2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

පළතුරු වැවිල්ලෙන් ලක්ෂ ගණන් සොයන මඩාටුගම ගොවියෝ

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 146

ගොවිතැන පාඩු ලබන කර්මාන්තයක් බවට පත්ව ඇති බව බොහෝ දෙනා පවසති. බහුතරයක් ගොවීහු ද ඒ මතයේ සිටිති. යෙදවුම් මිල ඉහළ ගොස් ආදායම පහළ යාම ඊට හේතු බව ද ඔවුහු කියති. විශේෂයෙන්ම කෘෂි නිෂ්පාදනවලට සහතික මිලක් නොමැති වීම, අස්වනු නෙලන කාලයට මිල පහළ යාම හා ඉල්ලුම අඩුවීම, ගොවීන්ගේ ආදායම පහළ යාමට බලපා ඇති බව ඔවුහු පවසති.

මෙවැනි වාතාවරණයක් මැද ගොවිතැන ලාභ ලබන කර්මාන්තයක් බවට පත්කර ගත් ගොවීහු ද වෙති. අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනඟී* යන කියමන සිතට ගෙන දෝ මේ ගොවීන් සාම්ප්‍රදායික බෝග වෙනුවට නව බෝග වගා කොට ගොවිතැන ලාභ ලබන කෘෂිකර්මාන්තයක් බවට පරිවර්තනය කොටගෙන තිබේ.

මේ ගොවි පිරිස අපට හමුවූයේ හුරුළු වැව, මහවැලි කලාපයේ මඩාටුගම කොට්ඨාසයේදීය. වී වගාව, එළවළු හා අතිරේක ආහාර බෝග වගා සිදුකොට පාඩු ලැබූ ඔවුහු අද ඒ වගාවන්ගෙන් ඈත් වී පළතුරු වගාවට යොමුව සිටිති. ඩ්‍රුගන් ෆෘට්, කිලෝපේර හා කෙසෙල් යන පළතුරු වර්ග ඔවුහු බහුලව වගා කරති.

මඩාටුගම, කුඩා ඇළගමුව පදිංචි ලක්ෂ්මන් ජගත් මුණසිංහ මහතා පළතුරු වගාවට බට ගොවියෙකි. මේ ඔහු කී කතාවයි.

&මහවැලියේ එක ගොවියකුට කුඹුරු ඉඩම් අක්කර දෙකහමාරක් දීලා තියෙනවා. මේ මුළු ඉඩම් කොටසේ අපි එදා කළේ වී වගාව. ඒත් වී ගොවිතැනෙන් පාඩුයි. ලාභයක් ලබන්න බෑ. යන්තම් ජීවත් වෙන්න සෑහෙනවා. මේ තත්ත්වය මත මං කුඹුරේ ඉඩමේ අක්කරයක බිම් කොටසක කැවන්ඩීෂ් කියන කෙසෙල් වර්ගය වගා කළා. ඒ බිම් කොටසේ කෙසෙල් පැළ 500ක් හදලා තියෙනවා. ඊට අමතරව පටක රෝපණය කළ ඇඹුල් කෙසෙල් පැළ 50ක් හදලා තියෙනවා.

දැන් මං කෙසෙල් අස්වැන්න නෙලාගන්නවා. සතියකට වරක් කෙසෙල් කැන් 200ක් විතර කපනවා. සාමාන්‍යයෙන් කිලෝ 500ක් විතර. කෙසෙල් කිලෝවක් රුපියල් 80 – 90ත් අතර මිලකට අපෙන් ගන්නවා. මේ කෙසෙල් වගාවට මට රුපියල් ලක්ෂ තුනහමාරක් විතර වියදම් වෙලා තියෙනවා. ඒ වියදම දැන් මං අරන් ඉවරයි. ඊළඟට එන්නේ ලාභය. ඒ ලාභය වියදම වාගේ හය හත් ගුණයකින් වැඩිවෙන්න පුළුවන්.

වගා කටයුතු සිදුකිරීමේදී මුහුණපෑමට සිදුවන ගැටලුවක් ගැන ද ලක්ෂ්මන් ජගත් මහතා අනාවරණය කළේය.

පොහොර හිඟය අපට තදින්ම බලපානවා. මුදලට ගන්නවත් වෙළෙඳපොළේ පොහොර නෑ. අපට සහනාධාර පොහොර එපා. රුපියල් 1500 – 2000ට වුණත් කමක් නෑ. වෙළෙඳපොළේ පොහොර සල්ලිවලට ගන්න තියෙනවා නම් ඒ ඇති.
කුඩා ඇළගමුව පදිංචි එච්.එම්. තිලකරත්න මහතා ද වාණිජ වටිනාකමකින් පළතුරු වර්ග තෝරා බේරාගෙන වගා කරන ගොවියෙකි. මේ ඒ සම්බන්ධයෙන් ඔහු කී කතාවයි.

මං අක්කර දෙකක ඩ්‍රුගන් ෆෘට් වගා කරලා තියෙනවා. තවත් අක්කරයක කිලෝපේර වගා කරලා තියෙනවා. ඩ්‍රුගන් ෆෘට් වගාවක් දැකලා තමයි මටත් හිතුණේ මේ වගාව කරන්න ඕන කියලා. මේ වගාව ටිකක් ලොකුවට කරනවා නම් මූලික වියදම වැඩියි.

බිම සකස් කරලා පාත්ති දාන්න, කාණු පද්ධතිය සකස් කරන්න, කොන්ක්‍රීට් කණු ගන්න, ජල සම්පාදන පද්ධතිය සකස් කරන්න වාගේ මූලික කටයුතුවලට යන විදම ඉහළයි. ඔය කටයුතු සඳහා මට මේ අක්කර දෙකට රුපියල් ලක්ෂ 20ක් විතර වියදම් වුණා. ඒ වුණත් යන වියදම කෙටි කාලයකින් ලබාගන්න පුළුවන්. මාස හතරක් එකදිගට ඵලදාව ලැබෙනවා. ඩ්‍රුගන් ෆෘට් කිලෝවක මිල දැන් රුපියල් 300 – 350ත් අතර වෙනවා. සංචාරකයන් ආවා නම් මේ මිල මීට වඩා ඉහළ යනවා.

ඩ්‍රුගන් ෆෘට් වගාවට අපි යොදන්නේ 90෴ක් කාබනික පොහොර. විශේෂයෙන් හරක් ගොම. කලා වැව ඉස්මත්තේ ඕන තරම් ගොම පොහොර තියෙනවා. මං ඒ ගොම පොහොර ලබාගන්න කියලා මහවැලියෙන් හා ගොවිජන සේවා එකෙන් නිර්දේශත් අරන් ගියා. ඒත් වනජීවී අඩවියකට ඇතුළු වෙන්න දෙන්න බෑ කීවා. ඔය වැව් ඉස්මත්තේ ගොම පොහොර මිටි 4000කට වඩා තියෙනවා. ඒත් ගන්න දෙන්නේ නෑ.

ඊටපස්සේ මං මුතූර්වලින් එළු පොහොර ගෙනාවා. මෙහේ ඉඳලා කිලෝමීටර් 175ක් විතර දුර තියෙනවා. ඒ පොහොර උරයක් මෙහාට ගේනකොට රුපියල් 300ක් වාගේ මිල වෙනවා. මේවා තමා අපට මේ වගාවට තියෙන ප්‍රශ්න.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ගුවන් භටයකු සේ සේවය කොට ඉන් විශ්‍රාම ලබා පැමිණි මඩාටුගම, කුඩාඇළගමුව පදිංචි ඒ.ජී.එස්.කේ. ස්වර්ණතිස්ස මහතා ද ඩ්‍රුගන් ෆෘට් වගාව මහා පරිමාණයෙන් සිදු කරන්නෙකි.

ගුවන් හමුදාවේ අවුරුදු දොළහක් සේවය කරලා ඉන් ඉවත්වෙලා අද මං මේ ගොවිතැනට බැහැලා ඉන්නවා. මේ වගාව අපේ ප්‍රදේශයට අලුත් දෙයක්. මං මුලින්ම කළේ අක්කර භාගයයි. ඒ අක්කර භාගයට රුපියල් ලක්ෂ අටක් විතර මුදලක් වියදම් වුණා. ඩ්‍රුගන් ෆෘට් වගාව හොඳ ආදායමක් ගන්න පුළුවන් වගාවක්. ඒ නිසා තමයි බිම් ප්‍රමාණය තවත් වැඩි කළේ.

ඩ්‍රුගන් ෆෘට් වගාව සාමාන්‍යයෙන් කරන්නේ කොන්ක්‍රීට් කණුවක් වටා පැළ හතරක් බැගින් හිටවන එක. කණු දෙකක් අතර ලොකු ඉඩක් හිටිනවා. ඒ නිසා මං අලුත් ක්‍රමයක් සොයාගත්තා. කණු අතර කම්බි ඇදලා අර හිස් බිමෙත් පැළ හිටෙව්වා. කණු දෙකක් අතර පැළ හතරක් පහක් හදන්න පුළුවන්. ක්‍රමය සාර්ථකයි. භුමියෙනුත් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. අනික අර ක්‍රමයෙන් අක්කරයකින් ගෙඩි කිලෝ 500ක් කපන්න පුළුවන් නම් මේ අලුත් ක්‍රමයෙන් ගොඩි කිලෝ 700ක් විතර ගන්න පුළුවන්.

මේ වගාවට ජලය වැඩිපුර අවශ්‍ය නෑ. අපි භාවිත කරන්නේ විසුරුම් ජල පද්ධති. වගා ළිං මගින් ජලය අරන් විසුරුම් පද්ධතියට සම්බන්ධ කරනවා. අක්කරයක භූමියට විනාඩි පහළොවක් විතර වතුර ගැහුවාම ඇති. අනික මේ පළතුරු සඳහා රසායනික පොහොර, කෘමිනාශක, දිලීරනාශක යොදන්නේ නෑ. වස විෂ නැති පළතුරක් තමයි වෙළෙඳපොළට යවන්නේ.

මඩාටුගම, මුරුංගාහිටිකන්ද පදිංචි අයි.ජී.පී. ඉලංගරත්න මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.

වී, ලොකු ලූනු, එළවළු, මිරිස් වාගේ වගාවන් කරපු ගොවීන් මෙපමණ කාලයක් හොඳ ආදායමක් ලබන්න බැරි වුණා. ඒ නිසා මහවැලි ගොවීනුත් අද මේ ඩ්‍රුගන් ෆෘට් වගාවට වැඩිපුර යොමුවෙන බවක් පේනවා. විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගෙන තමයි මේ වගාව කරන්නේ. ඒත් පවතින කොරෝනා වසංගතය නිසා අද ඉල්ලුම අඩුවෙලා. කොහොම නමුත් දැනට කිලෝව රුපියල් 300ට විතර යනවා.

ඩ්‍රුගන් ෆෘට් සුදු, රතු හා කහ පැහැති වර්ග තුනක් තියෙනවා. ඒත් කහ පැහැ ඩ්‍රුගන් ෆෘට් මෙහේ නෑ. මේ බෝගය අවුරුදු 100ක් විතර පවතිනවා කියලා කියන්නේ. අවුරුදු 100ක් නැතත් අවුරුදු 40 – 50ක් තිබුණත් ඇති. පාඩුවක් නොවන වගාවක් ලෙස අපි අත්දැකීමෙන් දන්නවා.

කුඩාඇළගමුව පදිංචි ඒ.ජී. ස්වර්ණතිලක මහතා කීවේ මෙවැන්නකි.

&මං ඩ්‍රුගන් ෆෘට් වළවල් 25ක් හදලා තමයි මේ වගාව මුලින්ම ආරම්භ කළේ. ඒ 2017 අවුරුද්දේ විතර. දැන් අක්කර දෙකහමාරක බිමක මේ වගාව තියෙනවා. වළවල් 1600ක් තියෙනවා. අක්කරයක බිමකින් එක මුරයකට කිලෝ 5000ක් විතර ලබාගන්නවා. දින දහයකට වරක් ගෙඩි කපන්න පුළුවන්. අප්‍රේල් මාසයේ තමයි මල් හටගන්නේ. සාමාන්‍යයෙන් මුර තුන හතරක් අස්වැන්න ලබාගන්න පුළුවන්. එක මුරයකට මං කිලෝ 18000ක් විතර කපනවා. කාගිල්ස් සමාගමට තමයි මං අස්වැන්න දෙන්නේ. ඒ අය කිලෝව රුපියල් 340 ගානේ ගන්නවා. හොඳ ඉල්ලුමක් තියෙනවා. රටේ පවතින තත්ත්වය අනුව දැන් නම් ඉල්ලුම හා මිල අඩුවෙලා තියෙනවා.

මං පදිංචි නිවෙසේම කාමරයක් ශීතාගාරයක් කරලා ඩ්‍රුගන් ෆෘට් ඒකෙ ගබඩා කරනවා. මොකද හොඳ මිලක් වෙළෙඳපොළේ ඇතිවන තුරු ඩ්‍රුගන් ෆෘට් කල් තියාගන්න මේ ශීතාගාරයේ ගබඩා කර ගන්න පුළුවන්නේ. ඒ වාගේ ක්‍රම අනුගමනය කරන්නත් වෙනවා.

මඩාටුගම මහවැලි කොට්ඨාස කළමනාකාර ශාන්ති පද්මලතා මහත්මිය අදහස් දක්වමින් කීවේ මෙවැන්නකි.

අපේ කොට්ඨාසයේ අක්කර 62ක පමණ දැනට මේ ඩ්‍රුගන් ෆෘට් පළතුරු වගා කරලා තියෙනවා. සමහර ගොවි මහතුන් ව්‍යාපාරික මට්ටමින් වගාව පවත්වාගෙන යනවා. සාම්ප්‍රදායික වගාවන්ට වඩා වැඩි ආදායමක් හා ලාභයක් මේ අලුත් වගාවෙන් ලබාගන්න හැකි බව ගොවීන් කියනවා. ඒ නිසාම මේ පළතුරු වගාවට ගොවීන්ගේ වැඩි නැඹුරුතාවක් තියෙනවා. මූලික වියදම වැඩි වුණත් අස්වැන්න ලැබෙන්න පටන් ගත්තට පසුව වගාව නඩත්තු කිරීමට විතරයි වියදමක් දරන්න වෙන්නේ.
මහවැලිය මගින් ඒ ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම, ඒ වාගේම වගා ළිං ඉදිකර ගැනීමට හා විසිරී ජල පද්ධති ලබාගැනීමට ආධාර කරලා තියෙනවා. සමහර ගොවි මහත්තුරු අලුත් ක්‍රමවේද සොයාගෙන අස්වැන්න වැඩියෙන් ගන්නවා. ඒ වාගේම අස්වැන් කල් තබාගැනීමට ක්‍රමවේද සකස් කරගෙන ඉන්නවා. ගොවියා ව්‍යවසායකයකු කිරීම තමයි අපේ බලාපොරොත්තුව.

 සටහන හා පින්තූර - ගල්ගමුව නිහාල් ජයවීර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04