2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

චම්පික රණවක ජපානය ඇමැතූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, ප.ව. 06:00 57

රටක් ලෙස අපට සංවර්ධන ඉලක්ක අත්පත් කර ගැනීමට ඇති ප්‍රධාන බාධාවක් ලෙස ගමනාගමන ගැටලුව හඳුනාගැනුණේ අදක ඊයෙක නොවේ. කලින් කලට ඊට විසඳුම් යෝජනා වී මුත් මේ දක්වා මෙම ගැටලුවට පූර්ණ විසඳුම් ලබා දීමට බලධාරීහු අසමත් වූහ. පසුගිය රජය සමයේ කොළඹ නගරබද ගමනාගමන බාධා වළක්වා ගැනීමට ව්‍යාපෘතියක් යෝජනා විය. අගනුවර තදබදයට ලාභදායී විසඳුමක්^ ලෙස යෝජනා වූ මෙම ව්‍යාපෘතිය ඩොලර් බිලියන 1.5ක ජපාන සහනදායී ණය ක්‍රමයකින් නිම කිරීමට සැලසුම් කළ කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (එල්.ආර්.ටී) ව්‍යාපෘතිය නම් විය.

කෙසේ වෙතත් වර්තමාන  ආණ්ඩුව බලයට පැමිණි පසු එම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (එල්.ආර්.ටී) ව්‍යාපෘතිය අහෝසි කිරීමට තීරණය කළේය. ව්‍යාපෘතිය අහෝසි කරන ලෙස ජනාධිපතිවරයා මහාමාර්ග අමාත්‍යංශයට නියෝග කළේ එම ව්‍යාපෘතිය අගනුවර තදබදයට ලාභදායී විසඳුමක්^ නොවන බව පවසමිනි. ඒ අනුව "මෙම ව්‍යාපෘතිය අවසන් කළ වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යාපෘති කාර්යාලය වසා දමන" ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ප්‍රවාහන අමාත්‍යංශයට ලිපියක් යවමින් කියා සිටියේය. 

මේ සමඟම යම් සමාජ සංවාදයක් ඇති විය. ව්‍යාපෘතිය අහෝසි කිරීමට ගත් තීරණය හේතුවෙන් දේශීය වශයෙන් ආයතන රෙගුලාසි පිළිබඳව මෙන්ම මූල්‍ය ප්‍රතිපත්තිවලට අදාළව ද විදේශීය වශයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ද ගැටලු ඇති විය හැකි බවට තර්ක මතු විය. ව්‍යාපෘතිය අහෝසි කිරීමට එරෙහිව පෙනී සිටි පසුගිය රජයේ විෂය භාර අමාත්‍යවරයා වූ පාඨලී චම්පික රණවක මහතා පසුගියදා සුවිශේෂී ලිපියක් ජපන් අගමැතිවරයා වෙත යොමු කළේය. 

2020 ඔක්තෝබර් මස 12 වැනිදා ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිදේ සුගා මහතා වෙත යොමු කෙරුණු මෙම ලිපිය හරහා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දුව හේතුවෙන් ජපාන රජයට සහ එහි ජනතාවට යම් හෝ අපහසුතාවයක් සිදු වූයේ නම් ඒ සම්බන්ධයෙන් තමා කනගාටු වන බව චම්පික රණවක මහතා සඳහන් කර තිබුණි. ඊට අමතරව ජපානයේ මූල්‍ය සහයෝගීතාවය මත ක්‍රියාත්මක කෙරෙමින් පැවති සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නතර කිරීම සම්බන්ධව දීර්ඝ වශයෙන් මෙම ලිපියේ කරුණු ඇතුළත් විය.

උපුටා ගැනීම - චම්පික රණවක ලිපිය

ජපානයේ ජයිකා ආයතනය (JICA) මෙම ව්‍යාපෘතිය සඳහා 0.1%ක ඉතාම වාසිදායක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ අරමුදල් සැපයීමට ඉදිරිපත් වූ අතර ව්‍යාපෘතියේ උපදේශන සේවා වෙනුවෙන් ලබා දෙන ණය පහසුකම සඳහා වූ වාර්ෂික පොලී අනුපාතය 0.01% තරම් කුඩා අගයක් විය.

එසේම ණය ගෙවීම සඳහා වසර 14ක සහන කාලයක් සේම වසර 40ක් තරම් දීර්ඝ ණය ගෙවීමේ කාලසීමාවක් ලබා දී තිබුණි. පසුගිය දශකයක කාලසීමාවේදී ශ්‍රී ලංකා රජය විසින් යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා දියත් කළ ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍යමය සහාය ලබාගැනීම සඳහා 6%-7% වැනි ඉහළ පොලී අනුපාත යටතේ වාණිජ ණය ලබාගත් තත්ත්වයක් තුළ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක ව්‍යාපෘතියක් විය. ශ්‍රී ලංකා රජයේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහ ජපානයේ ජයිකා ආයතනයේ සහයෝගීතාවය මත වසර දෙකක කාලයක් තුළදී සියලුම ශක්‍යතා අධ්‍යයන, ණය ගිවිසුම් සකස් කිරීම සහ ව්‍යාපෘති ආරම්භය කාර්යක්ෂමව සිදු කිරීමට හැකියාව ලැබුණු අතර එය ජයිකා ආධාර යටතේ ලෝකයේ සිදු කළ වේගවත්ම ව්‍යාපෘතිය ආරම්භය ලෙස සැලකේ.

2024 වන විට දී පැයකට මගීන් 30,000කට සේවය සපයමින් කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ මූලික පරමාර්ථය සහිතව මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පැවතිණි. නමුත් වර්තමාන රජය විසින් හදිසියේම මෙම ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කර ඇති අතර ඊට හේතු කවරේද යන්න දැනුවත්ව ඇත්තේ ඔවුන්ම පමණි."

මෙම ලිපිය ජාත්‍යන්තර දේශපාලන විෂයේ යම් බලපෑම් සහගත ලිපියක් වූ බව පෙනී යයි. කෙසේ වෙතත් චම්පික රණවක මහතාගේ ලිපියට පෙර සිටම ඇතැම් ජපන් මාධ්‍ය ආයතන මෙම ව්‍යාපෘතිය නතර කිරීම පිළිබඳ වාර්තා කර තිබුණි. එහිදී කොළඹ නගරය තුළ මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම ද මේ වන විට අවසන් කර ඇති බවත් මූලික ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කර ඇති බවත් කියැවිණි. 

එසේම මෙහි පළමු අදියරට මුදල් යෙදවීම සඳහා පසුගිය වසරේ මාර්තු මාසයේදී යෙන් බිලියන 30ක (ඩොලර් මිලියන 285ක) ණය ගිවිසුමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් අත්සන් තැබුණු බව ජයිකා ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන බව බී.බී.සී සිංහල සේවය වාර්තා කර තිබුණි.

මේ අතර අපි මෙවන් ලිපියක් ලිවීමට හේතුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් විමසා සිටියෙමු. ඔහු සිදු කළේ මෙවන් පැහැදිලි කිරීමකි.

“ජපානය තමා ලංකාවේ ප්‍රවාහන සැලසුම හදන්න 2008 දී මුල් වුණේ. ජයිකා ආයතනය දියත් කරපු මේ වැඩපිළිවෙළට මොරටුව විශ්වවිද්‍යාලයත් දායක වුණා. එහෙම ඇවිල්ලා ජපානය මෙරට පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න දායක වෙන්න තීරණය කළා 2016 දී. 2014 දී තීරණය කරලා තිබුණු මොනෝ රේල් කියන එක වෙනුවට ලයිට් රේල් කියන එක අපි තෝරාගත්තා. ලයිට් රේල් දාන්න ඕනෑ කොරිඩෝවන් හතරක් අපි හඳුනා ගත්තා. 

එතැනින් වැඩිම තදබදයක් තිබුණු කොරිඩෝව කඩුවෙල සිට පිටකොටුවට. ඒ සඳහා ඉතාම සහන පොලියක් මත ජපන් රජය ණයක් දෙන්න තීරණය කළා. ඒ අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා. දැන් අපිට අවුරුදු හැත්තෑවක් උදව් කරපු මේ ආසියාතික ජාතිය අපි අමනාප කර ගන්න යනවා. මම බොහොම පැහැදිලිව කියනවා මේක ඉතාම හිතුවක්කාරී තීරණයක්. ඒ වගේම තමන්ට පෞද්ගලික ලාභ ලබා ගන්න බැරි නිසා අවිධිමත් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන්න ඕනෑ නිසා ගත්ත තීරණයක් මේක." 

ආණ්ඩුව පාර්ශ්වයෙන් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතිය අවසන් කිරීමට ගත් තීරණයට කැබිනට් අනුමැතිය ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා සැප්තැම්බර් අග සතියේ දී ප්‍රකාශ කර තිබුණි. මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියට විකල්පයක් සොයා බැලීමට රජය තීරණය කර ඇති බව ද ඔහු එහිදී කියා සිටියේය. මෙම ව්‍යාපෘතිය පිළිබඳව කැබිනට් මණ්ඩලය පුළුල්ව සාකච්ඡා කළ බවත් එය හොඳම විකල්පය නොවන බවට තීරණය කළ බවත් අමාත්‍ය රඹුක්වැල්ල තවදුරටත් පැහැදිලි කළේය.

කෙසේ වෙතත් දැනට ඇති තොරතුරු අනුව මීට විකල්පයක් ලෙස කැලණි පාලමේ සිට අත්තිඩියට ගුවන් මගින් මාර්ගයක් ඉදි කිරීමට තීරණය කර ඇත. එහෙත් මේ වන විට ඊට අවශ්‍ය මූල්‍ය සම්පාදන ගැටලුවක් වී ඇති බව කියැවේ. ඒ අතර පාඨලී චම්පික මහතා ඇතුළු පිරිසක් චෝදනා කරමින් සිටින්නේ මෙම ව්‍යාපෘතිය සාධනීය නොවන බව සහ ඊට අවශ්‍ය මූල්‍ය සම්පාදනයට රජය පෙර අත්පත් කරගත් ඉඩම් පෞද්ගලික ආයතනයකට විකිණීමට සැලසුම් කරමින් සිටින බවය.

 චමිඳු නිසල් ද සිල්වා