මේ රටේ කොරෝනා සේම මේ දිනවල අනෙක් ජනප්‍රිය මාතෘකාවක් වන්නේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් අත්අඩංගුවට ගැනීමය. පුදුමය නම් රටක් දන්නා, රටක් හඳුනන රිෂාඩ් මේ ලිපිය ලියන සිකුරාදා උදෑසන වනවිටත් ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධානතම පරීක්ෂණ කණ්ඩායමක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබීමය. බොහෝ දෙනා පවසන්නේ "රිෂාඩ් යනු ගමේ සිරිපාල නොවන නිසා, ගමේ සිරිපාල සුටුස් ගා ඇල්ලුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනකු අත්අඩංගුවට ගැනීම තරමක් අමාරු කටයුත්තක් බවය". ඒ නිසා ඒ ගැන සිහියේ තබාගෙන බොහෝ දෙනා රිෂාඩ් අත්අඩංගුවට ගැනීම සියැසින් දැක ගැනීමේ අපේක්ෂාවෙන් තවමත් ඇස් දල්වා සිටින බව ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා පොලීසියට පැවසිය යුතුය.
රිෂාඩ් සම්බන්ධයෙන් කතාව දරුණු වන්නේ පාස්කු ප්‍රහාරයත් සමඟිනි. එනම් ඇතැම් බෝම්බකරුවන් සඳහා රිෂාඩ්ගේ අමාත්‍යංශය හරහා තඹ ලබාදීමත්, සිය සහෝදරයා රියාද් සහරාන්ට උදව් උපකාර කළ බවත් එදා පරීක්ෂණවලදී කියැවිණි. අද ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනා එදා විපක්ෂයේ සිටින විට ඒ අයගේ ඇඟිලි එක පිට එක එල්ලවුණේ රිෂාඩ්ටය. මේ නිසා බොහෝ දෙනා බලාසිටියේ රිෂාඩ්ලා, රියාද්ලා ඇත්තටම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් ඔවුන්ට අලුත් රජයෙන් කිසිඳු සමාවක් නොලැබෙනු ඇතැයි සැකයෙනි.
එහෙත් වත්මන් ආණ්ඩුව පට්ට පතුරු යැවූ රියාද් පසුගියදා පාස්කු ප්‍රහාරයෙන් නිදොස්කොට නිදහස් කරනු ලැබීය. ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු කළ බවට එදා ප්‍රකාශ කළ එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ ජාලිය සේනාරත්න පසුව නැවතත් පසුගියදා කීවේ එවැනි සාක්ෂි නොමැති බවය. එලෙස ජාලිය මහතා කීවේ කුමන කටින්දැයි සමාජයේ විශාල කතාබහක් ඇතිවුණු අතර මේ හේතුවෙන් කතෝලික සභාව, බෞද්ධ භික්ෂුන් වහන්සේලා පවා තම විමතිය පළකරමින් අදහස් ඉදිරිපත් කළහ.
ඒ විරෝධය හමුවේ එකවර අවදි වූ ආණ්ඩුවේ මැති ඇමතිවරු සීයක් පමණ තම අත්සනින් ලිපියක් පවා ලබාදෙමින් රියාද්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මෙලෙස රියාද් නිදහස් වූයේ කෙසේද යන්න සොයන ලෙසත් ඉල්ලීම් කළහ. එහෙත් අවසානයේ පහත් තැනින් යයි ගලා ජලේ මෙන් ප්‍රථම ප්‍රහාරය එල්ල වුණේ මාධ්‍ය ප්‍රකාශක ජාලියටය. ඔහුට කිසිදු සමාවක් නැතිව විනය නියෝග මත කන්කසන්තුරේ ප්‍රදේශයට මාරුවීමක් ලබාදුන්නේය. පසුව එයට නැවත සමාජ විරෝධතාවයක් පැමිණි විට ආයෙත් ඔහුට කන්කසන්තුරේ සිට කොළඹට මාරැවීමක් ලැබුණේය. ස්වාධීන පොලිස් කොමිසම පවා මෙලෙස කරන විට තවත් කොමිසම් කුමකටදැයි රටේ මිනිස්සුන්ට සිතීම පුදුම විය යුතු නැත.
ඊටත් පසුව රහස් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහට ගම්පහ දිස්ත්‍රික්කය බාරව මාරුවක් ලබාදෙනු ලැබීය. මේ සියල්ල සිදුවුණේ පොලීසිය විසින් සිදුකළ මෙහෙයුමක් ලෙස ජනතාවට ඒත්තු ගන්වමිනි. එය තව තවත් සහතික කරමින් රියාද් නිදහස් වීමට පෙර දින කීපයකට පෙර රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා රහස් පොලීසියට ගොස් ඇති බවද මේ වනවිට පොත්පත්වල සටහන්වලින් සහතික වී ඇත. ඒ නිසා කුමක් වුණේද යන්න, කුමක් සිදුකළේද යන්න තවමත් නිශ්චිතවම තහවුරු නොවුණත් මෙය යම් ආකාරයක සැලසුමක් බව දැනටමත් ජනතාවට ඒත්තු වී තිබේ.
මේ තත්ත්වය හමුවේ ජනතා විරෝධය ආණ්ඩුව කෙරෙහි දිගින් දිගටම එල්ලවන විට පසුගිය සඳුදා දහවල් එකවර මාධ්‍ය මගින් බ්‍රේකින් නිව්ස් එකක් හරහා සිතා ගැනීමට නොහැකි ප්‍රවෘත්තියක් පළවන්නට විය. එනම් 2019 ජනාධිපතිවරණය අවස්ථාවේ පුත්තලමේ සිට මන්නාරම දක්වා ඡන්ද දායකයන් ලංගම බස්රථවලින් ප්‍රවාහනය කිරීම සහ රජයේ මුදල් අවභාවිතා කිරීම යන කාරණා හේතුවෙන් රිෂාඩ් බදුයුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට ලබා දී ඇති බවය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කර සිටියේ එම චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන්, දිගුකාලින අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ එස් එම් යාෂිම් සහ එහි ගණකාධිකාරි ඒ මනෝරන්ජන් යන අයට චෝදනා එල්ල වී ඇති බවත් වහාම අධිකරණයෙන් වරෙන්‍තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙසත් නීතිපතිවරයා සඳහන් කර ඇති බවය.
සාමාන්‍යයෙන් නීතිපතිවරයා අධිකරණයට හෝ පොලිස්පතිවරයාට ලබාදෙන උපදෙස් අධිකරණයෙන් හෝ පොලීසියෙන් ඒ දවස්වල අසන්න ලැබුණත් අද වනවිට ඒ පණිවිඩ සියල්ල නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන්ම මාධ්‍යයට ලබාදීමේ ක්‍රමයක් දැකගන්නට හැක. මේ නිසා පොලීසියට නියෝගය යන්නටත් පෙර එම නියෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වන්නටත් ඇතැම් විට පොලීසිය පවා මාධ්‍යයෙන් දැනුවත් වන අවස්ථාත් උදා වී තිබේ. එහි ගුණ අගුණ අප කියන්නට දන්නේ නැතත් මේ සිද්ධියේදී නම් එකී මාධ්‍ය ප්‍රකාශ නිසා වැඩිම වාසියක් වුණේ රිෂාඩ්ට බව කිව යුතුමය.
එනම් 12 වැනිදා දහවල් රිෂාඩ් පුත්තලමේ සිට කොළඹට පැමිණෙමින් සිටන අතරතුර මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තිය එක්තරා ගුවන් විදුලි නාළිකාවක් හරහා ප්‍රචාරය වන්නට විය. වහාම ක්‍රියාත්මක වූ රිෂාඩ් අවසානයේ එන මගින් බැස පුත්තලමට ආපසු ගිය බව සඳහන්ය.
කෙසේ වෙතත් ඒ වනවිටත් රිෂාඩ් සොයාගෙන රහස් පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබුණේ නැත. ඒ රහස් පොලීසිය නීතිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ වරෙන්තුවක් ඒ වනවිට ලබාගෙන නොසිටි නිසාය. මේ නිසා 13 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ රහස් පොලීසිය රිෂාඩ් ඇතුළු තිදෙනා අත්අඩංගුට ගැනීමට වරෙන්තු ඉල්ලා සිටියේය. එහෙත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ පොදු දේපළ පනත හරහා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවන බවය. පුදුමය නම් ඒ සම්බන්ධයෙන් රහස් පොලීසිය නොදැන සිටීමය.
එම නියෝගයෙන් පසුව රිෂාඩ් සොයා කණ්ඩායම් හයක් යොමු කර තිබිණි. එහිදී රිෂාඩ්ගේ කොළඹ නිවෙසත් මන්නාරම පිහිටි නිවෙසත් පරික්ෂා කළත් රිෂාඩ් ඒ කිසිදු නිවෙසක සිටියේ නැත. රිෂාඩ් ඉන්නා තැනක් සොයා ගැනීමට හැකිවුයේ ද නැත. මේ අතර රහස් පොලීසියට රිෂාඩ් භාවිත කළ වාහන දෙකක් වැල්ලවත්ත ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය. ඒ මෝටර් රථයක් හා ජීප් රථයකි. ඒ රිෂාඩ් භාවිත කළ වහන බව හෙළිවිය ඒ අනුව එම මෝටර් රථයේ රියදුරන් දෙදෙනාත් රිෂාඩ්ගේ ඇමති ආරක්ෂක පොලිස් නිලධාරියාත් රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. එසේම වාහනවල තිබී ගිනි අවි දෙකක් ද අත්අඩංගුවට ගත් අතර ඊට අදාළ උණ්ඩද සොයාගැනීමට හැකිවිය. කෙසේ වෙතත් මෙලෙස ගිනි අවි දෙකක් තබාගත්තේ ඇයිද යන්නත් ඒ සඳහා බලපත්‍ර ඇතිද යන්නත් පොලීසිය මේ වනවිට පරීක්ෂණ කරමින් පවතී.
මේ අතර මේ සිද්ධියේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන්ව රහස් පොලීසියට අත්අඩංගුවට ගැනීමට හැකිවිය. එහෙත් රිෂාඩ්වත්, යාෂිම්වත් අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසියට සිකුරාදා (16) දහවල් වනතුරු නොහැකි වී තිබිණි.
මේ අතර සැඟව සිටි රිෂාඩ් පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරමින් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලීමක් කළේය. එනම් ඔහු සඳහන් කර සිටියේ ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීමට එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අවසර ලබාදුන් බවත් ඒ නිසා තමන් එම කටයුත්ත නීත්‍යානුකූලව සිදුකර ඇති බවත්ය. මේ හේතුවෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙසට රිෂාඩ් ඉල්ලා තිබිණි.
කෙසේ වෙතත් රහස් පොලීසිය අත්අඩංගුවට ගත් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇමති ආරක්ෂක නිලධාරියා ලක්ෂ පහක ශරීර ඇප මත නිදහස් කොට ගණකාධිකාරීවරයාත්, රියදුරන් දෙදෙනාත් රිමාන්ඩ් කරනු ලැබූහ. එසේම රහස් පොලීසිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ රිෂාඩ්ගේ බිරිඳ පදිංචිව සිටින බෞද්ධාලෝක මාවතේ නිවෙසට ගොස් ප්‍රකාශයක් ද ලබාගෙන තිබුණි. එහෙත් ඇයද ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බව ප්‍රකාශ කර ඇත.
මේ අතර නීතිපතිවරයා රහස් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා රුස්වීමක් සිදුකළේය. ඒ තවමත් රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මන්ද යන්න විමසීමටය. එහිදි නීතිපතිවරයා දැඩි අවවාද රැසක් රහස් පොලිස් ලොක්කාට ලබාදී තිබේ. නීතියේ ආධිපත්‍ය රකින ලෙසත් පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි මහජන විස්වාසය ඇති වන ආකාරයෙන් කටයුතු කරන ලෙසත් නීතිපතිවරයා එහිදී දැනුම් දී ඇත. විශේෂයෙන් නීතිපති උපදෙස් සහ අධිකරණ නියෝග හෑල්ලු නොකරන ලෙසත් දැනුම් දී ඇත. එමෙන්ම නීතියෙන් අත්අඩංගුවට ගතයුතු පුද්ගලයන්ට අවශ්‍ය රැකවරණ ලබාදෙන පුද්ලයන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද කියා තිබිණි.
චෝදනාව එල්ල වූ බස්රථවලින් ඡන්ද දායකයන් එදා ප්‍රවාහනය කරන විටද විශාල ප්‍රශ්න රැසක් ඇතිවිය. එක් අවස්ථාවකදී ගල් ප්‍රහාර ද තවත් අවස්ථාවකදී වෙඩි ප්‍රහාරවලට ද එම බස් මුහුණ දුන්නේය. එවකට චෝදනා එල්ල වුණේ මේ ඡන්දදායකයන් ස්ථාන දෙකක ලියාපදිංචි කර ඇති බවය. එහෙත් සියලු විරෝධ සහ තර්ජන මැද එම පිරිස් රැගෙන යනු ලැබීය.
කෙසේ වෙතත් මෙහි වඩාත්ම වැදගත් කරුණ වන්නේ තවමත් රිෂාඩ් බදුයුදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමය. ගමේ සිරිපාල ඇල්ලීමට දුරකථන කුලුනු විශ්ලේෂණ පවා සිදු කරන රහස් පොලීසියට තවමත් රිෂාඩ්ගේ දුරකථනය අමතක වුණාද යන්න ගැටලුවකි. එපමණක් නොව ගමේ සිරිපාලටත් වඩා ජනප්‍රිය රිෂාඩ් තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මන්ත්‍රීවරයකු නිසාද යන්න හැම දෙනාටම ගැටලුවක් ඇත. එසේ හැංගී සිටිමින් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙසට අධිකරණයෙන් සහන පතන්නත් රිෂාඩ් අමතක කර නැත. ඒ නිසා මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර සහෝදරයා කියූ කතාවක් මතක් කළ යුතුය. නීතිය යනු මකුළු දැලක් හා සමාන බවය. කුඩා සතුන් පැටලෙන්නත් විශාල සත්‍තු දැල කඩාගෙන යන්නත් හැකි බව එයින් එයින් පෙන්නුම් කරයි. ඒ නිසා අප තවමත් බලා සිටින්නේ රිෂාඩ් දැල කඩාගෙන ගියාද නැත්නම් දැල කඩාගෙන යන්නට ඉඩ දුන්නාද යන්නය.
අවසාන වශයෙන් පසුගිය දවසක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කළ ප්‍රකාශයක් මතක් කරන්නට කැමැත්තෙමු. එනම් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර සැඟ වී සිටින අය පැය 24ක් ඇතුළත භාර නොවුණහොත් දේපළ රාජ සන්තක කරන බවය. එහෙත් දැන් රිෂාඩ් පැනගොස් දවස් පහකි. පැය 24 ඒවාම පහකි. එහෙත් තවමත් පොලීසිය රිෂාඩ් කොටුවන තෙක් බලා සිටියි. නීතිය සැමට එකදැයි ආයේ ආයෙත් සිතන්නට සිදුවී ඇත.
ගයාන් ගාල්ලගේ