විවිධ ප්‍රදේශවල ජීවත්වෙන පොදු මහජනතාව පීඩාවට පත් කරන ගැටලු පිළිබඳව ගිය සතියේ සිට දැවෙන ප්‍රශ්න ඔස්සේ අපි කතා කලෙමු. ඔබගේ ප්‍රදේශයේත් මෙවැනි පොදු ගැටලු ඇත්නම් දේශය අප ප්‍රදේශීය වාර්තාකරුවන් අමතන්න.
| කතරගම කේ.ඩී. දේවප්‍රිය
වන්දනාකරුවන්ගේ පැමිණිම මුල් කරගෙන දිවිගෙවන ජනතාවක් සිටින කතරගම ජන ජීවිතය මේ වනවිට රටේ පවතින කොරෝනා වසංගත හමුවේ උඩුයටිකුරු කර ඇත. කතරගම දෙවියන් හා කිරිවෙහෙර ඇතුළු පුදබිම මුල් කරගෙන වන්දනාවේ පැමිණෙන බැතිමතුන් හා විදේශීකයන් හට සේවා හා භාණ්ඩ නවාතැන් ලබාදීමෙන් දිවිගෙවන කතරගම ජීවත්වන ජනයාගෙන් සියයට අනූවක් සිය ජීවිකාව සිදු කරගනු ලබන්නේ කතරගම දෙවියන් නිසාවෙනි.
වසර 20 වැඩි කාලයක් පළතුරු පූජාවට්ටි වෙළඳාම සිදුකරන ප්‍රසාද් විදානගේ මහතා මේ වනවිට අත්වී ඇති ඉරණම පිළිබඳව කියයි.
මගේ පියාගේ පටන් ජීවත් වීමට අපි සිදු කරන්නේ පූජා වට්ටි වෙළඳාම. මේ වනවිට පවතින කොරෝනා තත්ත්වය මුල් කරගෙන දැඩි පාඩුවක් මෙන්ම ජීවත් වීමට ආදායමක් නැතිව දැඩි පිඩනයකින් තමයි කතරගම අපි ජීවත් වෙන්නේ. 2019 අප්‍රේල් 21 වැනි දින සහාරන්ගේ අන්තවාදී ප්‍රහාරයත් සමඟ තමයි මේ වැටීම ආරම්භ වූයේ. පසුගිය මාර්තු මාසයේදී කොරෝනා තත්ත්වය හමුවේ කිසිදු බැතිමතකු නොපැමිණිම නිසා පූජා වට්ටි කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටුණා.
නැවත කොරෝනා රුල්ල ආපු නිසා දැන් බැතිමතුන්ගේ පැමිණීම ඉතාම අඩුයි.
අපි පළතුරු මිලදී ගන්නේ මුදල් ගෙවලා. වෙළඳාම් නැති නිසා දිනපතාම පළතුරු නරක් වෙනවා. විසි කර දමනවා. රට හොඳ අතට තිබුණු නිසා මම ලක්ෂ 07 ක් පමණ වියදම් කරලා පළතුරු දැම්මා දැන්නම් කරන්න දෙයක් නැහැ. මම විතරක් නෙවෙයි පළතුරු කඩ කරන පවුල් රැසක් රටේම ණයවෙලා කරගන්න දෙයක් නැතිව ඉන්නවා.
කොරෝනාව අපේ ජිවිත අඩාල කළා.
| කටුනායක ටී.කේ.ජී.කපිල
කටුනායක ප්‍රදේශයේ විශාල පිරිසක් තාවකාලික අනියම් පදනම මත රැකියාවල නිරත වී සිටින අතර, ඔවුන්ට මේ වනවිට රැකියා අහිමි වී ඇත. මේ හේතුවෙන් ඔවුහු එදාවේල පිරිමසා ගැනීමටවත් නොහැකි වී අසරණව සිටිති.
