කොවිඩ් වෛරසය හේතුවෙන් මෙරට සිදු වූ 19 වැනි මරණය පසුගිය අඟහරුවාදා කොළඹ ජාතික රෝහලෙන් වාර්තා විය. බ්‍රැන්ඩික්ස් පොකුරින් නිර්මාණය වූ දෙවැනි කොවිඩ් රැල්ලෙන් දින පහක් තුළ සිදුවූ සයවැනි මරණය මෙය විය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් වසංගතය සමාජගතවීමේ දොරටුව අබියසටම පැමිණ ඇති බැවින් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටය. “මේ වන විට ඉතාම සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම බරපතළ අවදානමක් රට තුළ නිර්මාණය වෙමින් තිබෙනවා. සමාජ ව්‍යාප්තිය කියන සාධක සැලකිල්ලට ගැනීමේදී එහි අබියසට ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා. දැනට වාර්තාවන රෝගීන්ගෙන් බහුතරයක් වාර්තා වන්නේ සමාජය තුළින්. සමාජ ව්‍යාප්තියකට ගියොත් දැඩි සත්කාර ඒකකවල දැඩි තදබදයක් ඇතිවිය හැකියි. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකියි. අපි ඉදිරියටත් ගන්නේ දැනට අරගෙන ඇති ක්‍රියාමාර්ග නම් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් කිසියම් භයානක තත්ත්වයක් ඇතිවේවි. ඉදිරි මාස දෙක තුළ අනිවාර්යයෙන්ම විශාල මරණ සංඛ්‍යාවක් අපේක්ෂා කරන්න සිදු වෙනවා. මේ වන විට කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබෙනවා. තවත් දිස්ත්‍රික්ක කිහිපයක අවදානම් තත්ත්වයක් මතුවෙමින් තිබෙනවා. හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක පහට සීමා පැනවිය යුතුයි. නිසි තීරණ ගැනීම ප්‍රමාද වුවහොත් රටට භයානක ප්‍රතිඵල අත්විය හැකියැයි” රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කරයි. එම සංගමය කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා නව උපායමාර්ගික ක්‍රමවේදයක් ජනාධිපතිවරයා වෙත හඳුන්වා දීමටද පියවර ගෙන තිබේ.
එහෙත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට අනුව තවමත් රෝගය සමාජගතවී නොමැත. “රෝගය සමාජගත වෙලා කියන්නේ අපි හඳුනාගන්නා රෝගීන් එක් අයකුට තවත් අයෙක් සම්බන්ධ නැතිනම් පමණයි. දැනට හඳුනාගෙන ඇති රෝගීන් සියලු දෙනා බ්‍රැන්ඩික්ස් හා කොළඹ මත්ස්‍ය වෙළෙඳපොලේ ආසාදිතයන්ට සම්බන්ධයි.” යනුවෙන් සඳහන් කරයි. මෙවර පැතිර යන වෛරසයේ විශේෂත්වය වන්නේ රෝගීන් තුළ පවතින වෛරස ප්‍රමාණය අධික වීම හා පැතිර යාමේ වේගය වැඩි වීමය. එමෙන්ම පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝවීමේ ප්‍රවණතාවද වැඩිය. මේවන විට කොවිඩ් ආසාදිතයන් සඳහා වෙන් කර ඇති ඇඳන් ප්‍රමාණයෙන් 90.9%ක් පිරී පවතින අතර තවත් 9%ක ඇඳන් ප්‍රමාණයක් ඉතිරිව ඇතැයි ඔහු පවසයි.
කොවිඩ් 19 දෙවැනි රැල්ල ලෙස සලකන වසංගත තත්ත්වය දිවුලපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශයන්හි ඉතා අවාසනාවත්ත තත්ත්වයකට පත්වෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. පෑලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ අනු පොකුරට අයත් රෝගීන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරා ඇති බවද, මූලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිප දෙනෙකුද මේ වනවිට වාර්තා වී ඇති බැවින් තත්ත්වය ඉතාම භයානක බවද, බස්නාහිර පළාත සහ කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂක්වරැන්ගේ පාලනයෙන් ගිලිහෙමින් ඇති බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විට කොවිඩ් ආසාදිතව රෝහල්ගතවී ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව හාරදහස ඉක්මවා තිබේ. ගම්පහ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 5000 ඉක්මවා තිබේ.
කොවිඩ් පරීක්ෂණ සඳහා තම රසායනාගාරවල පවතින ධාරිතාව සම්පූර්ණයෙන්ම පිරෙන තරමට සාම්පල ගොඩ ගැසී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා ප්‍රකාශ කරයි. එම තත්ත්වය මත වාර්තා නිකුත් කිරීම ප්‍රමාද වනු ඇතැයිද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි. දැනට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට හැකි පරාසය ඉක්මවා සාම්පල ලැබී ඇති හෙයින් දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශ කර ඇති රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ක්‍රියාවලිය යොදා ගැනීමට පියවර ගැනීමට නියමිතය. එම ක්‍රියාවලිය මගින් විනාඩි 15ක් 20ක් ඇතුළත පරීක්ෂණ සිදු කළ හැකි බවද ඒ මහතා සඳහන් කරයි. මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල පී.සී.ආර්. පරීක්ෂණ හාරලක්ෂ හැත්තෑදසකට අධික ප්‍රමාණයක් සිදු කර තිබේ.
කොරෝනා ආසාදිතයකුද යන්න හඳුනා ගන්නේ පී.සී.ආර්. පරීක්ෂණයක් මගිනි. පී.සී.ආර්. යනු Polymerase Chain Reaction යන්නෙහි කෙටි යෙදුමය. මෙය එක් ආකරයකින් එන්සයිම ප්‍රතික්‍රියාවකි. ඉන් සිදුවන්නේ DNA (Deoxyribo Nucleic Acid) එසේත් නැතිනම් මිනිසාගේ, සතුන්ගේ, ක්ෂුද්‍ර ජීවීන්ගේ සහ සමහර වෛරසයන්ගේ ජානවල අඩංගු මූලික සහ ප්‍රධානතම සංඝටකය පිටපත් කිරීමය. මේ සඳහා සැකසහිත රෝගියකුගේ උගුර සහ ස්වසන මාර්ගය ආශ්‍රිතව ලබගන්නා සෙම යොදා ගැනේ. වයිරසය ප්‍රධාන වශයෙන් තැන්පත් වන්නේ එම ස්ථානයන්හි බැවින් වයිරසයට පමණක් ලාක්ශණික ජාන ඉන් ලබාගත හැකිය.
පසුගිය දිනවල ඇතැම් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වැරදි බවට චෝදනා එල්ල විය. පී.සී.ආර්. පරීක්ෂණයකදී හෝ වෙනත් ඕනෑම වෛද්‍ය රසායනාගාර පරීක්ෂණයකදී එම පරීක්ෂණයේ ප්‍රතිඵල මඟින් අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට නොහැකි අවස්ථා එළඹිය හැකි වුවද විධිමත් පරිදි පවත්වා ගෙනයන රසායනාගාරයකින් වැරදි වාර්තා නිකුත් වීමේ ඉඩකඩ ඉතා අවමය. පී.සී.ආර්. පරීක්ෂණය සම්බන්ධයෙන් සැලකීමේදී එලෙස වැරදි වාර්තා නිකුත් විය හැකි මූලික හේතුකිහිපයක් පරීක්ෂණයේ අවධි තුනක් යටතේ විග්‍රහ කළ හැකිය. ඒ පූර්ව පරීක්ෂණ අවධිය, පරීක්ෂණ අවධිය සහ පශ්චාත් පරීක්ෂණ අවධියයි.
රෝගියකුගෙන් ලබා ගත් නිදර්ශකයේ ප්‍රමාණවත් වෛරස ගණත්වයක් නොතිබීම, රෝගියාගේ ප්‍රමාණවත් වෛරස ගණත්වයක් තිබියදීත් නිදර්ශකය ලබා ගැනීමේදී දෝෂ සිදුවීම, නිදර්ශකය තුළ ඇති වෛරස විනාශ වීම හෝ වෛරස න්‍යෂ්ටික අම්ල අණු විනාශ වීම, රෝග අසාදන කාල පරාසයට අදාළ නිවැරදි පරීක්ෂණය තෝරා නොගැනීම වැනි කරුණු පූර්ව පරීක්ෂණ අවධියට අයත් වන අතර, පරීක්ෂණ අවධිය යටතේ සායනික පරීක්ෂණ සඳහා තහවුරු කළ නිවැරදි උපකරණ භාවිත නොකිරීම, රෝගය