ලෝක ඉතිහාසයේ මෙතෙක් පැවැති දරුණුම වසංගත තත්ත්වය අප ඉදිරියෙහි බලගැන්වෙමින් තිබේ. කොවිඩ්-19 වයිරසය සිය අණසක පතුරවන තරම, තත්ත්ව වාර්තා දිනපතා දක්වයි. චීනයේ වූහාන් ප‍්‍රාන්තයෙන් පැන නැගුණ වයිරසය රටවල් දෙසීයක් ඉක්මවා පළමු ආක‍්‍රමණය අවසානයේ දෙවැනි වටයකය. පර් යේෂකයන් පෙන්වා දෙන පරිදි ඉදිරි වසර දෙක තුනක කාලය මෙම භයානක තත්ත්වය මෙසේ පවතිනු ඇත. තෙවැනි හෝ සිව්වැනි වටයක් දක්වා දිග හැරෙන අතර එයින් ජන ප‍්‍රජාවට සිදුවන හානිය විශ්වාස කළ නොහැකි තරම් වනු ඇත.
මනුෂ්‍ය ජීවිත විශාල ප‍්‍රමාණයක් අහිමිවනු ඇතැයි සලකන අවස්ථාවක ආර්ථිකයකට සිදුවන හානිය ගැන සාකච්ඡා කිරීම පදනම් විරහිතය. ඇමරිකාව, බ්‍රිතානය්‍ය හා යුරෝපා රටවල් සමාජ හා ආර්ථික ප‍්‍රශ්නවලින් හෙම්බත් වී සිටින බව දැක්වෙයි. ඉතාම ඉක්මනින් සුපුරුදු පැවැතුම් වෙනස් කරගැනීමට සියලු රටවල් ක‍්‍රියාකරමින් සිටියි. ලෝක නායකයන් හා සංවිධාන එක අරමුණකින් ඉදිරියට පැමිණ තිබේ. වගා එළැඹිය යුතු පියවර ගැන සාකච්ඡා කරන අතර හදිසි තීරණ ගනිමින් සිටිති.
• ලෝක ආර්ථික වර්ධනය අඩාලවීමෙන් ගැටලු
ලෝකයේ රටවල් අතරින් සියයට අසූවකට වඩා ප‍්‍රමාණයක ආර්ථික වර්ධනය සහමුලින්ම අඩාලවිය හැකි අතර බොහෝ රටවලට වසංගතයෙන් හිරකරන ලද ආර්ථිකය තුළ කොපමණ කාලයක් ඉදිරියට එය දරාගත හැකිවේද යන්න අවධානයට ලක්ව ඇති කරුණකි. පසුගිය කාලයේ සියයට 2.9 ක වර්ධනයක් පෙන්නුම් කළ ලෝක ආර්ථිකය මෙම වසරේ දී සියයට එකකට ආසන්න ප‍්‍රමාණයකින් රින අගයක් ගැනීමට ඉඩ තිබේ. එම ස්වභාවය තුළ වාණිජ වශයෙන් කෙරෙන වෙළෙඳාම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 18.89 දක්වා සියයට දෙකක පමණ පහත වැටීමක් අපේක්ෂා කරයි. එය සරල නැත. නිෂ්පාදනය සීමා වන අතර හුවමාරුව තවත් පහළ වැටෙන ස්වභාවය ඉදිරියේ ජනී ජනයා තවදුරටත් දරිද්‍රතාවයට පත් විය හැකිය. රැකියා හිඟයක් ඇතිවෙයි. දැනට කරගෙන යන කම්හල් හා ව්‍යාපාර වසන අතර ඒවායේ රැකීරක්ෂා කරන ලද මිලියන සංඛ්‍යාත පිරිසකට යන එන මං නැති වනු ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව කඩා වැටෙන ආර්ථික සලකා හදිසි ද්වී පාර්ශ්වික ණය සහන ගැන අවධානය යොමුකර ඇත. එයට අනුව ලෝකයේ දුප්පත් රටවල් හැත්තෑ හයක් එකිනෙක රටවල්වලින් ලබාගෙන ඇති ණය ආපසු අය කරගැනීම තාවකාලිකව නතර කරන අතර නිසි අධ්‍යයනයකින් පසු ඒවා නැවත අයකර ගැනීමට පියවර ගනු ඇත. ණය සහිත රටවල් සහන ඉල්ලීම් කර ඇති අතර යෝජනා ඉදිරිපත් වුවහොත් ණය සහන ගැන සලකා ලැබීමට දියුණු රටවල් විස්සක මුදල් ඇමැතිවරු හා මහ බැංකු ප‍්‍රධානීහු අවධානය යොමුකර ඇති බව දැක්වෙයි.
• අය වැය එන අතරවාරයේ ලංකාවේ ගමන
ලබන වසර සඳහා අය වැය යෝජනා ගෙන එන කාල වකවානුව ඉදිරියේදී පැමිණීමට නියමිතය. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තුළ ගැටලු ගණනාවක් තිබේ. අභ්‍යන්තර වශයෙන් ආදායම හා වියදම පියවා ගත නොහැකි අතර විදේශ වෙළඳාම පාලනයකින් පවත්වාගෙන යයි. ආනයන සීමාකළ හෙයින් ආනයන වියදම අභිබවා අපනයන ආදායමක් රටට ලැබී ඇත. එහෙත් රටට අවශ්‍යම කරන ආනයන පාලනය කිරීම තුළ පැන නැගෙන සංකීර්ණ ගැටලුවලට විසඳුමක් දිය හැකිද?
පාත්ෆයින්ඩර් පදනම නොබෝදා අනාවරණයක් කළේය. එයට අනුව රාජ්‍ය ආදායම ණය පොලිය ගෙවීමට හා විශ‍්‍රාම වැටුප් සඳහා පමණක් ප‍්‍රමාණවත්ය. අඩුම තරමින් රජයේ සේවක වැටුප් වෙනුවෙන් පවා අලුතින් ණය ගැනීමට සිදුවී තිබේ. අධ්‍යාපන, සෞඛ්‍ය හා ප‍්‍රවාහන අංශ වලට රජය සපයන සේවා ණය ලබාගෙන කරගෙන යන එකකි. සංවර්ධනයට අරමුදල් නැත. ඉතාම ඉක්මනින් ප‍්‍රතිව්‍යුහකරණයකට යා යුතුව තිබේ. පවතින දුෂ්කරතා හඳුනාගෙන රටට ගැලපෙන ක‍්‍රමවේදයකට යා යුතුය. අඩුම තරමින් අතිශය අලාභ වාර්තා කරන රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමට පියවර ගත යුතුව තිබේ. විශේෂයෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවාව ගැන කල්පනා කිරීම සුදුසුය. පසුගිය රජය අවස්ථා දෙකකදී ශ‍්‍රී ලංකන් ආයතනය විදේශ සමාගමකට පැවරීමට උත්සාහ කළේය. ආයතනයේ විදේශ ණය හා අධික පිරිවැය ගැන සලකා බැලූ කිසිම ආයතනයක් ඉදිරිපත් වූයේ නැත. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගමන් නතර වී ඇත. එහි පැවැත්ම ගැන ක‍්‍රියා කරන්නේ කෙසේද? රජයට අයත් ව්‍යාපාර කාර්යක්ෂම කර නිසි ආදායමක් ලැබෙන තැනට හැරවීම ගැටලුවක් වී තිබේ. ජලය හා විදුලිය යන සේවාවන්හි ආදායම බිඳ වැටී ඇත. දෙවැනි වටයකින් කොවිඩ් පැතිරෙන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවන ප‍්‍රදේශවල පාරිභෝගිකයන් බිල් නොගෙවන නමුත් ඔවුන්ගේ විදුලිය අඛණ්ඩව සපයන සේ දන්වා තිබේ. ජල සම්බන්ධතාවයද එවැනිම තීරණයකය. මේවායේ නිතිපතා ලැබෙන ආදායම හීන වනවිට දෛනික වියදම් පියවා ගැනීම ප‍්‍රශ්නයක් වනු ඇත. එහි බර අවසානයේ දී පොදු ජනතාව මත බව නිසැකය.
රාජ්‍ය ප‍්‍රවාහන සේවා අඩාලය. දුම්රිය සේවා නතර කර තිබේ. මේවායේ ආදායම රහිත නමුත් සේවක වැටුප් ගෙවන්නට සිදුවෙයි. අනෙක් අතට අත්‍යවශ්‍ය සේවා වශයෙන් පවත්වා ගෙන යන්නට සිදුවී තිබේ. අතිශය බැරෑරුම් අවධියක බව සඳහන් කළයුතු කරුණකි. විපක්ෂය හා ඇතැම් ජන කොටස් ආණ්ඩුව ගෙන යන ක‍්‍රියාමාර්ග ගැන විවේචන කරන නමුත් යතාර්ථය තේරුම් ගැනීමද අවශ්‍යය.
• රටට ආදායම් ලැබෙන ප‍්‍රධාන මාර්ග අවහිර වී ඇත
ශ‍්‍රී ලංකාවේ විනිමය ඉපැයීම් ප‍්‍රධාන අංශ කිහිපයකට සීමා වී තිබුණි. විදේශගත ශ‍්‍රමිකයන් එවන ධනය මෙරට විනිමය ලැබෙන ප‍්‍රධාන මාර්ගයයි. විදේශ රැකියාවල නිරත ශ‍්‍රී ලාංකිකයන්ගේ මෙම වසරේ පේ‍්‍රශණ සියයට විසි දෙකකින් පමණ අඩු විය හැකි යැයි සැලකේ. දෙවැනුවට ආදායමක් ලැබෙන ඇඟලුම් කර්මාන්තයේ ඉපැයීම් සියයට විසි හතකින් අඩු වී ඇත. ලෝකයේ වෙනත් රටවල් සමඟ සසඳන විට ඉතාම දරුණු තත්ත්වයක් නොවේ. මියන්මාරයේ කම්හල් ඇඟලුම් නිෂ්පාදන අමුද්‍රව්‍ය හිඟය හෙයින් වසා දමමින් සිටී. ලැබෙන ඇනවුම් සියයට හැත්තෑපහකින් අඩු බව එරට වාර්තා දක්වයි. කොලොම්බියාව කම්හල් සියයක් පමණ වසා දමා තිබේ. තායිවානයේ කම්හල් පනහක් සම්පූර්ණයෙන්ම වසා ඇත. මෙම කම්හල් වහන විට ඒවාට නැවත ඇනවුම් ලබා ගැනීම අපහසු වන අතර අපනයනය කර ඇති ඇඟලුම් වලට ගෙවීම් ද ප‍්‍රමාදවෙයි. ශ‍්‍රී ලංකාව මෙම වසරේ ඇමරිකානු ඩොලර් බිලියන දෙකක විනිමය අපේක්ෂා කරන අතර එය කලින් ලැබුණ බිලියන පහක් සමග සසඳන විට නරක තත්ත්වයකි. සංචාරක කර්මාන්තය සැහෙන කාලයකට හිස ඔසවන්නේ නැත. වසර 2020 වනවිට ලක්ෂ විසි පහක සංචාරක පිරිසක් රටට ගෙන්වා ගැනීම ඉලක්ක කරගෙන තිබුණි. යුද කාල පරිච්ඡේදය අවසානයේදී ශ‍්‍රී ලංකාව ලොව හොඳම ගමනාන්තයක් වශයෙන් නම් කරමින් තිබුණ බවද සිහිපත් කළ යුතුය. එහෙත් එම මිහිරි සිහින බොඳ වී ඇත. මුළු ලෝකයම සංචරණය සීමාකර ඇති අවස්ථාවක එතැනින් ලැබෙන දේ ගැන බලාපොරොත්තු තැබීම උගහටය. තේ කර්මාන්තයටද නරක දසාවක් ලැබී තිබේ. නිසි පරිදි තේ අපනයනය කරගත නොහැකි වුවහොත් එය රට පුරා ජන ජීවිත වලට තියුණු බලපෑමක් එල්ලකරනු නිසැකය.
• ජාත්‍යන්තර ආධාර සම්බන්ධ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති
දෙවැනි වටයකින් ශ‍්‍රී ලංකාවේ ජන ජීවිතය කොවිඩ් වසංගතය බිලි ගන්නා අවස්ථාවක ආර්ථික තත්ත්වය ගැන විශේෂ අවධානයක් අවශ්‍යය. ප‍්‍රදානක ආයතන වල සහාය අවශ්‍යය. ජාත්‍යන්තර මිතුරන්ගෙන් සහාය පැතිය යුතුය. මුළු ලෝකයම දුෂ්කර තැනක නමුත් ලැබෙන ආධාර වැඩ සටහන් ඉදිරියේ තීරණ ගැනීම සුදුසුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අවධානය යොමු වී තිබේ. මෙරට ආර්ථිකය පත්ව ඇති අවදානම හමුවේ විශේෂ පියවර වෙනුවෙන් සාකච්ඡා කරන්නට සූදානම්ය. ලෝක බැංකුව දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක හදිසි ආධාර අනුමත කර ඇත. ආසියානු සංවර්ධන බැංකුව විශේෂ ණය සම්පාදනයට සූදානමක සිටී. මිලෙනියම් චැලෙන්ජ් අරමුදලෙන් අනුමත කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ආපසු නොගන්නා ආධාරයක් ද ඇත. දේශපාලන පක්ෂ සහ විරුද්ධ මතධාරීහු මෙම සහන වැඩ සටහන් ගැන අසතුටක සිටිති. මෙම ප‍්‍රදානක වැඩසටහන් සහ ණය ආධාර ඔස්සේ මෙරට ස්වාධිපත්‍යයට කරන බලපෑම ඉවසිය නොහැකි බව දක්වති.
කොවිඩ්-19 වසංගතයෙන් මිරිකී ඇති ආර්ථිකය යළි නගා සිටුවන වැඩ පිළිවෙළක හැර අනෙක් විකල්පයක් මෙම අවස්ථාවේ නැත. අනුමත කරන ණය ආධාර සම්බන්ධයෙන් ප‍්‍රදානක ආයතන සමග තියුණු විමසිල්ලකින් ක‍්‍රියා කළ හැකිය. විශේෂ නියෝජිතයන් පත්කර රටට වාසිදායක සේ හැසිරවීම සුදුසුය. නොබෝදා දිවයිනට පැමිණ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ මහතා පවා ඉදිරිපත් කරන යෝජනා තුළ අවස්ථා ඇති තරම් පවතින නමුත් තීරණය ශ‍්‍රී ලංකාව සතු බව අවධාරණය කර තිබේ.
විදේශ ණයබර බලවත් වී ඇති අවස්ථාවක, කොතැනකින් හෝ විදේශ විනිමය ලැබෙන අවකාශ කෙරෙහි ඉලක්ක කළ යුතුව ඇත. ආධාර පසුපස යම් යම් කොන්දේසි ඉදිරිපත් විය හැකි අතර දරුණු නැති නමුත් මෙම කොන්දේසි ක‍්‍රියාවට නැංවීමේදී රට තුළ ඇතිවිය හැකි මතය ප‍්‍රසන්න නොවන්නට ඉඩ තිබේ. ප‍්‍රදානක ආයතන අත දිගු කර සහන බෙදන්නට සූදානම් නමුත් හැන්ද කෙළවර ඇති තරවටුව ගැන අවධානය යොමුකිරීම සාධාරණය. එහෙත් මෙම තීරණාත්මක අවකාශය තුළ රටට නැගෙන්නට ඇති අවස්ථාව හැර අනෙකක් ගැන හෙට්ටු කිරීම විවාදාත්මකය.
කොවිඩ්-19 වසංගතයට පසු ආර්ථිකය මුහුණ දෙන තත්ත්ව සලකා සුදුසු විසඳුම් යෝජනා කළ හැකි පූර්ණ බලැති බලකායක් රටට අවශ්‍යය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු වැදගත් අංශ නැවත ප‍්‍රතිසංස්කරණයකට ලක් කරන ආකාරය සොයා බැලීමේ වගකීම පැවැරිය යුතුය. එහි දී අලුත් ජවයකින්, අලුත් කාර්යක්ෂමතාවයකින් ගත හැකි පියවර ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. ජාත්‍යන්තර ප‍්‍රදානක ආයතන සමග එකතු වී ආණ්ඩුවේ ඇපවීම මත අලුත් ආර්ථික ව්‍යුහයක් හදන්නට අවස්ථාව තිබේ. ඉක්මන් තීරණ ගෙන වහා පියවර ගතහොත් ඇතිවිය හැකි දරැණු පිපිරීම වළකා ගත හැකිය.
ගාමිණී සරත් ගොඩකන්ද