2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

අද හිරගෙදර ඉඳන් දෙවියන් යදින එදා රට හෙල්ලූ පාතාලයෝ

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

රටපුරා ඉමහත් ආන්දෝලනයට පත් මාකඳුරේ මධූෂ්ගේ ඝාතන සිද්ධියත් සමඟම, පාතාල ලෝකයේ ගෝඩ් ෆාදර් වන්නට පෙරුම් පිරූ බොහෝ පාතාල කෙරුමන්ගේ සිහින බොඳව යන්නට වූයේ ඇසිල්ලකිනි. පාතාල කෙරුමන් කොටුකළ බූස්ස, විශේෂිත බන්ධනාගාරයේ සිරකුටිවල අද පාතාල හඬ නිහඬය.

මාකඳුරේ මධූෂ්ගේ ඝාතන සිද්ධියෙන් අද වනවිට පාතාල ලෝකය උඩු යටිකුරු වී ඇති බවට, බූස්ස බන්ධනාගාරය හොල්ලාගෙන සිටි කංජිපානිලා ඌරුජුවාලා කැවුමලාගේ වැඩි සද්දයක් නැතිකමින්ම පෙනේනනට ඇත. පොඩි ලැසීලාද කොස්ගොඩ තාරකලාද බ්ලූමැන්ඩල් සංඛලාද එදා එහි පෙරමුණ ගෙන සිටියවුන්ය. ඒ තිදෙනා අතරින් පොඩි ලැසී හා කොස්ගොඩ තාරක දැන් සී.අයි.ඩී. රැඳවුම් භාරයේය. බ්ලූමැන්ඩල් සංඛ ඇප පිට නිදහස් වී ගොස්ය.
එදා බන්ධනාගාර නිලධාරීන් වැඩිදෙනෙක් මෙම විශේෂ ගණයේ සිරකුටි පැත්තට යන්නට පවා බියක් දැක්වූ හැටි කියන්නේද එහි හිටපු නිලධාරීන් පිරිසකි. එහි රාජකාරි කිරීම රස්සාව නැතිවෙන වැඩක් බවට නිලධාරීන් අතර, එදා පැවති කසුකුසුව යථාර්ථයක් බවට පත් කරමින් කීප දෙනෙකුටම ස්ථාන මාරු ලැබුණු බවද රහසක් නොවේ. කංජිපානිට වැන්ද නියාමකවරයකු පිළිබඳව හෙළිකළේ ආරක්ෂක ලේකම්වරයාය. ඒ ඔහුට ලැබුණු වීඩියෝ ක්ලිප් එකක් නිසාය. ඒ නියාමකවරයාට සිදුවූයේ වව්නියාවට දඬුවම් ස්ථානමාරු යන්නටය.

ඒ සමඟම කංජිපානිලාගේ කොස්ගොඩ තාරකලාගේ හා පොඩි ලැසීලාගේ කෝචොක් පාරට නිලධාරීන්ට මුහුණ දෙන්නට සිදුවූ වාරද අනන්තය. ඔවුන්ට %කරබාගෙන^ රාජකාරි කරන්නට සිදුවූයේ විනය චෝදනාවන්ට යටත් නොවීම සඳහාය. ඊට අමතරව කංජිපානිලාගේ ගෙම්බර්වලට මුහුණ දුන් නිලධාරීන්ද වූ බව අසන්නට ලැබිණි. ඊට හිස නමා සිටීමද ඛේදනීය කතාන්දරයක් බඳුය.

සිරකුටි 46කින් සමන්විත මෙම විශේෂ සිරමැදිරි සංකීර්ණය අද වනවිට ප්‍රමුඛ පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන්ගෙන් පිරී හමාරය. පසුගියදා ප්‍රමුඛ පෙළේ පාතාල අපරාධ කල්ලි සාමාජිකයන් වන සුසෙයි, කංජිපානි, ඌරුජුවා, ගෞතම්, පරෙවි සුදා ඇතුළු 7කගේ සිරමැදිරි 7ක් හදිසි පරීක්ෂාවකට ලක්කර ඇත්තේ ලැබුණු තොරතුරකට අනුවය. පොළොව හාරා බැලුවද එහිදී කිසිදු සැකකටයුතු යමක් සොයාගත් බවත් දැනගන්නට නැත.
මෙම බන්ධනාගාර සංකීර්ණය ජෑමර් යන්ත්‍ර හා සීසීටීවී කැමරා 60 කින් ආවරණය කොට තිබීම හේතුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරීත්වය මුළුමනින්ම ඇනහිට තිබීමද ඔවුන් නිහඬ කරවීමට තවත් එක් හේතුවකි. ඔවුන්ගේ සියලුම කටයුතු මේ නිසා අක්‍රිය වී ඇති බවට සාක්ෂිද ඕනෑතරම්ය.

ඉකුත්දා සිරමැදිරි පරීක්ෂාවෙන්ද ඒ බැව් තහවුරු වී අවසන්ය. පොලිස් විශේෂ කාර්ය බළකාය, රාජ්‍ය බුද්ධි සේවය, බන්ධනාගාර බුද්ධි අංශය, ඒකාබද්ධව ගෙන යන දැඩි පරීක්ෂා කිරීම් හමුවේ අද වනවිට බූස්සෙන් බේතකටවත් මත්ද්‍රව්‍ය ටිකක් සොයාගත නොහැකි බව කියන්නේද එම නිලධාරීහුය. බූස්සේ පාතාල කෙරුමන්ට කෙසේ කොයි ආකාරයෙන් හෝ අද වනවිට පිටස්තර ලෝකය හා සම්බන්ධතා පැවැත්වීම මුළුමනින්ම අවුරා අවසන්ය. පාතාලයට තිත තබන්නට ආරක්ෂක ලේකම්වරයා දරන තැත යථාර්ථයක් බවට පත්වීමේ හොඳම නිදසුන එතැනය.

පසුගිය ජූනි 26දා ආහාර වර්ජන උපවාසයක් සමගම, ආරම්භ වූ පාතාල කෙරුම් පුස් වෙඩිල්ලක් බවට පත්වූයේ ආරක්ෂක ලේකම්වරයාගේ අභීත ක්‍රියාකලාපය නිසා බවට විවාදයක්ද නැත. මුලින් පාතාල කෙරුමන් 14 දෙනකුගෙන් ආරම්භ වූ එම උපවාසයට පසුව 35 දෙනෙකු පමණ සම්බන්ධ වූ බවට වාර්තා වුවද දින ගණනාවකට පසු ඔවුන්ට එය අතහරින්නට සිදුවූයේද කොන්දේසි රහිතවය. ඉල්ලීම් 6ක් අතරින් එකක් හෝ ඉටු නොවීම නිසා ඔවුන්ගේ උපවාසයට තිත තැබුණු අතර අවන්හලෙන් ආහාර ගැනීමට සතියකට ලබාදි තිබූ රුපියල් 2000 සීමාවද එලෙසින්ම ක්‍රියාත්මක විය. පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන වාට්ටුවක් සකසන්නට නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටි ආරක්ෂක ලේකම්වරයාට මේ පිළිබඳව අසන්නට ලැබුණේද අහම්බයෙනි.

කෑම ටික ඉවර වෙනතුරු වර්ජනය කරාවි.  ඒවා අවසන් වුණාම ඉබේටම වර්ජනය නතර කරයි. කෑමත් කයි. අන්තිමේදී ආරක්ෂක ලේකම්වරයා කීවේ ඒ ටිකය.
මෙම ආහාර වර්ජනය හා උපවාසය ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් ලැබුණු නියෝග දැනුම් දෙන්නට ආ බන්ධනාගාර කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට මරණීය තර්ජනය කළ බවට චෝදනා එල්ල වූයේ, කොස්ගොඩ තාරකට හා පොඩි ලැසීටය. එවැන්නක් නොකළ බව කියමින් පොඩි ලැසී ගාලු අධිකරණය හමුවේ හඬා වැටුණේද ඒ සමඟය. එහෙත්, එදා කළ ඒ තර්ජන ගැන කළ පැමිණිලි අනුව රහස් පොලිස් පරීක්ෂණද ආරම්භ වී තිබුණි.
තමා එවැනි තර්ජනයක් නොකළ බවට පොඩි ලැසී හඬා වැටෙද්දී කංජිපානි ඉම්රාන් මරණ බියෙන් තැතිගෙන දෙවියන්ට යාඥා කරන්නැයි ඥාතීන්ගෙන් ඉල්ලා සිටී. මාකඳුරේ මධූෂ්ගේ ඝාතනයෙන් අද වඩාත් කම්පාවටත් බියටත් පත්ව සිටින්නේද කංජිපානිය. ඒ ඔහු මධූෂ්ගේ ගජ මිතුරා නිසාය.

කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලත් සමඟම රුඳවියන්ට බන්ධනාගාර අභ්‍යන්තර අවන්හල්වලින් ආහාර මිලදී ගැනීමට තිබූ වරප්‍රසාදය මුළුමනින්ම ඉවත්කර ඇති බවද හෙළිවිය. බූස්සේ කංජිපානිලාට, සුසෙයිලාට අද වනවිට අවන්හලෙන් ලබාගැනීමට දී තිබූ එම වරප්‍රසාදයද අහිමිව ගොස්ය. එදා සිදුකළ උපවාසයේ එක් ඉල්ලීමක් වූයේද, සතියකට දෙන අවන්හල් ආහාර ප්‍රමාණය සතියකට රුපියල් 8000 දක්වා වැඩි කරන ලෙසය. දැන් සතියකට රුපියල් 2000 සීමාවද අහිමිය. ඇත්තේ හිරබත පමණය. ඒ කෝවිඩ් 19ට පින්සිදුවන්නටය.

කංජිපානි හා පොඩි ලැසී සිය ජීවිත ආරක්ෂාව පතා දැන් නීතිවේදීන් මගින් අධිකරණයේ පිළිසරණ ඉල්ලා සිටියේද මේ අතරය. මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් දෙකක් මගින් ඔවුහු ජීවිත ආරක්ෂාව ඉල්ලා ඇත්තේ වෙන කළයුතු දෙයක් නැති නිසාය. එදා පොඩිලැසීලා, කොස්ගොඩ තාරකලා සමග බන්ධනාගාර නිලධාරීන්ට මරණීය තර්ජන කළවුන් අතර, කැලුම් ඉන්දික සම්පත් හෙවත් කැවුමාද සිටි බව ඊට මුහුණ පෑ නිලධාරීන් නොදන්නා කරුණක් නොවුවද දැන් කැවුමා ඔවුන් අතහැර වෙනත් අතකය.

ආහාර වර්ජන උපවාසයේ මුල්ම කණ්ඩායමේ 14 දෙනා අතර, කැවුමාද සිටියේ පෙරමුණේය. දැන් ඔහු ඉදිරි පළාත් පාලන ඡන්දයට සැරසෙන බවටද තොරතුරු ඇත. මධූෂ්ට අත්වූ ඉරණමෙන් පසු බූස්ස විශේෂිත බන්ධනාගාරයේ පාතාල අපරාධකරුවන් සියල්ලෝම පාහේ හෙල්ලී ගොස් කිසිදු ශබ්දයක් නැති බව කියන්නේද එහි නිලධාරීහුය. ඒ නිසාම, දැන් එහි සෙසු නිලධාරීන්ට පාඩුවේ රස්සාව කරගෙන යන්නට හැකිය. කිසිවකුගේ හෝ තර්ජන ගර්ජනවලට ලක්වන්නට සිදුවන්නේද නැත.
පාතාල පාට් බලන්නට අවශ්‍ය නැති බව ඔවුන් කියන්නේද ඒ නිසාය. කංජිපානිලා මරබියෙන් තැති ගනිද්දී සෙස්සෝ තුෂ්නිම්භූතව බලාගත් අතේ බලා හිඳින බවද දැනගන්නට ඇත.

කොස්ගොඩ තාරක බූස්සට එන්නට පෙර සිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේය. තාරකගේ ෆෝන් පරීක්ෂා කළ අවස්ථාවක එම වැටලීම කළ නිලධාරියකුගේ නිවෙසට ගෝලබාලයන් යවා නිවැසියන් බියවද්දා %දණ ගැස්සවූ^ සිද්ධියක් අදටත් සිහිපත් කරන්නේ එහි නිලධාරීන් පිරිසකි. එදා මුළු රටක්ම හෙල්ලූ පොඩි ලැසීලාගේ කංජපානිලාගේ තත්ත්වය අද කෙබඳුද?

කොස්ගොඩ තාරක හා පොඩි ලැසී මේ වනවිට රුඳවුම් නියෝග මත සී.අයි.ඩී.ය භාරයේය. බූස්ස විශේෂිත බන්ධනාගාරයේ දැනට රඳවා සිටින ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයන් හා ජාවාරම්කරුවන් අතර වෙලේ සුදා, දෙමටගොඩ චමින්ද, සුසෙයි, කංජිපානි ඉම්රාන්, ගොත අසංක, ඌරු ජුවා, මට්ටක්කුලියේ රෝෂාන්, ගනේමුල්ලේ සංජීව, පරෙවි සුදා, ජපන් චූටි, ඩුවා සමන්ත, කුඩු නිලාන්, ආමි සම්පත්, ඕලුමරා, කරන්දෙණියේ සුද්දා, මර්වින් ජානා, පොට්ට නවුෆර්, ගෞතම් ඇතුළු 46 දෙනෙක් වෙති.

සී.අයි.ඩී.යේ රැඳවුම් භාරයට පත්වන්නට පෙර පොඩි ලැසී බූස්ස බන්ධනාගාරයේදී කිලෝ 2ක කේක් ගෙඩියක් කපා සිය උපන්දිනය සැමරූ බවටද තොරතුරු වාර්තා වූයේ මේ අතරය. එහිදී සෑම සිරකුටියකටම කේක් බෙදූ බවටද හෙළිවිය. රහස් පොලීසිය භාරයට ගෙනයන විට පොඩි ලැසී කිලෝ 5ක් බර කුඩා රෑපලාවන්‍යාගාරයක් බඳු උපකරණ මල්ලක් රුගෙන ගිය සිද්ධියක් පිළිබඳව දැඩි කතාබහටද ලක්විය.

එදා බූස්ස බන්ධනාගාරය කියූ සැණින් ත්‍රාසය, බිය මුසුවූ හැඟීම් දනවන තැනක් බඳු වූ ස්ථානයක් අද වනවිට මුළුමනින්ම කනපිට පෙරළී ඇති බව කියන්නේද එහි නිලධාරීහුය. එය අද පාතාල කෙරුමන්ගේ හඬ නිහඬ කළ තැනක් බඳුය.
එදා කැන්ටිමේ රයිස් කොත්තු නොමැතිව නොකෑ වුන් අද කිසි කතාබහක් නැතිවම සිරබත රස විඳිනුයේ වෙන කළ හැකි දෙයක් නොවන නිසාය. රට වටේ සිටි පාතාල කෙරුමන් බූස්සට ගාල් කරන්නට පෙර රජ වැඩකාරයින් බවද අප අමතක කළයුතු නැත.

 ජයන්ත සමරකෝන්