මෙම මාසයේ මැද භාගය වනවිට 2021 වර්ෂය සඳහා වූ අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සමඟම 2020 වසරේ අයවැය ලේඛනයක් නොමැතිව වැය කළ මුදල් ගලපමින් තවත් අතුරු අයවැය ලේඛනයක්ද සභාගත කරන බව රජයේ ආරංචි මාර්ග පවසයි.
කෙසේ වුවද මේ වන විට වාර්ෂික අයවැය ලේඛනයක වුවමනාව රටේ සාමාන්‍ය මහජනතාව තුළින් ගිලිහෙමින් පවතී. ඔවුන් විමසන එක් පැනයක් වන්නේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් නම් ආණ්ඩුව 2020 වසරට අයවැය ලේඛනයක් නොමැතිව මුදල් වැය කළේ කෙසේද යන්නය. ජනාධිපතිවරයාගේ බලතල යටතේ මුදල් වැය කළ බව පැවසුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ඇති සුවිශේෂ අවස්ථාවලදී හැර ජනාධිපතිවරයාට මුදල් වැය කිරීමේ බලතල නොමැත. සාමාන්‍ය තත්ත්වයක් යටතේ ජනාධිපතිට මුදල් වැය අනුමත කළ හැකිනම් යළි අයවැය ලේඛයක් ගෙන එන්නේ කුමකටද යන්න ඇතැමෙක් විමසති. ඔවුන්ගේ තර්කය සියයට සියයක්ම නිවැරදි නොවුවද, පසුගිය කාලයේ අපේ ටේ අය සහ වැය ගැලපීම පිළිබඳ සලකා බලනවිට අයවැය ලේඛනයට තිබූ ගරුත්වයට හානි සිදුවූ බව නම් නොකියාම බැරිය.
අයවැය ලේඛනය හුදෙක් සංඛ්‍යා විජ්ජාවක් පමණක් මිස රටේ සත්‍ය ආර්ථික හා මූල්‍ය තත්ත්වය එමගින් නිරෑපණය නොවන බව කියති. අයවැය ලේඛනයේ වැය ශිර්ෂවලින් කෙනෙක් වැය සීමාකර තිබුණද ඒ පිළිබඳ නොසලකා අවශ්‍ය යැයි සිතෙන කාර්ය සඳහා ඇති තරමට වැය කිරීමට දේශපාලකයෝ සැදී පැහැදි සිටිති. සම්මත අයවැය සීමා ඉක්මවා මුදල් වැය කරන අවස්ථාවලදී ඒ සඳහා පරිපූරක අයවැයක් ඉදිරිපත් කර සම්මත කරගත යුතු නමුදු පසුගිය සමයේ අතිරික්තව වැය කළ විශාල මුදල් ප්‍රමාණයෙන් කීයෙන් කීයකට මෙවැනි පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇති දැයි නොදනී. ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට පවා මුදල් වැය කිරීමේ බලතල ලබාදීමටද පසුගිය සමයේ දේශපාලන අධිකාරිය තීරණය කර තිබූ බව අපට මතකය.
අයවැය ලේඛන මගින් ඇස්මේන්තු කරන අය මාර්ගද ඒ ආකාරයට උපයා ගන්නා බවක් දක්නට නැත. කොරෝනා වැනි විවිධ හේතු නිසා බලාපොරොත්තුවන ආදායම හරිහැටි එකතු කර ගත නොහැකි වේ. එයට රටේ පවතින වාතාවරණය හා පරිපාලනයේ මෙන්ම අදාළ නිලධාරීන්ගේ දුර්වලතා බොහෝ දුරට හේතු වී තිබේ. පසුගිය සමයේ ඇති වූ කොවිඩ් අර්බුදය හේතුවෙන් බලාපොරොත්තු වූ රාජ්‍ය ආදායමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් අයකර ගත නොහැකිව ඇත. සෘජු බදු ආදායම එකතු කරගැනීමේ අවහිරතා මෙන්ම රජය විටින් විට වක්‍ර බදු කපාහැරීම නිසා ලැබෙන බදු ආදායමද අඩු වී තිබේ. අද රටේ ඇති තත්ත්වය මත අලුතෙන් බදු පැනවීමෙන් තබා තිබෙන බදු අයකර ගැනීමටද දුෂ්කර වී තිබේ. පසුගිය රජය මගින් පැනවූ මන්දිර බද්ද වැනි ප්‍රායෝගික නොවන බදු මෙයට හොඳ උදාහරණයකි.
මෙම පරිසරය යටතේ අය වැය ලේඛනය යනු හුදු ඉලක්කම් ගොඩක් බවට පත්ව තිබෙන බවත් දක්නට ඇතැයි ඇතැමුන් පවසන අදහස ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය.
අය වැය ලේඛන ඉදිරිපත් කිරීම හා එයින් අපේක්ෂා කරන ප්‍රතිඵල පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාත අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ ඉදිරිපත් කළ අදහස් මෙසේ සම්පිණ්ඩනය කරමු.
2019 වසර වනවිට ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනය ක්‍රමයෙන් පහළ බසින්නට පටන්ගෙන වර්ධන වේගය සියයට 2.3 දක්වා පහළ ගියේය. එය අප මුලදි ඇස්තමේන්තු කර තිබූ සියයට 5-6ක වර්ධන වේගයට වඩා අඩකටත් අඩුය. 2020 ආරම්භය සමගම වර්ධන වේගය සෘන (-) මට්ටමකට පැමිණි අතර ශ්‍රී ලංකා මහබැංකුවේ අලුත්ම වාර්තා අනුව ගෙවීගිය කාර්තුව තුළ එය -1.6 මට්ටමට පහළ බැස තිබේ. මෙයට මූලිකව හේතුව කෝවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපේ රටේ මෙන්ම විදේශවලද උද්ගතවූ ගැටලුකාරී වාතාවරණයයි.
මෙවර අයවැය සකස් කිරීමේදී ප්‍රධාන වශයෙන් මෙම අයහපත් තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. 2019 වසරේද රටේ පැවැති අයහපත් ආර්ථික, දේශපාලන සහ සමාජ වාතාවරණය අනුව අයවැය ලේඛනයක් ඉදිරිපත් වුණේ නැත. පැලැස්තර යොදාගෙන රටට දුවන්නට සිදු වූ බව පැවසිය යුතුයි. 2016 සිට බලනවිට අපේ අයවැය හිඟය වර්ෂයක් පාසා පුළුල් වී ඇත. මේ වනවිට රටේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනය අනුව ප්‍රතිශතයක් ලෙස -6.8ක් වී ඇත.
රටේ අයවැය හිඟය වැඩිවීමට ප්‍රධාන සාධක දෙකක් බලපායි. ඒවා නම් රජයේ ආදායම පහළ බැසීම සහ වියදම ඉහළ යාමයි. 2019 වසර අවසානය වනවිට මේ තත්ත්වය උග්‍ර බවට පත්වීම නිසා විශාල අයවැය හිඟයක් නිර්මාණය වූ බව පැවසිය යුතුයි. 2020 දී මෙම අයවැය හිඟය -4.5 දක්වා අඩු කිරීමට අපේක්ෂා කළඳ එය ඉටුවූවේ නති අතර මේ වනවිට -6.8ද ඉක්මවා ඉහළ ගොස් ඇත.
2020 සිට අප මුහුණදුන් මේ වසංගත ගැටලුව නිසා 2021 අයවැය ලේඛනය තුළ රජයේ වියදම් අනපේක්ෂිත ලෙස ඉහළ යාමක් බලාපොරොත්තු විය යුතුයි. එසේම බලාපොරොත්තුවන ආදායම එකතුකර ගැනීමට නොහැකිවන නිසා මෙම පරතරය තවදුරටත් පුළුල් වන බවද ස්ථිර වශයෙන්ම පැවැසිය හැකියි. අයවැය හිඟයේ ප්‍රතිශතය -7.5 දක්වා ඉහළ යනු ඇතැයි සිතාගැනීමට පුළුවනි. සාමාන්‍යයෙන් මෙවැනි හිඟයක් ඇතිවනවිට එය පියවා ගැනීමට කරන ප්‍රධානම උපක්‍රමයක් වන්නේ දේශීය සහ විදේශීය වශයෙන් ණය ගැනීමවයි. ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති ණය අනුව දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 44ක් දේශීය ණය වන අතර සියයට 43ක් විදේශීය ණය බව කිව යුතුයි. ඉදිරියේදී රටේ මුළු ණය බර සියයට 87 දක්වා වැඩිවේ යැයි අපේක්ෂා කළ හැකිය. මේ තත්ත්වයට පත්වූ විට රටේ ජනගහණය අනුව එක් අයකුගේ ණය බර රුපියල් ලක්ෂ 6ක් පමණ වී තිබේ. මෙම ලක්ෂ 6න් රුපියල් ලක්ෂ 3.05 පමණ දේශීය ණය වන අතර ලක්ෂ 2.95ක් විදේශ ණය වෙයි. රජයට 2021 අය වැය ලේඛනය ඉදිරිපත් කිරීමට සිදුව ඇත්තේ මෙවැනි පසුබිමක් තුළය.
2020 දී අරමුදල් සම්පාදනය කිරීමට අතුරු සම්මත ගිණුම් තුනක් ඉදිරිපත් කිරීමට රජයට සිදුවිය. මෙහි අවසන් වරට සකස් කළ අතුරු සම්මත ගිණුම අනුව රජයේ විදයම රුපියල් බිලියන 1630ක් සහ ආදායම බිලියන 686ක් වී ඇත. මෙයින් පෙනෙන්නේ ආදායමට වඩා තුන් ගුණයකට ආසන්න වියදමක් දැරීමට සිදුවීමකි. මෙම තත්ත්වය ඉදිරි අයවැය ලේඛනවල තවත් වැඩිවිය හැකිය. රටේ සාර්ව ආර්ථික ස්ථායිතාවයට මෙලෙස වියදම පියවීමට ණය ගැනීම කිසිසේත් සුදුසු නොවේ.
2019 රාජ්‍ය වියදම්වලින් සියයට 77ක්. වර්තන වියදම් වන අතර ප්‍රාග්ධන වියදම් වන්නේ 22කි. මුළු වියදම්වලින් සියයට 31ක් ණය සේවාකරණයට (ණය සහ පොලි ගෙවීමට) වැයවෙයි. ඒ අනුව පෙනෙන්නේ රජයේ මුළු වියදමෙන් සියයට 31ක් ණය සේවාකරණයට යොදාගෙන ඇති බවය. අපට ඇත්තවශයෙන්ම වර්ෂයට ලැබෙන සමස්ත ආදායම මෙම ණය ගෙවීමටවත් ප්‍රමාණවත් නොවේ. මෙවැනි පසුබිමක් තුළ රජය 2020/21දී අයවැය ලේඛනය තුළින් අභියෝග රුසකට මුහුණදී ඇත. මෙහිදී රජයේ ආදායම අඩුවීම නිත්‍ය ලෙසම සිදුවනවා ඇත. ජාතික ආදායමෙන් සියයට 90ක් ලැබෙන්නේ බදු ආදායම් ලෙසටය. මෙම සියයට 90න් සියයට 80ක්ම ලැබෙන්නේ වක්‍ර බදු මාර්ගයෙනි. ලබන වසරේදී මෙම වක්‍ර බදු හෝ සෘජු බදු වැඩිවේයැයි බලාපොරොත්තු විය නොහැක්කේ මේ වනවිට සියලු මාර්ග ඇහිරී ඇති නිසාය. අද වනවිට සිදුව ඇත්තේ රජය බදු සහන රුසක් දී ඇති නිසා පවතින බදු හෝ නොලැබීයාමය. අනාගතයේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙම බදු සහන තවදුරටත් වර්ධනය කරන්නට සිදුවෙනවා ඇත.
රජයේ වියදමින් සියයට 77ක් වර්තන වියදම් වේ. වැටුප් හා වේතන සුබ සාධක, ණය පොලී, භාණ්ඩ හා සේවා වියදම්, වර්තන සංක්‍රම සහ සහනාධාර මේ 77ට අඩංගුය. මේ වියදම් වැඩිවනවා මිස කිසිවිටෙක අඩු වන්නේ නැත. රජයේ සේවක වැටුප් වැඩිවෙයි. කොවිඩ් සහනාධාර දීමට සිදුවීම නිසා තවත් ඒ වියදම ඉහළ යයි. මේ අතර තව අලුත් පත්වීම් ලක්ෂ ගණනින් දීමටද පවතින වැටුප් හා දීමනා වැඩිකිරීමටද රජය සූදානම් වෙයි. ඒ පිළිබඳ කිසිදු පාලනයක් කරන බවක් පෙනෙන්නට නැත. මේ නිසා වර්තන වැය ඉහළටම යයි. ප්‍රාග්ධන වියදම් පාලනයෙන් තමා වැඩිවන වියදම් පාලනය කළ හැකිවන්නේ. එහෙත් ප්‍රාග්ධන වැය අඩුකිරීම රටක සංවර්ධනයට අහිතකර වෙයි. ඒ නිසා මෙම වැය පහළ දැමිය නොහැකිය. මේ වාතාවරණය මත රජයේ ණය ප්‍රමාණය තවදුරටත් වර්ධනය වන බව කිව යුතුවේ. දැනටමත් ලබාගෙන ඇති ණයද ගෙවීමට නොහැකි තත්ත්වයක් තුළ තවත් ණය ලබාගැනීමට සිදුවීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් වෙයි. සංවර්ධන ණය ලබාගත නොහැකිවන අතර වැඩි පොලියට වෙළෙඳ පොල ණය ගැනීම කෙරේ යොමුවෙනවා ඇත. මෙම තත්ත්වය රටේ ආර්ථිකයට ඉතාම අහිතකර බව පැවසිය යුතුය. මෙලෙස ණය ගන්නට ගොස් අපට කොතනින් නවතින්නට සිදුවේ දැයි කිව හැකි නොවේ. එහෙත් රජය කටයුතු කරනුයේ මේ පිළිබඳ &වගේ වගක්* නැතිවය.
මෙම තත්ත්වයට යම් පමණක හෝ විසඳුමක් ලබාගත හැක්කේ රජය විදේශ ණයවලට වඩා දේශීය ණයට නැඹුරුවීමෙන් බව කිව යුතුය. විදේශ ණය ගත්විට රටේ මුදල් පිටරටට ඇදියාමක් සිදුවෙයි. දේශීය ණය නිසා ඒ ලෙස අපේ මුදල් පිටරටට නොගොස් රට තුළට ඉතිරිවෙයි. එයට හේතුව දේශීය ණය ගෙවුවද එම මුදල් රට තුළම රුඳෙන නිසාය. රජය විදේශ ණය ගැන උනන්දුවක් නොදක්වා දේශීය ණය ගැන උනන්දු විය යුත්තේ මේ නිසාය. දැනට රටේ පවතින වාතාවරණය මත දේශීය ආයෝජන අවස්ථා අඩමාන බැවින් ව්‍යවසායකයන් පෙළඹී ඇත්තේ ණය ගෙන අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට නොව තම මුදල් භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර හා රුපියල් ණය ආදියට පාවිච්චි කිරීමටය. එවිට ඒ පිළිබඳ ඇති අනතුරුදායක තත්ත්වය අවම වෙයි. ආයෝජකයන්ගේ මේ ප්‍රවනතාව නිසා අද ආණ්ඩුවට දේශීය ණය ලබාගැනීමට පහසුවී තිබේ. ඒ නිසා මෙවර අයවැය සැකසීමේදී විදේශිය ණයවලට නොව දේශීය ණය ලබාගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බව පෙන්වා දෙමු.
මේ හැරුණුවිට තත්ත්වය යථාර්ථයක් කිරීම සඳහා රජයට ගතහැකි ක්‍රියාමාර්ග කිහිපයකි. මේ වනවිට රජයේ අනවශ්‍ය වියදම් බොහෝ සේ ඉහළ ගොස් ඇත. රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, රාජ්‍ය සමාගම් ආදියේ අනවශ්‍ය වැය අඩුකර පිරිමැසුම් ක්‍රමවේදයකට යායුතුය. නිෂ්පාදන ආයතනවල ඵලදායිතාව වැඩිකළ යුතුවේ. එසේම රටේ අඛණ්ඩව පවතින වංචා, දූෂණ, නාස්තිය අවම කළ යුතුය. එහෙත් මෙතෙක් බලයට පත්වූ සෑම රජයකින්ම සිදුවූයේ මෙම විනාශකාරි වැය ඉහළ නැංවීම මිස පාලනය කිරීම නොවේ. රාජ්‍ය ආයතනවලට දේශපාලනය රිංගා ගැනීම මෙම විනාශයට මුල විය. මෙම තත්ත්වය අවම කර මුහුණ බලා බෙදීම වෙනුවට හැකියාව බලා බෙදීමේ ක්‍රමයක් ඇති කිරීම අවශ්‍ය බව පෙන්වා දිය යුතුයි.
එදිනෙදා ලාභ ප්‍රයෝජන ලැබීම පසෙකලා ඉතාම සූක්ෂම දිගු කාලින දැක්මක් අනුව යමින් මෙම අයවැය සකස් කළ යුතුවේ. දේශීය ආර්ථික පදනමක් සකස් කිරීමට මෙම අයවැයෙන් උනන්දුවිය යුතුය. තවමත් අනවශ්‍ය භාණ්ඩ රටතුළට පැමිණේ. රට තුළ නිෂ්පාදනය කළ හැකි කිසිදු දෙයක් ආනයනය කළ යුතු නොවේ. දේශීය සම්පත් උපයෝගි කරගෙන කළ හැකි කර්මාන්තවලට පසුබිම සකස් කළ යුතු වෙයි.
අපේ අය වැය සකස් කිරීමේදී ලෝකය අද මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය පිළිබඳ සැලකිලිමත් විය යුතුවේ. අනාගතයේදී විදේශ සමඟ කොතරම් ගනුදෙනු කළහැකිවේද යන්න ගැටලුවකි. ලොව කොවිඩ් වසංගතය උග්‍රවීම නිසා විදේශ රටවලින් අප ලැබෙන ශ්‍රමික ආදායම, සංචාරක ආදායම, අපනයන ආදායම තවත් අඩුවනවා මිස වැඩි නොවේ. මේ නිසා දේශීය සම්පත් පරිහරණය කිරීමේ යාන්ත්‍රණයක් මෙම අයවැය තුළින්වත් සකස් කළ යුතුවෙයි. නිදහස ලැබූ දා සිට අපේ ආර්ථික ප්‍රතිපත්ති හැදුවේ දේශපාලන අවශ්‍යතා මතය. අද මුහුණපාන්නට සිදුව ඇති කොවිඩ් අර්බුදය අපේ රටේ සිදුවූ සියලුම ත්‍රස්තවාදවලට වඩා ප්‍රබලය. මෙම වසංගත තත්ත්වය අද හෙට නිමාවන බවක් දක්නට නැත. ඒ නිසා අපේ අයවැය සකස් කළ යුත්තේ මෙම පසුබිම මනාව වටහාගෙන බව පැවසිය යුතුය.
යසවර්ධන රුද්ද්‍රිගු