2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

මෙන්න ගැසට් කළ අලුත් නිරෝධායන නීති

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

කොවිඩ්-19 රෝගීන් මෙරට වාර්තා වීමත් සමඟ රෝගය පැතිරීම වැළැක්වීම හා පාලනය සඳහා ඇවැසි විශේෂ උපදෙස් හා ක්‍රියාමාර්ග රැසක් සෞඛ්‍ය අංශ විසින් ගනු ලැබීය. කොවිඩ් වසංගතය සමඟ නව ජීවන රටාවකට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දුන්නද ඇතැමුන් ඒවා නොපිළිපදින බවද පෙනෙන්නට තිබිණි. වසංගත තත්ත්වය බරපතළ අවදානමක් වෙද්දී මෙතෙක් වෛද්‍ය හා සෞඛ්‍ය අංශ ලබා දී තිබූ උපදෙස් නීති බවට පත් කරමින් නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය.

නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම යන ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නීතියක් බවට පත් කරමින් විශේෂ නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගිය 15 වැනිදා සිය අත්සන තැබුවාය. ඒ අනුව අංක 2197/25 යටතේ නිකුත් කළ ගැසට් පත්‍රය අනුව අදාළ සෞඛ්‍ය උපදෙස් සහිත නීති කඩකරන පුද්ගලයන් හට රුපියල් 10,000කට නොවැඩි දඩයකුත් මාස 6ක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබා දීමට අධිකරණයට හැකියාව ලැබේ.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ 2 වැනි සහ 3 වැනි වගන්ති යටතේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ අත්සනින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ව්‍යාපාරික හා සේවා ස්ථානවලට ඇතුළු වන සෑම තැනැත්තකුම සෑම අවස්ථාවකදීම මුඛ ආවරණය පැළඳ සිටිය යුතුය. පුද්ගලයන් දෙදෙනකු අතර මීටර් එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගත යුතුය. සේවා ස්ථානයකට ඇතුළු වීමට පෙර සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතුය. විෂබීජනාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමට පහසුකම් සැලැස්විය යුතුය. ආයතනයකට ඇතුළු වන ඕනෑම තැනැත්තකුගේ නම, හැඳුනුම්පත් අංකය සහ සම්බන්ධ කරගත හැකි තොරතුරැ පිළිබඳ විස්තර ඇතුළත් නාමලේඛනයක් පවත්වාගෙන යා යුතුය. සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තිකයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබාගැනීම මෙකී නීති අතර ප්‍රධානය.

මේ අතර සංචරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු යන විශේෂ කරුණුවලට අදාළ නීති තවදුරටත් ශක්තිමත් කිරීමට නව නිරෝධායන ගැසට්ටුව මගින් ක්‍රියා කර තිබේ. ගැසට් පත්‍රය අනුව පොදු ස්ථානවල ගැවසීම සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ. එහිදී පොදු ස්ථානය අයිතිවාසිකමක් ඇති, ගෙවීමක් කර හෝ නොකර ආරාධනයක් ඇතිව හෝ නැතිව මහජනතාවට ප්‍රවේශ විය හැකි ස්ථානයක් වශයෙන් අර්ථගන්වා ඇත. එවැනි ස්ථානවලදී කොරෝනා රෝගය ව්‍යාප්ත වීමට එරෙහිව මුඛ ආවරණ පැළඳීම හා මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවය තබාගත යුතු බවට නීති පනවා තිබේ.

එසේම කොරෝනා රෝගියකු හෝ අවදානම් කලාපයක වාසය කරන්නේ නම් සංචරණ සීමා කිරීම කළ යුතුය. ඒ අනුව රෝගියකු හෝ එවැනි සැකකරන අයකු ප්‍රතිකාර සඳහා හෝ නිරෝධායන කාර්ය සඳහා රෝහලකට හෝ නිරීක්ෂණ ස්ථානයකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යාමට නියම කළ හැකිය. එවැනි අය සඳහා නියමිත නිරෝධායන කාලය අවසන් වන තෙක් ස්වකීය පරිසරය තුළම නිරෝධායනය විය යුතු බවට බලධාරීන්ට උපදෙස් ලබාදිය හැකිය.

මෙසේ සංචරණ සීමා පැනවීමෙන් පසුව නිරෝධායනය වන නිවෙස හෝ ස්වකීය පරිශ්‍රය හැර රෝගී ප්‍රදේශයකට ඇතුළු වීම හා පිටවීම රෝගී ප්‍රදේශයක් තුළ ඇති යම් පොදු ස්ථානයකට ගමන් කිරීම ප්‍රවාහනය ඇතුළු වීම හෝ ගමන් කිරීම සපුරා තහනම් වේ. බලධාරීන්ගේ උපදෙස් අනුව රෝගී ප්‍රදේශවල පිහිටි ව්‍යාපාරික ස්ථාන හෝ ආයතන වසා තැබීම හෝ විවෘත කිරීම කළ යුතුය. මෙයට අතශවශ්‍ය සේවා සපයන ආයතන හා සුපිරි වෙළෙඳසල් ඇතුළත් වේ. එම අවස්ථාවල ආයතන හෝ ව්‍යාපාරික ස්ථානවල සිටිය යුතු උපරිම සේවකයන් හා තැනැත්තන් ගණන දක්වා තිබේ.

ආයතනයකට ඇතුළු වන පිරිස් වෙත සබන් හෝ විෂබීජනාශක දියර ප්‍රමාණවත්ව සැපයීමට ආයතන බලධාරීන් පියවර ගත යුතුය. මේ හැර කොවිඩ් වසංගතය හමුවේ සංචරණ සීමා ඉවත් කළ අවස්ථාවකදී වුවද පොදු ස්ථානයක හෝ වෙනත් ස්ථානයක ගැවසීමේදී රැස්වීමක්, සම්මන්ත්‍රණයක් හෝ මහජන එකතුවීමක් සැලසුම් කරන ඕනෑම කෙනකු හෝ අත්‍යවශ්‍ය සේවා ලබාගන්නා සියලු පුද්ගලයන් සෞඛ්‍ය අංශ බලධාරීන් වෙතින් අවශ්‍ය කාලවලදී නියම කරන රෝග වැළැක්වීමේ ක්‍රමය ද අනුගමනය කළ යුතුය.

යහපත් අවවාද අනුශාසනා අතර කොවිඩ් වසංගතයට එරෙහිව සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් පිළිගත් බහුතරයක් ජනතාව අතර ඒවා මායිම් නොකළ පිරිස් ද වෙති. එම උපදෙස් ක්‍රියාමාර්ග පිළිපැද්දේ නම් මෙතරම් කොරෝනා ව්‍යාප්තියක් සිදුවන්නේ ද නැත. එබැවින් සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් මෙසේ නීතියක් ලෙස සම්මත කිරීම වඩාත් කාලීනය. පැසසුම් සහගතය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02