හැමදෙයක්ම හරියට කරන්නට හැමෝටම බැරි බව සැබෑවකි. කෙනකු කරන දෙයක් අනුකරණය කිරීමද ලේසි පහසු නැත. එහෙත් එකකට එකක් කිරීමේ අභියෝගය පාතාලයන්ට කිරිකජු වැනිය. නමුත් ඒවා ගැස්සෙන තැන්ද ගැස්සී දිග්ගැස්සුණු තැන්ද නැතිවා නොවේ. අන්තිමට පොලීසියට කොටු වී කාකි ලෝගුව හමුවේ කළ නොකළ සියල්ල වමාරන්නේ ගැලවෙන්නට මගක් නොමැතිම තැනය.
පාතාල කල්ලි නායක පොඩි ලැසීට සිදුව තිබෙන්නේද එයයි. පොලිස් අත්අඩංගුවට ගෙන රුඳවුම් නියෝග යටතේ රහස් පොලීසිය බාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන පොඩි ලැසී අනාගතයේ කරන්නට සිහින මැවූ සැලසුම් පිළිබඳවද කරුණු වමාරා තිබේ. එහි එක් ප්‍රබල තොරතුරකින් අනාවරණය වී ඇත්තේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු බව කියන තනි ඇටයා ඝාතනය කිරීම සඳහා බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් තිබූ බවය.
දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජනිත් හෙවත් තනි ඇටයා පොඩි ලැසීගේ පියා ඝාතනය කිරීමට වෙඩි තැබූ තැනැත්තාය. රත්ගම හිටපු නගරාධිපති මනෝජ් මෙන්ඩිස්ගේ අවශ්‍යතාවයට තනි ඇටයා විසින් එම ඝාතනය සිදුකර ඇති බව ප්‍රකටය. මේ හේතුවෙන් දැඩි වෛරයකින් පසු වූ පොඩි ලැසී වසර කිහිපයකට ඉහතදී මනෝජ් මෙන්ඩිස් ඝාතනය කොට තිබිණි. එහි දෙවැනි ඉලක්කය සූදානම් කරමින් තිබියදී රහස් පොලීසියට අනාවරණය වූයේ තනි ඇටයාගේ වාසනාවට සහ පොලීසියේ දක්ෂතාවයටය.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින තනි ඇටයා අවස්ථා කිහිපයකදී පිටතට රුගෙන එන්නේ නඩු වාරවලට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීමටය. එසේ රුගෙන යන අවස්ථාවක ගාල්ල කොළඹ මාර්ගයේ ස්ථානයකදී බන්ධනාගාර බස් රථය ලොරි රථයක් මගින් මාර්ගය අවහිර කරවා කාර් රථයකින් එතැනට පැමිණෙන වෙඩික්කරැවන්ගේ ඉලක්කයට ජනිත් නිශාන්ත හෙවත් තනි ඇටයා බිලිගැනීම සැලසුම වී ඇතැයි කියති. ප්‍රහාරය එල්ල කිරීමත් සමඟ වෙඩික්කරැවන් කාර් රථයෙන් පළා යාමට සූදානමින් සිට ඇත. මේ සඳහා පළපුරැදු වෙඩික්කරැවන් වන සිය ගෝලයන් පිරිසක් තෝරාගෙන තිබූ බවද පොඩි ලැසී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතරතුර සැලසුම සැකසූ බවද පවසා ඇත.
ප්‍රහාරය සඳහා සූදානම් කොටගෙන තිබූ ලොරි රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේත් ප්‍රියර්ස් වර්ගයේ කාර් රථය හික්කඩුව ප්‍රදේශයේත් නවතා තිබියදී අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව තනි ඇටයා ඝාතනය කිරීම සඳහා සූදානම්ව තබා තිබූ ගිනි අවියක් අත්අඩංගුවට ගෙන තිබුණේ තෙල්වත්ත ප්‍රදේශයේ සඟවා තිබියදීය. එම ගිනි අවිය අමෙරිකාවේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකි.
පාතාල කල්ලි නායක අරුමානන්ද ජනිත් මධුසංක ද සිල්වා හෙවත් පොඩි ලැසීගේ පියා වන පහේ කල්ලියේ වසන්ත වසර කිහිපයකට ඉහතදී තෙල්වත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි. ඒ 2012 වර්ෂයේදී පමණය. එම ඝාතනයට තනි ඇටයා යොදවා තිබුණේ මනෝජ් මෙන්ඩිස් විසිනි. එහි පලිය ගැනීම සඳහා පොඩි ලැසී වරෙක මනෝජ් මෙන්ඩිස් ඝාතනය කරන අතර ජනිත් නිශාන්ත හෙවත් තනි ඇටයා ඝාතනය කිරීමට අවස්ථා දෙකකදී ඔහුට වෙඩි තබා ඇත. එහෙත් අවස්ථා දෙකේදීම බරපතළ තුවාල ලබා සිය ජීවිතය බේරාගෙන ඇති තනි ඇටයා කෙසේ හෝ පරලොව යැවීමට බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමට පොඩි ලැසී සූදානමින් සිට ඇත.
මේ සැලසුම ඉකුත්දා ඝාතනය වූ පාතාල නායක මාකඳුරේ මධූෂ් සිය ගෝල බාලයන් යොදවා කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස්රථයකට වෙඩි තැබීම හා සමාන සැලැස්මකි. එසේ එල්ල කළ ප්‍රහාරයෙන් පාතාල නායක සමයං ඇතුළු පුද්ගලයන් 6 දෙනකු ඝාතනය කොට තිබිණි. එම ප්‍රහාරය සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදු කර තිබෙන ප්‍රහාර අතරින් සුවිශේෂී එකකි. තීක්ෂණ ලෙස ප්‍රහාරය සැලසුම් කිරීම, අපරාධයට සුදුසුම දඩ බිම තෝරා ගැනීම, අවශ්‍ය වෙඩික්කරැවන් තුවක්කු හා පතරොම් සොයාගැනීම, සුදුසුම උපක්‍රම භාවිතය හා ගැලපෙන අපරාධකරුවන් තෝරාගැනීම, අවශ්‍ය බුද්ධි තොරතුරැ සපයාගැනීම ඇතුළු කාරණා සුවිශේෂී වන බව හිටපු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශය බාර සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතාගේ උපදෙස් මත එම අංශයේ පොලිස් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයේදී පොඩි ලැසීගේ මෙම ඝාතන සැලසුම හෙළිකරගෙන තිබේ. දැනට රහස් පොලීසිය බාරයේ පසුවන පොඩි ලැසී ඉකුත් 15 වැනිදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මොහු මත්ද්‍රව්‍ය හා ගිනි අවි සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සඳහා රුඳවුම් නියෝග යටතේ දින 90ක් රහස් පොලීසියේ රඳවා තබාගන්නා ලෙස අධිකරණය විසින් බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා නියෝග කර ඇත. ඒ අනුව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
සමන්ත ප්‍රදීප් විල්තෙර