හඳුනා ගැනීමට සුදුසු බවට ප්‍රමිතිගත කර ඇති ප්‍රතික්‍රීයක භාවිත නොකිරීම, නිවැරදි රසායනාගාර ප්‍රමිතීන් සහ ක්‍රමවේද භාවිත නොකිරීමද පශ්චාත් පරීක්ෂණ අවධිය යටතේ පරීක්ෂණ ප්‍රතිඵලය නිවැරදි ලෙස අර්ථකථනය නොකිරීම සහ අර්ථකථනයේදී නිර්දේශිත රසායනාගාර සමඟ කටයුතු නොතිරීම වැනි කරුණු බලපායි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවි කුමුදේශ් මහතා මෙලෙස සඳහන් කළේය. “ කොවිඩ් 19 වෛරසය සහිත පුද්ගලයකුගේ පී.සී.ආර්. පරීක්ෂණයකින් කොවිඩ් ආසාදනය වී නොමැති බවට සඳහන් වීමේ සම්භාවිතාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොදා ගන්නේ පුද්ගලයකුගේ සෙම පටලයක්. මෙම සෙම පටලය රෝගියාගෙන් ගන්නා විට ශරීරයේ පවතින වෛරසය සෙම පටලයට ඇතුළු වී නොතිබිය හැකියි. නෙගටිව් බවට 30%ක පමණ සම්භාවිතාවක් තිබෙන බවට හා නිවැරදි වන්නේ 70%කින් යැයි කියන්නේ ඒ නිසයි. එබැවින් කිහිප වරක් පී.සී.ආර්. සිදු කිරීමේදී එම පුද්ගලයා ආසාදිතයෙකුද නැද්ද යන්න හඳුනාගත හැකියි. පී.සී.ආර්. පරික්ෂණය සඳහා නිදර්ශකය නිවැරැදි ලෙස නොගැනීමෙන්ද එය නෙගටිව් විය හැකියි. සාමාන්‍යයෙන් නිදර්ශක ලබා ගත යුත්තේ පුහුණු වෛද්‍යවරයකු විසින්. එහෙත් බොහෝ විට නිදර්ශක ගන්නේ පුහුණු වෛද්‍යවරුන් නොවෙයි. මේවා රැගෙන යෑම සඳහා භාවිත කෙරෙන ප්‍රවාහනයේ දෝෂ සහගත බව නිසාත් නිදර්ශකයේ ඇති වෛරසය විනාශ විය හැකියි. එමෙන්ම නිදර්ශකය ලබා ගන්නා අවස්ථාවේ රෝගියාගේ සිරුරේ ප්‍රමාණවත් වෛරස ධාරිතාවක් නොතිබිය හැකියි .වෛරසය සිරුරට ඇතුළුවී වර්ධනය වන්නට දින කිහිපයක් ගත වෙනවා.
එය ශරීරයට ඇතුළු වූ පළමු දිනයේ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කළ විට අහු නොවෙන්න පුළුවන්. පී.සී.ආර්. පරීක්ෂණය මගින් හඳුනා ගැනීමට නම් අවම වශයෙන් වෛරසය සිරුරට ඇතුළු වී දින හතරක් වත් ගතවිය යුතුයි. අවම වශයෙන් දින දහයක් පමණ ගතවීමෙන් පසු පරීක්ෂණයට බඳුන් කරනවා නම් පහසුවෙන් රෝගියකු හඳුනාගත හැකි බවට අපි විශ්වාස කරනවා. කිසියම් රසායනාගාර වාර්තාවකින් රෝගය වැළඳී ඇති බවට (පොසිටිව්) වාර්තා වුවහොත් එය 100%ක්ම නිවැරදියි. මන්ද වෛරසය ශරීර ගතවී නොමැති නම් කිසි විටෙක පොසිටිව් වාර්තාවක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දින 14ක් ගතවන විට ශරීරයේ ඇති ප්‍රතිදේශ මගින් වෛරසය විනාශ කරන බැවින් රෝගය සුව අතට හැරෙනවා. එම කාලයේ පී.සී.ආර්. පරීක්ෂණයක් කළොත් නෙගටිව් වෙන්න පුළුවන්. රසායනාගාරය මගින් වැරදි වාර්තාවක් නිකුත් කිරීම හෝ ශරීරයේ ඇති ප්‍රතිදේහ මගින් වෛරසය විනාශ කිරීම නිසා පොසිට්ව් වාර්තාවක් නෙගටිව් වාර්තාවක් ලෙස ලැබිය හැකියි. අද පරීක්ෂණය පොසිටිව් වෙලා හෙට නෙගටිව් කිව්වොත් ඒක රසායනාගාරයේ වරදක්.* යැයි සඳහන් කළේය.
කොවිඩ්19 හෝ වෙනත් වෛරස ආසාදනයකදී රෝගියා තුළට වෛරසය ඇතුළු වී එය ගුණනය වන ආකාරය අනූවත්, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් වෛරසයට එරෙහිව ප්‍රතිදේහ ගොඩනංවන ආකාරයත් අනූවත්, ඒ ඒ මොහොතට අදාළව ආසාදිත ශරීරයේ වෛරසය තිබීම, වෛරසය ඊට එරෙහි ප්‍රතිදේහ මඟින් උදාසීන වීම, අසාදිතයාගේ රුධිරය තුළ ප්‍රතිදේහ තිබීම යන තත්වයන් වෛරසය අසාදනය වී ගතවූ කාලයට අදාළව වෙනස් වෙයි. ඒ අනූව කොවිඩ්19 ආසාදනය වී තිබී දින 3ත්10ත් අතර ප්‍රමාණවත් වෛරස ගණත්වයක් සෙම පටල තුළ පවතීයැයි අපේක්ෂා කළ හැකි අතර එම කාල පරාසයට අදාළව රැධිරය විසින් නිපදවන ප්‍රතිදේහ ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අවදියකි. එසේම ආසාදනයෙන් දින 7ත් 10ත් අතර කාලයෙන් පසු රුධිරයෙහි කොවිඩ්19 හඳුනා ගැනීමට හැකි වන ප්‍රතිදේහ ප්‍රමාණවත් අයුරින් පවතී යැයි අපේක්ෂා කෙරේ. මෙකී විචලනයන්ට අදාළව තෝරා ගන්නා පරීක්ෂණ ක්‍රමවේදයේ සාර්ථකත්වය තීරණය වන අතර වැරදි පරීක්ෂණ ක්‍රමවේදයක් තෝරා ගැනීම මඟින්ද අපේක්ෂිත නිවැරදි ප්‍රතිඵලය නොලැබී යා හැකිය. මේවන විට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රෙයන් එවැනි දෝෂ සහිත වාර්තා 14ක් සහ පෞද්ගලික අංශයෙන් 20ක් පමණ හමුවී තිබේ.
වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය රසායනාගාර වෘත්තිකයකු නොවන පුද්ගලයකු විසින් එම පරීක්ෂණය සිදු කළා නම් ඇතැම් විට ඔහුගේ ශිල්පීය ඥානයේ අඩුවක් නිසා එම වාර්තාව නිවැරදිව කියවාගත නොහැකි වන්නට පුළුවන. එමෙන්ම රසායනාගාරයේ ඇති උපකරණ සායනික පරීක්ෂණවලට තහවුරු කර නොමැති නම් මෙවැනි තත්ත්වයක් උද්ගතවිය හැකිය. පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ඒ සඳහාම තහවුරු කරන ලද උපකරණ යොදාගත යුතුය. එසේ නොමැති නම් පරීක්ෂණ වාර්තා නිරවද්‍ය නොවිය හැකිය. එලෙස තහවුරු නොකරන ලද පරීක්ෂණ යන්ත්‍ර මෙරට පවතී.
විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය හා පෞද්ගලික අංශයේ ඇතැම් රසායනාගාර මගින් සිදු කෙරුණු පරීක්ෂණවල ගැටලු පැන නැඟුණේ එවැනි තහවුරු නොකළ උපකරණ මගින් වාර්තා ලබා දීම නිසා විය හැකි යැයි රවි කුමුදේශ් මහතා අදහස් කරයි. එමෙන්ම ඒ සඳහා භාවිත කෙරෙන ප්‍රතික්‍රීයකවල ගුණාත්මක භාවය අනුවද පරීක්ෂණ වාර්තා වෙනස් විය හැකිය. එමෙන්ම යන්ත්‍රය මගින් ලබා දෙන වාර්තාව විශ්ලේෂණය කළ යුත්තේ වෘත්තීය දැනුමක් සහිත පුද්ගලයකු විසිනි. ඇතැම් විට මෙම යන්ත්‍ර මගින් අතරමැදි වාර්තාද ලබා දෙයි. වාර්තාවේ රටාව අනුව මෙවැනි අතරමැදි වාර්තා හඳුනා ගැනීමට පුහුණු රසායනාගාර වෘත්තිකයකුට හැකිය. පෞද්ගලික අංශයේ රසායනාගාරවලින් වැරදි සිදුවීමට බලපෑවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි පුහුණු රසායනාගාර වෘත්තිකයන් නොමැති වීම හේතුවෙන් විය හැකිය. ඔවුන් යන්ත්‍රය මගින් ලබා දුන් වාර්තාව විශ්ලේෂණය කිරීමේදී වැරදි ලෙස වටහා ගැනීම එයට බලපා තිබේ. මෙවැනි අවස්ථාවන්හි රෝගය නොමැති පුද්ගලයකුට රෝගියකු ලෙසත් රෝගියකුට නිරෝගී පුද්ගලයකු ලෙසත් වාර්තා ලබා දිය හැකියැයි රවි කුමුදේශ් මහතා පවසයි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා