භාණ්ඩ ඇසුරුමක වෛරසය තිබුණ බව රසායනාගාර පරීක්ෂාවකදී හෙළි වී ඇත. තවත් තොරතුරකට අනුව පැය අනූවක් දක්වා ජීව කාලය ආරක්ෂා කරගත හැකි තරමට වර්ධනය වී ඇති බව දැක්වෙයි. එයට සමාන්තරව මිනිස් සංහතිකය ද දැවැන්ත පරිශ‍්‍රමයකය. පර්යේෂණ අංශ එන්නතක් සොයාගැනීමේ නිරතව සිටිති. ලෝකයේ ප‍්‍රමුඛ කණ්ඩායම් දහ නමයක් නියැලී සිටින අතර සොයා ගතහොත් වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීමට ඉන්දියානු හා ඉන්දුනීසියානු ඖෂධ සමාගම් සූදානමක සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානය සිරින්ජර් මිලියන ගණනක් ලොව පුරා බෙදා හැරීමේ සූදානමකය.
පැතිර යන සෞඛ්‍ය අවධානය නොවෙනස්ව තබා ගැනීමේ අවශ්‍යතාව අභිමුවෙහි දිළිඳු සහ මැදි ආදායම් රටවලට ගැටලු පැන නැගෙන බව පැහැදිලිය. ජනතාවගේ නිරෝගී බව වෙනුවෙන් කැපවිය යුතු අතර ආහාර ඇතුළු අවශ්‍යතා අඛණ්ඩව සැපයීමට සිදුවී තිබේ. එය බරපතළ වියදමකි. ශ‍්‍රී ලංකාව මෙම පැති අතර දෝලනය වෙමින් සිටින රටකි.
වැඩ කරන ජනතාවට එල්ල වන අතවරය ගැන සැලකිල්ලක්
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙහි ගැවසෙන ජනී ජනයා සම්බන්ධයෙන් පී. සී. ආර්. පරීක්ෂාවක් කර තිබේ. එහි ප‍්‍රතිඵල නිකුත් වී ඇත. අහඹු ලෙස කරන පරීක්ෂණවලදී සියයකගෙන් හතළිස් නමයකට කොවිඩ් වැළඳී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිවේදනය කර ඇත. එය එතරම් යහපත් තත්ත්වයක් නොවේ. මතස්‍ය වෙළෙඳපොළ වසා දැමිය හැකිය. පසුව තීරණය කළ පරිදි පෑලියගොඩ මත්ස්‍ය අලෙවිය මධ්‍යස්ථානය වසා දමන ලද අතර ප‍්‍රශ්නය පැන නැගෙන්නේ මාළු පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට පමණක් නොවේ. ධීවර කර්මාන්තයෙහි නියැලි, එය ආශ‍්‍රිතව වෘත්තීන්හි නිරත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ජීවනෝපාය සම්බන්ධ ප‍්‍රශ්න පැන නගී. වෛරසය පැතිරෙන බස්නාහිර පළාත ආර්ථික මර්මස්ථානයකි. විශේෂයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කය ගැන අවධානය යොමු කළ යුතුය. නිදහස් වෙළෙඳ කලාපය එහි පිහිටියේය. කලාපයට අයත් ප‍්‍රදේශයේ බ‍්‍රැන්ඩ්‍රික්ස් ඇඟළුම් ආයතනයෙන් දෙවැනි රුල්ල පළමුවෙන් වාර්තා වී තිබේ. ධීවර කර්මාන්තයට සම්බන්ධ මත්ස්‍ය වෙළෙඳපොළ සම්බන්ධයෙන් තීරණ ගැනීම අභ්‍යන්තර එකකි. ආර්ථකයට බලපාන කරැණකි. ඇඟළුම් අපනයන අංශයට අදාළ කම්හල් සහිත නිදහස් වෙළෙඳ කලාපය වසා දැමීම පරෙස්සමෙන් දුරදිග කල්පනාකර බලා ගත යුතු තීරණයකි.
