2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා

පූගොඩ පොලීසිය අමාරුවේ වැටුණු කුඩ්ඩාගේ මරණය

 2020 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

පොලිස් අත්අඩංගුවේදී මියගිය සැකකරුවන් ගණන කෙතෙක් වේද? ඒ ගැන ස්ථිර සඳහනක් නැත. එහෙත් එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වී තිබේ. එකී සෑම මරණයක්ම පහරදීමකින් පසුව වූ බවද කියැවේ. ඇතැම් ඒවා ඉහෙන් බහින රෝගයක් නොමැතිව යහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටියදී නිරුපද්‍රිතව අත්අඩංගුව ගත් පසු පහරදීමෙන් වූ ඝාතනයකි. තවත් සමහරක් ගම්මුන්ගේ පහරකෑමෙන් අනතුරුව පොලීසිය කුදලාගෙන ගොස් පොලීසිය තුළදීම සිදු කළ පහරදීමෙන් වූ මරණයන්ය.
දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකින්ම වාර්තා වූ මෙකී සිද්ධීන් අතර අලුතෙන්ම අසන්නට ලැබුණේ පූගොඩ පොලීසියේ නිලධාරීන්ගේ පහරදීමකින් තරුණයකු ඝාතනය වීමකි.

පහරකෑමෙන් මරණයට පත්වූ ගයාන් පුෂ්පකුමාර නැමැති 20 හැවිරිදි තරුණයා ඇඹිලිපිටිය, පල්ලෙබැද්ද ප්‍රදේශයේ උපන් අයෙකි. පාසල් අධ්‍යාපනය අතරමග හැරදැමූ ඔහු මීට වසර තුන හතරකට පමණ පෙරදී පූගොඩ ප්‍රදේශයට පැමිණියේය. ස්ථිර ආදායමක් නොවූ අතර ලැබෙන පරිදි කුලී වැඩක් කරමින් කීයක් හෝ උපයාගත් නමුත් ඉන් වැඩි කොටසක් වැයකොට තිබුණේ මත්ද්‍රව්‍ය භාවිත කිරීමටය. ඒ මොහු තදින්ම හෙරොයින් භාවිතයට නැඹුරුව සිටි නිසාය.

කෙසේ හෝ ගයාන් පූගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් මණ්ඩාවිල ප්‍රදේශයේ තරුණියක හා හාදකමක් ගොඩනගාගෙන තිබිණ. මොහු හෙරොයින් භාවිත කරන බවක් ඇය දැන නොසිටියාය. මේ අතර ගොඩනැගුණු ප්‍රේමය විවාහය දක්වා ගෙන යන්නට මෙම යුවළ සමත්ව තිබිණි. එහෙත් ස්ථිර ආදායමක් නොවුණු දෙපළ රැකුණේ ගයාන්ගේ කුලී රස්සාවෙනි. ඔහුගේ බිරිය කිසිදු රැකියාවක නිරත නොවූ බවද ඇයගේ මව්පියන්ගේ මිල මුදල් මොවුන් පරිහරණය කළ බවද දැනගන්නට ඇත. මෙසේ බිරියගේ නිවෙසේ පදිංචිව සිටි ගයාන් එදිනෙදා ලැබෙන කුලී වැඩක් කරමින් සිටියේය.

පසුගිය ඔක්තෝබර් 11 වැනිදා ඉරිදාවකි. දන්නා හඳුනන අයකු ගයාන්ට දන්වා තිබුණේ සිමෙන්ති ගල් පැටවීම සඳහා වැඩක් තිබෙන බවකි. පොල්ගස්ලන්ද නම් ස්ථානයේ අදාළ කටයුත්ත සිදුවන බවත් එහි පැමිණෙන ලෙසත් ඔහුට දන්වා තිබිණි. 
අවස්ථා ගණනාවකදී විවිධ ප්‍රමාණයේ සොරකම් සිදුකර තිබූ ගයාන්ගේ චර්යාව පිළිබඳ ඔහු ආශ්‍රය කරන කවුරුත් දැන සිටියහ. එබැවින් නොකළ වරදකට වුවද ඔහු සැක කිරීමට ප්‍රදේශවාසීන් ක්‍රියා කොට ඇතැයි ද වාර්තා විය. 

ලොරි රථයකට සිමෙන්ති ගඩොල් පැටවීම ආරම්භ කොට ටික වේලාවක් ගත වී තිබිණි. රථයේ හිමිකරු සතුව තිබූ රුපියල් 50,000ක් ලොරි රථයේ ඉදිරිපස තැනෙක තබා තිබුණේ ගඩොල් සඳහා ගෙවීමටය. එහෙත් ගඩොල් පටවා අවසානයේ මුදල් ගෙවීමට සූදානම් වෙද්දී සුරක්ෂිතව තබා තිබූ මුදල් පසුම්බිය අස්ථානගතව ඇති බව දැනී තිබිණි. එහිදී එම මුදල සොරකම් කරන්නට ඇතැයි සිතා මුදල් හිමිකරු හා සෙසු පුද්ගලයන් කිහිප දෙනෙක් ගයාන්ගෙන් ඒ ගැන ප්‍රශ්න කළහ. ඔහු මුදල් නොගත් බව පැවසුවද ඔහුට හොරකම පුරුදු නිසා ඔහු පිළිබඳ සැකයෙන් පිරිසක් ඔහුට පහර දී ඇතැයි කියති.

පහර කෑ තරුණයා තරමක තැලීම් හා සීරීම් තුවාල සහිතව මණ්ඩාවිල බිරියගේ නිවෙසට පැමිණ සිටියදී ඔහුට පහරදුන් කිහිප දෙනා සමඟ පොලිස් නිලධාරීන් පිරිසක් එම නිවෙසට පැමිණ ඇතැයි කියති. එහිදී පිරිස තරැණයාට පහර දෙමින් “උඹ ගත්ත සල්ලි දීපං..” යැයි කී බව පවුලේ ඥාතීහු පවසති. එහිදී “මම ගත්තෙ නෑ.. ඇත්තමයි කියන්නේ.. ගත්තානම් දෙනවනේ.. කොහෙන් හරි හොයලා මුන්ට සල්ලි දෙන්න මම නම් ගත්තේ නෑ..” යනුවෙන් පහරකෑම හමුවේ පීඩාවට පත් ගයාන් සිය බිරියට හා ඥාතීන්ට පවසා ඇතැයි ද කියති. ඒ අතර යම් මුදලක් පිරිස වෙත ලබා දී ඇතැයි ද වාර්තා වේ.

මෙම පහරදීමෙන් අනතුරුව එදිනම ගයාන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීහු ඔහු රැගෙන ගොස් සිරමැදිරියේ තැබූහ. ගයාන්ගේ බිරිය හා ඥාතීන් පවසා ඇත්තේ ගයාන්ගේ උදරයට හා හිසට පා පහර දෙමින් ගුටිබැට දුන් බවය. පොලීසියට රැගෙන ගිය ගයාන් පුෂ්පකුමාරට ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා පොලිස් නිලධාරීහු මැදිහත්ව ඔහුව රදාවාන රෝහලට ඇතුළත් කළහ. වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරු කර යැවූ ගයාන් එහිදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඥාතීන්ට දැනගැනීමට ලැබිණි. 

මරණය හේතුවෙන් තරුණයා පදිංචි නිවෙසට හා ගල් පැටවූ බව කියන ස්ථානයට ගොස් පූගොඩ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකර තිබුණේ පසුගිය 13 වැනිදාය. මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී උදරය, හිස ඇතුළු ස්ථාන කිහිපයක අභ්‍යන්තර ලේ ගැලීම නිසාත්, මොළයට හා හිස් කබලට සිදුව ඇති හානි සහ කම්පනය නිසාත් මරණය සිදුව ඇතැයි වාර්තා වේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ අශ්වාරෝහක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කෙරිණි. එහිදී වරදකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග හෝ අධිකරණ කටයුතු කිරීමට නියමිත විය. ඒ අනුව පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වැඩ තහනමට ලක් කිරීමටත්, එම පොලීසියේ සැරයන්වරයකු ඇතුළු ගම්වාසීන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කෙරිණි.

 සමන්ත විල්තෙර
පසුබිම් වාර්තා - කිරිඳිවැල උපාලි රණවීර