ෆේස්බුක් ගිණුමක පළවූ සැබෑ කතාවක්
මීට විසි වසරකට පෙර ඔබ විසින් හැරදමා ගිය ඔබගේ බිරිඳ සහ දරුවා මතක ඇතැයි සිතමි. ඉන්නට හිටින්නට තිබුණු පැල්පත ද නැතිකර ඔබගේ නව (රූමත් බිරිඳ) සමඟ ඔබ ගිය දිනයේ සිට තම එකම වස්තුව බවට මා පත් කරගත් ඒ (කැත ගැහැනිය) නොවිඳිනා දුක් විඳින්නට පටන්ගත් බව ඔබ නොදන්නවා විය හැක.
ඇතැම් දිනකට එක වේලකුදු නොකා කුසගින්නට කහට කෝප්පයකින් කුසගිනි නිවාගත් අවස්ථා ද තිබූ බව තවමත් මතකය. ඇයටත් වඩා බර රෙදි බෑගයක් කරේ එල්ලාගෙන සති පොළවල් ගානේ රස්තියාදු වූ ඇය සොයාගත් සොච්චම් මුදලින් තම එකම වස්තුව මිනිසකු කරන්න මහන්සි වූ අයුරු මම දුටුවෙමි. (ඔබගේ නව බිරිඳගේ අතින් ලියා වසර 4ක් යනතුරු මා හට එවූ උපන්දින සුබ පැතුම් ඒ සඳහා උපකාර වේ යැයි ඔබ සිතුවද, එය එසේ නොවූ බව නම් කිව යුතුමය). පහ වසර කඩඉම් විභාගය ලිවීමටත් පෙර සිටම “මයෙ පුතා ලොකුවෙලා ඉංජිනේරු මහත්තයෙක් වෙන්න ඕන” යැයි කියමින් නින්ද යනතුරු මගේ හිස පිරිමැදි ඇය ඒ කිසිම දිනක ඔබට සාප කළ බවක් නම් මට මතක නැත.
නමුත් අවාසනාවට එතරම් යහපත් හිතක් මට නැත. එක් දිනක් හවස ගෙදරින් ගිය ඔබ නැවත නොපැමිණි හේතුව ගැන මට තේරුමක් තිබුණේම නැත. මවගෙන් වරක් දෙවරක් ඔබ නැති බව ඇසූ විට පිළිතුරු දුන්නේ ඇගේ කඳුළු බැවින් නැවත ඇගෙන් ඇසීමට ද මට හිතක් නොවීය. නමුත් අනිත් ළමුන්ගේ මෙන් තාත්තා මා පාසලෙන් ගෙන යාමට හෝ දෙමව්පිය රැස්වීම්වලට නොපැමිණෙන්නේ මන්දැයි හිත තුළ ප්‍රශ්නයක් විය. කුඩා කල (තාත්තා) ගැන රචනාවක් ලියන්න යැයි ගුරුතුමිය කී විට කුමක් ලියන්නදැයි දස අතේ කල්පනා කර අවසානයේ (තාත්තා) යන්න (මාමා) ලෙස වෙනස් කර අම්මාගේ සොහොයුරා ගැන ලියූ බව අදටත් මතකය. සෑම කුඩා ළමයකුගේම කුඩා කල පොදු ප්‍රශ්නය වන “ඔයාගේ තාත්තා මොකද කරන්නෙ” යන ප්‍රශ්නය සෑමවිටම මා තුළ අන්ත අසරණ හැඟීමක් ඇතිකිරීමටත් පාසල් යෑම අප්‍රිය කිරීමටත් කටයුතු කළ අතර පසුව ඒ සඳහා ඔබ මියගොස් ඇති බව පැවසීමට මා පුරැදු විය. ප්‍රශ්න අසන්නාගේ මුව වසා දැමීමට එය ප්‍රමාණවත් වූ නමුත් එය අම්මාට තරමක් වේදනා ගෙන දෙන්නක් විය. කෙසේ හෝ මෙම අමිහිරි කුඩා කාලය නිසාම අම්මාට මෙන් යහපත් ලෙස මට ඔබ ගැන සිතීමට නම් නොහැකි විය.
දින සති මාස ගතවුණු අතර කෙසේ හෝ විසි වසරක් ගත විය. ඒ විසි වසර තුළ ගෙවූ විඳි දුක් කම්කටොලු සේම අම්මාගේ (ඉංජිනේරු) හීනය ද නොවෙනස් විය. අද, ඔබ එදා කියූ ඒ (හිඟන කොල්ලාව) එම (කැත ගැහැනිය) විසින් ඉංජිනේරුවකු බවට පත් කර ඇත. ඒ ඇගේ උත්සාහය හා දහිරියයි. ජීවිතයේ වැදගත්ම අද දින ද මගේ එක් පසක් පසුගිය විසි වසර සේම හිස්ව ඇත. නමුත් එහි අඩුවක් මට අද නොදැනේ. ඒ ඇය මාගේ මව සේම පියා ද වූ නිසාවෙනි. අද ඇගේ දිනයයි. ඇය දිනූ දිනයයි. ඇය ඉංජිනේරුවරියක වූ දිනයයි.
මාගේ ජීවිත කාලය තුළ ඔබ නැවත මුණගැසීමට මා තුළ කිසිදු අදහසක් නොමැත. ඔබ කොහේ සිටිනවාදැයි පවා මම නොදන්නෙමි නොසොයන්නෙමි. නමුත් මෙහි ඇති සියල්ල ඔබට පැවසීමට අවශ්‍යතාවයක් තිබූ අතර මෙම සටහන ඔබට පෙන්වීමට පුද්ගලයන් සිටින බව දන්නා නිසාවෙන් මෙය මෙසේ පළ කරමි.
අවසාන වශයෙන් තාත්තෙ, ඔබ මැයට වඩා ලස්සන කාන්තාවක් ලබාගත්තා විය හැක. නමුත් ඇය මේ කැත ගැහැනිය තරම් ඔබට ආදරය කරනවාද යැයි මට සැක සහිතය. මැය තරම් උත්සාහවන්තදැයි මට සැක සහිතය. මැය විඳි දුක් වෙනත් කාන්තාවකට විඳීමට හැකිදැයි සැක සහිතය. දැන් ඔබ ගැන මා සිතේ ඇත්තේ දුකක් කලකිරීමක්ම පමණි. ඇය දෙස බලා, ඇගේ අතින් අල්ලාගනිමින් මම බොහෝ හොඳ දේ උගත්තෙමි. එලෙසම දැන් තවකකු ඔබේ අතේ එල්ලී ඉගෙන ගන්නා බවද මම දනිමි. අඩුම තරමින් ඔහුට හෝ කාන්තාවකට දරුවකුට දුකක් නොදී රැකබලා ගන්නා අයුරු කියා දෙන්න. විශ්වාසය රැකගන්නා අයුරු කියා දෙන්න. ස්තූතියි සියලුම දේට, - මීට මදුසංඛ පුතා - ප.ලි. ඔබට ස්තූති වන්නට මම මදුසංඛ යන්න භාවිතය ද අත්හැර දැමුවෙමි. (අවසාන වශයෙන් පසුගිය විසි වසර තුළ ජීවිතයට ගුරුවරුන්, යහළුවන්, සහෝදරයන් වූ මටත් මැයටත් ශක්තියක් වූ සියලුම දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙමි.)
ප.ලි.:- පසුගියදා පැවති රුහුණු විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයෙන් අනතුරුව ශිෂ්‍යයකු විසින් තම ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කළ සටහනක් මෙසේ උපුටා ගත්තෙමු... සුබ අනාගතයක් සහෝදරයා.. අම්මව රැජිනක් වගේ බලාගනිං මචං..