කෝවිඩ් දෙවැනි රැල්ල සමඟ මෙරට නිදහස් ආයෝජන ක්ෂේත්‍ර සහ නිදහස් වෙළෙඳ කලාප ආශ්‍රිතව මතුවී ඇති ගැටලු අපමණය. ඒ හරහා මෙරට ආර්ථිකයට එල්ල වෙමින් ඇති අභියෝගයද සුළුපටු නොවේ. එම නිසාම කලාපේ කෝවිඩ් ගැටලු සම්බන්ධව සොයා බැලීම අප තීරණය කළෙමු.
ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 70% වැඩි දායකත්වයක් දක්වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලාවල නිෂ්පාදනයන්ය. ආයෝජන මණ්ඩලය යටතේ අපනයන සැකසුම් කලාප 12ක් හා කර්මාන්තපුර දෙකක් පවතියි. ඊට අමතරව දිවයින පුරා තවත් කර්මාන්තශාලා රාශියක් වන අතර සියල්ල 1800ක් පමණ බව කියැවෙයි. එසේම ලක්ෂ 5ට අධික ශ්‍රම බළකායක්ද මේ තුළට අන්තර්ග්‍රහණව සිටිති. මේ වනවිට කෝවිඩ් හේතුවෙන් මේ සියල්ලන්ම දැඩි අර්බුදයකට මුහුණදී සිටිති. ආයෝජකයන් කළමණාකාරීත්ව සේවකයන් මෙම මීට මැදිහත් වී සිටින රාජ්‍ය අංශයද ඔවුන්ට අන්‍යය ගැටලුවට මුහුණ දී සිටිති.
කර්මාන්තශාලා හිමියන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුව වන්නේ නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යාමයි. ඒ සඳහා සෞඛ්‍ය නිර්දේශ අනුව ක්‍රියාතමක වීම අධික පිරිවැයක් දැරීමට සිදුවන බව ඔවුහු මැසිවිලි නගති. දැනට ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කර්මාන්තශාලා හිමියන් පීසීආර් පරීක්ෂණ සඳහා පමණක් ඔක්තෝබර් මස 8 වැනි දින සිට ඔක්තෝබර් මස 23 දක්වා දින 16 තුළ රුපියල් ලක්ෂ 900ක් වැයකර ඇති බව කියැවේ. ඊට අමතරව සේවක ප්‍රවාහන වියදම් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. දෑත් සේදීම, මුඛ ආවරණ ලබාදීම ආදී සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් තවත් මිලියන ගණනක් වැය කිරීමට මෙම පිරිසට සිදුවී තිබේ.
මීට සමගාමීව ඔවුන් පවතින ගෝලීය අර්බුදය හමුවේ විදේශ ඇණවුම් ලබාගැනීමේ ගැටලුවකටද මුහුණ දී සිටියි. කෙසේ වෙතත් අයතනික කළමනාකාරීත්වයේ සහ රාජ්‍ය මැදිහත්වීම මත ලබාගත් ඇණවුම් තවදුරටත් ඔවුන්හට ඉතිරිව පවතී. එහෙත් සමත්ව ලෝකයට පහරදීම හේතු කොටගෙන නැවත වෙළඳපොළ බිඳවැටීමක් සිදුවිය හැකි බවට ආරංචි පැතිර යමින් තිබේ. ඒ අනුව යම් සහන සැලසීමේ ක්‍රියාවලියක් රජය පාර්ශ්වයෙන් සිදුවිය යුතු බව ඇතැම් කර්මාන්තශාලා හිමියන් විසින් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් එන්න එන්නම තත්ත්වය සංකීර්ණ වීම හේතුවෙන් රජය යම් අපහසුතාවකට පත්වී ඇති බව පෙනී යයි.
සේවකයන් සම්බන්ධව ඇතිවී ඇති ගැටලු හරහා එම තත්ත්වය තවදුරටත් පැහැදිලි වෙයි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක ගැටලු කෙරෙහි ප්‍රතිචාර දක්වන ලෙස එම සේවකයින් වෙනුවෙන් පෙනී සිටින විවි සංවිධාන සහ වෘත්තීය සමිති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ලිපියක් යොමු කළේය.
ලිපියේ දැක්වෙන ඉල්ලීම්
• කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සහ ඒ අවට සේවය කරන මෑන්පවර් කම්කරුවන් ද ඇතුළුව සියලුම කම්කරුවන් සඳහා PCR පරීක්ෂණ සිදු කිරීම.
• COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන සියලුම රජයේ නිරෝධායන පහසුකම් සහ රෝහල් ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලවන බව සහතික කිරීම.
• නේවාසිකාගාරවල හෝ කර්මාන්තශාලාවල කිසිවෙකු COVID ආසාදිත බව හෝ රෝග ලක්ෂණ තිබෙන බව පෙන්නුම් කරන්නේ නම් සහ රජයේ ප්‍රතිචාර සහ හදිසි සම්බන්ධතා පිළිබඳ විස්තර ඇතුළුව අවදානම් සන්නිවේදනය සඳහා නිරන්තර ප්‍රවාහයක් පවත්වා ගැනීම. සියලුම සන්නිවේදනයන් සිංහල හා දෙමළ භාෂාවෙන් ලබාදී ඇති බවට සහතික වීම.
• නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙනයන කම්කරුවන්ට, අනිවාර්ය ස්වයං නිරෝධායනයක දී සහ හෝ අගුලු දැමීමේදී වැඩට යාමට නොහැකි වූ අයට වන්දි ලබා දීම.
• ඒකාබද්ධ කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කරන ලද අගුලු දැමීමේදී වන්දි ගෙවීම පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම ප්‍රසිද්ධ කිරීම සහ බලාත්මක කිරීම.
• කර්මාන්තශාලා විවෘත කර ඇතිවිට හා වැඩ කිරීමට වාර්තා කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින විට රජයේ සෞඛ්‍ය බලධාරීන් හරහා ආරක්ෂක රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම.
මෙම සියලු ඉල්ලීම ඒ අකාරයෙන්ම ඉටුකිරීමට රජය දක්වන සමත්කම ගැටලු සහගතය. පවතින තත්ත්වය හමුවේ මේ සියල්ල කළමනාකරණය කර ගැනීම රාජ්‍ය පාර්ශවයටද පහසු නැත. එහෙත් ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ (කලාප), එම්.කේ.ඩී ලෝරන්ස් මහතා මෙවන් අදහසක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.
උපුටා ගැනීම,
“මෙම වසරේ මාර්තුවලින් පසු කර්මාන්තශාලා විවෘත කිරීමත් සමග කොවිඩ් දෙවැනි රැල්ලක් ඇති වේ යැයි යන අරමුණින් අප ක්‍රියා කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් ආරක්ෂිත මාර්ගෝපදේශයන් නිකුත් කිරීමටත් පෙර ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආරක්ෂක අංශ එක්කර ගනිමින් සියලු කම්හල් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ අනුව රාජකාරි කරන මේස අතර පරතරය වැඩි කිරීම හවුලේ ස්පර්ශ කළ පෘෂ්ඨයන් වෙනුවට තනි භාවිතය වැනි කම්හල් ඇතුළත බිම් සැලැස්ම වෙනස් කළා. එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මෙහෙයවීම යටතේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා ආරක්ෂක අංශ ඇතුළත්ව සෞඛ්‍ය ආරක්ෂිත අනුකමිටු පිහිටුවා නිරන්තර සොයා බැලීමකට ලක්කළා.
දෙවන කොවිඩ් රැල්ලෙන් පසු කටුනායක කලාපයේ කර්මාන්තශාලා දෙකක් වසා දැමීමට සිදුවුණා. අනෙක් ආයතන බොහොමයක් නිෂ්පාදන කාර්යයන් සිදු කරනවා. මේ වනවිට කටුනායක සමස්ත සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ සේවයට වාර්තා කරනවා. රජය අවදානම් කලාප කිහිපයක් නම් කර තිබෙනවා. එම ප්‍රදේශයේ සේවකයන්ට සේවයට වාර්තා කිරීමට අවස්ථාව දෙන්නේ නැහැ. එහෙත් මෙම ප්‍රදේශයේ සිරවී සිටින සේවක සේවිකාවන්ට වියළි ආහර සහ අනෙකුත් දෑ ලබාදීමට කටයුතු කරනවා.
ඇතැම් පිරිස් ව්‍යාජ මත ගොඩනඟනවා. සමහර ළමයි බලෙන් වැඩට ගේනවා, පහසුකම් නැහැ කියල ඒ සියල්ල සාවද්‍යයයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලාවල සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, වැටුප් ගෙවීම් හා අනෙකුත් පහසුකම් වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පෙනී සිටිනවා.”
මේ අතර නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ඇන්ටන් මාක්ස් මහතා ඇතුළු පිරිස මතු කරමින් සිටින්නේ වෙනත් අදහසකි. විසි අට දහසක් පමණ සේවකයන්ගෙන් දැනට සේවයට වාර්තා කරන්නේ අට දහසක් පමණ බව ඔවුහු පෙන්වා දෙති. ඒ අනුව පසුගියදා ගනු ලැබූ කැබිනට් තීරණය වැරදි බව ඔවුහු පෙන්වා දෙති.
පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කල පරිදි එම තීරණය මෙසේය. පෞද්ගලික අංශය නිවෙස්වල රැඳී සිටින සේවකයන් සඳහා ඔවුන් අවසාන ලැබූ වැටුපෙන් අඩක් හෝ රු 14,500 යන මුදලෙන් වඩා වාසිදායක මුදල ගෙවිය යුතුවය. ඒ අනුව, කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද කියැවුණි.
මේ සම්බන්ධව ඇන්ටන් මාකස් මහතා මතු කළේ මෙවන් අදහසකි.
“අපි තීරණයක් අරගෙන තිබුණේ මේ තත්ත්වය බලන්නේ සංචාරක ව්‍යාපාර පමණයි කියලා. කලින් වතාවේදී කම්කරු අමාත්‍යවරයා ඉල්ලීමක් කරලා ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයෙන් ඔවුන්ගේ නිෂ්පාදන සම්බන්ධව වාර්තාවක් දෙන්න කියලා. ඔවුන් වාර්තාවක් දුන්නා. එය නිරීක්ෂණය අනුව පෙනී ගියා 2019 මාර්තු මාසයේ සිටි අගෝස්තු මාසය දක්වා කර තිබෙන අපනයන ප්‍රමාණය සහ 2020 අපනයන ප්‍රමාණය අතර ලොකු වෙනසක් නෑ. අනෙක් අතට 2020 අපනයන ප්‍රමාණය නිශ්පාදන කරලා තියෙන්නේ අවම සේවක පිරිසකගෙන්. ඒ නිසා ඒ අයට ලාභයක් තියෙන්නේ පිරිවැය අඩුවෙලා. ඒ නිසා එදා හාම්පුතුන්ගේ සංගමය රජය සහ අපි එකඟ වුණා ඔය කියන අඩ වැටුප් ක්‍රමවේද අපිට අදාළ කර නොගන්න. ඒත් අද වෙනකොට කැබිනට් තීරණය වෙනස් එකක්. මේ සම්බන්ධව කිසිදු පූර්ව දැනුවත් කිරීමක් වුණේ නෑ. අද වෙද්දී සේවකයන් අතර වැරදි මතයක් පැතිර යනවා. අපි හාම්පුතුන් එක්ක කතා කරාම ඔවුන් සූදානම් වෙලා ඉන්නේ වැටුප් ගෙවන්න. නමුත් මේ තීරණය දැක්ක ගමන් ඔවුන් වැටුප් ගෙවන එක නතර කරනවා. මේක බරපතල ප්‍රශ්නයක්.”
මේ අනුව කෝවිඩ් හේතුවෙන් නිදහස් වෙළඳ කලාපවලට සහ ආයෝජන ක්ෂේත්‍රයට එල්ලවන බලපෑම දෙයාකාර බව පෙනී යයි. ජාතික ආර්ථිකට එල්ල වන බලපෑම ප්‍රමුඛ නමුත් සේවක අර්බුදය නිසාවෙන් මතුවන අභියෝගද සුළුපටු නොවේ. රජය හාම්පුතුන් මෙන්ම සේවක සංගම්ද එක්ක පිළිතුරැ සෙවීම මිස වෙන් වෙන්ව තීරණය ගැනීම මේ මොහොතේ උචිත නොවේ.
චමිඳු නිසල් ද සිල්වා