ප්රජාතන්ත්රවාදය ලෝකයේ රටවල් සෑහෙන ප්‍රමාණයක් පාලනය කරන ක්රමයකි. විවෘත ආර්ථිකය ද සෑම රටකම පාහේ අනුගමනය කෙරේ. අනන්‍යතා අනුව වෙනස්කම් දැකිය හැකිය. ප්රජාතන්ත්රවාදය හා විවෘත ආර්ථික ක්‍රමය ගැන විවේචන තිබේ. මහජන නියෝජිතයන් ක්‍රියා කරන අන්දම ගැන පැහැදීම අඩු නමුත් වෙනත් විකල්ප තවමත් නැත. විවෘත ආර්ථික ක්‍රමය හා එයින් වන වාසි අවාසි ගැන බරපතළ තර්ක ඇත. එහෙත් තරගකාරීත්වයෙන් අවස්ථා බිහිවන බව පෙන්වා දී තිබේ.
ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් කරන ගනුදෙනුවලදී භාවිතයට ගැනෙන විවිධ මිනුම් දඬු සහ ආයතන නිර්මාණය වී ඇත. ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන අසතුටක් තිබිය හැකිය. ශ්‍රේණිගත කිරීමේ ආයතන හා ණය දෙන ආයතනවල කොන්දේසි, පරස්පරතා ඇති කරන බව දැක්වෙයි. නොයෙක් ගිවිසුම්වල සාධාරණ අසාධාරණ පැති ගැන මතවාද ඇවිලෙයි. ජාත්‍යන්තරයෙන් රාමුවක් හදන වැඩපිළිවෙළට එකඟ නොවී පවතින්නට බැරිකමක් නැත. පුරවැසියන්ගේ අවශ්‍යතා සම්පාදනය කළ හැකි අනන්‍යතා රටාවක් හඳුන්වා දෙන්නට ප්‍රතිපත්ති සම්පාදකයන් සමත් විය යුතුය.
ලෝක ආර්ථිකයේ පසුබෑමට කොවිඩ් හේතුවන ලකුණු
චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් ආරම්භ වූ කොවිඩ්-19 වයිරසයේ වසංගත තත්ත්වය ලෝකයේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගොස් තිබේ. එහි දෙවැනි වටයක් ද පැතිරෙන අතර ඖෂධයක් සොයාගන්නා තෙක් මෙම බලපෑම තුරන් නොවනු ඇති බව වෛද්‍ය විශේෂඥ මතය වී තිබේ. සමහර රටවල් ලොක් ඩවුන් කර ඇත. ගම් හා නගර සම්පූර්ණයෙන් වසා දමා තිබේ. කර්මාන්තශාලා හා නිෂ්පාදන අංශ අඩාල වී ඇති අංශ අතර වේ. නිෂ්පාදනය, හා අලෙවිය පමණක් නොව සේවා අංශ ද බරපතළ පිරිහීමකය. ගුවන්සේවා, සංචාරක හා මූල්‍ය ක්ෂේත්රයේ පිරිහීම ඉතිහාසයේ නොතිබුණු තත්ත්වයක් බව අනාවරණය කර තිබේ. ලෝක බැංකුව ප්‍රකාශ කර ඇති පරිදි ඇතැම් රටවල ආර්ථිකය 1871 පැවැති, එනම් වසර 149ක ඉතිහාසයේ මෙන් පහළට වැටෙනු ඇත. එය වැසියන්ගේ ජීවන තත්ත්වය පවා අනතුරකට හෙළන ස්වභාවයක් වනු ඇති බව දැක්වෙයි.
සියයට දෙකක සිට සියයට හත දක්වා පරාසයකින් ලෝක ආර්ථිකය ආපසු හැරෙනු ඇත. එහි විපත වැඩ කරන ජනතාවටය. ලක්ෂ ගණනින් රැකියා අහිමි වෙයි. අමෙරිකාවේ විරැකියාව සියයට 10.4ක් වනු ඇති අතර ඉතාලියේ සියයට 12.7ක් දක්වා ඉහළ යනු ඇතැයි දැක්වෙයි. ප්‍රංශයේ සියයට 10.4 හා ජපානයේ සියයට 3ක ප්‍රතිශතයකට විරැකියාව නැග එනු ඇති බව දැක්වෙයි. රැකියා අහිමිවන, ආදායම් මාර්ග අවහිර වන පසුබිමක ආර්ථිකයක් නැගෙන්නේ කෙසේද?
වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම තුරන් වන තෙක් ලෝක ආර්ථිකයේ ජවය හා ශක්තිය සීමිත විය හැකිය. වයිරසය පාලනය කරන සනීපාරක්ෂක වියදම් හා ඖෂධ පිරිවැය අසීමාන්තිකව ඉහළ යනු ඇති බවට ආර්ථික පර්යේෂකයෝ පෙන්වා දෙති. එම අංශවලින් පමණක් ආර්ථිකයක් පවත්වා ගැනීම කළ නොහැකි බව නොරහසකි. පවතින වාතාවරණයෙන් ගිලිහී අලුත් අවකාශයක් වෙනුවෙන් ප්‍රතිසංස්කරණ හා නවෝත්පාදනය ඉතාම වැදගත් සාධකයක් බව සාකච්ඡා වන කරුණකි.
ලෝක බැංකුව ශ්‍රී ලංකාව ගැන දක්වන ඍණ අගය
ලෝකයේ සෙසු රටවල තත්ත්වය හා සමානව ශ්‍රී ලංකාවට ද අවැඩදායක වී තිබේ. ලෝක බැංකුව ගණන් බලා ඇති අන්දමට මෙම වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 6.7කින් ආපසු ගමන් කරනු ඇත. එම ඍණ අගය වළක්වාගත නොහැකි තත්ත්වයක් බව දැක්වෙයි. එහෙත් ආසියානු සංවර්ධන බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මිණුම් දඬු මෙම දත්තවලට වඩා වෙනස්ය. ආසියානු සංවර්ධන බැංකුව දක්වන අන්දමට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 5කින් ආපසු හැරෙන්නට ඉඩ තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනය සියයට 4.6කි. විරුකියාව ඉහළ යනු ඇති අතර ශ්‍රම බලකායේ අතිරේක ආදායම් මාර්ග ඇහිරෙයි. ස්ථිර නොවන වෘත්තීන් හි නිරත පිරිස තද අවදානමකය. සහන සැපයෙන වැඩපිළිවෙළ ක්ර්රියාත්මක කරන්නට සිදුවෙයි. එහෙයින් රජයේ වියදම් තවත් ඉහළ යනු ඇති බව ප්‍රකාශ වී තිබේ. ණය ගැනීම ඉහළ යන අවදානමක් ද ඇත. එහි අනිවාර්ය ප්‍රතිඵලය උද්ධමනය බව දැක්වෙයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යනු ඇති අතර එය සාමාන්‍ය ජනතාවට අපහසුතා ඇති කරන්නට ඇති ඉඩකඩ වැඩිය.
ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවලට අමතරව ශ්‍රේණිගත කිරීමේ ආයතන පවා අනතුරු අඟවා තිබේ. මූඩි දර්ශකය දක්වා ඇති දර්ශක හිතකර නැත. ශ්‍රේණිගත කිරීම පහළට දමා තිබේ. ඉදිරි දිනවල ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් දර්ශකය ද එළි දකිනු ඇත. එම ශ්‍රේණිගත කිරීම ද කලින් තිබුණු පුරුදු ව්‍යුහයට වෙනස් වනු ඇති බව නිසැකය. මෙම දර්ශකවලින් පෙන්වන තත්ත්වය ගැන සැලකිල්ල යොමු කිරීම වැදගත්ය. විකල්ප පියවර වෙනුවෙන් තීරණ ගැනීම එයටත් වඩා සැලකිල්ල යොමු කළ යුතු කරුණකි. මානව සංහතිය මුහුණ දුන් දරුණු පීඩාවක් වශයෙන් කොවිඩ් ඉතිහාසයට එක්වන ලකුණු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා දැන් කරන අනාවරණ අනුව සෑම පුද්ගලයන් දස දෙනකුගෙන්ම අයෙක් ආසාදිතයෙකි. එය සැනසිය හැකි ඉලක්කමක් නොවේ. එවැනි පසුබිමක් තුළ ආර්ථිකයක් ගැන අවධානය වෙනුවට ජනතාව ජීවත් කරන වැඩපිළිවෙළ ගැන කල්පනා කිරීම වැදගත්ය. ලෝකයේ සියලුම රටවල් හා සමානව ආණ්ඩුව ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව හා රෝගය වළක්වා ගැනීමේ පියවර වෙනුවෙන් විශාල පරිශ්රමයකය.
ඉලක්කම්වලට පමණක් ඇබ්බැහි වීම නුසුදුසුය
ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්ෂික වාර්තාව අනුව 2020 වසරේ වර්ධනය සියයට 1.5ක පවතින බව දක්වා තිබේ. කොවිඩ් වයිරසය පැතිරුණු පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය අඩාල වූ නමුත් දෙවැනි කාර්තුවේ දී යළි නගාසිටුවා ගැනීමට හැකි වූ බව දැක්වෙයි. වසරේ අවසන් කාර්තුවේ දී යථා තත්ත්වය අපේක්ෂා කරයි. එයට අවශ්‍ය කරන ප්‍රතිපත්ති නිවැරදි කර ගැනීම ගැන අවධානය යොමු කර ඇති බව ප්‍රකාශ වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන තොරතුරු අනුව රටට ආහාර හිඟයක් ඇති නොවේ. කෘෂි භෝග නිෂ්පාදනය දියුණු වී ඇත. වී අස්වැන්න වාර්තාගත එකකි. රබර් නිෂ්පාදනය ද වැඩි වී තිබේ. පොල් අස්වැන්න යම් ප්‍රමාණයකට අඩු වී ඇති නමුත් එය වාර්තාගත පසුබැසීමක් නොවනු ඇත. තේ නිපැයුම පමණක් පහත වැටී ඇත. විදේශගත ශ්‍රමික ආදායම නොවෙනස් විය හැකි බව දක්වන අතර ඇඟළුම් අපනයනය ද පුරුදු රිද්මයෙන් පවතිනු ඇතැයි උපකල්පනය කෙරේ. සංචාරක ක්ෂේත්රයේ ද නැවත පිබිදීමක් වසර අවසන් කාර්තුවේ දැකිය හැකි වන බව වාර්තා කරයි. පොලී අනුපාත අඩු කර නිෂ්පාදන හා සේවා අංශවලට නිකුත් කළ සහන හෙයින් සෑහෙන පරිවර්තනයක් සිදුවිය හැකි බවට ඉඟි කර ඇත.
කෙසේ වෙතත් තාවකාලිකව එල්ල වන ණය බර සම්බන්ධ පීඩනය හා විනිමය හිඟය පාලනය කර ගැනීමට අනුගමනය කරන වැඩපිළිවෙළ ද මිශ්‍ර ප්‍රතිඵල ඇති කරනු ඇති බව දැක්වෙයි. දැනට මාස තුනක් ආනයන වියදම ඉක්මවා අපනයන ආදායම වැඩි කර ගන්නට ශ්‍රී ලංකාව සමත් වී ඇත. තාවකාලිකව ආනයන පාලනය එයට හේතු වී තිබේ. ආනයන බදු ආදායම පිරිහී ඇති නමුත් විනිමය ආරක්ෂා කර ගැනීමට සමත් වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙන කාරණයකි.
ගැලපෙන ක්‍රමයක් සොයා ගැනීම අවශ්‍ය කරුණකි
ශ්‍රී ලංකාව සංවෘත හා විවෘත ආර්ථික ක්‍රමවල අත්දැකීම් ඇති රටකි. 1970-77 කාලය තුළ ආනයන සීමා කළේය. රට තුළ නිපදවන වැඩපිළිවෙළ දියුණු තියුණු කරන ලද බව මතක් කර දිය යුතුය. එහි ප්‍රතිඵලය වූයේ දේශීයව නිපදවන ලද රෙදිපිළි, ගොඩනැගිලි ද්‍රව්‍ය හා ආහාර වෙනුවෙන් වෙළෙඳපොළ සකස් වීමය. පාරිභෝගික අවශ්‍යතා පවතින දේ අනුව පිරිමැසිනි. හිඟය නිතර දැකිය හැකි වාතාවරණයකි. ආහාර හෝ රෙදිපිළි මිල දී ගැනීමේ දී කූපන් ක්‍රම පවා භාවිත විය. සහල් හා මිරිස් වැනි ද්‍රව්‍ය ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය වූ අතර ආහාර පිණිස හෝටලවල බත් අලෙවි කිරීමට පවා සතියේ දින ගණන නියම කිරීම විශේෂ සිද්ධියකි.
මහ මැතිවරණයෙන් පසු බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විවෘත ආර්ථිකය හඳුන්වා දුන් අතර ආනයන හා අපනයන සම්බන්ධ සීමා යම් රාමුවකට යටත්ව ඉවත් කළේය. ආගමන විගමන නීති ලිහිල් කළ අතර විදේශ රැකියා අවස්ථා එහි ප්රතිඵලයකි. එහෙත් මෑත කාලය තුළ රටට ගෙන්වන දේ ගැන බරපතළ විවේචන හට ගැනිණ. සරුංගලය හා වෙසක් කූඩුව පවා පිටරටින් ගෙන්වන ලද අතර ආනයනික වතුර, එළවළු හා පළතුරු පවා පාරිභෝගිකයන්ට අවශ්‍ය තරමට මිල දී ගැනීමට තිබුණි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ මෙරට විනිමය පිරිහීමයි. කොවිඩ් වසංගත තත්ත්වය සමඟ එම වැඩපිළිවෙළ වෙනස් කළ යුතු බවට මතවාදයක් නැගිණ. ජාත්‍යන්තර ප්‍රජාවගෙන් වාණිජ ණය ගෙන දේශීය පරිභෝජනයට නතුවීම විවේචනයට හේතු විය.
නිදහසට පසු ගත වූ කාලය තුළ බලයට පත් ආණ්ඩු ගෙන ගිය ආර්ථික හා සමාජ වැඩපිළිවෙළ හෙයින් ජනයාගේ ජීවන මට්ටම වෙනස් වී තිබේ. එය වර්ධනයක් ද පිරිහීමක් ද යන්න ජනතාවගේ තීන්දුවකි. විශාල වර්ධනයක් නමුත් ඇතැම් පියවර මගින් අවසානයේ දී ණය බර ඉතිරි වී ඇති බවට නැගෙන විවාදයක් ද තිබේ. අසාර්ථක තීන්දු හා රට තුළ ඇති අවිනිශ්චිතතාවය හෙයින් තරුණ පරපුර රට හැර යන තැනට පත්වී ඇති බව පර්යේෂකයෝ කියති. මෙම සියලු පැතිවල ඇත්ත පමණක් නොව අතිශයෝක්තිය ද තිබේ. අන්තවාදයෙන් රටට වාසියක් නැත. මැදහත් නැවුම් වැඩපිළිවෙළකින් අලුත් පියවරකට යා හැකිය. ජාත්‍යන්තර සංවිධාන හා පර්යේෂණ අංශ දක්වන ආර්ථිකයේ ශ්‍රේණිගත කිරීම් හා වර්ධන පුරෝකථන දෙස සියුම් නිරීක්ෂණයකට යා යුතුය. කරන්නට හැකි වෙනස්කම් ගැන අවධානය යොමු කර අලුත් රාමුවක් ගැන සිතන්නට අවශ්‍යය.
ගාමිණී සරත් ගොඩකන්ද