2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

“ලොක්ඩවුන්වීසිට” ලියමි...

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 213

නිරෝධායන ඇඳිරි නීතියේ ජීවිතය ගෙවා අදට දවස් 25කි. මනුස්සයකුට නිදහස කෙතරම් අවශ්‍යද යන්න දැනෙන්නේ මෙලෙස ගෙදරකට කොටුවී මාසයක් ජීවත් වන මොහොතකය. කකා බිබී බිත්ති හතරකට කොටු වී ජීවිතය ගෙවන්නට සිදුවී තිබීම කෙතරම් වේදනාවක්දැයි ලියුම්කරු අත්විඳිමින් සිටියි. එහෙත් එය අකැමැත්තෙන් හෝ සිදුකිරීමට තමන්ටම එකඟවන්නට සිදුවී ඇත.

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනෙව්වේ පසුගිය ඔක්තෝබර් 6 වැනිදාය. ඒ බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියා හමුවී දවස් තුනකට පසුවය. 6 වැනිදා දහවල් මාධ්‍ය ඔස්සේ එදින හයේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පැවසීමත් සමඟ ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ ජනතාව සියලු දෙනා ඇදී ආවේ ගම්පහ නගරය වෙතය. මේ නිසා ගම්පහ නගරය තුළ ජනතාව පිරී ඉතිරී ගිය අතර බොහෝදෙනා පොරකමින් තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගත්තේ මේ ඇඳිරි නීතිය කවදා අවසන්වනු ඇතැයිද සැකයෙනි. ගම්පහ නගරය වැසී යාමෙන් පවුල් විශාල සංඛාවකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ස්ථානයක් නොමැතිවනවා සේම විශාල ව්‍යාපාරිකයන් රුසකට එදිනෙදා ආදායම් මාර්ග අහිමිවනු ඇත. ඒ අවදානම නිසාම බොහෝ දෙනා එදා කඩිමුඩියේ භාණ්ඩ මිලදී ගැනීමත් භාණ්ඩ විකිණීමත් සිදුකළෝය.

එදා සවස හය පහුවීමත් සමඟ ගම්පහ නගරයට ඇතුළුවන සියලු මාර්ගවලට පොලීසියෙත් යුද හමුදාවෙත් මැදිහත්වීම මත මාර්ග බාධක දැමිණි. එය ගියවරට වඩා විශාල මාර්ග බාධක වූ අතර ඒවා පසුකර යාම පසුගිය කොරෝනා ඇඳිරි නීති සමය තරම් ලෙහෙසි පහසු වූයේ නැත. යම් අයකු නගරයෙන් පිටවනවා නම් අදාළ ඇඳිරි නීති බලපත්‍රයත්, ඇතුළු වනවා නම් ඊට අදාළ ඇඳිරි නීති බලපත්‍රයත් පෙන්වීම අනිවාර්ය විය. එසේ නොමැති කිසිවකුට නගරයෙන් පිටවීමට හෝ ඇතුළු වීමට අවසර ලැබුණේ නැත. විශේෂයෙන් සෑම වාහනයක් නවතා පරීක්ෂා කිරීම සිදුවිය. ඒ අනුව ගම්පහ ප්‍රදේශයට ඇතුළුවන ස්ථාන වලට බාධා පමුණුවමින් මුරකපොලු දහයකට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක විය.

• ජීවිතේ පළමු වතාවට පාළුවට ගිය නගරය

මාගේ ජීවිත කාලය තුළ ගම්පහ නගරය, ප්‍රදේශය මෙතරම් පාළු වී ඇති අයුරු දැක නැත. පසුගිය කෝවිඩ් ඇඳිරි නීතිය සමයේදීත් එකා දෙන්නා එහා මෙහා යන අයුරු දැකගන්නට හැකිවිය. එහෙත් පුදුමය නම් මෙවර ඇඳිරි නීති සමයේදී ගම්පහ නගරය සම්පූර්ණයෙන්ම හිස්ව යාමය. කිසිවකු හෝ නගරය වෙත පැමිණියේ නැත. අඩුම තරමේ ගෙවල් අතර සම්බන්ධතාද අතඅරින්නට විය. එයට හේතුවුණේ ඒ වනවිට බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන් සිය ගණන් ගම්පහ ප්‍රදේශයෙන් හමුවන්නට පටන් ගැනීමය.

