රෝගවලට මිනිස්සු සහජයෙන්ම බියක් දක්වති. විශේෂයෙන්ම මාරාන්තික වසංගත රෝග හමුවේ එම බිය දෙගුණ තෙගුණ වේ. ආරම්භයේදී කොවිඩ් සම්බන්ධයෙන්ද පැවැතියේ එවැනි බියකි. එහෙත් සාර්ථක ලෙස මෙරටින් කොවිඩ් පාලනය සිදුවන විට මිනිසුන් තුළ වූ බිය ක්‍රමයෙන් පහව ගියේය. කලින් පැවැති සෞඛ්‍ය පුරුදු ක්‍රමයෙන් අමතක විය. පසුගිය වාරයට වඩා වැඩි කොවිඩ් පොකුරක් මිනුවන්ගොඩින් හමුවීමත් සමඟ යළිත් එම බිය ඇතිවී තිබේ. තමන් හා පවුලේ අයද ආශ්‍රිතයන්ද නිරෝධානයට රැගෙන යනු ඇතැයි යන බිය බොහෝ දෙනකු තුළ තිබේ. නිරෝධායනය යනු කිසියම් දඬුවමක් බඳු ක්‍රියාවකැයි ඇතැම්හු සිතති. බ්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධ යැයි සැක කළ ඇතැම් පිරිස් නියමිත පරිදි සෞඛ්‍ය අංශවලට වාර්තා නොකොට සිටීම හේතුවෙන් ඔවුන් සොයා ගැනීමට සෞඛ්‍ය අංශවලට හා පොලිසියට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. සැඟවී සිටින පුද්ගලයන්ගේ දේපොළ පවා රාජසන්තක කරන බවට පොලිසිය ප්‍රකාශ කළේ සියල්ලන් සොයා ගැනීමේ අරමුණිනි..
රෝගය වැළඳුණ පුද්ගලයන් සම්බන්ධයෙන් වගකීම් විරහිත ඇතැම් විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් සමාජගත කරන ලද වැරදි තොරතුරු හේතුවෙන් ද රෝගීන් ප්‍රතිකාරවලට යොමු නොවී සැඟවී සිටින්නටද උත්සාහ කරන බව පෙනී යන්නකි. බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා ලෙසින් හඳුනා ගත් කාන්තාව සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍යයන්හි පළ වූ පුවත් බෙහෙවින් අසෝබන විය. තමන් පිළිබඳ වැරදි මත ප්‍රචාරය වීම මත රෝගීහු බියට හා ලජ්ජාවට පත් වෙති. රෝගයක් යනු තරාතිරමක් නොබලා ඕනෑම කෙනකුට වැළඳිය හැකිය. කොරෝනාව වෛරස් රෝගයකි. එය අහඹු ලෙස වැළඳිය හැකිය. එහෙයින් රෝගය වැළඳුණු විගස ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් පැතිරීම වැළැක්වීම මෙන්ම තම ජීවිතද ආරක්ෂා කර ගත හැකි වේ.
බ්‍රැන්ඩික්ස් පොකුරත් සමඟ ආරම්භ වූ කොරෝනා රැල්ල මේ වන විට දිවයින පැතිර යමින් පවතී. මේ වන විට දිස්ත්‍රික්ක 21කින් ආසාදිතයන් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කර තිබේ. කොරෝනා රෝගීන් දෙස සමාජය බලන්නේ අසුබවාදී දෘෂ්ඨිකෝණයකින් යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා පෙන්වා දෙයි. රෝගයකට උස්පහත් භේදයක් නොමැති බව පවසන මහාචාර්යවරයා වසංගත රෝග, සමාජ රෝග වැනි රෝග පහත් ගණයේ රෝග යැයි මතයක් සමාජය තුළ නිර්මාණය වී ඇතැයි පවසයි.
“මෙවැනි ආකල්ප හේතුවෙන් එවැනි රෝගීන් සමාජයෙන් කොන් කිරීමක් සිදු වෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, හමුදාව, පොලිසිය වැනි කණ්ඩායම් රෝගියකු සිටින නිවෙසකට ගොස් ඔහු රෝහල් කරා රැගෙන යන අයුරු ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කළේ අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට යන මෙහෙයුමක් ලෙසිනුයි. රෝගීන් පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කරන විට එය ඉතා ප්‍රවේසමෙන් කළ යුතුයි. විශේෂයෙන් වසංගත රෝග පිළිබඳව ප්‍රකාශ කිරීමේදී වැදගත් ආචාර ධර්ම පද්ධතියක් අනුගමනය කළ යුතුයි. අපේ අරමුණ විය යුත්තේ පළමුව රෝගය බෝවීම වැළැක්වීමයි. දෙවැනුව රෝගියා ආරක්ෂා කර ගැනීමයි. මේ වන විට රෝගය බෝවීම වැළැක්වීම අසීරු වී ඇත්තේ බහුතරයක් රෝගීන් රෝග තත්ත්වය සැඟවීමට කටයුතු කරන බැවිනුයි. රෝගය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින දුර්මත රෝග තත්ත්වය සැඟවීමට එක් හේතුවක්. රෝගීන් කෙරෙහි ආදරය, කරුණාව නොදැක්වීම, ඔවුන් කොන් කිරීම, විවිධ කටකතා පැතිරවීම වැනි කරුණු මත. රෝගියකු ලැජ්ජාවකට හා විශාල අසාධාරණයකට ලක් වෙනවා. මෙවැනි කරුණු ඔවුන්ගේ ප්‍රතිශක්තිය හීන කිරීමටද බලපානවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සමාජ කාන්සාව, විෂාදය වැනි තත්ත්වයනට පත් වෙනවා. කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ මනෝචිකිත්සක උපදේශන කටයුතුවල නිරතවීමෙන් ලද අත්දැකීම් මට තිබෙනවා. කොරෝනා රෝගය සතියක් දෙකක් තිබී සුවපත් වුවත් ඔවුන් සම්බන්ධයෙන් පතුරුවන ලද කටකතා නිසා වැඩි පිරිසකගේ ජීවිත මානසික වශයෙන් තවමත් සුවපත් වෙලා නැහැ. මිනිසුන්ගේ මනස සුවපත් නොකර කය සුවපත් කිරීම විශාල ගැටලුවක්. කුමන නීති රීති ගෙන ආවත් ඇතැම් පිරිස් තමන් රෝගීන් බව ප්‍රකාශ කිරීමට බිය වන්නේ මේ නිසා යැයි” මහචාර්යවරයා සඳහන් කළේය.
කොරෝනා ආසාදිත වී සුවය ලද පුද්ගලයන් සම්බන්ධ අත්දැකීම් රැසක් මහචාර්ය ඥානදාස පෙරේරා සතුය. ඔහු සඳහන් කරන පරිදි ඇතැම් රෝගීහු මානසික ආබාධ කිහිපයකට බඳුන් ව සිටියහ. ආශ්‍රිතයන්ද නිරෝධායනයට ලක් කරන හෙයින් තම හිතවතකුට වුව දුරකතන ඇමතුමක් හෝ දීමට ඇතැම්හු බිය වූහ. ඔවුන් තුළ විශාල පීඩනයක් ඇතිව තිබිණි. ඇතැම්හු විශාල කලකිරීමකට පත්ව සිටියහ. තම පවුලේ සාමාජිකයන් දැක ගැනීමට නොහැකි වීමෙන් කිසියම් හුදෙකලා තත්ත්වයකට පත්ව සිටියහ. රෝගය පිළිබඳ අනවබෝධය නිසා තමන් සුවය නොලබනු ඇතැයි ඇතැම්හු සිතූහ. මෙරට රෝගය පාලනය කළ හෙයින් මරණ සංඛ්‍යාව 13කට සීමා වුවද දියුණු රටවල පවා දහස් ගණනින් රෝගීන් මිය යන විට තමන්ගේද අවසානය පැමිණ ඇතැයි ඇතැමකුට හැඟී තිබිණි. සුවය ලද එක් රෝගියකු මහාචාර්යවරයාට ප්‍රකාශ කළේ තමන්ට සුදු කොඩි පෙනුණු බවය. ඇතැම් පිරිස් තමන් යළිත් රෝගයට ගොදුරු වනු ඇතැයි යන පශ්චාත් ව්‍යසන මානසික ආතතියට පත්ව සිටියහ. නිරෝධායනය වෙමින් සිටි ඇතැම් පිරිසකගේ මානසික තත්ත්වය පැවතියේ ඒ අයුරිනි. ඔවුන්ගේ මානසිකත්වය නඟා සිටුවීම සඳහා මානසික උපදේශනය වැදගත් විය. මහාචාර්යවරයා ඇතුළු මනෝවිද්‍යා උපදේශන කණ්ඩායමක් මේ පිරිසේ මානසික සෞඛ්‍යය නඟාසිටුවීමට නිරතුරැව දායකත්වය සපයයි. කොරෝනා රෝගීන් නොවී නිසි පරිදි ප්‍රතිකාර ගැනීමට කටයුතු කිරීමෙන් ඔවුන්ගේ ජීවිතද සුරක්ෂිත වී සමාජය තුළ පැතිර යාමද වළක්වා ගත් හැකි බව මහාචාර්යවරයාගේ අදහසයි.
ඩැනියෙල් බෝල්මන් නමැති මනෝවිද්‍යාඥයා විසින් 70 දසකයේ අපූරු සිද්ධාන්තයක් ඉදිරිපත් කළේය. එය හැඳින්වෙන්නේ “චිත්තවේගී බුද්ධිය” ලෙසිනි. පුද්ගලයකු තුළ පැවතිය යුතු ගුණාංග තුනක් එමඟින් ඉදිරිපත් කර තිබේ. එනම් පුද්ගලයකු තමා පිළිබඳව ලබාගන්නා අවබෝධය, පුද්ගලයකු විසින් අනෙකා පිළිබඳව ඇති අවබෝධය සහ පුද්ගලයකුට සමාජය පිළිබඳ ඇති අවබෝධය එම ගුණාංග තුනයි. මෙම සිද්ධාන්තය වර්තමාන සමාජයට මනාව ගැලපෙන්නකි. මෙම ගුණාංග පුහුණු වුවහොත් සමාජය දෙස වපර ඇසින් බැලීම,. අනෙකා කොන් කිරීම,. අවමන් කිරීම,. පිළිකුල් සහගත ලෙස රෝගියකු දෙස බැලීම වැනි ක්‍රියාවලින් මිදිය හැකිය. මෙවැනි රෝග තත්ත්වයක් පවතින අවස්ථාවක අපගේ ආරක්ෂාව පිළිබඳව මෙන්ම අනෙකාගේ ආරක්ෂාව පිළිබඳවද සැලකිළිමත්විය යුතුය. නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුය. එවිට කොරෝනාවෙන් ආරක්ෂා වීමට සියල්ලන්ට හැකි වනු ඇත.
ප්‍රියන්ජන් සුරේෂ් ද සල්වා