුළ ආධිපත්‍ය පතුරුවාලන්නේ පක්ෂ දෙකක් පමණි. එබැවින් සැමවිටම ජනාධිපතිවරයා ලෙස පත්වන තැනැත්තා මෙම පක්ෂ දෙකෙන් එකකට අයත් වේ. රිපබ්ලිකන් පක්ෂය යනු ඇමරිකාවේ සම්ප්‍ර‍දායික දේශපාලන පක්ෂය වන අතර මෙවර ඔවුන්ගේ පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා වන්නේ, තවත් වසර හතරකට සිය බලය තහවුරු කරගැනීමට බලාපොරොත්තු වන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ය.
ඩිමොක්‍ර‍ටික් පක්ෂය යනු ඇමෙරිකාවේ ලිබරල් දේශපාලන පක්ෂයයි. ඔවුන්ගේ අපේක්ෂකයා වන්නේ 1970 දසකයේ සිට දේශපාලනයේ නිරතව සිටින අත්දැකීම් බහුල දේශපාලනඥයකු මෙන්ම හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ උප ජනාධිපති ලෙස වසර අටක් පුරා සේවය කළ ජෝ බයිඩන්ය. 

ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙනත් රටවල පැවැත්වෙන මැතිවරණ ක්‍රමයට වඩා වෙනස්ය. ජනාධිපතිවරයා පත්කර ගැනෙන්නේ සෘජුවම ඡන්දදායකයන් විසින් නොවේ. එය ඡන්ද විද්‍යාලය (Electoral College) නම් ක්‍රමයක් මගින් සිදු කෙරෙන්නකි. ජනතා ඡන්දය වෙනුවට, ඡන්ද විද්‍යාලය සඳහා වූ ඡන්ද දිනාගැනීම සඳහා අපේක්ෂකයෝ තරග කරති. ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට යන ඇමෙරිකානු ඡන්දදායකයා තම ඡන්දය ප්‍රකාශ කරනුයේ ඡන්ද විද්‍යාලය (Electoral College) ලෙස හඳුන්වන  කණ්ඩායමකටය.

ඔවුන් විසින් ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා තෝරාගැනීම සිදු කරයි. සෑම ප්‍රාන්තයකටම එහි ජනගහණය මත පදනම් වූ නිශ්චිත ඡන්ද ප්‍රමාණයක් ඡන්ද විද්‍යාලය සඳහා හිමිවන අතර ඡන්ද විද්‍යාලයේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 538කි. ඒ අතරින් ඡන්ද 270ක් හෝ ඊට වැඩියෙන් ලබාගන්නා අපේක්ෂකයාට ජයග්‍ර‍හණය හිමි වේ.

එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිය ප්‍රකාර පුද්ගලයකු ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට නම් එම පුද්ගලයා එක්සත් ජනපදයේ උපන් පුරවැසියකු විය යුතු අතර අවම වශයෙන් අවුරුදු 35 ක් වත් එරට පදිංචිකරුවකු විය යුතුය. සෑම පක්ෂයක්ම තම පක්ෂයෙන් අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා ක්‍රමවේදයක් (ප්‍රාථමික මැතිවරණයක් වැනි) අනුගමනය කරයි. ප්‍රාථමික මැතිවරණ යනු සාමාන්‍යයෙන් වක්‍ර මැතිවරණයක් වන අතර එහිදී ඡන්දදායකයෝ යම් අපේක්ෂකයකු ෙවනුෙවන් පත් වූ නියෝජිතයන් සඳහා ඡන්දය ප්‍රකාශ කරති. පක්ෂයේ නියෝජිතයින් පක්ෂය වෙනුවෙන් තරග කිරීම සඳහා අපේක්ෂකයෙකු නිල වශයෙන් නම් කරති. (ජනාධිපතිවරයා නොතකා නියෝජිත ඡන්දයෙන් තම උප ජනාධිපති අපේක්ෂකයා නම් කරන ලිබර්ටේරියන් පක්ෂය හැර) ජනාධිපති අපේක්ෂකයා විසින් උප ජනාධිපතිවරයකු තෝරා ගනු ලබන අතර, පසුව පක්ෂ සමුළුවේදී නියෝජිතයන් විසින් එය අනුමත කරනු ලැබේ. මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය අවම ඡන්ද 270 කිසිදු අපේක්ෂකයකුට නොලැබුණහොත්, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයන් තිදෙනා අතුරින් එක් අයකු ජනාධිපතිවරයා ලෙස තෝරා ගනු ලබන අතර එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් උප ජනාධිපතිවරයා තෝරා ගනු ලැබේ. 

කොරෝනා වසංගතය හමුවේ ඇමරිකානු වැසියන් 232,000 කට අධික පිරිසක් මරණයට පත්වීම, ජෝර්ජ් ෆ්ලොයිඩ් සහ අනෙකුත් අප්‍රිකානු ඇමරිකානුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇති ජනතා විරෝධය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෑත් බේඩර් ගින්ස්බර්ග්ගේ අභාවයෙන් පසු බොහෝ දෙනකුගේ විරෝධය මත ඇමී කෝනි බැරට් ඒ සඳහා නම් කිරීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් පාක්ෂිකයන්ගේ විරෝධය පළ වී තිබේ. ට්‍රම්ප් සිදුකළ මෙම මැදිහත්වීම එරට මහාධිකරණයේ සහ සෙනෙට් සභාවේ විශ්වසනීයත්වයට හානිකර වන බව ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රකාශ කරයි. මෙවැනි කරුණු මෙවර ජනාධිපතිවරණයේදී  ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව බලපානු ඇත.  එමෙන්ම දේශගුණික විපර්යාස රෙගුලාසි - විශේෂයෙන්  ට්‍රම්ප් ඉල්ලා විසින් අස්කර ගැනීමට සැලසුම් කර ඇති පැරිස් ගිවිසුම - සහ දැරිය හැකි සත්කාර පනතේ අනාගතය, ව්‍යවස්ථාවේ විෂය පථයේ ඇතැම් විධි විධාන අවලංගු කිරීමට හෝ සීමා කිරීමට ට්‍රම්ප් ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් පැන නැගී තිබේ. මෙම විධිවිධාන ආරක්ෂා කිරීම හා පුළුල් කිරීම සඳහා බයිඩන් කටයුතු කරන බව පැවසේ.

තමන් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුවහොත් රටින් පිටව යන බව ට්‍රම්ප් මැතිවරණ රැලියකදී ප්‍රකාශ කර තිබේ. තමාට  ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ නරකම අපේක්ෂකයා සමඟ තරග කිරීමට සිදුව ඇති බවත් එය විශාල පීඩනයක් බවත් ඔහු කියා ඇත.  ආදායම් බදු නොගෙවීම, පෞද්ගලික පුරවැසියකු ලෙසත් සිය පවුලේ ව්‍යාපාර වලිනුත් අයථා ලෙස මුදල් ඉපැයීම, අපහරණ, අල්ලස් සහ මූල්‍ය වංචා වැනි චෝදනා ට්‍රම්ප්ට එල්ල වී තිබේ. ඔහු ජනාධිපතිවරණයෙන් පරාජයට වුවහොත් එම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයකට මුහුණ දීමට ඔහුට සිදුවනු ඇත. 

ජනාධිපති ට්‍රම්ප්ගේ උප ජනාධිපති මයික් පෙන්ස්ය. ඇමෙරිකාවේ 48 වැනි උප ජනාධිපතිවරයා වන ඔහු 2013 සිට 2017 දක්වා ඉන්ඩියානා ප්‍රාන්තයේ 50 වැනි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය. සය වතාවක් නියෝජිත මන්ත්‍රිමණ්ඩලයේ සාමාජිකයකු ලෙසද ඔහු කටයුතු කර තිබේ.

ජෝ බයිඩන් තම උප ජනාධිපතිවරිය ලෙස නම් කර ඇත්තේ  සෙනෙට් සභික කමලා හැරිස්ය. ඇය පළමු අප්‍රිකානු-ඇමරිකානු, පළමු ඉන්දියානු-ඇමරිකානු, පළමු ආසියානු-ඇමරිකානු සහ තුන්වැනි (1984 දී ජෙරල්ඩින් ෆෙරාරෝ සහ 2008 දී සාරා පේලින්ට පසුව) කාන්තා උප ජනාධිපති අපේක්ෂිකාවද වන්නීය.  

2020 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා 2021 ජනවාරි 20 වන දින සිට තම ධුර කාලය ආරම්භ කිරීමට නියමිතය. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන  අපේක්ෂකයන් දෙදෙනාම 70 විය ඉක්මවූවෝ වෙති. ජනාධිපති ට්‍ර‍ම්ප් දෙවැනි වරට පත් වුවහොත් ධූර කාලය ආරම්භ වන විට 74 වැනි වියට පා තබන අතර 78 හැවිරිදි බයිඩන් ජයග්‍ර‍ණය කළහොත්, ඔහු ඇමෙරිකානු ඉතිහාසයේ පළමුවරට තේරී පත්වන වයස්ගතම ජනාධිපතිවරයා වනු ඇත. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම 70 විය ඉක්මවූවන් වූ පළමු ජනාධිපතිවරණය මෙය වෙයි.

මෙවර ජනාධිපතිවරණය පිළිබඳ අනාවැකි රුසක් අසන්නට ලැබේ. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින බවක් පෙනෙන්නට තිබේ. එහෙත් එම අනාවැකි ඇතැම් විට නිවැරදි නොවන්නට පුළුවන. 2016 දී මෙවැනි මත විමසුම්වලින් ඉදිරියෙන් සිටියේ හිලරි ක්ලින්ටන්ය. ඇය ඩොනල්ඩ් ට්‍රම්ප් ට වඩා ඡන්ද මිලියන තුනකින් පමණ ඉදිරියෙන් සිටියාය. එහෙත් ඇය පරාජයට පත් වූවාය. ඒ ඇමෙරිකාව පවතින ඡන්ද විද්‍යාල ක්‍රමය නිසාය. ඒ අනුව වැඩි ඡන්ද හිමිකර ගත්තේ වුවද එම අපේක්ෂකයා සැමවිටම ජනාධිපතිවරණය ජයග්‍රහණය නොකරන බව පෙනෙන්නට තිබේ. එහෙත් ගතවූ වසර හතරක කාලය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවාදාත්මක හැසිරීම හා කොරෝනා පාලනය සඳහා එතරම් උනන්දුවක් නොදැක්වීම, ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දුන් ආධාර නවතා දැමීම වැනි කරුණු හමුවේ ඔහුගේ ජනප්‍රියත්වය හීන වී තිබේ. ඇමෙරිකානු ප්‍රජාවේ අපේක්ෂා සාක්ෂාත් කිරීමට ඔහු සමත් වූවාද යන්න මෙවර මැතිවරණයේයේදී දැකගත හැකිවනු ඇත. 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා