2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

මන්නාරමේ ගෙපලකින් මතු වූ අනුරාධපුර යුගයේ කාසි මුට්ටිය

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 550

මන්නාරම මුරුන්කන්හි නානට්ටන් ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් පසුගිය දිනෙක නව නිවෙසක් තැනීමට අත්තිවාරම් කපමින් සිටියෝය. අත්තිවාරමේ කාණුව කපන අවස්ථාවේ උදලු වැදුණේ යම්කිසි මැටි මුට්ටියකටය. උදැල්ල වැදීම නිසා මුට්ටිය බිඳී ගියේය. මුට්ටිය තුළ වූයේ ඔවුන් කිසිවිටෙක බලාපොරොත්තු නොවූ දෙයකි. එහි තිබූ දේ ගැන අවබෝධයක් නැති වුවද කිසියම් පැරණි දෙයක් බව ඔවුන්ට තේරුණි. මේ නිසා සිද්ධිය ගැන මුරැන්කන් පොලීසිය දැනුවත් කිරීමට ඒ පිරිස ක්‍රියා කළහ.

මෙය පුරාවස්තු බව අවබෝධ කරගත් පොලීසිය ඒ ගැන කලාප භාර පුරාවිද්‍යා නිලධාරීවරයා දැනුවත් කළේය.

මේ කාසි අනුරාධපුර යුගයට අයත් ඒවා. ක්‍රි.ව. 7-8 සියවස්වලට අයිති බවට අනුමාන කළ හැකියි. දකුණු ඉන්දියාවේ පාණ්ඩියන් රජ සමයට අයත් බවට සිතීමට පුළුවන්. නමුත් මේ ගැන තවදුරටත් විශ්ලේෂණය කළ යුතුයි.* මන්නාරම කලාප භාර පුරාවිද්‍යා නිලධාරී එම්. චමින්ද සිල්වා සඳහන් කරයි.

කාසි මුට්ටිය කැඩීගොස් ඇති අතර එහි කොටසක් පමණක් ඉතුරුව තිබේ. හමුවූ සම්පූර්ණ කාසි ප්‍රමාණය 1850කි. එම කාසිවල මසුන්, කඩු ආදී ලාංඡන දැකගත හැකිය. සියවස් ගණනාවක් පොළොව යට පැවතීම නිසා දුර්වර්ණව තිබෙන කාසි සංරක්ෂණය කිරීමෙන් පසු වඩාත් පැහැදිලි අදහසක් ලබාගත හැකිවනු ඇත. පුරාණයේ ප්‍රකට වෙළෙඳ වරායක් වූ මාතොට වරාය සම්බන්ධ ගනුදෙනුවලදී මේ කාසි භාවිත කරන්නට ඇතැයි සිතිය හැකිය.

මෙම සිද්ධිය වැදගත් වන්නේ උතුරු පළාතෙන් මෙතරම් කාසි තොගයක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය නිසාය. මන්නාරම මාතොට කැණීම්වලදී පවා විදේශීය කාසි, බරණි ආදිය හමුවුණද, මෙතරම් විශාල කාසි සංඛ්‍යාවක් හමුවී නැත. මීට පෙර වවුනියාවේ මකේකාරම්පලෙයි ප්‍රදේශයේ මාර්ගයක් බැකෝ යන්ත්‍රයකින් හාරන විට කාසි 120ක් සහිත මුට්ටියක් හමු විය.

මන්නාරමෙන් හමුවූ කාසි හස්එබු කාසිය. හස් යනු ලාංඡන හෙවත් සලකුණුය. සලකුණු සහිත කාසිවලට හස්එබු කාසි නම භාවිත වේ. කාසි භාවිත කරන ප්‍රභූ පුද්ගලයන් තම සලකුණ එහි යෙදීම සිරිතක් කොටගෙන තිබුණි. මේ නිසා විවිධ සංකේත රාශියක් මේවායේ දැකගත හැකිය. සමහර කාසිවල කුඩා සලකුණු 20ක් හමුවන අවස්ථා තිබේ.

දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයේ රජවරැන්ගේ කාසි වර්ග කිහිපයක්ම මෙරටින් හමු වී ඇත. ඉන් බොහොමයක් ලංකාවේ දකුණු ඉන්දියානු වරාය වූ තිරැකේතීශ්වරම්වලින් හමුවූ ඒවාය. ඒ සෑම කාසියකම උඩු පැත්තේ මත්ස්‍යයකුගේ හෝ කිහිප දෙනකුගේ ලාංඡනය තිබීම ඒවා හඳුනා ගැනීමට ඉවහල් වේ. පාණ්ඩ්‍ය රාජ ලාංඡනය මත්ස්‍යයකුගේ රෑ සටහනකි. මන්නාරමෙන් හමුවූ කාසිවලද මත්ස්‍ය සලකුණ විය.

දකුණු ඉන්දියානු සොළී කාසි ද මෙරටින් හමුවේ. I වන රාජ රාජ (985 – 1012) සොළී රජු දිවයිනේ උතුරැ කොටස් පාලනය කළ සමයේ සොළී කාසි භාවිත කෙරුණි.

ලංකාවේ ප්‍රදේශ කිහිපයකින්ම මෙයට පෙර අහම්බෙන් කාසි හමුවිය. 2014 ඔක්තෝබර් මාසයේ හම්බන්තොට බඳගිරියේ මහාමාර්ගයක් ඉදිකරන අවස්ථාවක පැරණි තඹ කාසි 300ක් හමුවිය. පසුව ඒ ස්ථානය පුරාවිද්‍යා නිලධාරීන් පරීක්ෂා කිරීමේදී තවත් කාසි 1500ක් හමුවී තිබේ. මෙම කාසි ද අනුරාධපුර යුගයට අයත් ඒවාය.

වර්ෂ 2017 ඔක්තෝබර් මාසයේ අනුරාධපුර තිරප්පනේ උච්චාලික විහාරයේ කරන ලද කැණීමක දී කාසි මුට්ටියක් හමුවිය. එහි තිබී හමුවූ කාසි ප්‍රමාණය 325කි.

පසුගියදා කාසි හමුවූ මන්නාරම අනුරාධපුර, පොළොන්නරැ යුගවලදී මෙරට ප්‍රධාන වරාය විය. එය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාශියක් සිදුකළ ස්ථානයක් බවත් ලොව බොහෝ රටවලින් නාවික යාත්‍රා පැමිණි බවත් හෙළි වී තිබේ. චීනය, අරාබිය, ග්‍රීසිය, රෝමය ආදී රටවල් සමඟ පැවැත්වූ වෙළෙඳ සබඳතා සාධක මාතොට වරායෙන් ලැබී ඇත.

බොහෝ පුරාවිද්‍යා සොයාගැනීම් මතුවන්නේ අහම්බෙනි. මෙයත් ඒ ආකාරයේ සොයාගැනීමකි. අදාළ කාසි සංරක්ෂණය කර මතු පරපුරේ උරුමයට යොමු කිරීම බලධාරීන්ගේ වගකීමකි.

 කුසුම්සිරි විජයවර්ධන