කොවිඩ් 19 පිළිබඳ ලෝක අවදානම යළිත් උපරිම තලයකට පැමිණ තිබේ. ඊට හේතුව කොවිඩ් දෙවැනි රැල්ල හිතනවාට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වීමය. අප හැමදාම පෙන්වා දෙන ආකාරයට මෙය සාමූහික වගකීමකි. සාමූහික යුතුකමකි. පුරවැසියා, රජය, ආයතන පමණක් නොව, විවිධ සංවිධාන පවා තම වගකීම් හා යුතුකම් කෙරෙහි පූර්ණ අවබෝධයකින් ක්‍රියා කිරීම වැදගත්ය.
අප මුහුණ දෙන අභියෝගය වන්නේ වසංගතයට මුහුණ දෙමින් දෛනික ජීවිතය ආරක්ෂාකාරී ලෙස පවත්වාගෙන යන්නේ කෙසේද යන්නය. මිනුවන්ගොඩින් ආරම්භ වූ දෙවැනි රැල්ල තවම පාලනය වී නැත. එය රටේ සෙසු ප්‍රදේශ කරාද කාන්දු වෙමින් පවතී. එය බරපතළ තත්ත්වයකි. මේ අනුව ඉදිරි කාලය වඩාත් වගකීම් සහගත වෙයි.
මේ වනවිටත් මෙරට පුරා ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති අතර එදා වේල හරි සොයාගත් මිනිසුන් කිහිප දෙනකුටම සිය දෛනික ආදායම අහිමි වී ඇත. පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයෙන් කොවිඩ් රෝගීන් කිහිප දෙනෙකු හමුවීමත් සමග මේ වන විට රටපුරා ඇති වරායන් කිහිපයක් වසා ඇත.
කාලයක් මුළුල්ලේම කොරෝනාවෙන් බැටකෑ ධීවර කර්මාන්තය අද වනවිට කොරෝනා රෝගයේ දෙවැනි රැල්ලත් සමග යළිත් අඩපණ වී තිබේ. ගාල්ල, බේරුවල, වාලච්චේන යන ධීවර වරායන් වැසී ඇත.
මේ වනවිටත් රටපුරා ඇති ධීවර වරායන් සියල්ලන්ගේම වැඩ නැවතී තිබේ. එම වරායන් තුළ මාළු කිලෝ තුන් ලක්ෂ පනස් දහසක් පමණ වරායන් තුළ හිරවී ඇති බවට ධීවරයෝ මැසිවිලි නගති.
වෙළෙඳාම කඩා වැටිලා
සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ජාතික සංවිධායක රත්න ගමගේ
කොරෝනා වසංගතය නිසා මේ රටේ ධීවර ප්‍රජාව බරපතළ අර්බුදයකට ගොදුරු වී ඉන්නවා. ආණ්ඩුවේ බලධාරීන් කියනවා මෙය සමාජගත වෙලා නැහැ කියලා. අපිට තියෙන ප්රශ්නය ඔවුන් කියන මේ සමාජය කොතැන ද තියෙන්නේ? සමාජය යනුවෙන් ඔවුන් අර්ථ දක්වන්නේ කුමක් ද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව මේ කරන අර්ථ දැක්වීම් අපේ රටට යථාර්ථයක් ද? මේ වනවිට රට වටේම තියෙන ධීවර වරායන් වැඩි ප්‍රමාණයක් වසා දමා තිබෙනවා. ධීවර කර්මාන්තයත්, මත්ස්‍ය වෙළෙඳාමත් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා. මේ විනාශ වෙන්නේ රටේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවයට වැඩිම දායකත්වයක් දුන් දේශීය කර්මාන්තයක්. ඒ වගේම විදේශ විනිමය ගෙනාපු කර්මාන්තයක්. අපිට කොරෝනා නිසා මේ කර්මාන්තය විනාශ වෙන්න දෙන්න බැහැ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා ධීවර අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාශයත් ඒකාබද්ධව මේ අර්බුදය ජයගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් හදන්න කියා අපි යෝජනා කරනවා.
ගෙනා මාළු නරක් වෙන්න පුළුවන්
සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් ප්‍රනාන්දු
මේ වනවිට රටපුරා වරායන්වල කටයුතු අඩපණ වෙලා තියනවා. ඒ වගේම බහුදින යාත්‍රා විශාල ප්‍රමාණයක් වරායන් වලට පැමිණෙන්නට නොහැකි වී තිබෙනවා. වරායන් තුළ අපගේ බහුදින යාත්‍රාවල මාළු කිලෝ ලක්ෂ තුනකට වැඩියෙන් හිරවෙලා තියනවා. තව ටික දවසක් යද්දී ඒවා නරක් වෙන්න පුළුවන්. මාස ගාණක් මහ මුහුදේ ඉඳලා මේ ධීවරයන් ගෙනා ඒ මාළු අස්වැන්න මිලදී ගැනීමට රජය වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. එදා වේල හම්බකරන් කන බොහෝමයක් ධීවර පවුල් දැන් අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ. ඒ ජනතාවට අනිවාර්යයෙන්ම ඒ ජනතාව වෙනුවෙන් සහයක් ලබා දිය යුතුයි.
සහන සැලසීමට පියවර ගන්නවා
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ල්ස් දේවානන්ද
රට තුළ මේ වනවිට ඇතිවෙලා තියන තත්වය පාලනය කරන්න රජය සියලුම පියවර ගනිමින් ඉන්නවා. ඒ වගේම ධීවරයන් සියලුදෙනාටම සහන සලසන කටයුතු අපි සිදුකරනවා.
සටහන: හසිත් අංජන