මහජන සෞඛ්‍ය අංශ වසංගතයේ පැතිරීම ගැන අවධානයක සිටී. නිරෝධායන නීති ක‍්‍රියාත්මකය. බස්නාහිර පළාතට අයත් ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් පොලිස් බල ප‍්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. ජනතාව ඒකරාශී වීම වැළැක්වීම අරමුණ බව පෙනේ. සාමාන්‍ය ජනතාවට බලපවත්වන නීති නිදහස් වෙළෙඳ කලාපය ඇතුළු වැඩ කරන ජනතාව වෙනුවෙන් බල නොපැවැත්වීම ගැන විවිධ මත පළ වී ඇත. වසංගතයෙන් ගැලවෙන පියවර ගන්නා අතර ආර්ථික කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම ඉතාම වැදගත් සාධකය බව දැක්විය යුතුය.
ඇඟළුම් කම්හල් දොරගුළු දැමීමෙන් මතුවිය හැකි ගැටලු
ඇඟළුම් කර්මාන්තය ඉතා තරගකාරී තැනකට පත්ව තිබේ. ඉතා ඉක්මනින් අඩුම පිරිවැයකින් ඇඟළුම් නිපදවා වෙළෙඳපොළට යැවීම අභියෝගයකි. බටහිර රටවල වෙළෙඳපොළ තුළ පවතින ඉල්ලුම විවිධ මුහුණුවර ගෙන ඇත. ශ‍්‍රී ලංකාව උච්ඡ ස්ථානයක තිබුණ අවස්ථාව දැන් මග හැරී ඇති බව වාර්තා සඳහන් කරයි. චීනය හා යුරෝපා හවුලේ රටවල් ඇඟළුම් අපනයනයේ පතාක යෝධයන්ය. යම් ස්ථාවර ස්ථානයක් ශ‍්‍රී ලංකාවට තිබුණි. එහෙත් තරගකාරීත්වයේ බලපෑම මත එය ගිලිහී යමින් තිබේ. බංගලාදේශය, වියට්නාමය, ඉන්දියාව හා තුර්කිය මෙරට අපනයන අවස්ථා අත්පත් කරගනිමින් සිටිති. අඩු පිරිවැය හා ඉහළ නිෂ්පාදන ධාරිතාව එහි ප‍්‍රධාන ලක්ෂණයක් වී තිබේ. පොදුවේ ඇඟළුම් අපනයන අවස්ථාවලින් බැහැර වන ශ‍්‍රී ලංකාව තෝරාගත් අංශවලින් ඉදිරියට පැමිණෙයි. මෝස්තර නිර්මාණය ද එයින් එකකි. කාන්තා ඇඟළුම් නිපදවීම යන අංශයෙන් වාර්තාගත තැනකට ළඟා වී ඇත. රටවල් සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම් හා බහුකෙඳි ගිවිසුම් වැනි අවස්ථාවලින් එය තවත් තහවුරැ කරගෙන තිබේ.
කෙසේ වෙතත් කොවිඩ් - 19 වෛරසයේ බලපෑම සමග ශ‍්‍රී ලංකාවේ අපනයනයට බාධා සිදුවිය. ඇඟළුම් කම්හල් සංගමය පෙන්වා දෙන පරිදි මෙම වසරේ විනිමය ඉපැයීම අමෙරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ විය හැකිය. අපේක්ෂාව බිලියන 3.3 හා බිලියන 1.3 අතර තත්ත්වයක් බව අනතුරු අඟවයි. අමෙරිකානු ඩොලර් බිලියන දෙකක් උපයා ගතහොත් සැනසිලිදායක තත්ත්වයක් බව දැක්වෙයි. ශ‍්‍රී ලංකාවට අනුමත කර ඇති ජී.එස්.පී. ප්ලස් සහනය වසර 2023 තෙක් වලංගුය. අමෙරිකාව හා චිනය බව මෙරට ඇඟළුම් වැඩිපුරම මිල දී ගන්නා රටවල්ය. චීනය එක්තරා ආකාරයක ආර්ථික වර්ධනයක් දක්වන නමුත් අමෙරිකාව ආර්ථික හා සමාජ වශයෙන් පසුබෑමකය. එරට ආනයන අඩු වෙන්නට ඉඩ තිබේ. යුරෝපා රටවල තත්ත්වය ද එයට නොදෙවැනිය. එවැනි පසුබිමක සිටිය දී මෙරට අපනයනයට ලැබුණ ඉල්ලුම සම්පූර්ණ කළ නොහැකි වන පරිදි කම්හල්වල නිෂ්පාදනය අඩාල කළහොත් දැනට හිමි වෙළෙඳපොළ පවා අවදානමකට ගොදුරැ වනු ඇත.
අපනයනයෙහි ඇති පංගුව දෙස අවධානයක්
ශ‍්‍රී ලංකාවට විනිමය ලැබෙන මාර්ග සම්පූර්ණයෙන්ම පාහේ අවහිර වී තිබේ. මැද පෙරදිග ඇතුළු රටවල සේවය කරන ලංකිකයන් උපයා එවන විනිමය ප‍්‍රමුඛ තැනක තිබුණි. දෙවැනි තැන ඇඟළුම් කර්මාන්තයටය. තේ අපනයනයෙන් ලැබුණ විනිමය ආදායම සහ සංචාරක කර්මාන්තයෙන් ලැබුණු විනිමය මෙරට විදේශ විනිමය සඳහා දායක වූ අවස්ථාය. මෙම විනිමය රහිතව වෙනත් රටකින් මිල දී ගැනීමට හැකියාවක් නැත. ජාත්‍යන්තර වාර්තා පෙන්වන පරිදි විදේශගත ශ‍්‍රමික ප්‍රේෂණ සියයට විසි හතකින් පමණ මෙම වසරේදී සීමා විය හැකිය. එම ප‍්‍රතිශතය අනුව මෙරට ලැබෙන ආදායම පවා හතරෙන් එකක් අඩු වෙන්නට ඉඩ තිබේ. ඇඟළුම් අපනයනයෙන් පසුගිය 2018 වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 5.3 ක් උපයනවිට මෙම වසරේ බිලියන දෙකකට සීමා වනු ඇතැයි පළවන පුරෝකථන මෙරට විනිමය ඉපැයීම සම්බන්ධයෙන් පවතින නරක ස්වභාවය දක්වයි. අපනයන අංශයෙන් සියයට 43 ක් ආවරණය කරන්නේ ඇඟළුම් කර්මාන්තය බව ද දැක්විය යුතු කරුණකි.
සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ඉතාම අවදානමකය. ලෝකයේ සමහර රටවල් අවදානම් කලාප වශයෙන් නම් කරන නමුත් මෑතක් වනතුරු ශ‍්‍රී ලංකාව සංචාරය කළ හැකි තැනක් වශයෙන් හඳුන්වන්නට ජාත්‍යන්තර සංචාරක බලධාරීන් පියවර ගත් බව මතක් කළ යුතුය. එහෙත් දැන් වාතාවරණය වෙනස් වෙමින් තිබේ. දෙවැනි රැල්ල ගැන දක්වන ප‍්‍රතිචාරය ගැන සැලකිල්ල යොමු කළ යුතුය. චීනය හා ඉන්දියානු සංචාරකයක් හැරෙන්නට වෙනත් රටවල් මෙරට ගමනාන්තය අමතක කර තිබේ. එය විනිමය ආදායම අහිමි කර ඇත. කොවිඩ් වෛරසයේ බලපෑම පවතින කාලය තෙක් සංචාරක ව්‍යාපාරය ගැන එපමණ බලාපොරොත්තු තැබීම පහසු නැත. දැනට පවතින ආර්ථික හා සමාජ වාතාවරණය අනුව ලෝක වෙළෙඳාමේදී අවස්ථා දිනා ගැනීම අරභයා ගමන් කළ යුතු මාවත දුෂ්කරය. විනිමය ආදායම සඳහා ගත හැකි පියවර තීරණාත්මකය.
මග පාදා ගන්නා ආකාරය ගැන විද්වත් අදහස්
විනිමය ප‍්‍රශ්න මත රටට කරන ආනයන නතර කර තිබේ. වාහන ගෙන්වීම තාවකාලිකව සීමා කර තිබේ. අත්‍යවශ්‍ය නොවන දේ ආනයනය පාලනය කර ඇති අතර අවශ්‍යම දේ ගෙන්වීමට කෙළින්ම අවසර ගත යුතු තැනට නීති පනවා තිබේ. එය විනිමය ප‍්‍රශ්නයෙහි ප‍්‍රතිඵලයකි. ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍යයෙන් ගෙන්විය යුතු දේ තිබේ. ඉන්ධන ඒ අතර ප‍්‍රධානය. අපනයනය සඳහා අවශ්‍ය වන දේ නිපදවන අමුද්‍රව්‍ය, ඒවාට අවශ්‍ය කරන යන්ත‍්‍ර සූත‍්‍ර ගෙන්විය යුතුය. සාමාන්‍යයෙන් වසරකට අමෙරිකානු ඩොලර් බිලියන විස්ස ඉක්මවන පිරිවැයක් දරන්නට සිදුවෙයි. එහෙත් රටට අපනයනයෙන් විනිමය ලැබෙන ප‍්‍රමාණය එයින් හරි අඩකි. රටට උවමනා කරන දේ ආනයනයට විදේශ විනිමය නැති තැනක පසුවිය. පාලනය කරන ක‍්‍රියාමාර්ග හමුවේ පසුගිය මාස දෙක තුන තුළ විදේශ වෙළෙඳාම ගලපාගන්නට රටට හැකියාව ලැබුණි. ලැබෙන විනිමය තරමට වැය කරන ක‍්‍රමය සකස් කරගත් අතර එය බලවත් පරිශ‍්‍රමයකින් අනුගමනය කරන ලද පියවරකි. නිදහස් වෙළෙඳ කලාපය වසා දමා ඇඟළුම් කම්හල්වල නිපැයුම් අඩපණ වුවහොත් මුහුණ දෙන ස්වභාවය ගැන අවධානයක් අවශ්‍යය. ඇඟළුම් සහිත කන්ටේනර් කොළඹින් නැව්ගත කිරීම අඩු වුවහොත් එය කොළඹ වරායේ මෙහෙයුම්වලට ප‍්‍රශ්නයක් වනු ඇති අතර එය හුදෙක් ඇඟළුම් අපනයනයට පමණක් නොව එම නැව්වලින් ප‍්‍රවාහනය කරන්නට නියමිත තේ ඇතුළු අනෙක් අපනයන ද්‍රව්‍යවලට ද බාධා ඇති කරනු නිසැකය.
ශ‍්‍රී ලංකාව ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයකය. රට තුළ අනතුර තිබියදී වැඩපොළ පවත්වාගෙන යන ක‍්‍රම ගැන අවධානය යොමු කළ යුතුය. ලෝකයේ නොයෙක් රටවල් එයට හුරු වී තිබේ. කෘෂි අංශය එයින් ජය ගෙන ඇත. ආහාර නිෂ්පාදනය නොනවත්වා සිදුවන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අත්‍යවශ්‍ය ආහාර වෙළෙඳපොළ තුළ ප‍්‍රමාණවත්ව තිබේ. ශ‍්‍රී ලංකාව අපනයනයෙහි ඇති සියුම් අවස්ථා ගැන සූක්ෂම වීම සුදුසුය. පවතින ඉල්ලුම සපයන අතර කර්මාන්ත ශෘලාවල නිස්පාදනය එලෙසම තබාගැනීම ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. එය කළ හැකි නිසි සෞඛ්‍ය විධි විධාන සහිතවය. වැඩ කරන ජනතාව අනතුරට පත් නොකරන අතර වසංගතයෙන් ආර්ථිකය විනාශ නොවන තැනට වග බලාගැනීම වැදගත්ය.
ගාමිණී සරත් ගොඩකන්ද