මේ නිසාම ගම්පහ නගරය පමණක් නොව ගම් ප්‍රදේශයන්ද හුදෙකලා වී ගියේ ඇතිවූ අවදානම නිසාය. එහෙත් ඒ සියල්ල මැද මත්පැන් ගේන්නට ගම්පහ නගරයේ සිට ඒ මොහොතේ ඇඳිරි නීතිය නොමැතිව තිබූ මීගමු නගරයට ගිය අයද නැතුවාම නොවේ.

• ඥාතියකුගේ මරණයක්

මේ අතර ලියුම්කරුගේ ඥාතියකුගේ අවාසනාවන්ත මරණයක්ද වාර්තා විය. ඔහු සේවය කළ වරායේදී එක්තරා තැනක ක්ලාන්ත වී ඇද වැටුණේය. සිට පසුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. බාහිර රෝග ලක්ෂණ නොමැති වීම නිසාත් ඒ වනවිට ගම්පහ කෝවිඩ් වසංගතය ඉහළ ගොස් තිබීම නිසාත් ඔහුට ප්‍රාථමික ප්‍රතිකාර ලබාදෙමින් ඔහු සම්බන්ධයෙන් පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇත. ඒ කෝවිඩ් රෝගියකුදැයි දැනගැනීමටය. එහෙත් ඔහුට එම රෝගය වැළඳී නොතිබුණු අතර ඔලුවේ නහරයක් පිපීරීම නිසා ඒ රෝගී තත්ත්වය උදාවී තිබිණි. ඔහු කෝවිඩ් රෝගියකු නොවන බවට දැනගෙන ඉහළ ප්‍රතිකාර ලබාදීමට කටයුතු ආරම්භ කෙරෙන විට ඔහුගේ හිස අභ්‍යන්තරය තුළ රුධිර වහනය වී තිබිණි. ඒ නිසා අවසානයේ ඔහු මරණයට පත්විය. ඒ ප්‍රතිකාර පරක්කු වීම නිසාය. එහෙත් මරණයට හේතුව නහරයක් පිපිරීම නිසා ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනය විය.

කෙසේ වෙතත් ඔහුගේ මරණය නිවෙසේදී සිදුකිරීමට සෞඛ්‍ය පරීක්ෂකවරයා අවසර ලබාදුන් අතර අවසන් කටයුතු ඊට පසුදා සිදුකිරීමට තීන්දු විය. ඒ අනුව ඒ කටයුතුද සිදු කෙරුණේ නිරෝධායන රෙගුලාසි අනුවය.

• බ්‍රැන්ඩික්ස් පොකුරට වඩා බියවූ පෑලියගොඩ පොකුර

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වැඩිම බලපෑම සිදුවූයේ මිනුවන්ගොඩ, වේයන්ගොඩ, මීරිගම, දිවුලපිටිය, කටාන, සීදුව ආදී ප්‍රදේශවලටය. ගම්පහ පොලිස් බල ප්‍රදේශයට එතරම් බලපෑමක් වුණේ නැත. එහෙත් අවාසනාවකට පෑලියගොඩ මාළුවෙළෙඳ සලේ පොකුරේ සිද්ධියේදී විශාල පිරිසක් සොයා ගැනීමට හැකිවිය. ඒ පෑලියගොඩ මාළු මිලදී ගැනීමට ගිය අය සහ එසේ මිලදී ගෙන පැමිණ ප්‍රදේශය පුරා මාළු විකුණූ අයය. එවැනි රෝගීන් 11 දෙනකු ගම්පහ නගර සභා සීමාවෙන් පසුගියදා සොයා ගැනුණි. මේ නිසා ප්‍රදේශයේ බොහෝදෙනා බියවූයේ බ්‍රැන්ඩික්ස් පොකුරට වඩා පෑලියගොඩ පොකුරටය.

• ගම්පහ රෝහලේ බෙහෙත් දීම

රෝහල්වල මාසික සායන සඳහා සහභාගි වන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රජය විසින් නිවසටම ලබාදීමට තීරණය කර තිබුණි. එහෙත් ගම්පහ රෝහලෙන් එය හරිහැටි සිදුකෙරුණේ නැත. ඇතැම් විට දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේද නැත. ඇතැම් අයට එවන බව කීවත් එව්වේ නැත. ඒ අසාධාරණයට ලක්වූ ලියුම්කරුගේ ඥාතියෙක්ද සිටියි. මේ නිසා ඇය මාසික බෙහෙත් සඳහා වැය කිරීමට සිදුවූ මුදල රුපියල් 5000 කට එහාය. ඇයට යම් ආර්ථික ශක්තියක් තිබුණත් එසේ නොමැති අයකු එය දරන්නේ කෙසේද යන්න ඇයට තිබූ ලොකුම ප්‍රශ්නය විය.

ඇය එහිදී අපූරු කතාවක් කීවේය. “මම බෙහෙත් ටික ෆාමසි එකෙන් ගන්න ගියේ පහුගිය සඳුදා හවස හතරට. ෆාමසියේ ඇතුළට යද්දී රෑ අටයි.” මේ කතාව ඇසූ පසුව ඇත්තෙන්ම සල්ලි තිබුණත් මිනිසුන් කෙතරම් මේ අවස්ථාවේ අසරණ වී සිටියේදැයි දැනගත හැකිවිය.

• කෑම කෑවොත් බෙහෙත් නෑ - බෙහෙත් බිව්වොත් කෑම නෑ

දෛනික වේතනයට වැඩකරන බොහෝ දෙනෙකු මේ වනවිට සිටින්නේ කෑම හිඟයකය. තුන්වේල කෑ අය දෙවෙල, එකවේල දක්වා සීමා වී ඇත. කොස් ගෙඩියකින් කුසගිනි නිවාගත් දුප්පත් මිනිසුන් පිළිබඳ ලියුම්කරු දැනුවත් වී සිටී. මා ඔවුන් සමඟ ඇතැම් අවස්ථාවල ඇමතුම් ලබාදී සම්බන්ධ වූයේ එක් එක් අය විසින් ඔවුන්ගේ අසරණභාවය ප්‍රකාශ කිරීම නිසාය.

“දැන් කාලා බීලද?”

“අනේ නෑ. හාල් ඇටයක් නෑ. කරාබු දෙක උකස් කරන්නවත් තැනක් නෑනේ..”

“5000 හම්බවුණාද ඔයාලට?”

 “අනේ මොන 5000 ද? සත පහක් නෑ.”

 “සමෘද්ධිය තියෙනවද?”

 “ඔව්. ඒකේ කූපන් එකේ ටිකවත් හම්බවෙන්නේ නෑනේ..”

මේ සිදුවූ දෙබසකි. පුදුමය නම් ආණ්ඩුව 5000 ලබාදීම ආරම්භ කර තිබියදීත් දවස්20ක් ඉක්මවා ගොස් ඇතත් ඔවුන්ට සහනයක් නොලැබීමය. ඊටත් වඩා පුදුමය අඩුම තරමේ සමෘද්ධිලාභියකු නිසා හෝ ඔහුට 5000 ලැබිය යුතු වීමය. එහෙත් එයද ලැබී නැත. එසේ නම් ඒ ජනතාව ජීවත්වන්නේ කෙසේද යන්න කිසිවකු නොසිතන්නේ ඇයි? අඩුම රජයේ 5000 ඔවුන්ට නොලැබෙන්න තියෙන නුසුදුසුකම මොකක්ද? ඒවාට පිළිතුරු නැත.

කෙසේ වෙතත් තවත් දවස් කීපයක් ගියහොත් ඔවුන් හාමතේ මියයනු ඇත. අද ඇතැමුන්ට අත්ව ඇති ඉරණම කෙසේද යත් සුපිරි වෙළඳසල් ඉදිරිපිට අතපාන්නට සිදුවී ඇත. මේ වෙනින් කොහෙවත් නොව ගම්පහ ප්‍රදේශයේය.

• සුනඛයන්ට දානයක්

මේ අතර මගේ හිතවතුන් පිරිසක් අපුරු දානයක් සූදානම් කළහ. නීතිඥවරුන් වන තරංග වීරසිංහ, සඳුන් දිසානායක, ව්‍යාපාරික ප්‍රභාත් දෙල්ගොඩ, සුරේෂ් බොරුළුගොඩ ඇතුළු පිරිස ගම්පහ නගරයේ සුනඛයන් සඳහා කෑම වේලක් රාත්‍රියක ලබාදුන්නෝය. මිනිස්සුන්‍ට කන්න නැති මොහොතක පාළු වූ නගරයක ජීවත්වන සිය ගණන් බල්ලන්ට ඒ ආහාර වේල දිව්‍ය ඔසුවක් විය. ඇතැම් සුනඛයන් සතියකින් ආහාර ගෙන තිබුණේ නැත. ඇතැම් සුනඛයෝ හාමත් වී සිටියහ. පුදුමයක් නැත. කන්න නැති මිනිස්සු ඇති භූමියක කන්න නැති සතුන් සිටීම සාමාන්‍ය දෙයකි. එහෙත් කිසිවකු එළියට නොබසින මොහොතක සතකු වෙනුවෙන් ආහාරය ලබාදීම කෙතරම් මානුෂීය දෙයක්ද? කෙතරම් ආදරණීයද? අපට අවශ්‍ය එවැනි මිනිසුන් නොවේද?

• විෂබීජ හරණය නගරය පුරාම

පාළුවී ඇති නගරය සුද්ද පවිත්‍ර කිරීමට මේ අතර නගර සභාව විසින් සිදුකරගෙන ගියේය. එහෙත් එය දිගටම සිදුකර ගැනීමට නොහැකි වූයේ තැන තැන ලෙඩුන් හමුවන්නට පටන් ගත් නිසාය. එහෙත් නගරයේ වූ බස් නැවතුම්, දුම්රිය ස්ථාන, පාසල් සියල්ල විෂබීජ හරණය නගර සභාවේ මැදිහත්වීම මත ඉතාම ඉක්මනින් සිදු කළේය. එයට හේතුව ගම්පහ නගරය තුළ පමණක් පාසල් හතකට ආසන්න සංඛ්‍යාවක උසස්පෙළ පැවත්වීම නිසාය. මේ නිසා ගම්පහට පැමිණෙන දරුවන් වෙනුවෙන් ස්ථාන විෂබීජ හරණය ඉතාම මැනවින් සිදුකර තිබුණි.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් පසුගිය කාලය පුරාම හොඳ නරක මේ ඇඳිරි නීති ප්‍රදේශය තුළ අඩු වැඩියෙන් ක්‍රියාත්මක වුණේය. තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. ජනතාව රෝගයට බියෙන් නිවෙස්වල රැඳුණා විනා කරන්න දෙයක් නැතිකමට රැඳී සිටියේ නැත. මේ නිසා බොහෝ වෙලාවට ගම්පහ ප්‍රදේශයේ ඉතාම සාර්ථක ලෙස ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ බව කිව යුතුය. එහෙත් තව දුරටත් සිර වී කොටු වී සිටින්නට මිනිස්සුන්ට අවශ්‍ය නැත. හුදකලා වන්නට අවශ්‍යයක් නැත. බස් රථයක්, කෝච්චියක් දුවන සද්දයක් නෑසෙන තැනට පත්ව ඇත. මහ පාර සම්පූර්ණයෙන් සොහොන් පිට්ටනි වී ඇත. නිතර පොලිස් ජිප්, ගිලන් රථ, හමුදා නිලධාරීන් එහා මෙහා වන හැටි පමණක් දැක ගැනීමට හැකිවී ඇති අතර අහම්බයෙන් ඇඳිරි නීති බලපත්‍ර හිමි අය එහා මෙහා යති. එහෙත් පසුගිය කාලයේ මෙන් මිනිස්සු සංචාරයේ නොයති. නිතර යකඩ කටවල් බැඳගත් සෞඛ්‍ය උපදෙස්ය. නිතර අර පාරෙන් මේ පාරෙන් අයෙක් දෙන්නෙක් පොසිටිව් වී ඇති බව ප්‍රවෘත්ති වලින් ඇසේ. මේ සියල්ල මැද අපි තවමත් හුස්ම ගනිමින් ජීවිතේ හීන දකිමින් සිටිමු. එය අමුතුම අත්දැකීමකි.

 ගයාන් ගාල්ලගේ