2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

ඇඳිරිය පැතිරෙයි: මෙහෙයුම් දැඩිවෙයි!

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

කොවිඩ් 19 ඉකුත් සතියේ පෙරළිකාර සටහනක් තැබුවේය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසංගතය ආරම්භයේ සිට කෙටිම කාලයකින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් හමු වූ ප්‍රථම අවස්ථාව ගෙවුණු දින 7ක කාලය තුළ වාර්තා වී තිබුණි. එය මිලියන 3කට ආසන්න විය. යුරෝපයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව  සියයට 40කින් පමණ ඉහළ ගොස් ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේය. සති අග වනවිට ලොව පුරා ආසාදිතයෝ කෝටි 4.5ට (44,726,705) ආසන්න වී තිබුණි. මරණ  1,178,375 ලෙස වාර්තා වූයේ බ්‍රහසපතින්දා වනවිටය. රෝහල්වල දැඩි සත්කාර ඒකක, රෝගීන්ගෙන් පිරී යාමත් සමග නිවෙස් වලටම අසාධ්‍ය නොවෙන රෝගින් සීමා කිරීමට බොහෝ රටවලට සිදුවිය. ලංකාවේ තත්ත්වයද එසේ විය.

ලංකාවේ ප්‍රථමවරට එකම දිනයේ මරණ 03ක් වාර්තා වූ අතර එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව විය. ඒ සමගම සමස්ථ මරණ ගණන 19 දක්වා ඉහළ නැංගේය. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 5,500 පන්නා වැඩෙමින් තිබුණි. මේ වනවිට කොවිඩ් මීටරයේ කලින් 132 මට්ටමේ සිට ඉහළට පැමිණ සිටි ලංකාව තිබුණේ 112 මට්ටමේය. සමස්ත ආසාදිතයන් ගණන 9,545 පන්නා තිබුණේ බ්‍රහස්පතින්දා උදාසන වනවිටය. ඒ සතියේ දින 06 තුළ පමණක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 2883 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

එක් දිනක් තුළ සිදුකළ වාර්තාගත වැඩිම පීසීආර් ප්‍රමාණයද ගිය බදාදා සිදුකර තිබුණි. එය 10,704කි. එම සතියේ ශෝචනීයම පුවතක් වූයේ මතුගම වලල්ලාවිට ප්‍රදේශයේ වයස මාස 3ක බිළිඳියකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවීමය. දිවයින පුරා පොලිස් කොට්ටාස 67කට නිරෝධායන ඇඳිරී නීතිය සති මැද වනවිට ක්‍රියාත්මක විය. කොළඹ අවදානම කඩිනමින් ඉහළ යන බව වාර්තා වීමත් සමග සතිඅග බස්නාහිර පළාතම වසා දැමීමට තීරණය කෙරුණි.
ඒ සමගම කොළඹ ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල සේවය කළ විශාල පිරිසක් නැවත  වතුකරයට පැමිණීමත් සමග වතුකරයේ ජන ජිවිතයට විශාල තර්ජනයක් එල්ලවීමේ අවදානමක් මතුවිය. 
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවූයේ ඉදිරි මාස දෙකක කාලය ඇතුළත මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනු ඇතැයි කියාය. ඒ වෛරසයේ අවදානමට ලක්වන කාණ්ඩ රුකගැනීම සඳහා නිවැරදි ක්‍රියාමාර්ග කඩිනමින් නොගතහොත් යැයි පෙන්වාදුන් ඔවුන් එක් එක් ප්‍රදේශවල ඇති නියම අවදානම එහි වාසය කරන ජනතාවට නොසඟවා පවසන ලෙසද ඉල්ලීමක් කළේ එවිට ජනතාව වගකීම් සහගතව සහගතව හැසිරීමට යම් පෙළඹවීමක් ඇති වෙනු ඇතැයි කියමිනි.

රෝහල් ඉඩකඩ සීමාසහිත වීමත් සමඟ මින් ඉදිරියට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොයාමට  තීරණය කැරිණි. එම පළමු ආශ‍්‍රිතයන් ඉදිරියේදී තම නිවසේ තුළම නිරෝධායනයට යොමු කරන බව ප්‍රකාශවිය. මේ අතර මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රුන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගත් බවට වාර්තාවක්ද එළියට ආවේය.

ලෝකයේ විවිධ රටවල මේ වනවිට නා - නා විධ 

පර් යේෂණ සිදුවෙයි. ඒ අතර අමුතු පුවත් රුසක්ම ඉකුත් සතියෙ කලඑළියට ආවේය.
ලොවපුරා සිදුව ඇති කොවිඩ් මරණවලට වායු දූෂණයේ බලපෑමක් පවතින බවට සිදු වූ එළිදරව්ව ඒ අතරින් කැපී පෙනෙන්නකි. එය අනාවරණය වී ඇත්තේ ජර්මානු හා සයිප්‍රස් විශේෂඥයන් පිරිසක් විසින් සිදුකළ අධ්‍යයනයකිනි. වායු දූෂණය හේතුවෙන් සෑම පුද්ගලයකුගේම අපේක්ෂිත ආයු කාලයෙන් වසර දෙකක් අඩුවන බවට මීට පෙර  සිදුකළ පර්යේෂණ වලින් අනාවරණය වී තිබේ.ලොව පුරා මේ දක්වා සිදුව ඇති කොවිඩ් මරණ වලින් සියයට 15කට වායු දූෂණයේ බලපෑමක් පවතින බවට නිගමනය කළ හැකි බව නව අධ්‍යයනය  කියයි. විශේෂයෙන් පෘථීවියේ පරිසර දූෂණය වැඩිම කලාපය ලෙස සැලකෙන නැගෙනහිර ආසියානු කාලාපයේ කොවිඩ් මරණවලින් සියයට 27කටම වායු දූෂණය හේතු වී ඇති බව එය අනාවරණය කර ඇත.

අලුත් සොයාගැනීම් ගැන ඇසෙනවිට මතුවන කුතුහලයවන්නේ කොවිඩ් 19 න් නිශ්චිතවම ගැලවීමට හැකි ප්‍රතිකාරයක්  තිබේද යන්නයි. පාලිත සායන පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ remdesivir යන ප්‍රති වෛරස ඖෂධය මගින්, අසාධ්‍ය නොවන එහෙත් දරුණු රෝගී තත්ත්වයේ රෝගීන් යළි සුවපත්වීම වේගවත් කරන බවයි. මීට අමතරව, ප්‍රතිප්‍රදාහික ස්ටෙරොයිඩ (anti-inflammatory steroid) ඖෂධයක් වන dexamethazone මගින් මරණියබව අඩුකරන බවද වාර්තාගතය.නමුත් මේ වනවිට ලොව අවධානය වැඩියෙන්ම යොමුව ඇත්තේ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදනය කර, මේ වන විට අවසාන සායනික පරීක්ෂාවන්ටද  ලක් කරමින් තිබෙන “ඔක්ස්ෆර්ඩ් වැක්සිනය” දෙසටය. මෙම වැක්සිනය, වියපත් වූවන් සම්බන්ධයෙන් මෙන්ම යොවුන් වියේ පසුවන්නන් සම්බන්ධයෙන්ද සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බව වාර්තාවේ. ඒ අනුව AZD1222 හෝ ChAdOx1 nCoV-19 යනුවෙන් හඳුන්වන මේ එන්නත 2021 වසරේ පළමු භාගයේදී වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැනොට් විශ්වාසය පලකර තිබුණි. නමුත් නත්තල් තෑග්ගක් ලෙස මෙයට කලින්ම එන්නට හැකි එන්නතක් ගැනද බලාපොරොත්තු මතුව තිබේ. එය ෆයිසර් සමාගම සහ ජර්මානු ආයතනයක් වන BioNTech SE, එක්ව නිපදවන්නකි. එයද දැන් සායනික පර් යේෂණ මට්ටමේ පවතින්නකි. දැනට පර් යේෂණ මට්ටමේ ඇති එන්නත් 6ක් අතින් වැඩි බලාපොරොත්තුවක් ඇත්තේ මෙම එන්නත් 2 පිළිබඳවය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කිසිදු එන්නතක් සියයට 100ක්ම සාර්ථක නොවන බවය. මේ නිසා ඇති එකම නිශ්චිත ගැලවිජ්ජාව නම් රෝගයට ගොදුරු නොවී සිටීමට නිර්දේශිත අත්සේදීම, මුවවැසුම් භාවිතය, මීටරයේ දුර, රංචු නොගැසීම වැනි පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය පමණක් බව අවධාරණය කළ යුතුමය.

 සුගත් පී. කුලතුංගආරච්චි