2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

විල්පත්තුව පත්තුවූ ගැසට් එක

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 332

ශ්‍රි ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය විල්පත්තුවයි. එහි විශාලත්වය හෙක්ටයාර 131,667 කි. පුත්තලම, අනුරාධපුර, මන්නාරම යන දිස්ත්‍රික්ක වලින් මෙය අාවරණය වී ඇත. විල්පත්තුව ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරයින්ගේ ආකර්ෂණයට ලක්වූ ස්වාභාවික සුන්දරත්වයෙන් පිරි තෝතැන්නකි. ඉතාමත් දුර්ලභ ගණයේ ගස්වැල් සතා සිවුපාවන් ජීවත් වීම තුළින් විල්පත්තුව ජාතික උද්‍යානයේ ජීවය තව තවත් ඔප්නංවති.

මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 13ක්‌ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතී. එම භූමි ප්‍රමාණය හෙක්‌ටයාර් 862,219 කි. ජාතික උද්‍යාන 21ක්‌ අභය භූමි 63ක් ස්‌වාභාවික රක්‌ෂිත 05කි. දැඩි ස්‌වාභාවික රක්‌ෂිත 03ක් ඊට අයත් වේ. වන සතුන් සහ ශාක ප්‍රජාව ආරක්‌ෂා කිරීම සඳහා 1937 දී ප්‍රකාශයට පත්කරන ලද වන සත්ත්ව සහ වෘක්‌ෂලතා ආරක්‌ෂක පනත ක්‍රියාත්මක වනුයේ වනජීවී දෙපාර්තමේන්තුව හරහාය. රටක පවතින වනාන්තර සහා සත්ත්ව ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වන සත්ත්ව සහ වෘක්‌ෂලතා ආඥා පනත ක්‍රියාත්මක කිරීම තුළින් හැකියාව පවතී.

විල්පත්තු අභය භූමියෙන් උතුරුු පළාතට පිහිටි වනාන්තර ප්‍රදේශය රක්ෂිත කලාපයක් ලෙස නම්කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන මෙන් ඉල්ලා මන්නාරමේ විල්පත්තු අවට ගම් වැසියන් පිරිසක් සත්‍යග්‍රයකද නිරතවූහ. ජනාධිපතිවරයා මෙම විශේෂ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත්තේ මාර්තු 24 වැනි දින රුසියාවේ මොස්කව් නුවරදීය. මන්නාරම මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන පහක් වූ මරිච්චිකට්ටි, මාවිල්ලු, කරඩික්කුලි, වෙප්පල්, පෙරියමුරිප්පු හා විලාත්තිකුලම් යන ගම්මාන මෙසේ මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය ලෙසින් අලුතින් නම් කොට ඇත.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන රක්ෂිත පද්ධතිය විනාශ කරමින් සිදුකරන නිති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම සහ ජනාවාස ඉදිකිරීම පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය වාර්තා කළේය. දිගින් දිගටම මේ පිළිබඳව කතා කළ පරිසර සංවිධාන පරිසරවේදින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට එම වනාන්තර පද්ධතිය එක් කරන ලෙස ඉල්ලිම් කරන්නට විය. එම ඉල්ලිම සලකා බැලූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම වනාන්තර එක් කරන බවට ප්‍රකාශ කළ බව පරිසරවේදිහු කියති.

නමුත් ක්‍රියාත්මක යාන්ත්‍රණයේදී සිදුවී ඇත්තේ රක්ෂිත තත්ත්වයේ පැවති විශාල වනාන්තර ප්‍රමාණයක් ඉවත් කිරීම බවද කියයි. පරිසරවේදින් පෙන්වා දෙන්නේ දිගින් දිගටම සිදුවන විල්පත්තුව විනාශයට විරැද්ධව නැගි සිටින බවයි. ඔවුන් පවසන ආකාරයට පෙනී යන්නේ වත්මන් රජයට රටේ අනාගත පරපුරේ සුරක්ෂිත පැවැත්ම උදෙසා වනාන්තර ආරක්ෂා කර ගැනීමේ සැබෑ උනන්දුවක් නොමැති බවයි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි ඉමාවිල්ලු, වේප්පාල්, මරච්චිකඩ්ඩි, කරඩික්කුලි, විලත්තිකුලම් හා පෙරියමඩුව වශයෙන් පිහිටි වනරක්ෂිත හය ඒකාබද්ධ කර වන සංරක්ෂණ ආඥා පනතේ (3 ආ) වගන්තියට අනුව 2017 මාර්තු 24 වැනි දින 2011/34 දරන ගැසට් නිවේදනය යටතේ හෙක්ටයාර 40030,525ක් විශාල මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය ප්‍රකාශයට පත් කෙරිණි.

එසේ ප්‍රකාශයට පත් කිරීමේදී පළමු රක්ෂිත වනාන්තරවලට අයත්ව පැවති අනවසරයෙන් එළි කළ නමුත් නැවත වර්ධනය වන වනාන්තර අක්කර 3080ක් හා සමස්ත වෙරළබඩ කලාපයම සංරක්ෂණ වනාන්තරයෙන් ඉවත් කර ඇති බවද පරිසරවේදීහු පෙන්වා දෙති.

මේ දිනවල මාධ්‍ය තුළ විල්පත්තුව පිළිබඳ නැවතත් අවධානය යොමුවී තිබේ. ඊට හේතුවී ඇත්තේ විල්පත්තුව උතුරින් පිහිටි වනාන්තරයේ භූමි ප්‍රමාණයක් 2017 මාර්තු 24 වන දින  2011/34 දරන ගැසට් නිවේදනයට ඇතුළත් නොවීමයි. පසුගිය කාලයේදී වැඩි කතා බහට ලක්වූයේ රිෂාඩ් බදුයිදීන් අමාත්‍යවරයාගේ ඝෟජු මැදිහත්වීම තුළ විල්පත්තුව උතුරු වනාන්තරය මහා වන විනාශයක් කරමින් ජනාවාස ඉදිකිරිමට කටයුතු කරන බවයි.

පරිසර සංවිධාන පෙන්වා දී ඇති ආකාරයට අක්කර 3400 වඩා වැඩි භූමි ප්‍රමාණයක් එළිපෙහෙලි කර ඇත. නිති විරෝධී ලෙස වනාන්තර එළිපෙහෙලිකර ස්ථීර ජනාවාස පිහිටුවීම සිදුකළ ප්‍රදේශ හැර වෙරළබඩ කලාපයට අයත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනාන්තර 4000 වැඩි ප්‍රමාණයක් මාවිල්ලු සංරක්ෂණ වනාන්තරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.

මේ හේතුවෙන් කල්ආරු ඔය ආශ්‍රිත විල්ලු පරිසර පද්ධතී ඇතුළුව වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර පද්ධතියක් සංරක්ෂණ වනාන්තරයෙන් ඉවත් කර ඇත. වෙරළබඩ ශාක තීරය හා කටුපඳුරැ සහිත ලඳු කැලෑ වලින් සමන්විත ස්විශේෂී වෙරළ තීරය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස ඉඩම් වනාන්තර කලාපයෙන් ඉවත් කිරීම තුළින් පැහැදිලි වන්නේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා වනාන්තර විනාශ කරිමට අනුබල දීමක් බවයි.

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව වනාන්තර ආරක්ෂා කරනවා වෙනුවට විනාශ කිරීමට අවස්ථාව ලබාදීම කනගාටුවට කරුණකි. අලුතින් ස්ථීර ජනාවාස පිහිටුවා ඇති ප්‍රදේශ හැර වෙරළබඩ කලාපය ඇතුළු සියලුම වනාන්තර වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 2 වන වගන්තියට අනුව විල්පත්තුව ජාතික උද්‍යානයට එක් කර ගත යුතුය. එසේ නොවන්නේ නම් වනෝද්‍යානයට උතුරින් පිහිටි මෝදරගංආරු, කල්ආරු හා අරුචිආරු හෙවත් මල්වතු ඔය යන ගංගාවල සමස්ත ජල පෝෂක වනාන්තර විල්ලු හා වෙරළබඩ කලාපය සුරක්ෂිත කළ නොහැකිය. එමෙන්ම පරිසර පද්ධතින් සියල්ලම ජනාවාසකරණයට හා සංවර්ධනයට ලක්වීමෙන් ජල අර්බුදවලට හා අලි මිනිස් ගැටුමට ගොදුරු වනු ඇත. මෙවන් තත්ත්වයක් නොවන්නට නම් මාවිල්ලු, වේප්පාල්, මරච්චිකඩ්ඩි, කරඩික්කුලි, විලත්තිකුලම් හා පෙරියටමඩුව වශයෙන් පිහිටි වන සංරක්ෂිත හයේ භූමි ප්‍රමාණය නොඅඩුව සම්පූර්ණයෙන්ම විල්පත්තුව ජාතික උද්‍යානයට ගැසට් කළ යුතුවම ඇත.

 රෝවන් පෙරේරා පුත්තලම