2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

වයස 15 සිසුවා එක්ක පැනගිය ටියුෂන් ටීචර්

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 143

සැබෑ ප්‍රභූවරුන් අතර කැපීපෙනෙන ගුරුවරු අනාගත පරපුර යහමගට ගැනීමට වෙහෙසෙති. වෘත්තීය වශයෙන් මෙන්ම පෞද්ගලික වශයෙන් ද පැසසුම් ලබන ගුරු වෘත්තියේ යෙදෙන පිරිස අතරේ අල්පයක් දෙනාගේ වැරුදි හේතුවෙන් නැගෙන අපවාද රැසකි. මව්පියන්ගේත් සිසු සිසුවියන්ගේත් විශ්වාසය බිඳිමින් ඇතැම් දරු දැරියන් හිංසාවට හා අපචාරයට ලක් කරන ගුරුවර ගුරුවරියන් පිළිබඳ අසන්නට ලැබේ. බහුල වශයෙන් පිරිමි දරුවන් ලිංගික අපචාරවලට පත්වන ප්‍රවණතාවක් ඇතැයි කියන යුගයක මේ සිදුවීම තවත් ගුරු-ගෝල සබඳතාවයට අවලාදයකි.

(මධුමි) විවාහක කාන්තාවකි. අවුරුදු දෙකකට වඩා අඩු වයසේ පසුවන පුංචි දරුවකුගේ මවක වන ඇය රූමත්ය. තවමත් 27 හැවිරිදි වියේ පසුවන මැය විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත්ව සිටියද රැකියා විරහිතව සිටියාය. සැමියාගේත් දරුවාගේත් වැඩ කටයුතු සිදු කරමින් ගෘහණියක වශයෙන් කල් ගෙවූ ඇය තමා සතු දැනුම බෙදා දෙමින් අමතර පන්ති පැවැත්වීමට කටයුතු කළාය. අසල්වැසි නිවෙස්වල දුවා දරුවන් වෙනුවෙන් ගණිතය සහ විද්‍යාව විෂයන් ඉගැන්වූ ඇය අපොස සාමාන්‍ය පෙළ දක්වා දරුවන්ට ඉගැන්වුවාය. ආරම්භයේදී නිවෙසේ සාලයේ සිදුකළ ඉගැන්වීම් කටයුතු නිවැසියන්ටත් දරුවන්ගේ පහසුවත් වෙනුවෙන් ගෙමිදුලේ ඉදිකළ ලෑලි මඩුවක දී සිදු කිරීම ආරම්භ කෙරිණි.

මධුමි මිස්ගේ පන්තියට සහභාගී වන දරුවන් ගණිතය සහ විද්‍යාව විෂයන්වලට ලබාගන්නා ප්‍රගතිය පිළිබඳව දරුවන්ගේ මව්පියන් මෙන්ම පාසල්වල ගුරුවරුන් ද කතිකා කොට තිබිණ. වාර විභාගවලදී ගණිතය හා විද්‍යාව විෂයන්ට ලකුණු 15 – 20 ලැබූ දරුවන් මැයගේ අමතර පන්තියට සහභාගි වීමෙන් අනතුරුව ලකුණු 90 – 95 දක්වා ලබාගෙන ඇති බවට දරුවන්ගේ මව්පියවරු සාක්ෂි දරති. මේ ප්‍රගතිය නිසාම ප්‍රදේශයේ දරු දැරියන් ඇයගේ අමතර පන්තිය වෙත සහභාගී කරවන්නට බොහෝ මව්පියන් ක්‍රියා කළ බවද කියැවිණි.

මාතර වැලිගම වරගපිටිය ඌරුපිටිය ප්‍රදේශයේ පැවැති අමතර පන්තියට මේ හේතුවෙන් අසල්වැසි නිවෙස්වල දරුවන් වැඩි වශයෙන් සහභාගි වී තිබුණේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් වැඩි ඈතකට යාමේ අවදානමක් ද පවතින නිසාය. ප්‍රදේශයේ පාසලක 10 වැනි වසරේ ඉගෙනුම ලබන මේ කියන දරුවාගේ වයස අවුරැදු 15 කි. මෙම දරුවා සමඟ ඔහුගේ නැගණිය ද මධුමි මිස්ගේ අමතර පන්තියට ඇතුළත් කිරීමට ඔවුන්ගේ මව්පියන් කටයුතු කොට තිබිණ. වැඩි ඈතක නොවූ පන්තියත් දරුවන්ගේ නිවෙසත් අතර දුර මීටර් 400ක පමණය.

මෙම දරුවාත් නැගණියත් අමතර පන්තිය වෙත පසුගිය 6 වැනිදා ද ගොස් තිබිණි. ඒ එදින පස්වරු 2.15ට පමණය. දරුවන් පන්තියට සහභාගී වීමෙන් පසුව ගුරුවරිය දරුවන්ට ප්‍රශ්න පත්‍රයක් ලබා දී තිබිණ. පිළිතුරු සැපයීම ආරම්භ කරනවාත් සමඟ නැගණියගේ කණට කොඳුරා “මට පොතක් අමතක වුණා. ඉක්මනට ගෙදර ගිහින් අරගෙන එන්නම්.” කියා සිසුවා නැගිට ගොස් තිබිණ. එතැන් සිට හෝරාවක් පමණ කල්ගත වුවද ඔහු යළි පන්තියට සහභාගී වී නැත. පිළිතුරු පත්‍රය ලබා දීමට දරුවන් මධුමි මිස්ට කතා කළ ද ඇයත් ආ ගිය අතක් තිබුණේ නැත. එම නිවෙසේ සිටි ගුරුවරියගේ සැමියාගේ මව හා පියාගෙන් මධුමි මිස් පිළිබඳ විමසුවද ඇය ගිය අතක් ඔවුන් දැක තිබුණේ නැත. “අයියත් නෑ.. ගෙදර ගිහින් ආවෙත් නෑ... මෙහෙ මධුමි මිසුත් නෑ..” සිතමින් 8 හැවිරිදි දියණිය තනිවම සිය නිවෙස වෙත ගියාය.

“අම්මේ අයියා ගෙදර ආවද? පොතක් අමතක වුණා කියලා ආවේ.. මධුමි මිසුත් ප්‍රශ්න පත්‍රයක් දීලා ගෙට ගියා. ආය ආවේ නෑ. බලාගෙන ඉඳලා ඉඳලා අපිත් ආවා..” යැයි දැරිය මව හමුවේ පැවසුවාය.

එසැණින් ක්‍රියාත්මක වූ දරුවන්ගේ මව අමතර පන්තිය පැවැති නිවෙස වෙත දිව ගියාය. එහෙත් සිය පුත්‍රයා පෙනෙන්නට සිටියේ නැත. අමතර පන්තිය පැවැත්වූ ගුරුවරිය (මධුමි)  සොයා ගැනීමට හෝ නොසිටියාය. සිය දරුවාගේ ආ ගිය අතක් නැති කතාව වහාම දරුවන්ගේ පියාට දුරකථනයෙන් දැන්වූ ඇය සැමියා සමඟ වැලිගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්. අබේසේකර මහතා හමුවේ පැමිණිලි කළේය.

“අපිට දරුවො දෙන්නෙක් ඉන්නවා. පුතාට 15 යි. දුවට 8 යි. කොරෝනා නිසා ඈතක පන්තියකට යවන්නත් බෑ. ගේ ළඟ හොඳ පන්තියකට දැම්මා. හොඳට ඉගෙන ගත්තා. අද දවල් 2.15ට පුතයි දුවයි පන්ති ගියා. පස්සෙ දුව විතරක් ගෙදර ආවා. පුතා කොහෙද දන්නේ නෑ. මිසුත් ගෙදර නැ. ඒ ගෙදර අම්මා තාත්තත් හෙව්වා කවුරුත් හොයාගන්න නෑ.”

දරුවාගේ පාර්ශ්වයෙන් එසේ පැමිණිලි කරන අතරතුර මධුමි මිස්ගේ සැමියා බව කියන සිවිල් ආරක්ෂක බලකායේ සේවය කරන අයකු අමතර පන්ති පවත්වමින් සිටි බිරිය නිවෙසින් අතුරුදන්ව ඇතැයි ද නිවෙසේ තිබූ ඇගේ ස්වර්ණාභරණ හා ඇඳුම් ආයිත්තම් කිහිපයක් අතුරුදන්ව ඇතැයි ද කියමින් තවත් පැමිණිල්ලක් යොමු කොට තිබිණ.

මේ අතර “මගේ පුතා ගැන ආරංචියක් නෑ.. පුතාව රවටාගෙන පැහැරගෙන ගියා කියලයි අපි හිතන්නේ” යැයි සැකයෙන් දරැවන්ගේ මව වැඩිදුරටත් පොලීසිය හමුවේ පැවසුවාය.

පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණයේදී ගුරුවරිය සාර්ථකව පන්ති පවත්වා තිබෙන බවත් ඒ ආශ්‍රයෙන් දරුවන් ඉහළ ලකුණු ලබා ඇති බවත් හෙළි වී තිබිණ. මේ අතර අමතර පන්ති පරිශ්‍රයේ ඉරා දමා තිබූ ලියැවිල්ලක් පරීක්ෂාවේදී එය පෙම් හසුනක් බවත් ගුරුවරිය හා දරුවා අතර ආදර සබඳතාවයක් තිබී ඇති බවත් නිරීක්ෂණය වී තිබිණ. පසුව සොයාගෙන තිබුණේ එදින අමතර පන්තිය පැවැත්වෙන මොහොතේ ගමින් පිට පළාතක ත්‍රිරෝද රථයක් ඒ ආසන්නයට පැමිණ ඇති බවත් ගුරුවරිය හා දරුවා එහි නැග පිටත්ව ගොස් ඇති බවත්ය.

පොලිස් පරීක්ෂණවලදී වෙනත් හෝඩුවාවක් නොවූයෙන් තාක්ෂණික අංශ ඔස්සේ සිදුකළ විමර්ශනයේදී ගුරුවරියගේ ජංගම දුරකථනය නුවරඑළිය ප්‍රදේශයේ දී ක්‍රියාත්මකව තිබෙන බව සොයාගෙන ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනා එම ප්‍රදේශයේ රැඳී සිටින බව අනාවරණය කොටගෙන දින හයකට පසුව අත්අඩංගුවට ගැනීමට එහි යාමට සූදානමින් තිබිණ. මේ අතර පොලිස් නිලධාරීන්ගේ ඇමැතුමකට අනුව “අනේ සර් එන්න එපා.. අපි දෙන්නා බස් එකේ එන්නම්..” යැයි කියමින් දින තුනක් දෙදෙනා නුවරඑළියේ ගත කරමින් සිට පැමිණ වැලිගම පොලීසිය වෙත පැමිණ තිබිණ.

ඔවුන් දින 6ක් පුරාවට මහනුවර, දඹුල්ල හා නුවරඑළිය ප්‍රදේශවල කුලී කාමරවල රැඳී සිටි බව කියා ඇත. අත්අඩංගුවට පත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කළ පසුව ඇප මත මුදාහැර ඇති අතර දරුවා වෛද්‍ය පරීක්ෂාවකට යොමු කළ බව පොලීසිය සඳහන් කළේය. මේ අතර තරුණ ගුරුවරිය මානසික අවපීඩනයෙන් පෙළී ඇතැයි තොරතුරු හෙළිවීම නිසා ඇයගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට නියමිතය.

කෙසේ වෙතත් මතු පරපුරක් යහමගට ගන්නට වෙහෙසෙන ගුරුවරුන් අතර බාල අපචාර සිදු කරන ගුරු වෘත්තියේ නියැලෙන මෙකී පිරිස් ගුරු - ගෝල - දෙමාපිය සබඳතාවයටත් උතුම් ගුරු වෘත්තියටත් බරපතළ තර්ජනයක්ව පවතී.
වැලිගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්. අබේසේකර, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් දිසානායක සහ කාන්තා පොලිස් සැරයන් (1557) කුමාරි යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර