මෙරටින් හමුවූ විශාලතම කොවිඩ් පොකුර වන මිනුවන්ගොඩ බ්රුන්ඩික්ස් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය 20 වැනිදා වන විට 2342ක් දක්වා ඉහළ ගොස් තිබිණි. කටුනායක වෙළෙඳ කලාපයෙන්ද ආසාදිතයන් හමුවීම නිසා කම්හල් හතරක් වසා දැමීමටද සිදු විය. මේ වන විට එම සංඛ්‍යාව 268ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වුවද කටුනායක නිදහස් වෙළෙඳ කලාපය වසා දැමීමේ අවශ්‍යතාවක් තවම මතුවී නැතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවද ඔහු සඳහන් කර තිබේ.
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් 87ක් පමණ ඇති අතර. එම ආයතනයන්හි සේවයේ නියුතු පිරිස 37,000ක් පමණ වෙති. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය බලපවත්වන බැවින් මේ දිනවල සේවයට වාර්තා කරන පිරිස 7000කට පමණ සීමා වී තිබේ. මේ වන විට කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් හතරක් වසා දමා තිබේ. ඇඳිරි නීතිය පනවා ඇති කාලයේද ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කරයි. ආරක්ෂණ විධි ක්‍රියාත්මක කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරමින් කටුනායක, බියගම, වතුපිටිවල, මල්වත්ත සහ මීරිගම යන ප්‍රදේශවලත් ඊට අමතරව ඉහත කලාපවලින් පිටත පිහිටි ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සියලු කර්මාන්ත ශාලා පවත්වාගෙන යන බවටත් සඳහන් කරමින් ඔවුන් නිවේදනයක් නිකුත් කර තිබේ.
කටුනායක නිදහස් වෙළෙඳ කලාපය කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමට නම් එහි සිටින සියල්ලන්ගේ පීසීආර් පරීක්ෂණ සිදු කොට රෝගීන් නොවන බවට සහතික කරගත යුතුව ඇතැයි නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ ඇන්ටන් මාකස් මහතා ප්‍රකාශ කරයි.
අපි මේ සම්බන්ධයෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ සාකච්ඡා කළා. තමන්ගේ වියදමින් පීසීආර් කරන මධ්‍යස්ථානයක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ස්ථාපනය කිරීමට සූදානම් යැයි ඔවුන් සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා තිබෙනවා. දැනට එම පරීක්ෂණ සිදු වෙන්නේ පෞද්ගලික රෝහල්වලින්. එවායේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන්න සතියක් දෙකක් ගතවෙනවා. එම කාලයේ පීසීආර් පරීක්ෂණවලට ලක් කළ පුද්ගලයන් සෑම තැනකටම යන එනවා. ඔවුන්ව පරීක්ෂණ වාර්තා එන තෙක් රඳවා තැබිය හැකි ස්ථානයක් නැහැ. පීසීආර් පරීක්ෂණ මධ්‍යස්ථානයක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ස්ථාපනය කිරීමෙන් කඩිනමින් වාර්තා ලබා ගත හැකියි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේ වන තෙක් කිසිදු අනුමැතියක් ලබා දී නැහැ. ඔවුන්ට කිසියම් ගැටලුවක් පවතීනම් ඔවුන්ගේ සුපරික්ෂාකාරිත්වය යටතේ එය ක්‍රියාත්මක කළ හැකියි. යනුවෙන් ඔහු කියා සිටියි.
ඇතැම් කම්හල් සේවක සේවිකාවන් මාධ්‍යයට කියා තිබුණේ නිරෝධායනය සඳහා තමන් බල්ලන් බළලුන් මෙන් ඇදගෙන ගිය බවටය. කටුනායක ලියනගේමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් සේවක පිරිසක් හමුදාව මගින් බස් රථයකින් කළුතර පිහිටි තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ගෙනගොස් ඇති බවත් අවශ්‍ය බඩුබාහිරාදිය රුස් කරගෙන බස් රථයට ගොඩවීමට ලබා දුන්නේ ඉතා කෙටි කාලයක් බවත් තමන් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා අයුරින් වැටලූ බවත් එම පිරිස කියා තිබිණි. එදිනම මධ්‍යම රාත්‍රියේ ඇවරිවත්තේ ද සේවකයන් 53 දෙනෙකු බස් රථයකට නංවා ගෙන ගිය බවටද තවත් පිරිසක් චෝදනා කර තිබිණි. තමන්ගේ බඩුබාහිරාදිය අසුරා ගැනීමට ලබා දුන්නේ විනාඩි 10ක පමණ කාලයක් බවත්, කටුනායක, සීදූව, මීගමුව සහ අමන්දොලුව යන ප්‍රදේශවලින් තවත් සේවක සේවිකාවන් එකතු කර අලුයම 5.30 ට කටුනායකින් පිටත්ව ගිය බවත්. පැය 12 ක් ගතවන තෙක් කිසිදු ආහාරයක් හෝ ජලය බිඳක් හෝ ලබා දී නොදුන් බවත් ඔවුන් පවසා තිබිණි.
