2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

දකුණ කැළඹූ පොඩි ලැසී

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නැමැත්තා ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ලැසිගේ පියා තෙල්වත්තේ හිටපු චණ්ඩියෙකි. ඔහු හිටපු පාතාල නායක එස්.ටී.එෆ්. නඳුන්ගේ ගෝලයෙකි. පොඩි ලැසී පවුලේ බාලයා වන අතර ඔහුට වැඩිමහල් එක් සහෝදරයෙකි. දැනට ඔහු ඩුබායි රටේ පදිංචිව සිටින්නේය. විරුද්ධ කල්ලියක් විසින් පොඩි ලැසීගේ පියා ඝාතනය කරන විට පොඩි ලැසී පාසල් යන කොලුගැටයෙකි. එහෙත් එදා පටන්ම පියා මැරූ පලිය ගන්නට පොඩි ලැසී දත කමින් සිටියේය. මේ බව දන්නා පොඩි ලැසීගේ අම්මා ලැසීට දිරිය දෙමින් පලිගන්නට ශක්තිය ලබා දුන්නාය. ඒ පියා ඝාතනය කරනු ලැබුවේ එවකට පාතාල කල්ලි ප්‍රබලයකු වූ මනෝජ් මෙන්ඩිස් නැමැත්තා බවට අම්මා මෙන්ම පොඩි ලැසීද සැක කළ නිසාය. එහෙත් මනෝජ් මෙන්ඩිස් නොහඳුනන පොඩි ලැසීට ඔහු හා ඇසුරක් නොතිබුණි. කෙසේ හෝ ලද අවස්ථාවක පොඩි ලැසී මනෝජ් සමඟ හිතවත් වී ඔහුගේ කුලුපග ගෝලයකු බවට පත්ව ඇත. නමුත් උඩින් නොපෙන්වූවද පොඩි ලැසී මනෝජ් මෙන්ඩිස් සමඟ පසුවූයේ දැඩි වෛරයකිනි. ලෙයට ලෙයක් ඉල්ලන පළිගැනීමට පොඩි ලැසී ඇඟිලි ගනිමින් සිටියේය. මේ කාලය වනවිටත් පොඩි ලැසීට යම් සහචරයන් පිරිසක්ද එක්ව සිටියහ.

2015 මාර්තු 23 වැනිදා මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරීමත් සමඟ පොඩි ලැසී පාතාලයේ අලුත් පිටුවක් සිය නමට ලියාගන්නේ දකුණු පාතාලයට තවත් නායකයකු ආ බව රටටම කියමිනි. එදා මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනයත් සමඟ පොඩි ලැසී පාතාලයේ කෙරුමෙක් බවට පත්විය. එතැන් පටන් කට්ටි පැන සැඟවී සිට කොස්ගොඩ සුජී කල්ලියේ රැකවරණය ලැබූ මොහු පොලීසියට කොටුවී බන්ධනාගාර ගතවී දෙතුන් වතාවක්ම ඇප ලබාගෙන ඇත. බොහෝවිට ඇප ලබාදී තිබුණේ ලැසීගේ පුංචි අම්මාය. අනතුරුව පොලීසියට වැලිගසමින් හෙරොයින් ජාවාරමේ හා සංවිධානාත්මක අපරාධවල නියැලුණු පොඩිලැසී නැවත බන්ධනාගාර ගත විය. පසු අවස්ථා කිහිපයකදී ඇප ලැබුණත් ඇප දීමට කෙනකු ඉදිරිපත් නොකර ඇත්තේ විරුද්ධ පාතාලයන්ගේ ජීවිත තර්ජන නිසා සිය ආරක්ෂාවටය.

දැනට රඳවා සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා 'පොඩි ලැසී' විසින් සිය නීතිඥවරිය මාර්ගයෙන් ගොනු කළ පෙත්සමක් විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර ඇත්තේද ඒ නිසාය.

තමන්ගේ හිතුමනාපයට මිනිසුන් එලොව යැව්වා මදිවට කුලියට මරපු මිනී ගණන සිය වයසින් අඩකටවත් සමාන හෝ ඊට වැඩි ඇති. ඒ කියන්නේ වයස නම් 30ක් 32ක් පමණය. කප්පම් ගැනීම, කුඩු ජාවාරම මෙන්ම සoවිධානාත්මක අපරාධවල සියලු සුදුසුකම් සපුරාගත් පොඩි ලැසී අඩු වයසින්ම පාතාලයට හිමිකම් කියූවෙකි. මේ කෙරුම්කාර අරුමාහන්දි ජනිත් මදුසoක ද සිල්වා හෙවත් පොඩි ලැසී දකුණු පාතාලයේ ඉහළින්ම තම නම තබාගෙන සිට දැන් රුඳවුම් නියෝග යටතේ පසුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේය.

මීට මාස හතරකට පමණ පෙර පොඩි ලැසී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියේය. ඔහු සමගින් නම්දැරෑ තවත් ප්‍රබල ගණයේ අපරාධකරුවන් කිහිපදෙනෙක්ද එහි රඳවා සිට තිබුණි. ඔවුන් සියලුදෙනා වැලිකඩ සිට බූස්ස බන්ධනාගාරයට මාරුකළ අය වෙති. ඉකුත් ජූනි මස 26 වැනිදා ඒකරාශී වූ සිරකරුවන් අහාර වර්ජනයක් ආරම්භකර තිබිණ. එයට මූලිකත්වය ගෙන තිබුණේ පොඩි ලැසී බවද කියැවිණි. ඊට කoජිපානි ඉම්රාන්, වෙලේ සුදා, කොස්ගොඩ තාරක වැනි ප්‍රබල පතාල නායකයන්ද සහාය දක්වා ඇත. එහිදී ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීම වී ඇත්තේ ඔවුන් සිරමැදිරිවලින් පිටත රඳවා තබන කාලය වැඩිකරවා ගැනීමට පාලනාධිකාරියට බලකිරීමය. නොකඩවා පැවැති ආහාර වර්ජනය අතහැරීමට නම් බන්ධනාගාර කොමසාරිස්වරයා සමඟ කතිකාවක් අවශ්‍ය බව පිරිස පැවසූහ.

ඉල්ලීමට සවන්දුන් පාලනාධිකාරිය සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු සමඟ සහකාර බන්ධනාගාර කොමසාරිස්වරු දෙදෙනකුද ඇතුළු නිලධාරීන් තිදෙනකු සාකච්ඡාවට සහභාගී වූහ. ඒ අතරතුරදී ජනාධිපතිවරයාට, ආරක්‍ෂක ලේකම්වරයාට හා බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට මරණ තර්ජන කිරීමට පොඩි ලැසී ක්‍රියාකර ඇත. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නට අදාළ නිලධාරීහු පියවර ගත්පසු සැකකාර පොඩි ලැසීට නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඒ අතර රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශය බාර සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතාගේ උපදෙස් මත එම අංශයේ පොලිස් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයේදී පොඩි ලැසීගේ තවත් ඝාතන සැලසුමක තොරතුරැ හෙළිකරගෙන තිබේ. ඒ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු බව කියන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින තනි ඇටයා ඝාතනය කිරීම සඳහා බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමකි.

තවමත් රහස් පොලීසිය බාරයේ පසුවන පොඩි ලැසී ඉකුත් 15 වැනිදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මොහු මත්ද්‍රව්‍ය හා ගිනි අවි සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සඳහා රුඳවුම් නියෝග යටතේ දින 90ක් රහස් පොලීසියේ රඳවා තබාගන්නා ලෙස අධිකරණය විසින් බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබිණ.

අඩුම වයසකින් මිනීමැරුම් ඇතුළු අපරාධ රුසක් සිදුකර පාතාලයේ කප් ගැසූ පොඩි ලැසී බූස්ස බන්ධනාගාරයේ සිටියදීත් එම පුරුදු අතහැර නැත. පහේ කල්ලියේ වසන්ත නැමැති පොඩි ලැසීගේ පියාගේ ඝාතනයේ පලිය ගන්නට පියාගේම අඩිපාරේ යමින් පාතාලයට ආ ඔහුට සහෝදරයකු සිටී. ඔහුගෙ නම ලොකු ලැසීය. ඔහු පතාලයට සබඳතා නැතත් මව අත්අඩංගුවට ගැනුණේ සිය පුත්‍රයාගේ හෙරොයින් ජාවාරම් සල්ලි සන්තකයේ තබාගෙන සිටියදීය.

එස්.ටී.එෆ්. නඳුන් දකුණු පාතාලයේ හිටපු ප්‍රබලයෙකි. පහේ කල්ලියේ වසන්ත හෙවත් තෙල්වත්තේ වසන්ත ඔහුගේ ළඟම සගයෙකි. වරෙක ඔහු හා බිරිය විරුද්ධ කල්ලියක වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර එහිදී වසන්ත මියගිය අතර බිරිය තුවාල ලැබුවාය. පොඩිලැසීට සැලවී තිබුණේ වෙඩි ප්‍රහාරය මනෝජ් මෙන්ඩිස් පාර්ශවයෙන් සිදුකළ බවයි. ඊට ඔත්තු බලමින් එය සිදුකර තිබුණේ තනිඇටයා ඇතුළු කිහිපදෙනෙකි. පසුගිය දිනවලදී තනිඇටයා ඝාතනයට සැලසුම් කොට තිබුණේ එකී පලිය ගැනීමටය. මීට වසර කිහිපයකට පෙර 2015 දී මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරීමට පොඩිලැසී ඉස්සර වී තිබුණේද එබැවිනි. එය එක් අතකින් තවත් කොන්ත්‍රාත්තුවක්ද වෙයි. ඒ ලොකූ නැමැත්තකුගෙන් ලක්ෂ දහයක් ලබාගෙනය.

පසුගිය දිනවලදී වාර්තා වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ මහාපරිමාණ හෙරොයින් ජාවාරම තුළ වැඩිම කොටසක් මිලට ගෙන ඇත්තේ පොඩි ලැසී බවටද වාර්තාවී තිබේ. ඔහුගේ ගෝලයින් ලවා විවිධ වර්ණ යටතේ පාර්සල් සකසා රටේ එක් එක් ප්‍රදේශවලට යවා ඇතැයිද වාර්තාවේ. මේ ජාවාරම් සඳහා උදාර නැමැති පොඩි ලැසීගේ පවුලේ සහෝදරයකු ඩුබායි සිට සහාය වී ඇතැයිද හඳුනාගෙන තිබේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර