2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

ලෝක‌ෙ පුරාම බෙහෙත් නැති ලෙඩ

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 204

මේ වනවිට කොවිඩ්19 කොරෝනා වෛරස භිතීකාව සමස්ත සමාජ දේහයේ අවධානය පැහැරගෙන හමාරය. සැවොම සිටින්නේ තැතිගෙනය. එය හැදුණොත් බෙහෙත් නැති ලෙඩක් නිසාය. මේ අතර තවමත් නිශ්චිත පිළියම් රහිත මාරාන්තික වසංගත බවට පත්විය හැකි තවත් රෝග ගණනාවක් ගැන ද කතාබහ කරළියට පැමිණ තිබේ. 

චීන කොරෝනා වෛරසයටත් වඩා දැනටමත් අපට දැඩි විනාශකාරී බලපෑමක්  මතුකර ඇති  රෝගය ඩෙංගුය. 2019 වසර තුළ මේ රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව 100,000ට වඩා අධිකය. එය 2018දී වාර්තා වූ රෝගීන් 51,659ට සාපේක්ෂව සියයට 100ක පැතිර යාමකි. 2020 මුල් මාස 6 තුළ පමණක් 25,795ක් දක්නට හැකිය. මරණ 23කි. බෙහෙත් නැති, වයස් කුල මල ජාති බේදයක් නැති, අත ළඟම හොල්මන් කරනා නිසැක මාරකය ඩෙංගු ගැන අවධානය තවමත් චීන රෝගයට මුඛවාඩම් සෙවීමේ උනන්දුව තරම්වත් ප්‍රබල වී නැත.

අපට තදින්ම බලපානා මී උණ හෙවත් Leptospirosis රෝගයද ඉඩ ලදහොත් වසංගත විය හැකි මාරකයකි. 2019 දී සංඛ්‍යාලේඛන අනුව එම රෝගය වැළඳුණ පිරිස 5966කි. මාතර, ගාල්ල, කුරුණෑගල, රත්නපුර, කළුතර වැඩිම අවදානමක් සහිත ප්‍රදේශයන්ය. කොවිඩ් රෝගයේ සැබෑ රුව ගුණ ගැන මුඛවාඩම් බඳිමින්, නව සොයාගැනීම්, විශ්වකර්ම ප්‍රතිකර්ම, පීසීආර් මාෆියාවන්  ගැන නරිවාදම් දෙසමින් රට පටලන පිරිස අතර මේ සැබෑ මාරකය ද අමතකව ගොස් ඇත. 

ශ්‍රී ලංකාව තුළ  වරින්වර පැතිර යමින් මතුව එන සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය ප්‍රධාන වශයෙන් ඇති කරන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස මාදිලි තුනකින් බව දැනට හඳුනාගෙන ඇත. ඒවා නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් A මාදිලි දෙකක් වන H1N1 හා H3N2, සහ ඉන්ෆ්ලුවෙන්සා B ය. මෙම වෛරස් ආසාදනය මගින් ඇති කරන රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, සහ සෙම්ප්‍රතිශ්‍යාව හැඳින්විය හැකි අතර, බොහෝවිට කිසිදු ප්‍රතිකාරයකින් තොරවම සුව වේ. නමුත්, ඇතැම් පුද්ගල කාණ්ඩවලට මෙම වෛරස් ආසාදනය උත්සන්න වීමට හෝ සංකූලතා හටගැනීමට වැඩි අවදානමක් ඇත. ඉන්ෆ්ලුවෙන්සාව (Influenza) සහ නියුමෝනියාව 2019 දී මාරාන්තික වසංගතයක් බවට පත්විය හැකියැයි සිය දරුණුකම පෙන්වා දුන්නේ 103,937ක් රෝහල්ගත රෝගීන් වාර්තා කරමිනි. කුඩා දරුවන්ද ගැබිණි මාතාවන්ද මේ හේතුකොට මියගියහ. නමුත් තවමත් මේ තරම් ආන්දෝලනයක් ඇති කළ  කොරෝනා වෛරස රෝගයට ගොදුරුව ඇත්තේ 5,977කි. මියගොස් ඇත්තේ 13කි. මේ සංඛ්‍යා ලේඛන දක්වන්නේ කොවිඩ් 19 අවදානම සුළුකොට දැක්වීමට නොව මේ මාරකය ජනතාවගේ නිසි කැපවීම ඇත්නම් තවමත් සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු මගින් පාලනය කරගත හැකි බව කියන්නටය.

මේ වසර මුල කාම්බෝජයේ කුරුළු උණ හිස ඔසවා තිබුණි. මේ තවමත් ස්ථීර බෙහෙත් නැති ලෙඩකි. උණ වැළඳීමෙන් කාම්බෝජයේ පස්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කර තිබුණි. මේ අතර කොරේ පිටට මරේ මෙන් චීනයේ දකුණු පළාතේ හුනාන්හි ෂොයැන්ග් නගරයේ ගොවිපලකදී කුරුළු උණ පැතිරීම සිදුවන බව එරට කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය පැවසීය. කුකුළන් 7,850ක් සිටින ගොවිපලක මෙම සිද්ධිය සිදු වූ ඇති අතර ඉන් 4,500ක් කුරුළු උණ හේතුවෙන් මියගියහ. පසුව බලධාරීන් ආසාදනය වූ කුකුළු පැටවුන් 17,828ක් සොයාගෙන තිබුණි. දැන් එම වෛරසය පැතිරීම සිදුවන්නේ ද චීනයේ පමණක් නොවේ. මේ වසර මුලදී ඉන්දියාවේද බලධාරීන් කුකුළන් විනාශ කිරීම සහ කුරුළු උණ වෛරසය අඩංගු බිත්තර විනාශ කිරීම ආරම්භ කළහ. මෙම වෛරසය පැතිරීම සිදුවන්නේ චීනය දැනටමත් නව කොරෝනා වෛරසය සමඟ පොරබදමින් සිටින මොහොතකය.
කුරුළු උණ යනු ඉන්ෆ්ලුවන්සා A වෛරසයේ H5N1 කාණ්ඩයෙන් බෝවන තවත් වසංගතයකි. මූලිකව කුකුළන් හා කුරුල්ලන් අතර පැතිරෙන රෝගයකි. එය පක්ෂීන්ගෙන් මිනිසුන්ටද බෝ‍වේ. පිටරටවල සිට පියඹා එන කුරුල්ලන්ගෙන් කුරුළු උණ මෙරට කුරුල්ලන් අතරට පහසුවෙන් පැමිණය හැකිය.  

කුරුළු උණ වෛරසය H5N1 දැන් ‍බොහෝ ජීවී විශේෂ ආසාදනයට ලක්කරන වෛරස විශේෂයක් බවට පත්වී ඇති අතර එය මින් පෙර තිබූ වෛරස විශේෂයන්ට වඩා මාරාන්තික වේ. රොබට් වෙබ්ස්ටර් නම් ප්‍රමුඛ පෙළේ විශේෂඥයකු ඇමරිකන් සයන්ටිස්ට් නම් සඟරාවෙහි ප්‍රකාශයට පත්කළ ලිපියක සඳහන් වන්නේ මුළු ලොවම මේ හේතුවෙන් අති විශාල මිනිස් මරණ සංඛ්‍යාවක් ඇති කළ හැකි වසංගත රෝග තත්වයක එළිපත්තේ සිටින බවයි.

කොරෝනා වෛරස් ආසාදන ලෙස හඳුන්වන චීනයෙන්ම හටගත් සාර්ස් සහ මැදපෙරදිගින් පැතිර ගිය මර්ස් තවත් බෙහෙත් නැති අවදානම් රෝගයන් දෙකකි. සාර්ස් රෝගයේදී පෙණහලු ආශ්‍රිත ආසාදන තත්ත්වයක් වර්ධනය වී නිව්මෝනියාව ඇතිවේ. එහෙත් සාර්ස් වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් සිදු නොවෙයි. නමුත් මර්ස් කොරෝනා වෛරස් රෝගයේ රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කරන්නේ සතියක් පමණ තිබෙන උණ, හුස්ම ගැනීමේ අපහසුතාව කෙටි හුස්ම ගැනීමය. ඉන්පසු රෝග තත්ත්වය අසාධ්‍ය බවට පත්වී නිව්මෝනියා දක්වා වර්ධනය වීමත් අනතුරුව වකුගඩු දක්වා රෝග තත්ත්වය ව්‍යාප්ත වී රෝගියා මියයාමත් සිදුවේ.

මර්ස් කොරෝනා වෛරස් ආසාදනය ලෙස හඳුන්වන මිඩ්ල් ඊස්ට් රෙස්පි‍රටරි සින්ඩ්‍රොම් කොරෝනා වෛරස් රෝගය මුලින්ම වාර්තා වන්නේ 2012 වසරේ අප්‍රේල් මාසයේ සවුදි අරාබියෙන්ය. මුලින්ම හඳුනාගත් සෞදි අරාබියාවේ හැරුණුකොට එම වසංගතය තදින්ම පැතිර ඇත්තේ දකුණු කොරියාවේය. කොරෝනා වෛරස් ආසාදන රෝගය පිළිබඳව අදාළ කරුණු මුලින්ම සොයාගන්නේ ඊජිප්තුවේ වෛද්‍යවරයකු විසිනි. මෙහිදී වෛද්‍යවරු බොහෝ දෙනා අනුමාන කළේ එය ඒ වනවිටත් පැතිර තිබූ සාර්ස් වෛරස් රෝගය හා සසඳමින් එම රෝගයේ තවත් වර්ධනයක් ලෙසටය. මේ රෝගය අපේ රටෙන් වාර්තාවීමක් සිදුවුවහොත් රජයේ රෝහල්වලට එන මෙවැනි සැක සහිත රෝගීන්ගේ පරීක්ෂණ සිදුකරන්නට පහසුකම් පවතින්නේ රජයේ වෛද්‍ය පර්යේෂණායතනයටය.

චිකුන්ගුන්යා යනු වෛරස් ආසාදනයකින් ඇතිවන තවත් රෝගයකි. චිකන්ගුන්යා වෛරසය ආබොවයිරසයකි. ඇල්ෆාවයිරස් යන ගණයට අයත් වේ. චිකන්ගුන්යා වෛරසය සාමාන්‍යයෙන් අප්‍රිකාව හා ආසියාව යන නිවර්තන කලාපීය රටවල දක්නට ලැබේ. චිකන්ගුන්යා වසංගතය ව්‍යාප්ත වන්නේ මිනිසාගෙන් මදුරුවාට සහ නැවත මදුරුවාගෙන් මිනිසාට ලෙසට රෝගය ව්‍යාප්ත වීමෙනි.

ඩෙංගු හදන ඊඩිස් නම් මදුරු විශේෂය මගින් මිනිසා වෙත මෙම වෛරසය සම්ප්‍රේෂණය වේ. මෑතක සිට චිකන්ගුන්යා මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. මෙහිදී ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ ඇතිවේ. මෙහිදී හන්දිපත්වල දීර්ඝකාලයක් කල්පවත්නා ලෙස වේදනාවක් හටගනී. රෝගයේ මුල් අවස්ථාවලදී හටගන්නා උණ දින දෙකේ සිට පහ දක්වා කල් පවතී. නමුත් උණත් සමග ඇතිවෙන හන්දිපත් වේදනාව සති ගණනක් හෝ මාස ගණනක් පැවතිය හැකිය.
චිකන්ගුන්යා යන වචනය රෝගය ඇතිවීමේදී වන අධික හන්දිපත් වේදනාව නිසා රෝගීන් සිටින ඉරියව්ව විග්‍රහකරන අර්ථය ඇතිව ඇති වූවක් ලෙස සැලකේ. අප්‍රිකානු  මැකොන්ඩේ (Malconde) භාෂාවට අනුව චිකන්ගුන්යා යනු “නැවී සිටීම” යන අරුත දෙන වචනයකි. මෙම වෛරසය ප්‍රධාන ලෙසටම වඳුරන් තුළ දකින්ට ඇති අතර මිනිසා ඇතුළු අනෙකුත් ජිවීන් වර්ග වලද වෛරසය ගබඩා වී තිබිය හැකිය.

රෝග කාරකයන් ශරීරයට ඇතුළු වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ ඇතිවීම සඳහා ගතවන කාලය (බිජෞෂණ සමය) දින දෙකක් හෝ හතරක් වේ. සෙල්සියස් අංශක 39 දක්වා වුවද ඇතිවිය හැකි උණ (පැරන්හයිට් අංශක 102.2) සිරුරේ කඳ කොටසෙහි හෝ ඇතැම්විට අත්පාවල ඇතිවන ලේ පැහැති පැල්ලම්, හන්දි කිහිපයක ඇතිවන හන්දි රුදාව හෝ හන්දියක් ආසාදනය වීම මෙහි රෝග ලක්ෂණ වේ. හිසරදය, ඇස්වල ඇතිවන රතු පැහැති බව සහ ආලෝකය දෙස බැලීමේදී ඇස්වල ඇතිවන වේදනාව අනෙකුත් සුළු රෝග ලක්ෂණ වේ. සාමාන්‍යයෙන් උණ දින දෙකක් පමණ කල් පවත්නා අතර ඉන්පසුව ක්ෂණිකවම සුව අතට පත්වේ. නමුත් හන්දිපත් කැක්කුම, තදබල හිසරදය, නින්ද නොයාම සහ සිරුරේ ඇතිවන අනිකුත් අපහසුතාවයන් දින පහක් හෝ හතක් වැනි කාලයක් පවතී. රෝගියාගේ වයස අනුව ඔහුගේ හෝ ඇයට හන්දිපත් රුදාව ඇතිවන කාල සීමාව විවිධ වේ.

“ඉබෝලා” අප්‍රිකානු මහාද්වීපය පුරා 2014 -2016 කාල සීමාව තුළදී පැතිර ගිය මරණීය වසංගතයකි. ඉබෝලා වෛරසයේ පළමු ප්‍රහාරය කොන්ගෝහි ඉබෝලා ගංගාව ආශ්‍රිත ප්‍රදේශයක සිදු වූ බැවින් එය “ඉබෝලා වෛරසය” ලෙස හඳුන්වනු ලැබේ. 1976 සිට මේ දක්‌වා ඉබෝලා වසංගතය 40 වතාවක්‌ පමණ වරින්වර හිස ඔසවා තිබේ. 2013 වසරේ අවසන් මාසයේ සිට 2016 දක්වා ඉබෝලා වෛරසය ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස හිස ඔසවන අතර ඒ හේතුවෙන් බටහිර අප්‍රිකානු රටවල් වන සියේරා ලියොන්, ඝානා සහ ලයිබීරියාවේ පුද්ගලයන් 11,308ක් මරණයට පත්වූහ. එකල වෛද්‍ය ප්‍රතිකාරවල යෙදෙන කණ්ඩායම්වල සමාජිකයන් විශාල පිරිසක්ද මරණයට පත්වන්නේ එම වෛරසයට නිරාවරණය වීමෙනි. 2018 සිට නැවතත් එය ලෝක හදිසි තත්ත්වයක් ලෙස අනතුරු හඟවා ඇති සෞඛ්‍ය ගැටලුවකි. 2019 වසරේ ජනවාරි 7දා වනවිට මෙවර ඇති වූ වසංගත තත්ත්වය හේතුවෙන් මියගිය ප්‍රමාණය 382කි.  

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව මීළඟ වසංගත රෝගය විය හැකි බවට නම් කර ඇත්තේ ‘නිපා^ වෛරස් රෝගයයි. මෙතෙක් එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති ‘නිපා වෛරස් රෝගයද සතුන් මගින් පැතිර යන රෝගයකි. එය ශරීරගත වූවන් අතරින් සියයට 40ත් 75ත් අතර පිරිසක් මරණයට ලක්වීමේ අවදානම පවති. නිපා බොහෝ විට ප්‍රමුඛ රෝග ලක්ෂණ නොපෙන්වයි. ඉසරදය, කරකැවිල්ල හෝ කෝමා තත්ත්වයට පත්වීමද දක්නට ලැබේ. බොහෝ විට මොළය ඉදිමීමේ හෙවත් මාරාන්තික එන්කෙපලයිටිස් තත්ත්වය මතුවෙයි. ස්වභාවික පරිසරයේ මෙම ‍වෛරස දරා සිටින්නේ වවුලන්ය. 2018 වසරේ වසංගතය පැතිර ගියේ පළතුරු වවුලන් මගින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා තිබුණි.
මෙම වෛරසය මුලින්ම වසංගතයක් ලෙස වාර්තා වූයේ 98-99 වසරවලදී මැලේසියාවේදීය. එවර 100ක් පමණ මෙයින් මියගිය අතර 300ක් පමණ රෝගීන් වාර්තා විය. තත්ත්වය පාලනය සඳහා ඌරන් ලක්ෂ 10ක් පමණ මරා දැමීය. එය මුල්වරට වාර්තා වූ කැම්පුන්ග් සුන්ගායි නිපා නමැති මැලේසියානු ගමේ නම අනුව මෙය නිපා වෛරසය ලෙස මෙය හඳුන්වන ලදී. එතැන් සිට වසංගත තත්ත්ව වාර්තා වී ඇත්තේ කිහිපවතාවකි. ඒ ඉන්දියාවේ සහ බංග්ලාදේශය ආශ්‍රිතවය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වැඩිම අවධානයක් යොමුකළ යුතු භයානක රෝග ලැයිස්තුවේ මුල් රෝග 10 අතරට නිපා වෛරසයද ඇතුළත්ය.

ගෝලීය හදිසි තත්වයක් ඇතිකළ සිකා වෛරසයද මදුරුවන් දෂ්ට කිරීම මගින් පැතිර යන රෝගයකට මුල් වූවකි. රෝග වාහක මදුරු විශේෂය අප කවුරුත් දන්නා ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග වාහක ඊඩිස් මදුරු විශේෂයයි. උණ, සමේ දද, සන්ධි හා මාංශ පේශි වේදනාව, අක්ෂි ප්‍රදාහය සහ හිසේ කැක්කුම වැනි අනෙකුත් ඩෙංගු වෛරස ආසාදන තත්ත්වයට සමාන වේ. මෙම රෝග ලක්ෂණ දින 2-7 අතර කාලයක් පවතී.

සිකා වෛරසය වර්ෂ 1947දී උගන්ඩාවේදී රීසස් වඳුරන් තුළ හඳුනාගන්නා ලද අතර පසුව එය උගන්ඩාව සහ ටැන්සානියාවේ 1952දී මිනිසුන් තුළ හඳුනා ගන්නා ලදී. මේ වනවිට  සිකා වෛරස රෝගය අප්‍රිකාව, ඇමරිකානු අර්ධද්වීපය, ආසියාව සහ පැසිෆික් කලාපය තුළ වාර්තා වී ඇත. සිකා පිළිබඳව වඩාත් කතාබහට ලක්ව ඇත්තේ ගර්භණී කාලයේ එය ආසාදනයත් සමග කුස තුළ කළලයේ මොළයේ වර්ධනය අඩාල කරන බව ලෝක සෞඛය සංවිධානය මගින් තහවුරු කිරීමත් සමඟය. ආසාදිත දරුවන් කුඩා හිස වට ප්‍රමාණ සහිතව (Microcephaly) නම් තත්ත්වයෙන් උපදී. මෑතකදී වර්ෂ 2015දී රෝග තත්ත්වය බ්‍රසීලය තුළ වාර්තා විය. ඉන්පසු ලොව රටවල් ගණනාවක වසංගත තත්ත්වයක් උදාවිය. මෙම තත්ත්වය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්නට පවා යෙදිණි.

1967 වසරේ  ජර්මනියේ  මාර්බර්ග් පළාතෙන් වාර්තා වූ රක්තපාත වෛරස රෝගී තත්ත්වය තවමත් ඖෂධ නැති මාරකයකි. පළතුරු වවුලන් කොළ වඳුරන් වෙතින් මිනිසාට සංක්‍රමණය වූ මේ රෝගය රුධිරය හෝ වෙනත් දේහ තරල ගැටීම මගින් බෝවෙයි. සමේ තුවාල හෝ අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් ප්‍රධානකොට වැළඳිය හැකිය. දින 7-8 ක් තුළ අභ්‍යන්තර රුධිර වහනය මගින් මරණය පවා කැඳවන භයානක වසංගත හැකියා දරන රෝගයකි. ලංකාව ද මේ අවදානම් කලාපයේ ඇත. රෝග ලක්ෂණ උණ තද හිසරදය හන්දිපත් සහ මස්පිඬු රුදාව දුබල බව වෙව්ලීම වැනි දෙයින් ඇරඹෙන අතර පසුව රතු වූ ඇස්, සම්මත තුවාල, පපුවේ කැක්කුම, කැස්ස, වණ වූ උගුර, බඩේ රුදාව ආදී විවිධ අපහසුතා ඇති වේ. ආසාධ්‍ය අවස්ථාවේදී රුධිරය වමනය, පාචනය මගින් පිට වේ. අභ්‍යන්තර අවයවවලින් ද ඇස්, කන්, නාසය, ගුදය ආදි සෑම තැනකින්ම ද රුධිරය පිටවෙමින් භයානක මරණයක් ප්‍රතිඵල කරයි. මෙය වෛරස ප්‍රභේදය අනුව MARV හෝ RAVV ලෙස හඳුන්වන එයින් මේ වනවිට වැඩිම මරණ වාර්තා වී ඇත්තේ 1998-2000 කාලයේ කොංගෝවේ 154ක් ආසාදනයට ලක්ව 128ක් මියගිය අවස්ථාවත්, වසර 2004-2005 කාලයේ ඇන්ගෝලාවේ  252ක් ආසාදිතව ඉන් 227ක්ම මියගිය අවස්ථාවේදීත්ය. අවසන් වතාවට උගන්ඩාවේදී මෙය 2017 දී වාර්තා විය. එවර ආසාදිත වූ තිදෙනාම මියගියේය. කොවිඩ් 19 මෙන් මුහුණ  පමණක් නොව ඔළුවේ සිට යටිපතුල දක්වාම ඔතාගන ආරක්ෂා විය යුතු මේ වෛරස රෝගය ද වැළඳුණොත් තවමත් බෙහෙත් නැති වසංගත බවට පත්විය හැකි මාරකයකි.

 සුගත් පී. කුලතුංගආරච්චි