2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

කලින් ලීක් වූ 20 තීන්දුව

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් හා වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝණය වන බවට සඳහන් කරමින්  විවිධ පාර්ශ්වයන් 39 විසින් ගොනු කරන ලද පෙත්සම් විභාග කිරීමෙන් පසු ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මේ වන විට ජනාධිපතිවරයා සහ කථානායකවරයා වෙත ලබා දී තිබේ. එම තීන්දුව ඇතුළත් ලිපිය කථානායකවරයා විසින් විවෘත කිරීමටත් පෙර තීන්දුවේ අන්තර්ගත කරුණු මාධ්‍යයට අනාවරණ වී තිබිණි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත  වගන්ති හතරක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අමතරව ජනමත විචාරණයකින්ද සම්මත කරගත යුතු බවට එම තීන්දුව මගින් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ. 

20 වැනි සංශෝධනය පිළිබඳව සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරැවරැන් පස්දෙනාම ඉහත දැක්වූ කරුණු හතරෙන් තුනක් පිළිබඳව ජනමත විමසුමකින් අනුමැතිය ලබාගත යුතු බවට නිර්දේශ කර ඇති අතර එක් විනිසුරුවරයකු ජනපතිවරයාට පූර්ණ මුක්තිය ලබාගැනීම පිණිස ජනමත විමසුමක් අවශ්‍ය නොවන බවට සිය තීන්දුව මඟින් ප්‍රකාශ කර ඇතැයිද දැනගන්නට තිබේ.

ඉහත පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබ_, විජිත් මලල්ගොඩ හා ප්‍රියන්ත ජයවර්ධන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ සිව් දිනක් පුරා පැවැතිවිණි..

ජනාධිපතිවරයාගේ මුක්තිය නැවත ස්ථාපනය කළ යුත්තේ මූලික අයිතිවාසිකම් නඩුකරවලට යටත්ව බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කර ඇති අතර ඊට අමතරව ජනාධිපතිවරයාට පූර්ණ මුක්තිය ලබාගත යුතු නම් ඒ සඳහා ජනමත විමසුමකින් අනුමැතිය ලබාගත යුතු බව සඳහන් වන බවට වාර්තා වේ. 

19 වැනි සංශෝධනයේ සඳහන් මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද විධානයන් හා උපමාන රජයේ, රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රජය සතු කොටස් තිබෙන ආයතනවල නිලධාරීන් විසින් පිළිනොපැදීම වරදක්ය යන වගන්තිය 20 වැනි සංශෝධනය මඟින් ඉවත් කිරීමට නම් ඒ සඳහා ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇතැයිද, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වසරක කාලයකින් පසුව සිදුකිරීමට නම් ඒ සඳහා ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ. තවද 19 වැනි සංශෝධනයේ සඳහන් නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය වාතාවරණය සහතික කළ යුතුය යන වගන්තිය 20 වැනි සංශෝධනය මඟින් ඉවත් කිරීමට නම් ඒ සඳහාද ජනමත විචාරණයක් මගින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශයෙහි සඳහන්ව ඇතැයි පැවසේ.. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වසර දෙකහමාරකින් සිදුකිරීම හා නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය වාතාවරණය සහතික කළ යුතුය යන වගන්තීන් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන සංශෝධන සඳහා ඇතුළත් කිරීමට කටයුතු කරන බවට ඉහත නඩු විභාගය අතරතුරදී නීතිපතිවරයා විශේෂ මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබිණි. 

20 වැනි සංශෝධනයට අදාළ අනෙකුත් සියලු වගන්තීන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි ඒවා යැයි ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිර්දේශ මඟින් දක්වා ඇතැයිද වාර්තා වේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ට අනුව ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම් දීමට නියමිතය. 

“ඉන්පසු ඕනෑම අවස්ථාවක 20 වැනි සංශෝධනය විවාදයට ගත හැකියි. දෙවැනිවර කියවීමේදී තුනෙක් දෙකක බහුතරයක් අවශ්‍යයි. එම බහුතරය ලබාගැනීමෙන් පසු කමිටු අදියරය ආරම්භ වෙනවා. එම අදියරයේදී එයට සංශෝධන ඉදිරිපත් කළ හැකියි. දැනටමත් රජය සංශෝධන කිහිපයක් සූදානම් කර ඇති අතර තුන්වැනි වරට කියවීමේදී එම සංශෝධන ඉදිරිපත් කරන බවට රජය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඇතැම් වගන්ති සංශෝධනය කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිර්දේශ කර තිබේ නම් ඊට අනුකූලව තවත් සංශෝධන ඉදිරිපත් කිරීමට රජයට පුළුවන්. එසේ කළ විට ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ සියල්ල අවසන් කෙටුම්පතට අන්තර්ගත කිරීමෙන් පසු තුන්වැනි වර කියවීමේදී තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමෙන් පසු 20 වැනි සංශෝධනය නීති ගත කිරීමට හැකි වෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය. 