එමෙන්ම කටුනායක ප්‍රදේශයේ විශාල පිරිසක් ස්වයං රැකියාවක් ලෙස කරන්නේ කටුනායක කර්මාන්තශාලාවල රැකියා කරන අයට නේවාසික පහසුකම් සපයන නේවාසිකාගාර පවත්වා ගෙන යෑමය.
මේ තත්ත්වය යටතේ බොහෝ නේවාසිකාගාර වැසී ගොසිනි. තවත් නේවාසිකාගාරවල කීප දෙනකු රැඳී සිටියත් ඔවුන්ට වැටුප් ලැබී නැත. සමහර අයට රුකියා නැත. තවත් සමහර නේවාසිකාගාරවල පිරිස් නීරෝධායනයට යොමු කරනු ලැබ සිටිති. මේ නිසා නේවාසිකාගාරවලින් නියමිත පරිදි ගාස්තු අය කර ගැනීමට හැකියාවක් නැත.
එමෙන්ම ප්‍රදේශවාසීන්ට මෙන්ම නේවාසිකාගාරවල නවාතැන් ගෙන සිටින අයටද මේ වනතුරු සහන දීමනා හෝ භාණ්ඩ ලැබී නැති අතර මෙම පිරිස වෙත කඩිනමින් සහන සැලසීම අවශ්‍ය වී තිබේ. බොහෝ පිරිස් විවිධ භාණ්ඩ වාරික ගෙවීමේ ක්‍රමයට මිලදී ගෙන තිබෙන අතර එමෙන්ම විදුලි සහ දුරකථන බිල් සඳහාත් යම් සහන කාලසීමාවක් ලබාදිය යුතු වෙනවා යැයි කටුනායක වලානගොඩ කපිල කුමාර මහතා පැවසීය.
| නෙළුව පියරත්න ජයවික්‍රම
නෙළුව නගරය ඇතුළු ගම්මාන අටකට පානීය ජල පහසුකම් ලබාදීමට ආරම්භ කළ නෙළුව පානීය ජල ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ වැඩකටයුතු වසර දෙකක පමණ කාලයක සිට අතරමඟ නතර කිරීම නිසා, පානිය ජල පහසුකම් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි පාරිභෝගිකයෝ අසීරුතාවයකට පත්ව සිටිති.
නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රියාත්මක වූ වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ යටතේ පාලනය වන ප්‍රජා ජල මණ්ඩලය සහ නෙළුව සිසිලස ජල සමිතිය එක්ව මෙම නෙළුව පානීය ජල ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ.
නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙළුව, බටුවංගල, මාවනාන, ඇඹලේගෙදර, මැදගම, ඉහළ ලේල්වල, පහළ ගිගුම්මඩුව ග්‍රාම නිලධාරි වසම්වල පවුල් දහසකට අධික පිරිසකට මෙමගින් පානීය ජල පහසුකම් ලබාදීම අරමුණු කරගෙන තිබිණි. එම ගම්මානවල ප්‍රජා ජල සමිති ආරම්භ කර එක් සාමාජිකයකුගෙන් රුපියල් 7000ක පමණ මුදල් අයකර ඇති බවත්, එම නිවාසවලට ජල මීටර් සවිකර තිබෙන අතරම නෙළුව මැදගම නිවාස කන්ද ප්‍රදේශයේ පානීය ජල පහසුකම් ලබාදීමට ජල ටැංකි තුනක්ද ඉදිකර ඇති බවත් කියයි. ගම්මානවලට ජලය ලබාදිමට ජලනළ පවා අතුරා තිබුණු නමුත් මේ වනතුරැ ඔවුනට පානීය ජල පහසුකම් මෙතෙක් ලබාදී නැත.
නෙළුව ගිගුරාව ඇළ ජල මූලාශ්‍රයෙන් මේ යෝජනා ක්‍රමයට ජල පහසුකම් ලබාගනී. මෙම ජල ව්‍යාපෘතිය සම්බන්ධව අදහස් දැක්වූ නෙළුව සිසිලස පාරිභෝගික ජල සමිතියේ සභාපති එස්.පී. ගමගේ මහතා:
මෙම පානීය ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිමට රජය මගින් රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බව පොරොන්දු වුවත් එම මුදල නොලැබීම නිසා මෙම ජල ව්‍යාපෘතිය වැඩ අතරමග නතර කිරීමට සිදුවුණා. මෙම ව්‍යාපෘතිය හරහා පවුල් දහසකට අධික පිරිසක් ග්‍රාමීය සමිති පිහිටුවා ඇති ජල සමිතිවල සාමාජිකත්ව ලබාගෙන එම අයගෙන් මුදල් අයකරගෙන තිබෙනවා. නමුත් ජල පහසුකම් ලබාදීමට නොහැකි වී තිබෙනවා.
නෙළුව මැදගම නිවාසකන්ද යෝජනා ක්‍රමයේ පදිංචි විශ්‍රාමික පරිපාලන නිලධාරි කුමාර වික්‍රමාදර මහතා අදහස් දක්වමින්,
නෙළුව පානීය ජල ව්‍යාපෘතිය මේ වනවිට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වී තිබෙනවා. ගමේ මිනිස්සු මුදල් ගෙවලා දැන් වසරක් පමණ වෙනවා. ජල නළ සම්බන්ධ කරලා මීටර් සවිකර තිබෙනවා. ගමේ උදවියට ජලය නැහැ. වියලි කාලගුණය පවතින විටදී මේ ප්‍රදානයට ජලය හිඟවෙනවා. ගමේ උදවිය විශාල මුදලක් ආයෝජනය කරලා වතුර නැතුව බලාගෙන සිටිනවා. ජලය ලබාගන්න කියලා පිහිටවපු ජල සමිති ක්‍රියාත්මක නැහැ. මේ සම්බන්ධව වගකිවයුත්තන්ගෙන් අවධානය යොමුකරලා නෙළුවට වතුර ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
| කහවත්ත ලසන්ත නිරෝෂණ පෙරේරා
රට අභ්‍යන්තරයේ පිහිටි විශාලතම මාළු වෙළෙඳ මධ්‍යස්ථානය වන කහවත්ත මාදම්පේ මාළු වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම් අවසන් කර වසර තුනක් ගතවී ඇතත් මෙතෙක් විවෘත කර නැත.
මේ සම්බන්ධව අදහස් දැක්වූ ගම්වාසියකු වන වයි. රෝලන්ඩ් මහතා,
මුහුදුකරයෙන් බැහැරව ලංකාවේ විශාලතම මාළු වෙළෙඳපොළ කහවත්ත මාදම්පේ තිබෙන්නේ. මහ පාර අයිනේ වෙළෙඳාම් කරන්නේ. වසර තිහක වාගේ කාලයක සිට වෙළෙඳුන් සිය ගණනක් මේ ස්ථානයට එනවා. ගැණුම්කරුවන් දහස් ගණනක් දිනපතා එනවා. අලුයම සිට දහවල් 12 වාගේ වනතෙක් මෙම වෙළෙඳාම් සිදු කෙරෙනවා.
වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයන්ගේද පහසුවට විශාල වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකර වසර තුනක් වෙනවා. ඒත් එය තවමත් විවෘත කර නැහැ. මේ මධ්‍යස්ථානය විවෘත නොකිරීම නිසා වෙළෙඳුන් ඉන්නේ පාරේ. පාරිභෝගිකයන්ද දුෂ්කරතාවයන්ට ලක්වෙලා. ප්‍රදේශයට සම්පතක් වෙන මේ මාළු වෙළෙඳ සංකීර්ණය විවෘත කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
| පොළොන්නරුව කරුණාරත්න ගමගේ
මෙරට සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා ඒ ආශ්‍රිතව ජීවනෝපාය මාර්ග සලසාගත් පොළොන්නරැව දිස්ත‍්‍රික්කයේ 25,000කට අධික පිරිසකට මේ වනවිට යන එනමං අහිමි වී ඇතැයි පොළොන්නරැව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් කේ.පී. ආරියදාස මහතා පවසයි.
පොළොන්නරුව, හබරණ, දඹුල්ල, සීගිරිය යන සංචාරක නගර කේන්ද්‍ර කරගනිමින් විශාල පිරිසක් සංචාරක සේවා සපයන්නන් ලෙස සෘජු හා වක‍්‍ර රුකියාවල නිරත වූ බව පෙන්වා දෙන ඒ මහතා ඔවුන් සියලුම දෙනා අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බවද කීය.
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව අඩාල වූ මෙරටට විදේශ සංචාරකයන්ගේ පැමිණීම කොවිඩ් 19 නව කොරෝනා වසංගතය නිසා මේ වනවිට එහෙම පිටින්ම බිඳවැටුණු බවද ආරියදාස මහතා කියා සිටී. වර්තමානය වනවිට පොළොන්නරුවට වන්දනා නඩයක්වත් නොපැමිණෙන තත්ත්වය නිසා පූජා භූමි අවට වෙසෙන බල්ලන්ට කපුටන්ට ඉඳුල් බත් ටිකක්වත් නොලැබෙන බවද කීවේය.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පමණක් සංචාරක හෝටල් 380ක් පමණ තිබෙනවා. ඒ සියල්ලම මේ වනවිට වැහිලා ගිහිල්ලා. ඒවායේ රැකියාව කළ විශාල පිරිසකට රුකියාව නෑ. සමහරැ තැන් තැන්වල කුලී වැඩ කරනවා. සංචාරක සේවා සපයන්නන් විදියට විවිධ අංශ තෝරාගෙන එහි නිරතවූ තවත් විශාල පිරිසක් මේ දිස්ත‍්‍රික්කයේ සිටියා.
සංචාරකයන්ට ආහාරපාන සැපයීම, යතුරුපැදි, පාපැදි කුලියට ලබාදීම, සංචාරක මඟ පෙන්වන්නන් ලෙස කටයුතු කිරීම, ජීප් සෆාරී පවත්වාගෙන යෑම ආදී විවිධ ස්වයං රැකියා කළා. දැන් ඒ කිසිම කෙනෙකුට ජීවත්වීමට මාර්ගයක් නෑ. අඩුම තරමින් තැඹිලි විකුණලා ජීවත් වෙච්ච මනුස්සයටත් දැන් යන එනමං නෑ.
සුද්දෝ ආවේ නැතත් දේශීය සංචාරකයන් හරි පසුගිය කාලයේ ආවා. දැන් ඒ අයත් නෑ. වන්දනාකරුවන් නැතුව පූජා භූමි පවා පාළුවට ගිහිල්ලා. මේ ආසන්නයේ තිබෙන ගල් විහාරය පූජා භූමියේ අවට ජීවත් වෙන බල්ලන්ට කපුටන්ට පවා ආහාර හිඟයි, වන්දනා නඩ එන්නේ නැති නිසා. ඒ පූජා භූමිය අවට කැලෑවේ රිලා වඳුරන් දැන් ගම්මානවලට, ගෙවල්වලට කඩා වදිනවා. වන්දනා නඩ එන්නේ නැතිව කෑම හිඟවෙලා. මේකයි ඇත්ත තත්ත්වය. අපි ආණ්ඩුවට යෝජනා කරලා තියෙනවා මේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් අපි බැංකුවලින් ලබාගෙන තිබෙන ණය ආපසු ගෙවීම සඳහා දැනට ලබාදී තිබෙන කාලය දීර්ඝ කරලා දෙන්න කියලා. එහෙම නැතිනම් අපි ලොකු අසීරැතාවයකට පත් වෙනවා.