මෙම චෝදනා සියල්ල සත්‍ය නොවන බවට හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබිණි. එවැනි කතා අතිශයෝක්තියෙන් කළ ප්‍රකාශ බවත් කලින් දැනුම් දීමකින් පසු ඔවුන් නිරෝධානයනය සඳහා ගෙන ගිය බවත් ඇන්ටන් මාකස් මහතා පවසයි.
මෙම පුද්ගලයන් රුගෙන ගියේ හමුදා නිලධාරින්. ඔවුන්ටත් තමන්ට රෝගය වැළඳේය යන බියක් තිබෙනවා. සෞඛ්‍ය අංශවල අයට මෙන් ඔවුන්ට පුද්ගලයන් රැගෙන යාම සම්බන්ධයෙන් පුහුණුවක් නැහැ. අපේ නිරෝධායන පනත 1820 වැනි කාලයක ඇති කළ පනතක්. එම පනතේ මානුෂික අයිතිවාසිකම් ගැන සඳහන් නැහැ. එය වෙනස් විය යුතුයි. හමුදාව පුද්ගලයන් රුගෙන යන ක්‍රමවේදය වෙනස්. ඇතැම් විට හමුදාව කියන්න ඇති ඉක්මනින් සූදානම් වෙන්න කියලා. එහෙම කිව්වට ඔවුන්ට අවශ්‍ය බඩුබාහිරාදිය එකතු අරගෙන යා යුතුයිනේ. හමුදාව ඉක්මන් කරලා සූදානම් වෙන්න කිව්ව නිසා වෙන්න ඇති ඇතැම් අය කියන්නේ බලෙන් ඇදගෙන ගියා කියලා. අමානුෂික විදිහට අරන් ගිය බවට අපට නම් පැමිණිලි ලැබී නැහැ.
නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් රුඳී සිටින නේවාසිකාර තවමත් නිසි පරිදි විෂබීජ හරණයට ලක්කොට නොමැති බව පැවසේ. ඒවා විෂබීජහරණයට ලක් කරන ලෙසට වෘත්තීය සමිති ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා ඇතත් ඔවුන් එයට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති යැයි ද කියැවේ. ඇතැම් නේවාසිකාරයන්හි සිටි සේවක සේවිකාවන්ද ඒවායේ හිමිකරුවන් සහ ආරක්ෂක නිලධාරීන්ද නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙන ගොස් ඇති බැවින් ඔවුන්ගේ වටිනා බඩු බාහිරාදිය අනාරක්ෂිත යැයි ඇන්ටන් මාකස් මහතා පවසයි. ඒවා ආරක්ෂාකර දීම සඳහා කිසියම් ක්‍රියා මාර්ගයක් ගත යුතු බව කියා සිටි මාකස් මහතා ඇතැම් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන ගිය පිරිසට අවශ්‍ය අවම සුදුසුකම් පවා නොමැති බව අපට වාර්තා වුණා. අපි ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ පසු අඩුපාඩු නිවැරදි කළා. දැන් ආණ්ඩුවෙන් කියල තියෙනව සේවක සේවිකාවන්ට පෞද්ගලික වාහනවලින් සේවයට එන්න එපා කියලා. ආයතන කිහිපයක් හැර සේවක සේවිකාවන්ට ප්‍රවාහන පහසුකම් සපයන්නේ නැහැ. ඉතින් කොහොමද සේවක සේවිකාවෝ සේවයට පැමිණෙන්නේ.? මෙම සේවක සේවිකාවන්ගේ රුකියා සුරක්ෂිතභාව රුක ගැනීම සඳහා කළ හැකි සියල්ල අප කරනවා. ඒ නිසා ප්‍රවාහන පහසුකම් නොමැති නම් ප්‍රමාද වී හෝ සේවයට යන ලෙස අප ඔවුන්ට උපදෙස් දුන්නායි කියා සිටියේය.
විමෙන් සෙන්ටර් සංවිධානය නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි. නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් හතරක් වසා ඇත්තේ ඒවායින් ආසාදිතයන් හමු වූ බැවිනි. එහෙත් අනෙකුත් කර්මාන්ත ශාලා වසා නොදමා දිගටම පවත්වාගෙන යා යුතු යැයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා පද්මිණී වීරසූරිය මහත්මිය පවසන්නීය. කොවිඩ් අර්බුදය හමුවේ පසුගිය මාර්තු මාසයේ මුළු රටේම පෞද්ගලික අංශයේ රුකියා එක්ලක්ෂ අසූදාහක් පමණ අහිමි වුණා. සේවකයන් ඉවත් කිරීමට, ඔවුන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට ඇතැම් හාම්පුතුන්ට කොරෝනාව ආශීර්වාදයක් වුණා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කරනවා. කොරෝනා පාලනය කිරීම ආණ්ඩුවට පමණක් කළ හැකි දෙයක් නොවෙයි කම්හල් හිමියන්ද එයට සහය දැක්විය යුතුයි.
ඇතැම් කම්හල් හිමියන් තමන්ගේ වියදමින් එම ආයතනවල සියලුම සේවක සේවිකාවන්ගේ පීසීආර් පරීක්ෂණ සිදු කර තිබේ. එම පරීක්ෂණවලින් කිසිදු ආසාදිතයකු හමු නොවූ අතර එම සේවක සේවිකාවන්ට බියකින් තොරව සේවය කිරීමේ හැකියාව පවතී. පද්මිණී වීරසූරිය මහත්මිය පෙන්වා දෙන්නේ කිසියම් රෝගියකු හමුවූ අංශය පමණක් නොව කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පමණක් නොව දිවයිනේ ඇති නිදහස් වෙළෙඳ කලාප 16ම සියලු සේවක සේවිකාවන්ගේ පීසීආර් පරීක්ෂණ සිදු කළ යුතු බවටය. එවිට කම්හල් වැසීමකින් තොරව සේවක සේවිකාවන්ගේ රැකියා ආරක්ෂා කර ගනිමින් නියමිත නිෂ්පාදනය සිදු කළ හැකි බවද ඒ සඳහා සියලුම කම්හල් හිමියන් දායකත්වය සැපයිය යුතු බවද ඇය අවධාරණය කරයි.
විමෙන් සෙන්ටර් සංවිධානය සහ සියලු වෘත්තීය සමිති සේවක සේවිකාවන්ගේ රුකියා ආරක්ෂා කර ගැනීම සඳහා පෙනී සිටිති. සෞඛ්‍ය ආරක්ෂක නීතිරීති පිළිපදිමින් සේවක සේවිකාවන් සේවයට කැඳවන ලෙසට ඔවුහු කම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටිති. &බ්රුන්ඩික්ස් ආයතනය සේවක සේවිකාවන්ට සැලකූ ආකාරය සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගැනීම අත්‍යවශයයි. සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයට ඔවුන් කටයුතු කර තිබෙනවා. සේවිකාවන් තමන් අසනීපයෙන් පසුවන බව පැවසූ විට ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබා නොදී පැනඩෝල් බිබී වැඩ කරන්න කියල තියෙන බවට වාර්තා වුණා. ඔවුන් ආයතනය තුළම රඳවා ගෙන වැඩ ගත්තා. මෙවැනි කරුණු සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා කිසියම් පියවරක් ගතයුතුයැයි* පද්මිණී වීරසූරිය මහත්මිය පවසන්නීය.
ඇතැම් කම්හල්වල ඇඟලුම් සේවිකාවන් ලවා පිරිසුදු කිරීමේ කටයුතු පවා සිදු කර ගන්නා බවට චෝදනා නැඟේ. කොරෝනා වසංගතය නිසා කොග්ගල එක්තරා කර්මාන්ත ශාලාවක පිරිසුදු කිරීමේ සේවක සේවිකාවන් සේවයට කැඳවන්නේ නැත. එහෙයින් කම්හලේ මැෂින් ඔපරේටර්වරියන් දිනකට දස දෙනා බැගින් පිරිසුදු කිරීමේ කටයුතු සඳහාද යොදවන බවට වාර්තා වේ. සම්පූර්ණ නීති විරෝධි ක්‍රියාවක් වුවද තම රැකියාව අහිමිවනු ඇතැයි යන බිය නිසා එම කටයුතු ඉටු කිරීමටස ඔවුනට සිදුවී තිබේ. මේ සම්බන්ධයෙන් කම්කරු කාර්යාලයට පැමිණිලි කර තිබුණද මෙතෙක් කිසිවක් සිදුව නොමැති බවද වාර්තා වේ.
විමෙන් සෙන්ටර් සංවිධානය නිරෝධායනය වන සේවක සේවිකාවන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කරමින් සිටී. සනීපාරක්ෂක කට්ටල සපයා දීමටද දැනට නේවාසිකාගාරවල සිටින සේවක සේවිකාවන් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය සැපයීමටද පියවර ගන්නා බව පද්මිණී වීරසූරිය මහත්මිය පවසයි. ඇතැම් ආයතන සේවක සේවිකාවන් සඳහා වියලි ආහාර පාර්සලය බැගින් ලබා දීමට පියවර ගෙන තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා