මහවැලි, කැලණි, කළු, මාඔය ආදී ගංඟා ආශ්‍රිතව නිරන්තරයෙන් වැලි ජාවාරම් ගැන කියැවේ. දේශපාලන බලවතුන්ගේ අනුග්‍රහයෙන්ද සිදුවන මේ ජාවාරම්වලට සමහර පොලීසිවලින් ද බාධකයක් නැත. ඒ ඔවුන්ට ජාවාරම්කරැවන් අතමිට මොලවන නිසාය.
වැලි ජාවාරමට මෑතකදී හසුව ඇති තවත් ගංඟාවක් වන්නේ මාදුරු ඔයයි. කි.මී. 139ක දිගකින් යුත් මේ ගංඟාව බදුල්ල දිස්ත්‍රික්කයේ පහළ ඌවේ කඳුවලින් ආරම්භ වී පොළොන්නරුව දිස්ත්‍රික්කය හරහා ගලා යයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා අසල ජලාශය ඉදිකර ඇත්තේ එහි ජලය ලබාගෙනය. ඓතිහාසික මූලාශ්‍රවල බහුලව සඳහන් මහාදාරකගල්ල යනු මාදුරු ඔයයි. එය ගලා බසින්නේ අරලගන්විල, වැලිකන්ද ප්‍රදේශ හරහාය. වැලි ජාවාරම බහුලව සිදුවන්නේ ඒ ප්‍රදේශවලය. මාදුරු ඔය ජාතික උද්‍යානයට ද පිවිසෙන ජාවාරම්කරුවෝ ඒ අවටදී ද ගංඟාවේ වැලි ගොඩ දමති.
පසුගියදා මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී වැලි කැණීම් කළ සිව්දෙනෙක් සහ වැලි පැටවූ ට්‍රැක්ටර් 3ක් සහ ටිපර් රථයක්ද අරලගන්විල පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්විය. එසේ අත්අඩංගුවට පත් වුවත් ජාවාරම නම් නැවතී නැත.
වැලිකන්ද වඩමුනේ ප්‍රදේශය එලෙස නීති විරෝධී අයුරින් වැලි ගොඩදැමීම සිදුවන එක් ස්ථානයකි. මේ දිනවල මාදුරු ඔයේ ජලය අඩු නිසා ඉවුරු වනසා ඔයට ට්‍රැක්ටර් දමා මහා පරිමාණ වැලි ජාවාරම ඉතා සංවිධානාත්මක අයුරින් සිදුවේ.
මේ වැලි ගොඩදැමීම නිසා වඩමුණේ පාලමට ද අවදානමක් මතුව තිබේ. ගස්, වැල් ඉදිරී ගොස් ගංඟාධාරය විනාශ වී තිබේ. මේ දැවැන්ත පරිසර විනාශය ප්‍රසිද්ධියේම සිදුවීම ඉතා කනගාටුවකි.
පරිසරවේදීන් පවසන්නේ පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන් ප්‍රදේශයේ නැවතී සිට සති ගණනාවක් තිස්සේ වැලි ජාවාරම මෙහෙයවන බවයි. ගොඩ දාන වැලි තොග ට්‍රැක්ටර් සහ ටිපර් රථ යොදාගෙන කෙරේ. එපමණක් නොව වැලිවලට ඉහළ ඉල්ලුමක් ඇති කොළඹ ඇතුළු බස්නාහිර පළාතටද අලෙවි කෙරේ.
ඉවුරු විනාශ වීම නිසා ඔය දෑලේ තිබුණු විශාල කුඹුක් ගස් රාශියක් මේ වනවිටත් විනාශ වී අවසන්ය. පරිසර පද්ධතිය ද අවදානමකට ලක්ව ඇති බව අවට නිරීක්ෂණය කරන කාටත් වැටහේ.
මාදුරැඔය අවට රක්ෂිතවල සැරිසරන අලි ඇතුන් ඇතුළු වනසතුන්ට ද මේ නිසා අවදානමකට මුහුණ පෑමට සිදුව ඇත. ප්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනකුට නීත්‍යානුකූලව, කොන්දේසිවලට යටත්ව වැලි කැණීම සඳහා භූ විද්‍යා පතල් කැණීම් කාර්යංශය මගින් බලපත්‍ර නිකුත් කර තිබේ. කෙසේ වුවත් මෙහිදී සිදුව ඇත්තේ දේශපාලන හස්තයක් ඉස්මතු වීම බව පරිසරවේදීහු පවසති. බලපත්‍රලාභීන්ට වැලි ගොඩදැමීම අත්හිටුවා ඒ වෙනුවට පිට පළාත්වලින් පැමිණි දේශපාලන ආධාරකරුවන් සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසකට මෙම අවස්ථාව ලබා දී තිබේ. ඔවුන් හැකිතරම් වැලි හාරා ගැනීම මිස වෙනත් කොන්දේසි මායිම් කරන බවක් නොපෙනේ.
භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර පැල්පොල සඳහන් කරන්නේ මේ පිළිබඳව සොයාබලා ක්‍රියාකරන බවයි.
මේ සම්බන්ධව පරිසර සහ යුක්ති කේන්ද්‍රය අවධානය යොමු කර තිබෙන්නේ දෙවසරකට පමණ පෙර සිටයි. පරිසරවේදී ජනක විතානගේ ඒ ගැන තබා ඇති ෆේස්බුක් සටහනකි මේ.
“ගං ඉවුර මුළුමනින්ම කපා ඉවත් කර ට්‍රැක්ටර් සහ බැකෝ යන්ත්‍ර යොදාගනිමින් අනවසර වැලි ගොඩදැමීම සිදුවේ. මේ වනවිට මාදුරු ඔය දෙපස ඇති කුඹුක් ගස් සියල්ල ඉදිරී වැටී ඇති අතර ඇතැම් ස්ථානවල ගඟ පිට්ටනියක් බවට පත්වී ඇත. මෙම ජාවාරම නතර නොකළහොත් ප්‍රදේශයේ භූගත ජල උල්පත් ද විනාශයට පත්වීම වැළැක්විය නොහැක. අද වනවිට ගඟේ ස්වභාවික ගමන් මගද සම්පූර්ණයෙන් වෙනස් වී ගඟ අඩි 30 – 40 ගැඹුරට හැරී ඇත.”
වැලි ජාවාරම්කරුවන් ද කුඩු ජාවාරමුන් මෙනි. මර්දනය පහසු නැත. සාමාන්‍ය ජනතාව නොමග යවා ඔවුන්ද තම පිලට එකතු කර ගනිති. වැලි කියුබ් එකක මිල රු. 15000කට අධික නිසා වැලි ගොඩ දැමීම සල්ලි මවන යන්ත්‍රයක් වී ඇත. බලධාරීන් වහා ක්‍රියාත්මක වී මේ ජාවාරම මැඩලීම අත්‍යවශ්‍ය කරැණක් වී තිබේ. නැත්නම් මාදුරු ඔය ද වැනසී වැලිකන්ද අවට කාන්තාරයක් බවට පත්වනු ඇත.
කුසුම්සිරි විජයවර්ධන
සේයා රූ මනම්පිටිය නිමල් ජයරත්න