මේ සතියේ සිට ඇරුඹෙන දැවෙන ප්‍රශ්න
විවිධ ප්‍රදේශවල ජීවත්වෙන පොදු මහජනතාව පීඩාවට පත් කරන ගැටලු පිළිබඳව මේ සතියේ සිට %දැවෙන ප්‍රශ්න^ ඔස්සේ අපි කතා කරන්නෙමු. ඔබගේ ප්‍රදේශයේත් මෙවැනි පොදු ගැටලු ඇත්නම් දේශය අප ප්‍රදේශීය වාර්තාකරුවන් අමතන්න.
මහනුවර ඉදිවෙන මහ ගොඩනැගිලි අවදානම්
I ජේ.ඒ.එල්. ජයසිංහ
මහනුවර ජනතාව අද මුහුණදෙන ඉතා බරපතළම ගැටලුවක් වන්නේ ඔවුනට යම් ගොඩනැගිල්ලක් ඉදිකර ගන්නට තිබෙන අවස්ථාව නගරය පුරා ප්‍රමිතියෙන් තොරව අනවසර ලෙස කූඨ ලේඛන සකස් කර ගනිමින් අතමිට මිල මුදල් යහමින් තිබෙන ධනවත් ව්‍යාපාරිකයන් විසින් සිදු කරනු ලබන දැවැන්ත ඉදිකිරීම් යැයි මහනුවර හන්තාන සුරුකීමේ සංවිධානයේ සභාපති අධ්යක්ෂ සේනානායක මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ කීය.
නගරය පුරා ඇති දැවැන්ත මහල් ගොඩනැගිලි ඉදිකර තිබෙනවා. මේවා ඉතා අනතුරුදායකයි. කොයි මොහොතක කඩාවැටෙයි ද දන්නේ නැහැ. එයින් අහිංසක ජීවිත විනාශ වෙනවා.
එයට හොඳම උදාහරණය බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යට වී මියගිය අහිංසකයන් තුන්දෙනයි.
දිගන භූ චලනයත් සමඟ ඇතිවූ ප්‍රශ්න උග්‍ර වී තිබෙනවා. මහනුවර නගරය පිරෙන්නට ඉදිකර ඇති අති දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරීමට අනුමැතිය දුන් රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරීන් මේවාට ඍජුව වගකිව යුතුයි. අද බොහෝ වගකිව යුතු නිලධාරීන් තමයි මහනුවර ඉදිකර තිබෙන දැවැන්ත ගොඩනැගිලි හදන්න අනුමැතිය දීලා තියෙන්නේ. අද ඒවා පරීක්ෂා කරන පරීක්ෂණ කමිටුවේ ඉත්තෙක් මේ නිලධාරීන්.
සෑම ඉදිකිරීමක් පිටුපස කිසියම් මූල්‍ය ගනුදෙනු හුවමාරු වී තිබෙන බව ප්‍රකාශ කරනවා. මහනුවර නගරය ගිලගත් අති දැවැන්ත ගොඩනැගිලි නගරයේ ජල ජීවිතයට විනාශ තර්ජනයක්.
නවගත්තේගම ගමකටම කොකා පෙන්වන ප්‍රාදේශීය සභාව
I රෝවන් පෙරේරා - පුත්තලම
නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 647 ග්‍රාම නිලධාරී වසමේ වසමයාය ගම්මානයේ පවුල් එකසිය පනහක් පමණ ජීවත්වන ගම්මානයකි. පොදු භූමියක් ලෙස නවගත්තේගම හිටපු ප්‍රාදේශීය ලේකම් ආර්.පී.ජී පොඩි නේරිස් මහතා විසින් 2015.12.10 වැනි දින රජවිගම රජිත යොවුන් සමාජයට ලබා දී තිබූ ක්‍රීඩා පිට්ටනියේ බොරළු කැපීම සම්බන්ධයෙන් රජවිගම ප්‍රදේශවාසීන් විසින් විරෝධය දැක්වීමත් සමඟ මෙම ගැටලුව නවගත්තේගම පොලිසිය කරා යොමු විය.
ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ක්‍රීඩා පිට්ටනියට අයිති භූමිය ඔවුන්ට ලබා දෙන ලෙසටය.
එහිදී අදහස් දැක්වූ රජිත යෞවන සමාජයේ නිලධාරියකු වන කේ.පී. පුංචිබංඩා මහතා
නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රජවිගම අමුණුවැව සේවා පියස ගොඩනැගිල්ල පිටුපස තිබෙන ඉඩමෙන් අක්කර දෙකක් ක්‍රීඩා පිටියක් සඳහා එළිපෙහෙළි කර ක්‍රීඩා පිටියක් පවත්වාගෙන යාමට හිටපු පොඩි නේරිස් ප්‍රාදේශීය ලේකම්තුමා ලිපියකින් අපට අවසර ලබා දුන්නා.
එම ඉඩම අවස්ථා කිහිපයකදීම රජයෙන් සහ ගම්වැසියන්ගෙන් එකතු කර ගත්ත මුදල් වියදම් කරලා එළිපෙහෙළි කළා. ඊට පස්සේ අපි ඒ භූමියේ ක්‍රීඩා කළා. ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට හරියාකාරව මුදල් නැති නිසා කැලේ වැවෙන්න පටන් ගත්තා. අපි එවකට රජයෙන් මෙම ක්‍රීඩාපිටිය නිසියාකාරව සකස් කරන ලෙස ඉල්ලීම් කළා. පසුව රජයෙන් ලක්ෂ 20ක මුදලක් ලබා දෙනවා කියලා තිබුණා. කොහොමත් ඒ සල්ලි අපි බලාගෙන හිටියා. සල්ලි ලැබුණේ නෑ. ඊට පස්සේ පසුගිය අවුරුද්දේ ක්‍රීඩා පිට්ටනිය ආසන්නයේ රන්මිණිමුතුගම ගම්මානය නිර්මාණය වුණා. ඒ එක්කම අපිට සල්ලි ලැබෙන්න තිබුණා. ආණ්ඩු පෙරළියත් සමඟ අපට සල්ලි ලැබුණේ නෑ.
මාස කිහිපයකට පෙර නවගත්තේගම ප්‍රාදේශීය සභාවෙන් පිටිය සකස් කර දෙනවා කියලා ශුද්ධ කළා. පස්සේ බලන විට ශුද්ධ කරල තියෙන්නෙ බොරළු කපන්න. අපි වියදම් කරල ගමේ තරුණ තරුණියන්ට ක්‍රීඩා කිරීමට රජයේ මුදල් වැය කරලා හදාගත්ත ක්‍රීඩාපිටිය නවගත්තේගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා සත්‍ය තොරතුරු වසන් කරලා භූ විද්‍යා එකෙන් අවසර අරගෙන ක්‍රීඩා පිටියේ බොරළු කපල වැවක් බවට පත් කරන්නට යනවා. කිසිදු බලධාරියෙක් උදව් කරන්නවත් මීට විරුද්ධ වෙන්නවත් ඉදිරිපත් වුණේ නෑ. අපි ප්‍රාදේශීය ලේකම් ගාවට ගියා. වැඩක් වුණේ නැහැ.
ගල්ගමුවේ වල් අලින්ගේ චණ්ඩිකම්
ගල්ගමුව නිහාල් ජයවීර
ගල්ගමුව, ඇහැටුවැව, අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත්වෙන ජනතාවට අද තියෙන ලොකුම ප්රශ්නය වගේම විසඳුමක් නැති ප්‍රශ්නයක් බවට පත් වී තිබෙන්නේ වල් අලින්ගෙන් සිදුව විවිධාකාර පීඩනයයි.
එසේ ප්‍රකාශ කරමින් ගල්ගමුව ප්‍රදේශයේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක්^ ගැන අප සමඟ සාකච්ඡා කිරීමට ඉදිරිපත් වූයේ ගල්ගමුව, අරසන්වැව ඉහළ පදිංචි අයි.ආර්.බී. සේනාධීර මහතා ය.
ඔහු ඒ ගැන වැඩිදුරටත් කීවේ මෙවැන්නකි.
මං අර මුලින් කී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන ගල්ගමුව වනජීවී කලාපයට අයත් වෙනවා. ඔය කොට්ඨාසවල ජනතාවට අද රූකට නින්දක් නෑ. කොයි මොහොතේ අලි ඇවිත් ගෙවල් කඩා, වී ටික, ධාන්‍ය ටික විනාශ කරයි ද දන්නේ නෑ. මේ ගතවූ මාස දහයේදී මේ කලාපයේ ගෙවල් 75ක් වල්අලි කඩා දමා තිබෙනවා. දේපළ හානි කිරීම් 46ක් බව දැනගන්න තියෙනවා. වල්අලි පහරදීම් නිසා මිනිස් මරණ තුනක් හා ශාරීරික හානි හතරක් මේ මාස දහයේදී සිදු වී තිබෙන බවට වනජීවී කාර්යාලයෙන් දැනගන්න ලැබුණා.
අනේ අපේ ගස්ලබු වගාවට ගිය කල
I වන්නි රොමේෂ් මධූෂංඛ
යුද්ධය හේතුවෙන් වව්නියාවේ නැවත පදිංචි සිංහල හා දෙමළ වැසියන් ස්වයංරැකියාවක් වශයෙන් ගස්ලබු වගාවන් සිදු කළ ද මේ දිනවල ගස්ලබු වගාවට පිටිමකුණන් රෝගය වැළඳීම නිසාවෙන් පැපොල් අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව එම වැසියෝ දැඩි සේ අසරණව සිටිති.
පැපොල් ගෙඩිය ඉදෙන්නට ප්‍රථම මේරූ අවධියේදී මෙම පිටිමකුණන් රෝගය වැළඳෙන අතර එහිදී ගස්ලබු ගෙඩිය කළු පැහැයක් ගන්නා බැවින් ගැනුම්කරුවෝ කිසිවකුත් මිලදී නොගනිති. ඵලදාවෙන් 60%ත් 70ත් අතර ප්‍රමාණයක්ම ගස්ලබු ඉවත් කිරීමට සිදුවීම නිසාවෙන් තමන්ට කිසිදු ආදායමක් නොලැබෙන බවට ඔවුහු කියා සිටිති.
මේ සම්බන්ධයෙන් වවුනියාව පූවර්සන්කුලම් ග්‍රාමයේ පදිංචි නිර්මලා දේවී කියා සිටියේ‘‘යුද්දෙන් පස්සේ බොහොම අමාරුවෙන් අපි ජීවිතේ ගැටගහගන්න හිතාගෙන තමයි මේ විදිහට ස්වයංරුකියාවක් කරන්න තීරණය කරලා මේ ගස්ලබු වගාවන් දාන්න තීරණය කළේ. ඇත්තටම ගස්ලබු වගාවට හොඳ ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන් පිටරටින්. ඉතින් අපි පුළුවන් තරම් ගස්ලබු වගාව වැඩිකර ගන්න උත්සාහ කළා. නමුත් අපි නොහිතපු විදිහට අපේ වගාවට කනකොකා හැඬුවා. අපේ ගස්ලබු වගාවේ 50%කට වැඩි ගස්වල ගෙඩිවල සුදු පැහැති කෘමීන් වර්ගයක් ආවා. මේක දැකපු අපේ ගැනුම්කරුවන් දැනුම් දුන්නේ අදාළ කෘමීන් සිටින ගස්ලබු මිලට ගැනීමට නොහැකි බවටයි. පසුව අපි කෘෂිකාර්මික නිලධාරීන් හමුවී ඔවුන් සමඟ සිදු කළ අධීක්ෂණයකින් පසුව තමයි අපි දැනගත්තේ මේ ගස්ලබු වගාවට පිටිමකුණන් නැමති රෝගකාරකයන් බෝවී ඇති බවට. දැන් දවසින් දවස මේ රෝගය වැඩි වෙනවා. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.