මේ අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇමැතිවරයා සහ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා යම් විරෝධයක් ප්‍රකාශ කර තිබිණි. එවැනි තත්ත්වයක් යටතේ වුව තමන්ට තුනෙක් දෙකක බහුතරයක් ලබා ගත හැකිය යන්න මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ මතය වී තිබේ. විවිධ පුද්ගලයන් සතුව විවිධ මත පැවතියද පාර්ලිමේන්තු විවාදයේදී රජය නියෝජනය කරන සියලු දෙනා සාමුහික වගකීමේ සිද්ධාන්තයට ගරු කරමින් එක් ස්ථාවරයක් අනුව කටයුතු කරනු ඇතැයි යන්න තම විශ්වාසය යයි ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත්, ක්‍රියාකාරිත්වයටත් දැඩි ලෙස බාධා කරන, නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු රුගෙන යන නීති සම්මතයක් බවට තහවුරු වී ඇති හෙයින් එය සම්මත නොකරන ලෙසට එම නිවේදනය මගින් ඉල්ලා තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යා නොයුතු බවත් ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පියවර ගත යුතු බවත් කතෝලික රදගුරු සම්මේලනය  ප්‍රකාශ කරයි. සංශෝධනයකදී හෝ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ප්‍රථමයෙන් සිදු විය යුත්තේ ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කිරීම යැයි එම සම්මේලනය වැඩි දුරටත් කියා සිටී. 1994 සිට බලයට පත් වූ සියලු ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවටත් 1978 ව්‍යවස්ථාවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ පාර්ලිමේන්තුවට බලය ලබා දීමටත් පොරොන්දු දුන් බවත් එම සම්මේලනය මගින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්ය. ජනතාව නොදන්නා හේතු සාධක මත මෙම පොරොන්දුව කිසිවෙක් ඉටු කර නොමැති බවද, සංවරණයකින් හා තුලනයකින් තොරව එක් පුද්ගලයකු වටා බලය කේන්ද්‍රගතවීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර බවද එම නිවේදනයේ දැක්වේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රට තුළ ඒකාධිපති පාලනයක් හා අඩපණ පාර්ලිමේන්තුවක් බිහිවනු ඇතැයි ජාතික සමගි බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. සමගි ජනබලවේගයේ ස්ථාවරය වන්නේ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කිසි ලෙසකින් හෝ සම්මත නොවිය යුතු බවටය. යෝජිත සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාවක්  ස්ථාපනය කිරීමට කර ඇති යෝජනාව මගින් ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත් කිරීමේදී  හා ඉහළ රාජ්‍ය නිලධාරින්  මෙන්ම ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේදී පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ පමණක් ලබාගෙන එකී නිරීක්ෂණ කුමක් වුවද ස්වඅභිමතය පරිදි එම පත් කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන අතර එමගින් මෙම සියලු ආයතන දේශපාලනීකරණය වීමේ දැඩි අවදානමක් පවතින බව ඔහු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට ලබා දී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පිළිගැනීම අහෝසි කිරීම, විගණන සේවා කොමිෂන් සභාව හා ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කිරීම 20 වැනි සංශෝධනය මගින් සිදු කිරීමට යෝජනා වී ඇති බැවින් එමඟින් වංචාවට හා දූෂණයට දොරටු විවෘත කිරීම ආණ්ඩුව අරමුණ බවද ඔහු සඳහන් කරයි. හදිසි පනත් ඉදිරිපත් කිරීමේ ප්‍රතිපාදන මගින් මහජනයාට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට  ඇති අයිතිය උදුරා ගැනෙන බවත්, ද්විත්ව පුරවැසියන් හෙවත් වෙනත් රටකට පක්ෂපාතිත්වය දක්වන බවට දිවුරා ඇති පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස හෝ ජනාධිපතිවරයකු ලෙස පත්වීමට අවස්ථාව සැලසෙන හෙයින් මෙම සංශෝධනය කෙසේ හෝ පරාජය කළ යුතු බව සමගි ජනබලවේගයේ මතය යැයි එම නිවේදනයේ සඳහන් කර තිබේ.
“දැන් 20 සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළෙම විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. විමල් වීරවංශ, විදුර වික්‍රමනායක, ගෙවිඳු කුමාරතුංග වගේ අය 20 සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ කරනවා. දැන් ආණ්ඩුව කළ යුත්තේ අලුතින් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් කර ගැනීමට කටයුතු කිරීම නොවෙයි, ආණ්ඩුවේ ඉන්න අයව ආරක්ෂා කර ගැනීමයි. රාජ්‍ය දේපොළ අවභාවිත කළා කියා රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න කියා තිබෙනවා. ආණ්ඩුව මේව කරන්නේ 20 නිසා ඇතිවී තිබෙන අර්බුද වහගන්න” යනුවෙන් දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ නායක, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්  විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරුන් වෙත යවා තිබෙන 20 වැනි සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඔක්තෝබර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය. ඊට පෙරාතුව කථානායකවරයා විසින් පක්ෂ නායක රුස්වීමක් කැඳවා ඔක්තෝබර් 20 වැනිදාම 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට ඇතැම් විට ඉඩ ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා