2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

20 අරන් අතුරේ යාම

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

කොවිඩ්-19, 20 සංශෝධනය සහ චීන, අමෙරිකා, ඉන්දියා බලපෑම් පසුගිය සතිය තුළ මතු වූ උණුසුම් මාතෘකා විය. කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය රජය බලාපොරොත්තු වූවාටත් වඩා දුරදිග යන ලකුණු පහළ වෙමින් තිබීම ජනාධිපතිවරයාගේ දැඩි අවධානය ඒ කෙරෙහි යොමුවීමට හේතු විය. ඔහු සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර තිබුණේ දවසට සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 7,000ක් දක්වා වැඩි කරන ලෙසටය. එය පැවැතුණේ දිනකට 5,000ක් මට්ටමේය. එසේම වෛරස ව්‍යාප්තියේ කිසියම් පාලනයක් ඉක්මනින් ලබාගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණි.

කොවිඩ් වෛරස ව්‍යාප්තියක් පිළිබඳව ආණ්ඩුවට මිනුවන්ගොඩ රෝගී කාන්තාව හමුවන තුරුම වගක් තිබුණේ නැත. එය හදිසියේම බලාපොරොත්තු රහිතව කඩා වැටුණු මරාලයක් විය. ආණ්ඩුව හොඳින් සූදානම් වෙමින් සිටියේ වෛරසයට මුහුණදීමට නොව 20 වැනි සංශෝධනයට එරෙහිව නැග එනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි විරෝධයට මුහුණ දීමටය. ඒ වැඩේට හරිබරි ගැසෙමින් සිටි ආණ්ඩුවට වෛරස ව්‍යාප්තිය පරාල ඇනයක් වීම ගැන පුදුම විය යුතු නැත. කොවිඩ් වෛරසය මුල් අවස්ථාවේදී ඉතා සාර්ථකව පාලනය කිරීමේ ගෞරවය දිනාගෙන සිටි ආණ්ඩුවට 20 සංශෝධනය රට තුළ ජනගත කිරීමට එයින් ලැබී තිබුණු සහතිකය ලොකු උදව්වක් කර ගැනීමට හැකියාව තිබිණි. එහෙත් බ්‍රැන්ඩික්ස් පොකුරත් සමඟ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ද වෙනස් කිරීමට සිදු විය.

දැන් ආණ්ඩුව ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ කොවිඩ් අවදානම හැකි තරම් ඉක්මනින් පාලනය කර ගැනීමටය. බ්‍රැන්ඩික්ස් පොකුරෙන් පිට පැන වෛරසය සමාජය තුළට කාන්දු වුවහොත් එය ආණ්ඩුවට අනපේක්ෂිත අභියෝගයක් වීම වළක්වනු බැරිය. එහෙත් ඒ අභියෝගය ඉදිරියේ වුවද 20 ගොඩදා ගැනීමට ආණ්ඩුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටී. එසේ වුවද ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ නිකාය ලේඛකාධිකාරී භික්ෂූන් වහන්සේලාගේත් කතෝලික රදගුරු සමුළුවේත් ලිඛිත විරෝධය හේතුවෙන් එම ක්‍රියාමාර්ගවලද සැලකිය යුතු වෙනසක් කිරීමට සිදුව තිබෙන බව පැහැදිලිව පෙනෙයි. අදාළ නිවේදන මාධ්‍යයට නිකුත් වූයේ 20ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම්වල තීන්දුව නොනිල ලෙස මාධ්‍ය හරහා දොරට වැඩීමෙන් පසුව වීම ද සුවිශේෂී කරුණකි.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් කථානායකවරයා වෙත පසුගිය සිකුරාදා (09) සීල් තබා යවන ලද තීන්දුව සෙනසුරාදා (10) වන විට ඇතැම් සමාජ මාධ්‍යවල පළ විය. තමන් සඳුදා (12) කථානායක කාර්යාලයට ගොස් තීන්දුව රැගත් ලිපියේ සීල් කඩා කියවා බලන බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ ප්‍රකාශය ඇතැම් මාධ්‍යවල පළවන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නොනිල මට්ටමින් වෙනත් මාධ්‍යවල පළ වී තිබිණි.

කෙසේ වුවද තීන්දුව කළින්ම එසේ ප්‍රකාශයට පත්වීම පිළිබඳව ආණ්ඩුවේ කිසිම ප්‍රතිචාරයක් නොවීය. එක් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් තමන්ට හිතවත් මාධ්‍යවේදියකුට කියා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව කළින්ම ප්‍රකාශයට පත්වීම හේතුවෙන් ඒ පිළිබඳ ලොකු උණුසුමක් රට තුළ හටගැනීමට තිබූ ඉඩකඩ වැළකී ගිය බවය. කොටින්ම තීන්දුව පිළිබඳ කතාබහ "Anti climax" වූ බවය. එය ආණ්ඩුවට කිසියම් අස්වැසිල්ලක් වන්නේ කාරණා 4ක් සම්බන්ධයෙන් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් පමණක් නොව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දු කර තිබීම හේතුවෙනි. බදාදා (12) වන විට තීන්දුව පිළිබඳ උණුසුම මැකී යමින් තිබුණි.

කථානායකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යැවුණු රහසිගත වශයෙන් සැලකෙන ලේඛනයක් මෙසේ කලින්ම නිකුත් වූයේ ශ්‍රී ලංකාව තුළ කිසිම රහසක් නොරුකෙන බව පෙන්වා දෙමින් යැයි එක් දේශපාලන විචාරකයෙක් පෙන්වා දී තිබුණි. එම ලේඛනය පාර්ලිමේන්තුවේදී කථානායකවරයා විසින් සභාගත කිරීමට නියමිතව ඇත්තේ 20 වැනිදාය. එහෙත් ඊට පෙර එය අන්තර්ජාලයට ද මාධ්‍යයට ද කාන්දු විය. කෙසේ වුවද ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති ඉවත් කොට, නීතිපතිවරයා විසින් යෝජනා කරන ලද සංශෝධන ද සහිතව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම ආණ්ඩුවේ ඒකායන පරමාර්ථය බව පැහැදිලිය. එහෙත් අමරපුර රාමඤ්ඤ නිකාය ලේඛකාධිකාරී හිමිවරුන්ගේ සහ කතෝලික රදගුරු මණ්ඩලයේ විරෝධය ආණ්ඩුවේ එම අරමුණු ගැටලුවක් බවට හරවනු ලැබ තිබේ.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරැන්ගේ ආණ්ඩුව බලයට පත් කිරීමට ප්‍රබල සහායක් දැක්වූ මහා සංඝරත්නයේ විරෝධය විපක්ෂයේ දේශපාලන පක්ෂවල විරෝධය මෙන් ගණන් නොගෙන සිටීමට රජයට හැකියාවක් නැත. ආණ්ඩුව පිහිටුවීමට දිගින් දිගටම සහාය දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ වැනි හිමිවරැන් ද 20 සංශෝධනය සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කර ඇති අතර ඒවා තුළද විරෝධයක් මිස සහායක් නැත. 

ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ හිමිවරුන් කිහිප නමක් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයෙන් අවධාරණය කර තිබුණේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන නීති සම්මතයක් ලෙස තහවුරු වී ඇති බවය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට අදාළව ආණ්ඩුව විසින් පවසන කරුණ වන්නේ ඊට පෙර සම්මත කර තිබූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඉදිරි ගමනට කර ඇති බාධා ඉවත් කිරීමට බවත් එය එසේම ද යන්න ගැඹුරින් විග්‍රහ කරගත යුතු බවත් පවසන එම නිවේදනය 19 වැනි සංශෝධනය තුළ රටේ යහපැවැත්මට මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යය අයිතිය තහවුරු කිරීමට හේතු වූ කරුණු තිබෙන බවද සඳහන්ය. රටට උචිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයෙහිලා කටයුතු ආරම්භ කරන ලෙසත් 20 වැනි සංශෝධනය අක්‍රීය සංශෝධනයක් බවට පාර්ලිමේන්තුව මගින් තහවුරු කරන ලෙසත් එම නිවේදනය මගින් ඉල්ලා තිබිණි.

මෙම ඒකාබද්ධ ප්‍රකාශනය නිකුත් කර තිබුණේ අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර අනු නාහිමියන් සහ රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තංගනේ ශාසනරතන නාහිමියන්ගේ අත්සනිනි. අමරපුර මහා සංඝ සභාවේ කොටුගොඩ ධම්මවංස මහ නාහිමියන්ගේ සහ රාමඤ්ඤ නිකායේ නාපාන පේමසිරි මහ නාහිමිගේ අනුශාසනා සහිතව මේ ප්‍රකාශය කරන බවද අත්තංගනේ ශාසනරතන නාහිමියන් ප්‍රකාශ කර තිබිණි. මෙම නිවේදනය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව සඳහා මහාචාර්ය අත්තංගනේ රතනපාල නාහිමි, ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමි, මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර අනු නාහිමි, ආචාර්ය මාදම්පාගම අස්සජි අනු නාහිමි සහ කිතලගම පේමසිරි නාහිමි නිකාය දෙක නියෝජනය කරමින් සහභාගි වී සිටියහ.

කෙසේ වුවද මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මාහිමියන් ප්‍රකාශයක් කරමින් සිදු වූ බව කියන එම සාකච්ඡාව පිළිබඳව තමන් කිසිවක් දැන නොසිටි බව පැවසූහ. නිකායේ මහ නාහිමියන් දැනුවත් කිරීමකින් තොරව ප්‍රකාශ සිදු කිරීම යෝග්‍ය නොවන බව ලේකම්වරුන් සහ අනෙක් පිරිස දැනගත යුතු බවද එම ප්‍රකාශයේ සඳහන්ය.

අමරපුර මහා සංඝ සභාවේ සභාපති ගන්තුනේ අස්සජි හිමියන් ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ අමරපුර සංඝ සභාවේ නියෝජිත, පාලක හෝ විධායක සංඝ සභා තුළ 20 වැනි සංශෝධනය පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු නොකළ බවය. කෙසේ නමුත් විධායකය දැනට වඩා ශක්තිමත් විය යුතු බව තම පෞද්ගලික මතය බවද 20 සංශෝධනයේ ගුණ දොස් විවේචනයට එහි එක් එක් වගන්ති වෙන් වෙන්ව අධ්‍යයනය කළ යුතු බවද ප්‍රකාශ නිකුත් කිරීමට පෙර සැලකිලිමත් විය යුතු බවද උන්වහන්සේගේ ප්‍රකාශයේ සඳහන් වෙයි.

ඉන් අනතුරුව මාධ්‍ය මගින් කළ විමසුමකට පිළිතුරු වශයෙන් ප්‍රකාශයක් නිකුත් කළ ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී නාහිමිවරු සඳහන් කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකරන ලෙසට ආණ්ඩුවට අවධාරණය කළේ ඒ පිළිබඳව අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව බවය. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර අනු නාහිමියන් ප්‍රකාශ කර තිබුණේ මෙය ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ ලේකම්වරැන් අතර සිදු කළ සාකච්ඡාවක් බවත් ඒ පිළිබඳව අමරපුර මහා සංඝ සභාවේ සභාපති හිමියන් දැනුවත් කළ යුතු බවට කිසිදු තැනක සඳහන් නොවන බවත්ය. එසේම අමරපුර මහා සංඝ සභාවේ සභාපති හිමියන්ගේ ප්‍රකාශය තමන් පිළිගන්නා බවත් එහි සඳහන් තොරතුරු සත්‍ය බවත් උන්වහන්සේ ප්‍රකාශ කර තිබිණි.

අනපේක්ෂිත ලෙස සිදු වූ කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටම අසීරැවට පත්ව සිටින තත්ත්වය තුළ 20 වැනි සංශෝධනය සම්බන්ධ කතිකාව ගල උඩ සටනක් බවට පෙරළෙමින් තිබීම ආණ්ඩුවේ කනස්සල්ලට හේතුවන බව පැහැදිලිය. කෙසේ වුවත් 20 සංශෝධනය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව තමන් සතු බවට රජය දැඩි විශ්වාසයකින් සිටී. කිසියම් හෝ හේතුවකින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහොත් ඒ සඳහා විකල්ප වැඩපිළිවෙළක් ද රජය සතු බව සඳහන්ය. රජයේ ඉලක්කය වී ඇත්තේ 20 වැනි සංශෝධනයේදී රජයට පක්ෂව තුනෙන් දෙක ඉක්මවා යන ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීම බව පැහැදිලිය. ඡන්ද 160කට වඩා සංඛ්‍යාවක් ලබාගැනීමට සාකච්ඡා පවත්වන බවත් එම සාකච්ඡා පල දරමින් තිබෙන බවත් රජයේ පැත්තෙන් වරින්වර ආරංචි එයි. එම උත්සාහයට සංඝ සභාවේ නිවේදනය සහ කතෝලික රදගුරු සමුළුවේ නිවේදනය මගින් සිදු කළ හැකි බලපෑම කෙසේ වනු ඇතිදැයි දැන්ම කීම අමාරුය.

මේ අලකලංචි මැද රටේ ජනතාව සිටින්නේ දැඩි ජීවන අරගලයකට මුහුණ දෙමිනි. ඒ කොවිඩ් වසංගතය සහ ජීවන වියදම ඉහළ නැගීම හේතුවෙනි. ජීවන වියදම් ගැටලුවට ආණ්ඩුව තාවකාලිකව විසඳුමක් ලබා දුන්නේ සැමන්, පරිප්පු, සීනි සහ ලූනු මිල අඩු කිරීමෙනි. එය ජනතාවට තාවකාලිකව හෝ සහනයක් බව සැබෑවකි. එහෙම වුණත් විපක්ෂය ඇතුළු රටේ විවිධ අංශවලින් නැගෙන විරෝධය නොතකා 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව ලකුණු දාගත්තා ද කපාගත්තා ද යන්න මැනගන්නට තිබෙන හොඳම අවස්ථාව ඉදිරි පළාත් සභා ඡන්දයයි.

 ශශීන්ද්‍ර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02