බලයට පත්වන ආණ්ඩුවක් දිනෙන් දින පිරිහීමට පත්වීම අප දන්නා දේශපාලන යථාර්ථය වෙයි. එහෙත් වත්මන් ආණ්ඩුව එබඳු ඉරණමකට ගොදුරැ වී නැත. පවතින තත්ත්වය යටතේ අවුලකින් තොරව වැඩ කරගෙන යෑමේ අවස්ථාව ආණ්ඩුවට ලැබී තිබේ. එය සාධනීය තත්ත්වයකි.
විසි වැනි සංශෝධනය කෙටුම්පත් කිරීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හා ඊට අදාළ ඡන්ද විමසීම තෙක් ක්‍රියාවලියද නිදහස් හා සාධාරණ එකක් සේ පැවැතිණි. සංශෝධනයට අදාළ සංවාදයට ප්‍රමාණවත් කාල පරාසයක් දී තිබීම වැදගත්ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයට ඇහුම්කන් දීම තවත් වැදගත් සංසිද්ධියකි. ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයන්ටද ස්වාධීන ලෙස තම මතය පළ කිරීමට අවස්ථාව දී තිබිණි.
විස්ස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පොදු ජන පෙරමුණෙහි විවිධ පක්ෂ කිනම් මතයක සිටියද අවසානයේ එය නිරවුල් වූ බවක් පෙනෙන්නට තිබිණි. ඒ අනුව විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකකටත් වැඩි ඡන්දයකින් සම්මත විය. දෙවැනි වර කියැවීමේදී පනතට පක්ෂව ඡන්ද එකසිය පනස් හයක් ලැබිණි. විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද හැටපහක් පමණි. කාරක සභා අවස්ථාවේදී ද්විත්ව පුරවැසි වගන්තියට පක්ෂව ඡන්ද එකසිය පනස් හතක් ලැබිණි. විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද හැට හතරක් පමණි. විපක්ෂයේ මහජන නියෝජිතයන් අට දෙනකු සංශෝධනයට පක්ෂව ඡන්දය දීම විශේෂයකි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනෙකු, මුස්ලිම් ජාතික සන්ධානයේ එක් මන්ත්‍රීවරයකු සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු විසිවැනි සංශෝධනයට සහය පළකර තිබිණි.
ජනපතිතුමා රට හදයි කියන විශ්වාසය මට තියෙනවා
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ
මම මේ වගේ තීරණයක් ගත්තේ රටට නායකයකු අවශ්‍ය නිසා රටේ ජනතාව කියනවා සිස්ටම් චේන්ජ් කරලා දෙන්න කියලා. අරක කරලා දෙන්න මේක කරලා දෙන්න කියලා. රට හදලා දෙන්න කියලා. රටේ ආරක්ෂාවට වග වෙන්න කියලා ජනතාව නිරතුරුවම කියනවා නමුත් ඒ ජනාධිපතිවරයාට රටේ පොලිස්පති මාරු කරගන්න බැරිනම් අනෙකුත් ස්වාධින කොමිෂන්වල මොනවත් කරන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? ජනාධිපති කෙනෙක් නාමිකව ඉඳලා වැඩක් නැහැ. රටේ ජනාධිපතිවරයාට බලයක් තිබිය යුතුයි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට හදන්න පුළුවන් කියන විශ්වාසය මට තිබෙනවා. රට ගැන රටේ ඉදිරි වැඩපිළිවෙළ ගැන පැහැදිලි දැක්මක් තියනවා. ඒ නිසා මම 20 සම්මත කරගන්න මගේ ඡන්දය දුන්නා. ඇතැමුන් කියනවා මට පාර්ලිමේන්තුවට එන්න ජනතාව දුන් තීරණය වැරදියි කියලා නමුත් මම කියන්න කැමතියි මට පාර්ලිමේන්තුවට එන්න ඡන්දය දුන් ජනතාවට කිසිවිටෙක ද්‍රෝහිකමක් කරන්නේ නැහැ. මේ රට හදනව නම් අපි කාටත් හොඳයි. රට සංවර්ධය වෙනවානම් අපි කාටත් හොඳයි.
හොඳ දැක්මක් ඇති නායකයාට සහාය දුන්නා
මුස්ලිම් ජාතික සන්ධාන මන්ත්‍රී (සමස්ත ලංකා මක්කල් කොංග්‍රස්) එස්.එම්.එම්. මුෂාරෆ්
රජය ගෙන යන වත්මන් වැඩපිළිවෙළ බොහොම සාධනීයව සිදු කරනවා. ඒ වගේම ජනතාවගේ සංහිඳියාව ගැන හොඳ අවබෝධයක් මේ රජයට තියනවා. හොඳ දැක්මක් තිබෙන නායකයකු රට ගැන ජනතාව ගැන හිතනව නම් ඔහු ද්විත්ව පුරවැසියකු වුවත් ඔහුට අපි සහයක් ලබා දිය යුතුයි.
අපි ඡන්දය දුන්නේ නායකතුමාගේ අනුමැතිය ඇතිවයි
මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස්
අපි සියල්ල අධ්‍යනය කරලා නායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී හෘද සාක්ෂියට අනුව ඡන්දය පාවිච්චි කරන්නට තීන්දු කරගත්තා. ඒකට නායකතුමාත් අනුමැතිය ලබාදීලායි තිබුණේ. මම කිසි දවසක බොරු කියන්නේ නැහැ. මේක වගකීමෙන් යුතුව කියන්නේ. ගත්තු තීන්දුවකට පටහැනිව අපි ඡන්දය පාවිච්චි කරපු බවක් පක්ෂයේ කවුරුහරි කියනවා නම් පක්ෂ ව්‍යවස්ථාව අනුව අපිවත් ඉවත් කරන්න පුළුවන්. නමුත් එවැන්නක් තාම සිදුවුණේ නෑ. ඒකට හේතුව, නායකතුමාගේ අනුමැතිය ඇතිව තමයි අපි 4 දෙනාම ඡන්දය දුන්නේ.
සංහිඳියාව ගැන හොඳ ආකල්පයක් මේ රජයට තිබෙනවා
සමගි ජනබලවේගය (දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ) පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අරවින්ද් කුමාර්
මේ රජය වත්මනේ ගෙනියන වැඩපිළිවෙළට සහය දක්වන්න තමයි මම 20ට ඡන්දය දුන්නේ. රටේ සංහිඳියාව පිළිබඳව හොඳ ආකල්පයක් මේ රජයට තියනවා. ඒ වගේම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආකල්ප අනුව මේ රට දියුණු රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. තවම මාව පක්ෂයෙන් ඉවත් කළ බවට ලිපියක් ලැබිලා නැහැ. එහෙම ලිපියක් ලැබුණොත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සලකා බලනවා.
සටහන: හසිත් අංජන