2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

නවසීලන්තයේ මන්ත්‍රීවරියක වූ ලංකාවේ කෙල්ල

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

2017 මවුන්ට් ඇල්බට් පළාතෙන් අසුනක් ජයග්‍රහණය කරමින් අගමැති පදවියට පත් ජසින්ඩා ආර්ඩන් දක්ෂ දේශපාලනඥයකු ලෙස ජනතා විශ්වාසය දිනාගත් කාන්තාවකි. පසුගිය ඔක්තෝබර් 17 දින පැවැති නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇයගේ වාමාංශික කම්කරු පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වී තිබේ. ඒ අනුව ඇය යළිත් වරක් එරට අගමැතිනිය ලෙස පත්වීමට නියමිතය. නවසීලන්ත පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව 120කි. ඉන් ආසන 64ක් දිනා ගැනීමට හැකිවීම නිසා වසර 26කට පසු ජසින්ඩා ආඩන්ගේ පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව සැලසී තිබේ.

නවසීලන්තයට සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ 1994දීය. එදා මෙදා තුර එක් පක්ෂයක් තනිව ලබාගත් වැඩිම ආසන සංඛ්‍යාව වන්නේ මෙවර මැතිවරණයේදී වාමාංශික කම්කරු පක්ෂය ලබාගත් ආසන 64ය. එම පක්ෂය සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 49ක ප්‍රතිශතයක් හිමිකරගෙන තිබේ. නවසීලන්ත පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා අවශ්‍ය වන්නේ ආසන 61කි. ජුඩිත් කොලින්ස්ගේ නායකත්වයෙන් යුතු දක්ෂිණාංශික ජාතික පක්ෂයට හිමිවූවේ ආසන 35ක් පමණි. ඒ අනුව ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය 26.8කි. ජසින්ඩාගේ පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවීමට කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඇයගේ රජය ගන්නා ලද පියවර සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රසාදයක් ඇතිවී තිබීමද බලපා තිබිණි. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන්ද ඇයට ප්‍රසාදය හිමිවිය. නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත වූයේ පසුගිය සැප්තැම්බරයේය. එහෙත් කොරෝනා දෙවැනි රුල්ලක් මතුවීම මත මැතිවරණය මසකට කල් දැමීමට සිදු විය.

ජසින්ඩා ආර්ඩන් නවසීලන්තයේ 40 වැනි අගමැතිනිය වන අතර 2017 සිට කම්කරු පක්ෂයේ නායිකාවය. හැමිල්ටන්හි උපත ලද ඇගේ පියා පොලිස් නිලධාරියෙක් විය. ජසින්ඩාගේ ප්‍රථම වෘත්තිය වූයේ &ෆිෂ් ඇන්ඩ් චිප්ස්* නමැති අවන්හලේ බිල් ලියන්නියක ලෙසය. පසුව වෛකාටෝ විශ්වවිද්‍යාලයෙන් සන්නිවේදනය පිළිබඳ උපාධිය හිමිකර ගත් ඇය දේශපාලනයට යොමු කළේ ඇගේ නැන්දා කෙනකු වූ මාරි ආර්ඩන් විසිනි. කම්කරු පක්ෂයේ පූර්ණකාලීන සාමාජිකාවක වූ මාරි නිව් ප්ලීමත් ප්‍රදේශයෙන් තරග කළ අපේක්ෂකයකුට සහය පළ කළ අතර ඔහු වෙනුවෙන් කළ ප්‍රචාරක කටයුතු සඳහා තරුණ ජසින්ඩාවද සම්බන්ධ කර ගත්තාය. ජසින්ඩා කම්කරු පක්ෂ සාමාජිකත්වය හිමිකර ගන්නා විට ඇගේ වයස අවුරුදු 17කි. එතැන් සිට කෙටි කලක් තුළ ඇය පක්ෂයේ හිනිපෙත්තටම නැග ගැනීමට වාසනාවන්ත වූවාය.

