2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීම සඳහා මැතිවරණ නීති සංශෝධනය කිරීමට තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනා කරන්නේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳව පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මෙලෙස ප්‍රකාශ කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ 2020 – 2024 උපාය මාර්ගික සැලසුම අනුව මැතිවරණ නීති සං‍ශෝධනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් පෙන්වා දීමෙන් පසු අගමැතිවරයා මෙම තීරණයට එළැඹ තිබේ.

මෙලෙස සංශෝධනයට ලක් කළ යුතු නීති අතර ඇප මුදල් සංශෝධනය, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය භාවිත කළ නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඊට පෙර දිනයක් ලබාදීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය හිමිවන ලෙස ඡන්ද නාමලේඛනය තුන් මසකට වරක් යාවත්කාලීන කිරීම, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීම, මැතිවරණ වියදම් පාලනය, අබාධිත පුද්ගලයන් සඳහා අවශ්‍ය පහසුකම් සහිත ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම, විශේෂ ව්‍යාපෘති යටතේ ඊ-ඡන්ද ක්‍රමය වැනි කරුණු ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වී තිබේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන්  කලකට ඉහත තලතා අතුකෝරාළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් තේරීම් කාරක සභාවක් පත් කෙරුණද එකදු රුස්වීමක් හෝ නොපැවැත්වීම හේතුවෙන් එය අවලංගු වී තිබේ. 2019 වසරේද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරිණි. එම කාරක සභාවේ සාමාජිකයකු වූ සුනිල් හඳුන්නෙත්ති මහතා කියා තිබුණේ රටවල් 45කින් ඒ සඳහා සහය දැක්වීමට කැමැත්ත පළ කර තිබුණද දේශපාලන පක්ෂවලින් ලැබෙන සහයෝගය ඉතා දුර්වල තත්ත්වයක පැවැති බවය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්තාවලට අනුව නිලවශයෙන් හා නොනිල වශයෙන් මිලියන දෙකයි දසම හයක පමණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් විදේශයන්හි රුකියාවල නිරත වෙති. මොවුන්ගෙන් වැඩි පිරිසක් මැද පෙරදිග කලාපයේ සේවය කරන අතර තවත් පිරිසක් දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය වැනි රටවල සේවය කරති. මොවුන් ශ්‍රී ලාංකික පුරවැසියන් බැවින් මැතිවරණවලදී ඔවුනට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දීම ඉතා වැදගත් යැයි මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මංජුල ගජනායක මහතා සඳහන් කරයි. &2011 පළාත්පාලන මැතිවරණයේදී රත්නපුර කොලොන්න ප්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළේ එක ඡන්දයකින්. එක ඡන්දයක වෙනසක් තුළින්  සමස්ත පාලනයම වෙනස් කළ හැකියි. එහෙත් විදේශයන්හි ඡන්ද මිලියන 2.6ක ඡන්ද බැංකුවක් තිබෙනවා. එමගින් මැතිවරණයකදී විශාල වෙනසක් සිදු කළ හැකියි. අපට සර්වජන ඡන්ද බලය ලැබිල මේ වන විට වසර 90ක් ගත වෙලා. එහෙත් තවමත් විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දය ලබා ගැනීමට ක්‍රමවේදයක් නැහැ. 2015 මැතිවරණ කොමිසම පත් වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අප විශ්වාස කළා. ඔවුන් යම් හඬක් නැඟුවත් එය එතරම් ප්‍රබල වුණේ නැහැ. වත්මන් රජය මේ සම්බන්ධයෙන් යම් ක්‍රියා මාර්ගයක් ගන්නේ නම් එය වැදගත්. 2.6ක් වන විදේශ ශ්‍රමිකයන් අතුරින් මිලියන 1.5ක පමණ පිරිසකගේවත් ඡන්දය ලබාගත හැකියි. එහෙත් මේ සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් පවතිනවා. ඒ මේ පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසරයක් හෝ ක්‍රමවේදයක් හෝ නොමැතිකමයි.

ලොව බොහෝ රටවල් විදේශවල සිටින තම පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තානාපති කාර්යාලවල පහසුකම් සපයනවා. මැදපෙරදිග රටවල ප්‍රධාන නගර අතර දුර කිලෝමීටර දහස් ගණනක්. එහෙයින් මැදපෙරදිග විවිධ නගරවල සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලවලට පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීම අසීරු කටයුත්තක්. ඉලෙක්ට්‍රොනික ඡන්ද, විද්‍යුත් තැපෑලෙන්, ෆැක්ස් මගින් ඡන්දය භාවිත කළ හැකි ක්‍රමවේද තිබෙනවා. ලොව බොහෝ රටවල් මෙවැනි ක්‍රම අනුගමනය කරනවා. නමුත් 2010 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ කොම්පියුටර් ජිල්මාට් සිදුවුණු බවට ප්‍රචාරය වුණා. මේ නිසා ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැක පහළ වුණා. තානාපති සේවය දේශපාලනීකරණයට ලක්වී ඇති බැවින් තානාපති කාර්යාල මගින් ඡන්දය පැවැත්වීමේ අර්බුදයක් පවතිනවා. සුදුසුකම් නොමැති දේශපාලන හෙංචයියන් සහ පොලිසියේ හෝ හමුදාවේ සාමාජිකයන් විශ්‍රාම ගැනීමෙන් පසු ජීවිතයේ සැඳෑ සමය නිදහසේ ගත කිරීම සඳහා තානාපති සේවයට පත් කරනවා. දේශපාලනීකරණය වූ පිරිසක් තානාපති කාර්යාලවල සිටින විට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට නිදහසේ හා සාධාරණ ලෙස තම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලැබේද යන සැකය අපට ඇති වෙනවා. මැතිවරණයක් පවතින අවස්ථාවක විදේශගත ශ්‍රී ලාංකිකයන්  සඳහා ප්‍රචාරණ කටයුතු කළ යුතුයි.  බලයේ සිටින ආණ්ඩු විරුද්ධ පක්ෂවලට හා සුළු පක්ෂවලට ඒ සඳහා අවස්ථාවක් ලබා දෙතැයි සිතිය හැකිද?  ලංකාවේ මැතිවරණ වියදම් නියාමන නීතියක් නැහැ. මැතිවරණ ප්‍රචාරක වියදම් සඳහා නීතියක් ඇති කළ යුතුයි. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීම ඉතා වැදගත්. එහෙත් එය සියුම්ව සලකා බලා ගතයුතු තීරණයක්. යනුවෙන් ප්‍රකාශ කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීම අදියර කිහිපයකින් කළ යුතු කාර්යයක් බව ගජනායක මහතාගේ අදහසයි. ඒ සම්බන්ධයෙන් බොහෝ රටවල් අනුගමනය කරන ක්‍රමවේද පවතී.  දෙවසරකට වඩා වැඩි කාලයක් විදෙස්ගතව සිටින පිරිස සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීම එක් ක්‍රමයකි. ඇතැම් රටවල් විදේශ සේවයේ නියුතු පිරිස, විදේශයන්හි උසස් අධ්‍යාපනය ලබන සිසුන්, සහ රාජදූත (Diplomatic Service) සේවයේ නියුතු පුද්ගලයන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා තිබේ. ශ්‍රී ලංකාවද එවැනි ක්‍රමවේදයක් සැකසිය යුතුය. එසේ නොමැති නම් මුලින් නියාමන ව්‍යාපෘතියක් ලෙස සිදු කළ යුතුය. උදාහරණයක් ලෙස වසරකට වැඩි කාලයක් විදෙස්ගව සිටින ශිෂ්‍යයන්, හමුදා නිලධාරීන් හා රාජදූත සේවයේ නිරත පිරිසට අවස්ථාවක් ලබා දී එය සාර්ථක වන්නේ නම් තවත් පියවරකට යා යුතුය. පියවරින් පියවර කටයුතු නොකොට එකවරම ක්‍රියාවට නැංවීමෙන් වරක් පිලිපීනයේ සිදුවූ ආකාරයට අසාර්ථක විය හැකියැයි මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

විදේශත ශ්‍රී ලාංකිකයන්හට ඡන්දය භාවිත කිරීම සඳහා අවස්ථාව ලබා දිය යුතුයැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය කියා සිටියේ බොහෝ කලෙක සිටය. මෙරට ජාතික ආදායමට විශාල වශයෙන් දායකත්වය සපයන විදේශගත ශ්‍රමිකයන්ට තම ඡන්ද අයිතිය ලබා දීම ඉතා වැදගත් යැයි එම සංවිධානයේ මතයයි.  විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දයෙන් රටේ මැතිවරණ ප්‍රතිඵලය විශාල ලෙස වෙනස් විය හැකියි. ඔවුන්ට ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි. එසේ නොවුනහොත් එය අවභාවිත විය හැකියි. වෙනත් රටවල් කරන ආකාරයට තානාපති කාර්යාල මගින් මෙම කාර්යය ඉටු කරගත හැකිද? අපේ බොහෝ තානාපති කාර්යාල සැලකිය යුතු ප්‍රමාණයකට දේශපාලනීකරණය වෙලා. එවැනි ස්ථානයක ඡන්දය ප්‍රකාශ කළ හැකිද? මොවුන්ට උගත් ඡන්දදායකයන්ට බලපෑම් කළ නොහැකි වුවද නුපුහුණු ශ්‍රමිකයන්. වැඩි පිරිසක්  සිටින මැද පෙරදිග රටවල අයට බලපෑමකින් තොරව ඡන්දය ප්‍රකාශ කළ හැකි වේවිද? වැනි ගැටලු තිබෙනවා. එමෙන්ම මෙම සේවකයන් තානාපති කාර්යාලවලට පැමිණීමට නම් කිලෝමීටර් දහස් ගණනක් ගමන් කළ යුතුයි. එතරම් දුර බැහැරක සිට ඔවුනට ඡන්දපොළට පැමිණය හැකිවේද? එසේනම් ඔවුන් සඳහා විකල්පයක් තිබිය යුතුයි. එය කළ හැකිද? ඇතැම් රටවල් ප්‍රොක්සි වෝටින්, ඊ වෝටින් වැනි ක්‍රම භාවිත කරනවා. මෙම ක්‍රම අපේ ඡන්දදායකයන් සඳහා කෙතරම් දුරකට ගැලපේද? යන කරුණු පිළිබඳව සිතා බැලිය යුතයි. මගේ මතය නම් මේ පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දිය යුතුයි. එහෙත් ඒ සඳහා වඩාත් නිවැරුදි ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

මේ හැර ඇතැම් යල් පැනගිය මැතිවරණ නීතිද වෙනස් විය යුතුය. විශේෂයෙන් මැතිවරණවලදී තැන්පත් කළ යුතු ඇප මුදල සම්බන්ධයෙන් තවමත් පවතින්නේ දසක ගණනකට ඉහත පනවන ලද මුදලකි. අනවශ්‍ය පිරිසක් ජනාධිපතිවරණ හා මැතිවරණවලට ඉදිරිපත් වන්නේ ඇප වශයෙන් තැන්පත් කළ යුත්තේ සුළු මුදලක් වන බැවිනි. එහෙයින් මෙම ඇප මුදල් සංශෝධනය කිරීම, ඡන්දය පැවැත්වෙන දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට අපහසු පුද්ගලයන් සඳහා පූර්ව දිනයක් ලබා දීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය හිමිවන ලෙස ඡන්ද නාමලේඛනය තුන් මසකට වරක් යාවත්කාලීන කිරීම වැනි නව නීති රීති ගෙන ඒමට කාලය එළැඹ තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04