2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

කොරෝනාවට ආයුර්වේදයෙන් සුව ධරණි

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 410

කොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තීකරණ ආයුර්වේද ඖෂධ පානයක් පසුගියදා ආයුර්වේද ඖෂධ දෙපාර්තමේන්තුව විසින් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. මෙම ප්‍රතිශක්තීකරණ පානය හඳුන්වන ලද්දේ සුව ධරණී නමිනි.
මෙම සුව ධරණී ප්‍රතිශක්තීකරණ ඖෂධය අපි නිෂ්පාදනය ‍කළේ දේශීය වෛද්‍ය විද්‍යාවේ මූලාශ්‍ර ආශ්‍රයෙන්. කොවිඩ් වසංගතයෙන් මෙරටින් රෝගියකු වාර්තා වීමත් සමඟම දේශීය වෛද්‍ය අංශයෙන් මෙම කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ජාතික කමිටුවක් පත් කළා. එම කමිටුවෙන් ඖෂධ කිහිපයක් නිර්දේශ කළා. එයින් ජනතාවගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම සඳහා සුදුසු පානයක් ලෙසින් මෙම සුව ධරණී ඖෂධ පානය නිර්දේශ වුණා. යැයි ආයුර්වේද ඖෂධ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චතුර කුමාරතුංග මහතා දේශයට පැවසීය.

දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව කොවිඩ්-19 උවදුර උදෙසාම දේශීය පුස්කොළ පොත් සහ පුරාණ වට්ටෝරු පරිශීලනය කරමින් සැකසූ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවන පානයක් ලෙසින් මෙම සුව ධරණී ප්‍රතිශක්තීකරණ පානය හැඳින්විය හැක.

මෙය කොරෝනා මුල් කාලයේදීම ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රධානත්වයෙන් බෙදාහැරීමක් සිදු කෙරුණි. නමුත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශයට එම කටයුත්ත තනිවම කළ නොහැක. එය විශාල ව්‍යාපෘතියකි. ඒ සඳහා මෙවර පෞද්ගලික ආයුර්වේද ආයතන නිෂ්පාදකයන් ද සම්බන්ධ විය. වර්තමානය වන විට ඒ සඳහා පෞද්ගලික නිෂ්පාදන ආයතන අටක් සම්බන්ධ වී සිටී. ඒ අනුව සිද්ධාලේප ආයතනය, සෙත්සුව ප්‍රාණජීව ආයතනය, බීම් හෙළ ඔසු ආයතනය, පස්යාලේ ඖෂධ ආයතනය, ආයුර්වේද ඖෂධ සංස්ථාව, ගම්පහ වික්‍රමාරච්චි රසායන ඖෂධ සමාගම, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද නිෂ්පාදන ආයතනය සහ පාතගල ආයුර්වේද නිෂ්පාදන ආයතනය මේ සඳහා සම්බන්ධ විය. මේ අනුව සුව ධරණී නමින් එකම වට්ටෝරුවක් අනුව මොවුහු මෙම නිෂ්පාදනය සිදු කරති.

&මීට අමතරව මේ සඳහා අනෙකුත් ආයුර්වේද නිෂ්පාදකවරුන්ගෙන් ද කැමැත්ත සහ ඔවුන්ට ද මෙම සුව ධරණී ඖෂධය නිෂ්පාදනය කිරීමට අවසරය ලබා දෙන ලෙස ද ඉල්ලීම් කරලා තියෙනවා. එමගින් ඉදිරියේ දී දිවයින පුරා මෙම සුව ධරණී ඖෂධය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවස්ථාව ලැබෙනවා.* යැයි ආයුර්වේද ඖෂධ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කුමාරතුංග මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

%සුව ධරණී^ ප්‍රතිශක්තීකරණ පානයේ කොත්තමල්ලි, වියළි ඉඟුරු, වෙනිවැල්ගැට සහ හීන් අරත්ත යන ඖෂධ අඩංගු වේ. මේ සියල්ලම ආයුර්වේදයට අනුව පුද්ගලයකුගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වන ඖෂධ වේ.
මෙම ඖෂධ නිෂ්පාදනය කොවිඩ්-19 වෛරසය මෙරට ව්‍යාප්ත වීමත් සමඟම සියලුම හමුදා කඳවුරුවලට, නිරෝධායනය වෙමින් සිටි සියලු පුද්ගලයන්ට මෙන්ම රෝහල්වල කාර්යමණ්ඩලයට ද ලබා දී තිබුණි.
වර්තමානය වන විට ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනයක් ලෙස මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත.

මෙම පානය එකම ඖෂධ වට්ටෝරුවකින් නිෂ්පාදනය වන අතර ආයුර්වේද නිෂ්පාදන ආයතන නාමයක් වෙනස් වුවද සුව ධරණී ප්‍රතිශක්තීකරණ පානය ලෙසින් මෙය මිලදී ගැනීමේ හැකියාව පවතී.
%සුව ධරණී^ ප්‍රතිශක්තීකරණ පානයට අමතරව කොවිඩ්-19 වෛරසය හේතුවෙන් තවත් ආයුර්වේද නිෂ්පාදන දෙකක් ආයුර්වේද ඖෂධ සංස්ථාව හඳුන්වා දුනි. මෙම සියලු ඖෂධ පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් වෙත ද යොමු කර ඇත. එමගින් ඔවුන්ගේ පළාතේ සිටින ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් මාර්ගයෙන් ජනතාවට වඩාත් පහසුවෙන් හඳුන්වා දිය හැකිය.


සුව ධරණී ප්‍රතිශක්තීකරණ පානයට අමතරව මුඛ ශෝධන ඖෂධයක් ද හඳුන්වා දී තිබේ. කොරෝනා වෛරසය ශරීරගත වන්නේ උගුරෙන් හෝ නාසයෙනි. මේ නිසා මුඛ ශෝධනය කිරීම ඉතා වැදගත් වේ. මීට අමතරව නිවෙසේ දුම් ඇල්ලීම සඳහා කොවිඩ්-19 නමින් දුමායනා ඖෂධයක් ද ආයුර්වේදයෙන් හඳුන්වා දී ඇත. ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අනුමත වුණු සිංහල ආයුර්වේද බෙහෙත් වෙළෙඳසල්වලින් මෙය ලබාගත හැකි බව ආයුර්වේද ඖෂධ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චතුර කුමාරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

කොවිඩ්-19 වෛරසය පාලනය කර ගැනීම සඳහා නිෂ්පාදනය කළ මෙම ඖෂධ වෙළෙඳපොළට හඳුන්වා දීමට පෞද්ගලික ආයුර්වේද නිෂ්පාදන ආයතන සම්බන්ධ කර ගැනීමේ සංකල්පය දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයක්. එයින් මෙම ඖෂධ ජනතාව වෙත ඉක්මනින් ලබා දීමට අපිට හැකිවෙනවා. යනුවෙන් ඔහු අවසන් වශයෙන් පැවසීය.

ස්වභාවික ඖෂධයන්ගෙන් මෙම ඖෂධීය පානය සකස් කරලා තියෙනවා. ඒ එයින් කිසිදු අතුරු ආබාධයක් කිසිවකුටත් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා කිසිදු බියකින් තොරව මෙය පානය කරන්නට පුළුවන්. දැනට කොරෝනා වෛරසය ව්‍යාප්තව පවතින අවදානම් කලාපවල පුද්ගලයන්ට මෙම පානය ලබා දීමට කටයුතු කරනවා. කොරෝනා වෛරසය ඇරඹුණු මුල් කාලයේදීත් ත්‍රිවිධ හමුදා කඳවුරුවලට, නිරෝධායනය වුණු පුද්ගලයන්ට මෙම පානය ලබා දී තිබුණා. එයින් ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා. යැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02