2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

බැංකු පොලිය බැස්සීමෙන් පහර කන විශ්‍රාමිකයෝ

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

මූල්‍ය වෙළෙඳපොළේ පොලී අනුපාත කෘත්‍රිමව පහළ දැමීම රටේ ආර්ථිකයට මෙන්ම පුද්ගලයන්ගේ ආර්ථිකයට ද අහිතකර අන්දමින් බලපාන බවට විවිධ ආරංචි පැතිර යමින් පවතී. ජනාධිපතිවරණයෙන් පසු රජය ජනතාවට සහන සලසන බව පරමාර්ථ කරගෙන එතෙක් කල් සියයට 13-14 මට්ටමේ තිබූ බැංකු ණය පොලිය සියයට 6 මට්ටමට පහළ බැස්සවීය. එලෙස පොලිය පහළ දැමීමේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙන්ම පසුගිය සමයේ කොරෝනා වසංගතය නිසා අසහනයට පත්වූ විවිධ ක්ෂේත්‍රවල ජනතාවට සහන සලසාදීමේ අපේක්ෂාවෙන් බව පැවසිණ. එහෙත් එලෙස ණය පොලී අනුපාතික එකට එකටත් වඩා පහළ බැස්සවීමෙන් රජය අපේක්ෂා කළ ආර්ථික වර්ධනයක් ලබාගන්නට හැකිවේද යන්න ගැටලු සහගත බව මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.

මෙහිදී ණය පොලිය පහළ දැමීමෙන් බැංකුවල ඇතිවූ මූල්‍ය හිදැස පුරවාලීම සඳහා රජය කළේ බැංකු තැන්පතු පොලී අනුපාතික ද එයට සාපේක්ෂව පහළ හෙළීමය. එහිදී පෙර සමයේ ඉතිරිකිරීමේ තැන්පතුවලට ගෙවූ සියයට 6 පමණ වන පොලිය මේ වන විට සියයට 3.75 දක්වා අඩු කර තිබේ. එසේම ස්ථාවර තැන්පතුවලට ගෙවූ වසරකට 10-11 අතර තිබූ පොලී ප්‍රතිශතය මේ වන විට සියයට 5.5 දක්වා අඩු කර තිබේ. ඒ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාමික ප්‍රජාවට රුපියල් ලක්ෂ 15ක් සඳහා වාර්ෂිකව ගෙවූ සියයට 15 පොලී අනුපාතය අඩු කිරීමට යන බවට ද ආරංචි පළ වේ. මෙහිදී ආණ්ඩුවේ විවිධ ඇමැතිවරුන් එකිනෙකට පරස්පර ප්‍රකාශ කිරීම නිසා ජනතාව වික්ෂිප්තභාවයට පත්ව සිටිති. ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර පොලිය වර්ෂය අවසානයේ ලබාගන්නවා නම් සියයට 15ක ප්‍රතිශතයක් ගෙවන අතර පොලිය මාසිකව ලබාගන්නා විට ගෙවන ප්‍රමාණය සියයට 14.06කි. මෙලෙස මසක් තුළ පොලිය ලබාගන්නා අයට අතට ලැබෙන මුදල රුපියල් 18250කි. අද රටේ ඇති ජීවන මට්ටම අනුව මෙම මුදලින් පවුලකට මසක් පිරිමසා ගත හැකිද යන ගැටලුව මේ වන විට මතුව තිබේ. එසේම ඖෂධ මිල ද ඉහළ නැග ඇත. එවැනි පරිසරයක පොලී ප්‍රතිශතය අඩු කළහොත් වැඩිහිටි ජනතාව පත්වන්නේ විශාල අපහසුතාවයකට බව ඔවුහු පවසති.
එසේම රජය ණය පොලී අඩු කිරීමෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබුණාද යන්න ද ගැටලු සහගතය. එයට හේතුව බැංකුවලින් අඩු පොලියට ණය ගෙවීමේදී ප්‍රමුඛත්වය දී ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නොව මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට වීමය. බැංකු එසේ කරනුයේ තමන්ට වෙන්කළ ප්‍රතිපාදන කිහිප දෙනකුට නිදහස් කර ඇඟ ගලවාගැනීම සඳහාය. සුළු වශයෙන් කුඩා ව්‍යාපාරිකයන්ට ණය දෙන විට ඇප තැබීම, වත්කම් ප්‍රකාශ ලබාගැනීම ආදී නෛතික ක්‍රියාවලිවලට එළැඹීම බැංකු පරිපාලනයට විශාල වගකීමක් වන අතර ණය ආපසු අයකර ගැනීමේදීද දුෂ්කරතා මතුවන බව ඇතැම් බැංකුවල පරිපාලනයේ මතයකි. ඒ නිසා ඔවුන් උනන්දුවක් දක්වන්නේ පහසුවෙන් ඇප තැබිය හැකි වත්කම් සහිත විශාල ව්‍යාපාරවලට ණය ලබා දීමටය. එහිදී ඇතැමුන්ට යම් ආකාරවලින් අමතර වාසි ළඟාකර ගැනීමට ද මාර්ග නිර්මාණය වන බව කියති. මේ නිසා රජය බලාපොරොත්තු වූ පරිදි ණය පොලිය අඩු කිරීමෙන් පුංචි ව්‍යාපාරිකයාට සහන සැලසුණාද යන්න ගැන නැවත වරක් සිතා බැලිය යුතුය.

මේක පොලී අනුපාත විකෘති කිරීමක්

හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. විජේවර්ධන

මේ වන විට බැංකු ණය පොලී සහ තැන්පතු පොලී අඩුවෙලා තියෙනවා. ප්‍රමුඛ ණය පොලී අනුපාතය සියයට 6ට සහ සාමාන්‍ය ණය පොලී අනුපාතය සියයට 9 දක්වා අඩු කරලා. ඉස්සර ණය පොලී තිබුණේ සියයට 14-15 මට්ටමේ. ණයට සමානුපාතිකව බැංකුවල තැන්පතු පොලිය සියයට 3.5 මට්ටමට අඩු කරලා. බැංකු නඩත්තු වන්නේ ණය පොලී හා තැන්පතු පොලී පරතරය මතයි. මෙම තත්ත්වය මත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා තැන්පතුවලට සියයට 15ක පොලියක් ගෙවන්න බැරි බව ඕනෑ කෙනකුට වැටහිය යුතුයි. මුලදී ආණ්ඩුව පැවසුවේ මෙම පොලී වෙනස මහා භාණ්ඩාගාරය මගින් ප්‍රතිපූර්ණය කරනවා කියලයි. එලෙස කීවාට කිසිදු ආණ්ඩු සමයකදී මේ පොරොන්දුව ඉටු කළේ නැහැ. රාජ්‍ය බැංකු මෙම වැඩි පොලිය ගෙව්වේ රජයේ ඉල්ලීම මතයි. ඒ නිසා මෙය දිගටම ගෙවන්න බැහැ. සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලී මට්ටමට බැස්සවීම හැර මෙයට අන් විකල්පයක් ඔවුන්ට නැහැ.

තැන්පතු පොලී අඩු කිරීමට ප්‍රධාන හේතුව ණය පොලිය අඩුකර ගන්නට සිදුවීමයි. ණය පොලිය අඩු කිරීම ආණ්ඩුව කළ දේශපාලන තීරණයක්. එයට හැඩගැසීම සඳහා තැන්පතු පොලිය අඩු කළ යුතුයි. මෙහිදී සිදුව ඇත්තේ පොලී අනුපාත විකෘත කිරීමක්. එසේ නොවුණා නම් අනිත් දේවල් වගේ ඉල්ලුම සැපයුම මත පොලී අනුපාත ද තීරණය විය යුතුයි. එසේ නොවූ නිසා සියල්ල උඩු යටිකුරු වෙලා තියෙන්නේ. මේ නිසා ණය ගන්න අයට ලාභයි. සියයට 7-8 පොලියට ණය ගෙන ආයෝජනවල යොදන්න පුළුවන්. ආණ්ඩුවට ද වාසියි. එයට හේතුව භාණ්ඩාගාර බිල්පත්වලද පොලිය සියයට 4ට බස්වා ඇති නිසයි. ආණ්ඩුව ණය ගන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අලෙවි කිරීමෙන්.

සේවක අර්ථසාධක අරමුදලට ගෙවූ පොලිය ද සාමාන්‍ය පොලී මට්ටමට අඩුවෙලා තියෙනවා. එයින් සේවකයන්ට සිදුව ඇත්තේ අසාධාරණයක්. බැංකුවල පොලිය අඩුවෙලා තිබෙන නිසා මේ දිනවල බැංකුවල මුදල් තැන්පත් කරන අය අඩුවෙලා. සල්ලි දාලා තිබෙන අයත් ඒවා අරගෙන වෙනත් අරමුදල්වල හෝ ව්‍යාපාරවල ආයෝජනය කරනවා. එහෙමත් නැතිනම් පාරිභෝජනය කරන්නට පටන් අරන් තියෙනවා. ඒ නිසා වාණිජ බැංකු බිඳවැටීමේ අවදානමක් අනාගතයේ සිදුවීමට ඉඩ තිබෙනවා.
ආණ්ඩුව ණය පොලිය අඩු කිරීමෙන් බලාපොරොත්තු වුණේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට නම් එය ඒ ආකාරයෙන් සිදුව නැති බව කිව යුතුයි. එයට හේතුව කුඩා අයට ණය ලබාගැනීමේදී මුහුණපාන්නට සිදුව ඇති දුෂ්කරතායි. කවුරු කොහොම කිව්වත් රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු ණය දීමේදී ඇපකරුවන්, වත්කම් ආදිය බැලීමේ පවතින ක්‍රමය වෙනස් කර නැහැ. ඒ නිසා ස්ථිර ආදායම් මාර්ගයක් හෝ ඇපයක් පෙන්වන්න බැරි කෙනකුට ණය ගන්න අපහසුයි. බැංකු කළමනාකරුවන් පවා උත්සාහ ගන්නේ තමන්ට විශ්වාසය තැබිය හැකි ඉල්ලුම්කරුවන්ට ණය දීමටයි. එයට හේතුව ණය ආපසු අයකර ගැනීම ඒ අයගේ වගකීමක් නිසා. ඒ නිසා බොහෝ වෙලාවට ණය දෙන්න යොමුවෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටයි. කුඩා අයට සුළු වශයෙන් ණය දීම අපහසු ලෙස සලකනවා. ඒ නිසා රජය ණය පොලී අඩු කිරීමෙන් බලාපොරොත්තු වූ සහනය කුඩා ව්‍යවසායකයන්ට ලැබිලා නැහැ.

මහා පරිමාණ ව්‍යාපාරික අය ණය ලබාගෙන විශාල ලෙස ලාභ ලබාගෙන මැතිවරණවලදී ආණ්ඩුවට මූල්‍යමය වශයෙන් උදව් කිරීම තමා මෙතෙක් සිදුව ඇත්තේ. අද කොරෝනා වසංගතය නිසා ගිනි කන්දක් මත සිටින ආණ්ඩුවට ජනතාවගේ මුදල්වලට වැඩි පොලියක් ගෙවීම කරන්න බැහැ. එය බලාපොරොත්තු වීම ද අසාධාරණයි.

පොලී අනුපාත පහත දැමීමෙන් පමණක් ගැටලු විසඳෙන්නෙ නැ

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

රටක ආර්ථිකය හැසිරවීම සඳහා පාවිච්චි කරන ප්‍රධානතම ප්‍රතිපත්ති අතර එකක් වන්නේ මූල්‍ය ප්‍රතිපත්තියයි. එහි වැදගත්ම කොටස වන්නේ පොලී අනුපාතිකය උස් පහත් කිරීමයි. ආර්ථිකයක් සිසිල් වන විට හෙවත් වර්ධනය පහළ මට්ටමක වැටෙන විට පොලී අනුපාතිකය අඩු කරන අතර, ආර්ථිකය උණුසුම් වන විට හෙවත් උද්ධමනාත්මක ප්‍රවණතාවක් ඇතිවන විට පොලී අනුපාතිකය ඉහළ දැමීම බහුලව කෙරේ. මෙය ලොව පුරා භාවිත කරන මෙවලමකි.

දැනට ලෝක ආර්ථිකය ද, එසේම එහි ඇති ලොකු කුඩා එක් එක් රටවලට අයත් ආර්ථිකයන් ද වුවමනාවට වඩා සිසිල්ව පවතී. එය ආදායම් පහළ යාමට ද, විරැකියාව ඉහළ යාමට ද, දරිද්‍රතාව වැඩි වීමට ද, ආනයන අපනයන දුර්වල වීමට ද, ආයෝජන පහළ යාමට ද රටේ ආදායම අඩුවීමට ද ආදී වශයෙන් අහිතකර ප්‍රතිඵල රුසක් ඇති කරයි. මෙයින් ගැලවීම සඳහා සෑම රටක්ම පාහේ පහළ පොලී අනුපාතිකය පවත්වාගෙන යාමට නැඹුරු වේ.

ශ්‍රී ලංකාව ද කොවිඩ්-19 අර්බුදය හමුවේ පෙර කී ආර්ථික අපහසුතාවලට මුහුණ දෙමින් සිටී. ඒ නිසා පොලී අනුපාත පහළ දැමීම සඳහා අවධානය යොමුව තිබේ. එහෙත් පසුගිය වකවානුවල ඉහළ පොලී අනුපාතවලට මෙරට ආයෝජකයන් ප්‍රමාණවත් සංවේදීතාවක් දක්වා නොමැති බව කිව යුතුයි. මෙහිදී පොලී අනුපාත අඩු වූ කාලවල රටේ ආයෝජන වර්ධනය වූ බවට සාක්ෂි නොමැත. ඒ නිසා පහළ පොලී අනුපාත සමඟ ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා කළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් මෙන්ම විනිවිදභාවයෙන් යුතුව ඒවා ක්‍රියාත්මක කිරීම කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දිය යුතු වේ.

මේ නිසා පොලී අනුපාත සමඟ ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා කළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් මෙන්ම විනිවිදභාවයෙන් යුතුව ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම වැදගත් වෙයි. එසේ නැතිව පොලී අනුපාත පහළ දැමීම හෝ මුදල් සැපයුම වැඩි කිරීම මගින් සාර්ථක කළ නොහැකියි.

මෙරට විශ්‍රාමිකයන් ඇතුළු තවත් අය තමන්ගේ මුදල් බැංකුවල සහ වෙනත් මූල්‍ය ආයතනවල තැන්පත් කර ලැබෙන පොලී ආදායමෙන් ජීවත්වීම සම්ප්‍රදායක් විය. විශාල ලෙස පොලී අනුපාත පහළ හෙලීම මේ අයගේ සාමාන්‍ය ජීවන මට්ටමට ඉතා අහිතකාරී ලෙස බලපෑම් ඇති කරයි. එසේම උද්ධමනය අනුපාතිකය සියයට 6කට ආසන්න මට්ටමක පවතින නිසා ලැබෙන මුදලේ මූර්ත අගය සෝදාපාළුවට ලක් වේ.

මේ හැරුණුකොට මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් ලක්ෂ 15 දක්වා සුවිශේෂ පොලී අනුපාතික ගෙවීම සිදුවෙයි. එහි බර වර්තමානයේ දරන්නට සිදුව ඇත්තේ එම තැන්පතුවල හිමිකාරත්වය දරණ බැංකු සහ මූල්‍ය ආයතනවලටය. එසේ වුවද එලෙස ලැබෙන ආදායම පවා එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෞරවාන්විත ජීවිතයක් ගෙන යාමට ප්‍රමාණවත් නැත. මේ නිසා සිදු කළ යුත්තේ ආයෝජකයන්ගේ විශ්වාසය පළුඳු නොවන පරිදි ඉතිරි කරන්නන් අධෛර්යමත් නොවන අයුරු උද්ධමනය අනුපාතිකය ද සැලකිල්ලට ගෙන රටට ගැලපෙන පොලී අනුපාතිකයක් පවත්වාගෙන යාමය.

පොලී අනුපාතිකය මගින් පමණක්ම ආයෝජන කටයුතු, ඉදිකිරීම් ආදිය ප්‍රවර්ධනය කළ හැකිය යන මිත්‍යාව පසුපස ගමන් කිරීම අපේ ආර්ථිකයේ ඉදිරි තිරසර බව සඳහා හානිකර ලෙස බලපානවා ඇත. අපේ ආර්ථිකයේ සමහර අවස්ථා සඳහා මිල සූත්‍ර සකස් කරගෙන තිබේ. පොලී අනුපාත සඳහා ද එවැනි මිල සූත්‍රයක් පාවිච්චි කිරීම කෙරෙහි වගකිවයුත්තන්ගේ අවධානය යොමු කිරීම වැදගත් බව පෙන්වා දෙමු.

තිබෙන 15%ත් අඩු කළොත් ලොකු ගැටලුවක්

සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ සභාපති සිරි සිංගප්පුලි පවසන්නේ රජය තැන්පතු පොලී අනුපාත අඩු කිරීම ප්‍රයෝජනයට ගෙන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂ 15ක තැන්පතුවලට දැනට ගෙවන සියයට 15 පොලිය අඩු කළහොත් විශාල පිරිසක් දැඩි අසීරුතාවකට පත්වන බවය.

මෙලෙස ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාමිකයන්ට සුවිශේෂ පොලියක් නියම කළේ රට පුරා විශ්‍රාමික සංවිධාන දීර්ඝ කාලයක සිට ආණ්ඩුවලට කළ දැඩි බලපෑම් නිසයි. එහෙත් කිසිවක් නොදන්වා එම පොලී ප්‍රතිශතය අඩු කරන්නට යනවා නම් එයට අපි දැඩි සේ එරෙහි වෙනවා. විශ්‍රාමිකයන් කියන්නේ තම ජීවිතයේ හොඳම කාලය රාජ්‍ය සේවයට කැප කරලා දියකර හැරිය පිරිසක්. ඔවුන් තම රුකියාව අහිමි වූ පසු රජයෙන් බලාපොරොත්තු වූ එක් සහනයක් තමා මෙලෙස වැඩි පොලී අනුපාතයක් තැන්පතුවලට ගෙවීම.

ඔවුන්ගේ ඖෂධ මෙන්ම ආහාරපාන ආදි විවිධ අවශ්‍යතාවලට මේ මුදල අවශ්‍ය වෙනවා. දැනට මුහුණපාන්නට වන ජීවන වියදම හමුවේ මේ පොලිය වුණත් ප්‍රමාණවත් නැහැ. එය ද වැඩි කළ යුතු පසුබිමක, ගෙවන පොලිය ද අඩු කරනවා නම් විශාල අසාධාරණයක්. රජයේ සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ පවුල්වල ඡන්දයෙන් බලයට පත්වූ ආණ්ඩුව ඉන් පසු අකාරුණික ලෙස ඔවුන්ට රිදවනවා නම් එය සමාව දිය නොහැකි අපරාධයක්. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මෙම පාපකර්මයට දායක නොවන ලෙසටයි. රජයේ ආදායම අඩු වී වියදම වැඩි වී ඇත්තේ අයහපත් ආර්ථික කළමනාකරණය නිසයි. එය නිවැරදි නොකර කැකිල්ලේ තීන්දු ගන්නට සූදානම් නොවන ලෙස අප බල කර ප්‍රකාශ කරනවා.

  යසවර්ධන රුද්රිගූ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02