හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර පාස්කු කොමිසමේදී සාක්කි දෙමින් බොහෝ අවස්ථාවල ප්‍රකාශ කළ කරුණු අනුව ඔවුන් මෙම අවාසනාවන්ත සිද්ධියේ වගකීම හිටපු ජනාධිපතිවරයාට පවරා ඇඟ ගලවා ගැනීමට උත්සාහ ගත් බවට සැකයක් මතුවන්නේ යැයි සමහරෙක් පවසති. එම ප්‍රකාශ පිළිබඳ පසුගිය 14 හා 17 යන දිනවල පාස්කු කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සාහ කර ඇත්තේ ඔවුන් තමන් වෙත පාස් කළ බෝලය යළිත් ඔවුන් වෙතම එල්ල කිරීම බව ඔහු ඇතැම් ප්‍රශ්නවලට දුන් පිළිතුරු අනුව පෙනෙන්නට තිබෙන බවද කියති.
බොහෝ අවස්ථාවල අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කළ ප්‍රශ්නවලදී ඔහු දුන් පිළිතුර වූයේ තමාට එම සිද්ධි අමතක බවය. හිටපු අගමැති රනිල් ආරක්ෂක කවුන්සලයට නොකැඳවීම ගැන විමසූ විට ප්‍රකාශ කළේ ද තමාට එය අමතකව ඇති බවයි. එසේම ඔහු උත්සාහ කළේ ප්‍රහාරය පිළිබඳ නිලධාරීන් කල් ඇතිව දැනගෙන ඒ පිළිබඳ තමා දැනුවත් නොකිරීම වරදක් බව සනාථ කිරීමටය. එසේම තමා විදේශගතව සිටියදී අගමැති පැවැත්වූ ආරක්ෂක මණ්ඩල රැස්විමට සහභාගි නොවන ලෙස තමා හිටපු ආරක්ෂක ලේකම්ට සහ හිටපු පොලිස්පතිට උපදෙස් නොදුන් බවද ඔහු කොමිසම ඉදිරියේ පැවසුවේය. පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගන්නා ලෙස හිටපු පොලිස්පතිට පැවසූ බව කීම සම්පූර්ණ අසත්‍යයක් බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් අවධාරණය කළේ තමා ඒ තරමට අමනෝඥ ක්‍රියා නොකරන අයකු බවය.
ඔහු විටෙක කොමිසමෙන් විමසුවේ නිලධාරීන්ට අවවාද දෙන්න ගියා නම් රාජ්‍ය සේවයේ කීයක් ඉතිරිවේද කියලාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 14දා පාස්කු කොමිසම හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ කළේ අපේ රටේ තිබූ දේශපාලන බෙදීම්, ගැටුම් අන්තවාදී සංවිධාන මගින් ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙනෙන අතර, එසේ වුවද තමා තම පාලන කාලයේදී මේවා පාලනය කිරීමට පියවර ගත් බවය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිගේ කාලයේ පවා බෙදුම්වාදී යුද්ධය බරපතළ ලෙස තිබුණද, එය වළක්වන්නට නොහැකි වූ බවද ඔහු කියයි. තමන් සහ අගමැති රනිල් අතර මොන තරම් ගැටුම් තිබුණත්, ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා හමු වී සාකච්ඡා කළ බවද පවසා සිටියේය.
විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ආරක්ෂක කවුන්සලයට කැඳවූයේ කුමන පදනමකින් ද යනුවෙන් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ ඔවුන් විරුද්ධ පක්ෂයේ සිටිය ද තමාට විශ්වාස තමා සමඟ සිටින අය නිසා එසේ කැඳවූ බවකි. ඒ අයට ආරක්ෂක කවුන්සලය ක්‍රියා කරන ආකාරය පිළිබඳ අවබෝධයක් දෙන්නට තමාට අවශ්‍ය වූ අතර ඒ නිසා මන්ත්‍රීවරුන් හතර දෙනකු කැඳවූ බව කියා සිටි හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් පැමිණියහොත් පිළිතුරු දීමේ අවශ්‍යතාව මත ඒ අය එසේ ගෙන්වූ බවද පවසා සිටියේය.
මඩකලපු පොලීසියේ නිලධාරීන් දෙදෙනකු ඝාතනය වූ විට යුද හමුදා බුද්ධි අංශ එය එල්.ටී.ටී.ඊ. සිද්ධියක් බවට වාර්තා කළ ද මාසයක් දෙකක් ගිය විට පාස්කු මෙහෙයුමේදී පොලීසියේ රාළහාමිලාගේ පිස්තෝල මේ අය ළඟ තිබී හසු වූ බවද පැවසීය. පාස්කු ප්‍රහාරයෙන් පසුව සති හතරක් යාමට පෙර සහරාන්ගේ සංවිධානය සම්පූර්ණයෙන් විනාශ කළ අතර, කෙටි කලකින් සෑම දෙනාම අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව ද කීය.
ප්‍රහාරයෙන් පසුව කළ සෝදිසි කිරීම්වලදී මුස්ලිම් පල්ලිවල තියුණු අවි ආයුධ කඩු ආදිය තිබුණු බව ඔහු පිළිගත් අතර කාත්තන්කුඩියේ පුවරුවල ඉංග්‍රීසි භාෂාවෙන් මෙන්ම අරාබි භාෂාවෙන් ද අකුරු සටහන් කර තිබුණු බවද කීය.
2018 ඔක්තෝබර් මාසයේ ඇතිවූ ව්‍යවස්ථා අර්බුදයෙන් පසු නැවත අගමැති ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ ආරක්ෂක කවුන්සලයට කැඳවූවාද යන ප්‍රශ්නයට හිටපු ජනාධිපති දුන් පිළිතුර වූයේ තමාට ඒ පිළිබඳ මතකයක් නැති බවය. අනතුරුව ඔහු පැවසුවේ ගැසට් එක අනුව අගමැති එයට කැඳවීමට අවශ්‍ය නැති බවය. ජනාධිපතිට අවශ්‍ය නම් පමණයි කැඳවන්නේ. ඒ නිසා මම කැඳවන්නේ නැතුව ඇති. මට හරියට මතකයක් නැහැ ආවාද කියලා යනුවෙන් පැවසීය.
හිටපු ජනාධිපතිවරයා පාස්කු කොමිසමේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ ප්‍රශ්න කිරීම් හමුවේ මෙසේ ද කීවේය.
ආරක්ෂක අමාත්‍යාංශය විදිහට අපි මොන තරම් මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙනවද? ඩී.එස්. සේනානායක මහතාගේ ඉඳලා සතුටින් ආණ්ඩු කරපු එකම රාජ්‍යයක්වත් නැහැ. මාත් මගේ ධූර කාලය තුළ බරපතළ ප්‍රශ්න රුසකට මුහුණ දුන්නා. මම මේ රටට ආදරේ කරන මිනිහෙක්. මං මේ ඇඟ බේරාගන්න හදනවා නොවෙයි. 2015 සිට 2019 අප්‍රේල් වෙනතුරුම මේ සැම දෙයක්ම ආරක්ෂක කවුන්සලයේ කතා කළා. අවශ්‍ය උපදෙස් දුන්නත් ඉහළ ඉඳන් පහළට සහ පහළ ඉඳන් ඉහළට මේ දේවල් හරිහැටි ක්‍රියාත්මක වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. මට පුළුවන් උපරිමයෙන් කටයුතු කළා.
ඔහු අනතුරුව පැවසුවේ තම මතය අනුව තොරතුරු ලැබුණු සියලු දෙනාම වගකීම් ඉටු නොකිරීම ගැන වගකීම අවශ්‍ය බවය.
නුවරඑළිය ශාන්තිපුර බ්ලැක්ෆූල් කඳවුරේ රැස්විමක් පැවැති බවට යම් තොරතුරක් තොරතුරුකරුවකු දැනුම් දුන් විට පොලීසිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව විමසූ විට හිටපු ජනාධිපති පිළිතුරු දී ඇත්තේ තමන්ට ඒ තොරතුර ගැන හරිහැටි මතකයක් නොමැති බවයි. &ඒ අය හරියට වගකීම් ඉෂ්ඨ කළ යුතුයි. ඒ වගකීම ඔවුන් පැහැර හැර තිබෙනවා යනුවෙන් ඔහු පිළිතුරු දී තිබේ. මෙහිදී තම උපදෙස් පිළිපැදීමක් සිදු නොවීම ගැන පසු විපරමක් කළේ නැතිදැයි ඇසූ විට ඔහු මෙසේ පිළිතුරු දී තිබිණි.
පොලීසිය මගේ අතට ඇවිත් මාස හතරයි. ඊට පෙර ඇමැතිවරුන් හතර දෙනෙක් සිටියා. මගේ ධූර කාලය අවසන් වනතුරු පොලීසිය මගේ භාරයේ මාස එකොළහක් තිබුණා. පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්විම් පටන් ගත්තේ මමයි. පොලීසියේ විතරක් නොවෙයි. රාජ්‍ය සේවයේත් වගකීම් ඉටු නොකිරීම් තිබෙනවා. ඒ පිළිබඳ අවශ්‍ය අවවාද හා උපදෙස් දෙන්න ගියොත් සියයට කීයක් ඉතුරුවේද කියන ප්‍රශ්නය තිබෙනවා.
ප්‍රහාරයට අදාළව ඔහු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයේ සී.ඩී. තැටිය වාදනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙවැනි ප්‍රකාශයක් කළාය. එහිදී සිදු වූ මුළු සිද්ධියම සම්පිණ්ඩනය කර තිබිණි.
ආගමික අන්තවාදය ගැන නිසි පරීක්ෂණ නොකිරීමත් බුද්ධි අංශවල තොරතුරුවලට නිසි අවධානය යොමු නොකිරීමත්, ගත යුතු නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීමත් නිසා ආගමික අන්තවාදය හිස ඔසවමින් අප්‍රේල් 21 ප්‍රහාරය සිදු වී ඔබගේ රටේ අහිංසක ජනතාවගෙන් කොටසක් ඊට හසු වී මියගොස් ඇති බව මා ඔබතුමාට යෝජනා කරනවා.
එහිදී හිටපු ජනාධිපතිවරයා මුලින්ම පවසා ඇත්තේ &මා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා යනුවෙනි.
ප්‍රහාරයෙන් පසු තමා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය කොමිසමට ඇසීමට සැලැස්වීම ගැන ස්තූතිවන්ත වන බව පැවසූ හේ එය තමයි මගේ හෘදය සාක්ෂිය. පාස්කු ප්‍රහාරයට පෙරත් මා කටයුතු කළේ ඒ විදියට. මා දේශපාලනය කළේ රට වෙනුවෙන් හා රටේ ජනතාව වෙනුවෙන්. යැයි තරයේ ප්‍රකාශ කර තිබිණි. ඔහු තවදුරටත් අවධාරණය කිරීමට උත්සාහ ගෙන ඇත්තේ වෙනත් අංශවල වගකීම් පැහැර හැරීම තමාගේ ප්‍රශ්නයක් නොවන බවය. එසේම තමා ආරක්ෂක විශේෂඥයෙක් හෝ බුද්ධි විශේෂඥයෙක් නොවන බවද පවසා ඇති හේ ඒ තනතුරුවලට සුදුසු අය අයැදුම්පත් කැඳවා තෝරාගෙන විදේශවලට ද යවා පුහුණුව ලබා දී ඇති බවද කියා සිට ඇත.
&ඔවුන් තම රාජකාරි ඉටු කළ යුතුයි. නමුත් බුද්ධි අංශ නිසි පරිදි ක්‍රියාත්මක නොවුණේ ඇයි ද යන ප්‍රශ්නය තිබෙනවා. අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් ලැබුණා නම් ඇයි ක්‍රියාත්මක නොවුණේ? ඒ ගැන මා පුදුමයට පත්වෙනවා.* යැයි පවසා තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවීමට ඔන්න මෙන්න කියා තිබියදී හිටපු ජනාධිපතිවරයා විදේශ ගතවීම පිළිබඳ කොමිසමේදී ප්‍රශ්න කෙරිණි.
පසුගිය 17දා පාස්කු කොමිසමේ විභාගයේ දී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් විමසුවේ 2019 අප්‍රේල් 16දා තමා විදේශගත වූ අවස්ථාවේදී වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයකු පත් නොකිරීම වරදක් නොවේද යන්නය. එසේම මාවනැල්ල බුදු පිළිමවලට පහර දීම, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සහ සහරාන් ජිහාඩ් මතවාදය දරනවා යැයි බුද්ධි අංශ වාර්තා කර තිබියදී ඒ කිසිවක් ගැන නොසලකා විදේශගත වූයේ ඇයිද යන්න ද විමසුවාය.
එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ එම සිද්ධි සිදුව තිබුණද, රට තුළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් සිදුවේ යැයි තමාට කිසිවෙක් අනතුරු අඟවා නොතිබූ බවය. එවැනි වටාපිටාවක් පැවතියේ නැති බවද ඔහු පවසා තිබිණි. ඔහු වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ තිස් වසරක යුද්ධයේ දී අවසන් සමයේ නන්දිකඩාල් සටන සිදුවෙද්දී වැඩ බලන ආරක්ෂක ඇමැති ලෙස තමා සිටි අතර, ඒ අවස්ථාවේදී ප්‍රභාකරන්ට පහර දෙන්න ඕනෑද යන්න ත්‍රිවිධ හමුදාව හෝ බුද්ධි අංශ තමාගෙන් විමසුවේ නැති බවය. ඒ අයට තිබූ ආවේණික යුතුකම් සහ වගකීම් ඒ අය ඉටු කළ බව ඔහු කීය.
හිටපු ජනාධිපති තවදුරටත් අනාවරණය කළේ ඒ සමයේ රටේ ආරක්ෂක කවුන්සලය රැස්වුණේ නැති අතර එවැනි පරිසරයක් තුළ පාස්කු ප්‍රහාරය සිදුව ඇති බවය. 2015 වසරේ සිටම තමා අන්තවාදය ගැන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් දී තිබූ නිසා අදාළ අය ඒ ගැන ක්‍රියාත්මකව සිටිය යුතු බවද ඔහු කීය. එසේම තමා පොලිස් හෝ හමුදා පුහුණුවක් ලබා නොතිබූ අතර, හුදු දේශපාලනඥයකු පමණක් වූ බව ඔහු පවසා සිටියේය. එසේම බුද්ධි සම්බන්ධීකරණ රැස්විමේදී තීරණ ගෙන අත්‍යවශ්‍යම කරුණක් තිබුණහොත් පමණක් ආරක්ෂක කවුන්සලයට ගෙනෙන ලෙස තමා උපදෙස් දී තිබූ බවද ඔහු කියා ඇත. ඒ නිසා වැඩ බලන ආරක්ෂක ඇමැති කෙනකු පත් නොකළා යැයි සෙසු නිලධාරීන්ට එයින් තම රාජකාරි කටයුතු කිරීමට බාධාවක් නොමැති බවද ඔහු කියා සිටි අතර, රාජකාරි පැහැර හරින්නට එය හේතුවක් නොවන බවද කීවේය.
මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය යළි විමසා ඇත්තේ යම් හෙයකින් වැඩ බලන ආරක්ෂක ඇමැති කෙනකු පත් කර තිබුණා නම් හෙට හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි අප්‍රේල් 20 දින පස්වරුවේ විදෙස් බුද්ධි අංශයකින් තොරතුරක් ලද අවස්ථාවේදී හදිසි නීතිය ප්‍රකාශයට පත් කර හමුදා නිලධාරීන් යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණා නේද? යන්නය.
එයට පිළිතුරු දෙමින් හිටපු ජනපතිවරිය මෙසේ පවසා ඇත.
මේ තොරතුරු ඉස්සෙල්ලම ලැබුණේ 20දා නෙවෙයිනේ. ඊට කලින් මේ විදෙස් තොරතුරු ලැබිලා තිබුණා. මුලින්ම ලැබුණම ආරක්ෂක ලේකම්, පොලිස්පති හරි කාට හරි මේ තොරතුරු මට දැනුම් දෙන්න තිබුණා. මම ලංකාවේ හිටියෙ නැතිනම් ජනාධිපති ලේකම්ට දැනුම් දිය යුතුව තිබුණා. මොකද එසේ ජනාධිපති ලේකම්ට දැනුම් දුන්නා නම් ඔහු මට ක්ෂණිකව පණිවුඩය දෙනවා. මෙතැන වැරුද්ද දැනුම් දුන්නේ නැති එක. මොකද හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලේඛන සකස් කරන්නෙ ජනාධිපති ලේකම්.
ඔහු මෙහිදී තවදුරටත් පවසා සිටියේ රජය තුළ අභ්‍යන්තරව පැවති ගැටලු නිලධාරීන් තීරණ ගැනීමේදී බලනොපෑ බවය. එහෙම වෙන්න බැහැ. මොකද ඔය පාස්කු ප්‍රහාරය වෙද්දි රජය ආයිමත් නියමිත ලෙස පවත්වාගෙන ගියා. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් පස්සේ හිටපු අග්‍රාමාත්‍යවරයාම නැවත පත්වෙලා කැබිනට් මණ්ඩලයක් පත්වෙලා සියල්ල සාමාන්‍ය විදිහට කෙරීගෙන ගියා. යනුවෙන් ඔහු පවසා තිබුණි.
අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ අප්‍රේල් 21දා මුල්ම බෝම්බ ප්‍රහාර කිහිපය එල්ල වූවාට පසු රටේ දෙවැනි පුරවැසියා වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කැඳවූ රැස්විමට නොයන ලෙස ජනාධිපති ලේකම්ට ආරක්ෂක ලේකම්ට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ඇයි යන්නය. ඇයි එහෙම යන්න එපා කිව්වෙ? ඈ විමසා සිටියාය. එයට පිළිතුරු දෙමින් හිටපු ජනපති පවසා ඇත්තේ තමා එවැනි උපදෙසක් නුදුන් අතර, තමා එකතුවෙලා වැඩ කරන ලෙස පැවසූ බවකි.
කොමිසමේ ප්‍රශ්න කිරීම හමුවේ හිටපු ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර සිටි කරුණක් වූයේ තමා කාටවත් චෝදනා කරනවා නොවන බවය. සමස්ත සිද්ධි මාලාවට හේතු වී ඇත්තේ නිලධාරීන් වගකීම පැහැර හැරීම වන අතර කොපමණ උපදෙස් දුන්නත් එම උපදෙස් පිළිනොපැදීම අද ඊයේ සිට නොව දීර්ඝ කාලයක් තිස්සේ අදාළ අංශවල තිබූ දුර්වලතාවක් යැයි ඔහු කියා ඇත. රාජ්‍ය නිලධාරීන්ගේ තියෙන වගකීම් ඉටු නොකිරීම ආදී දුර්වලතා සහ අතපසුවීම්වලට තමා දඬුවම් දුන්නා නම් මේ රටේ රාජ්‍ය සේවකයන් කොතරම් ප්‍රමාණයක් ඉතිරි වේද යන්න ප්‍රශ්නයක් බවද ඔහු පවසා සිටියේය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු ජනපති පැවසුවේ තමා නාමල් කුමාර කියලා කෙනකුව දන්නේ නැහැ, දැකලත් නැහැ, කතා කරලත් නැහැ කියාය. තවද නාමල් කුමාර කෙනෙක් ගැන ජාතික ආරක්ෂක කවුන්සලයේදී කතා කර නැති බවද ඔහු අවධාරණය කර තිබේ.
ඔබ පාස්කු ප්‍රහාරයෙන් පසු හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට කිව්වද පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමේ වගකීම ඔහු බාරගතහොත් මළල්ගොඩ කමිටු වාර්තාව පවා වෙනස් කරන්නම් කියලා යැයි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනපති පවසා සිටියේ එම කතාව සම්පූර්ණයෙන් අසත්‍ය බවය. ඒ කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මළල්ගොඩ තෝරාගත්තේ ද තමා නොව ජනාධිපති ලේකම් බවද ඔහු කියා ඇත. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක වාර්තාවක් වෙනස් කරන තරම් තමා අමනෝඥ පුද්ගලයකු නොවන බවද හෙතෙම අවධාරණය කළ අතර තමා කිසිදු විටෙක එවැනි පහත් තැනකට නොවැටෙන බවද ඔහු පවසා සිටියේය.
යසවර්ධන රුද්රිගූ