ජසින්ඩා ආර්ඩන්ගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවකද මෙවර මැතිවරණයට ඉදිරිපත් වූවාය. ඇය වානුෂි සීතාන්ජලී වෝල්ටර්ස් (විවාහයට පෙර රාජනායගම්) ය. වයඹදිග ඕක්ලන්ඩ්හි අපහාබර් මැතිවරණ කොට්ඨාසයෙන් තරග කිරීමට ඇයට අවස්ථාව හිමිවූයේ හිටපු මන්ත්‍රිනිය වූ පෝලා බෙනට් විශ්‍රාම ගැනීම හේතුවෙනි. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ප්‍රථම වරටය. වානුෂි වෝල්ටර්ස්හට මනාප 14,142ක් හිමි වූ අතර ඇයගේ ප්‍රතිවාදියා වූ හැමිල්ටන් නගර ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු හා තාක්ෂණ විධායකයකු වන ජේක් බෙසන්ට් හට හිමි වූයේ මනාප 12,727කි.  

මානව හිමිකම් නීතීඥවරියක වන 39 හැවිරිදි වානුෂි වෝල්ටර්ස් 1981 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේදී උපත ලැබුවාය. ඇය කොළඹ නගර සභාවේ පළමු ශ්‍රී ලාංකික නගරාධිපතිවරයා හා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වූ වෛද්‍ය ශ්‍රීමත් රතනසෝති සරවනමුත්තු මහතාගේ සහ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වූ දෙවැනි මන්ත්‍රීවරිය වූ ලුවිසා නේසුම් සරවනමුත්තු (විවාහයට පෙර අරුණාචලම්) ආර්යාවගේ මීමිණිබිරියකි.

ඇයගේ පියා ජනා රාජනායගම් වන අතර මව ප්‍රීතිවා රාජනායගම්ය. පස් හැවිරිදි වියේදී තම මව්පියන් සමඟ සැම්බියාවේ පදිංචියට ගිය වානුෂි පසුව ස්කොට්ලන්තයටත්, එතැනින් නවසීලන්තයටත් සංක්‍රමණය වූවාය. මේ වන විට ඇයගේ පරම්පරා තුනක් නවසීලන්තයේ වාසය කර තිබේ. ඕක්ලන්ඩ් සරසවියෙන් නීති උපාධිය දිනාගත් වානුෂි ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්තාය. මානව හිමිකම් නීතීඥවරියක ලෙස කටයුතු කරන ඇය ලාබ නොලබන ආයතන හා ප්‍රජා සංවිධාන සඳහා තම සේවය ලබා දුන්නාය. තරුණ නීති සංවිධානයේ ප්‍රධාන කළමනාකාරවරිය ලෙස හා ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර මණ්ඩලයේ සාමාජිකාවක ලෙසද වානුෂි කටයුතු කරන්නීය. පාර්ලිමේන්තුවට තේරී පත්වන විට ඇය සේවය කළේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන කළමනාකාරවරිය හා ෆවුන්ඩේෂන් නෝත් නම් පදනමේ භාරකාරිය ලෙසිනි. කම්කරුවන් සඳහා සාධාරණ රැකියා තත්ත්වයන් සහතික කිරීම සඳහා ඇය කැපවී සිටී. COVID-19 න් ඇතිවූ රැකියා අර්බුදයෙන් පීඩාවට පත් සේවකයන්ගේ රැකියා සුරක්‍ෂිතතාව වෙනුවෙන්ද ඇය පෙනී සිටින්නීය. ඕනෑම අයකුට නීතිමය උපකාර අවශ්‍ය වුවහොත් එය ලබා දීමටද ඇය සූදානම්ය..

අපහාබර් විවිධ ජනකොටස් වාසය කරන ප්‍රදේශයකි. එම ප්‍රදේශය සමගත් ඇයගේ සැමියාගේ උපන් ප්‍රදේශය වන නෝත් ෂෝර් ප්‍රදේශය සමඟත් ඇයට ඇත්තේ විශාල බැඳීමකි. තම ඡන්ද කොට්ඨාසයේ ජනයාගේ අවශ්‍යතා වෙනුවෙන් හඬක් නැඟීම ඇයගේ අරමුණයි.

1990දී ඝාතනය කෙරුණු රිචඩ් ද සොයිසා ඇයගේ මාමා කෙනෙකි. ඒ රිචඩ්ගේ මව වූ මනෝරාණි සරවනමුත්තු මහත්මියගේ පියා වානුෂිගේ මුත්තාගේ සොහොයුරා වූ බැවිනි.
බටහිර ඕක්ලන්ඩ්හි ටිටිරන්ජි ප්‍රදේශයේ වාසය කරන වානුෂිගේ සැමියා රයිස් වෝල්ටර්ස්ය.  ඔවුනට එලියට්, ලූකා හා සෂා නමින් පුතුන් තිදෙනෙකි. 

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා