ලංකාවේ අලි මිනිස් ගැටුමට මැදි වූ ජනතාවක් සිටින දිස්ත්‍රික්ක අතරින් හම්බන්තොට දිස්ත්‍රික්කයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. ඒ අතරිනුත් හම්බන්තොට හා සූරියවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දෙක විශේෂය. මෙම ප්‍රදේශ දෙකෙහි ජීවත් වෙන්නේ දිවා රෑ දෙකෙහිම වන අලින්ගෙන් බැට කන අසරණ ගොවි පරපුරකි. අනාදිමත් කාලයක සිටම වන අලි මෙම ප්‍රදේශවල ජීවත් වුවද වර්තමානයේ තරම් වන අලි ගැටලු මෙම ප්‍රදේශයට නොතිබුණු බවයි, ගොවි ජනතාව පවසන්නේ.
පාඨක ඔබට අද ලියන්නට යන්නේ ද එවැනි පාරම්පරික ගොවි පවුලකට අත්ව ඇති අවාසනාවන්ත ඉරණමක් පිළිබඳව වූ ශෝචනීය කතාවකි.
යාන්තමින් අඳුර ගලාගෙන එන වෙලාවේ සූරියවැව සිට වල්සපුගල මාර්ගය ඔස්සේ කිලෝමීටර් 12ක පමණ දුරක් ගිය අපට හමුවූයේ ගුරු පාරකි. එම ගුරු පාර දිගේ තවත් කිලෝමීටර් තුනක් පමණ ගිය අපට කොස් වගාව ගම්මානය හමු විය. අප එහි යන විටත් හොඳ හැටි අඳුර වැටී තිබුණි. අපේ කතානායකයාගේ නිවෙසට යාමට නම් මහ කැලෑව මැදින් තවත් කිලෝමීටරයක් පමණ දුරක් යා යුතුව තිබුණි. එහෙත් එය ඒ තරම් ලෙහෙසි පහසු ගමනක් නම් නොවීය. ඒ අන් කිසිවක් නිසා නොව මෙතැන් සිට මෙම වනගත මාර්ගයේ වන අලින් බහුලව සිටීමය. මේ නිසා මේ ගමන සඳහා මග පෙන්වන්නට එම ගම්මානයේම පදිංචි ගයාන් මහතා ඇතුළු කිහිප දෙනකු ද අපත් සමඟ පෙරමුණ ගෙන ගියේ අලි වෙඩි විදුලි පන්දම් ඇතුළු දෑයින් ද සන්නද්ධවය. මෙම කිලෝමීටරයකට ආසන්න වූ දුර යා යුතු වූයේ ද පා ගමනිනි. රෑ රුහැයි හඬ හා කිරලුන්ගේ හඬ ද පරදවමින් වන අලින්ගේ ශබ්ද ගම්මානය වටින්ම ඇහෙන්නට විය. වන අලින්ගේ මෙම කෑගැසීම් හේතුවෙන් වරක් දෙවරක් නොව තුන් හතර වාරයක්ම ගමන අතහැර දමා නැවත යන්නට සිතුණ ද අපට ගමනට මගපෙන්වන්නා අපව දිරිමත් කරමින් අපේ කතානායකයාගේ නිවෙසට රැගෙන ගියේය. අප එහි යන විටත් ඔවුන් ගහ උඩ වූ පැලට නැග හමාරය. එහෙත් අප එහි ගිය පසු ඔවුහු ගහෙන් බිමට බැස ගත්හ.
60 හැවිරිදි වියේ පසුවන එස්.කේ. සිරිපාලත්, 55 හැවිරිදි ජී. සෝමලතාත් වසර 07කට ආසන්න කාලයක් තිස්සේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ඒකක 04 කොස්වගාව ගම්මානයේ පදිංචිව සිටිති. පාරම්පරික හේන් ගොවි පවුලක් වන මෙම දෙපළට දරුවෝ තිදෙනෙකි. එදා පටන්ම හේන් ගොවිතැනින් ජීවිකාව සරිකර ගත් මෙම දෙපළගේ දරුවෝ අද වන විට විවාහ වී වෙනම ජීවත් වෙති. සිරිපාලත් සෝමලතාත් මීට පෙර මදුනාගල ප්‍රදේශයේ ඉඩමක ගොවිතැන් කටයුතු කරගෙන පදිංචිව සිට ඇති අතර රිදියගම ජලාශය ඉදිකිරීමත් සමඟ ඔවුනට එම ඉඩම්වලින් පිටමන් වන්නට සිදුව ඇත්තේ සතයකවත් වන්දියක් ද නොමැතිවය. ඉන් පසු යන එනමක් නොමැති වූ සිරිපාල විවිධ තැන්වල ජීවත්ව සිට තිබේ. එහෙත් ඒ එක තැනකවත් සිය සුපුරුදු ජීවිකාව වූ හේන් ගොවිතැනට පහසුකම් නොවීම හේතුවෙන් මීට වසර 07කට පෙර සූරියවැව වල්සපුගල කොස්වගාව ගමට පදිංචියට පැමිණ තිබේ.
මේ එතැන් පටන් ඔහුගේ ජීවන අත්දැකීම් පිළිබඳව හා එදා පටන් මේ දක්වා විඳින සිය කටුක දිවිය පිළිබඳව එස්.කේ. සිරිපාල මහතා අපත් සමඟ පැවසූ ආකාරයයි.
“අපේ තාත්තා මුත්තා ඉඳලම කලේ හේන් ගොවිතැන. මට දරුවෝ 03ක් ඉන්නවා. ඔවුනුත් අද විවාහ වෙලා වෙන වෙනම ජීවත් වෙනවා. මං ඉස්සරවෙලාම ගොවිතැන් කරගෙන හිටිය භූමිය රිදියගම ජලාශයට දෙන්න වුණා. ඒ වෙනුවෙන් කියා අපිට සතයකවත් ලැබුණේ නෑ. මොකද අපි අනවසරයෙන් හිටිය නිසා. යන එනමක් නැති වුණු නිසා මං කොස්වගාවේ කැලේ සුද්ධ කරලා හේන් කරන්න පටන් ගත්තා. මං මේ පැත්තට එනකොට මේවා මහා රූස්ස කැලෑ. මං හිටිය මේ ඉසව්වේ වෙන කවුරුවත් පේන තෙක් මානයක හිටියේ නෑ. මමත් බිරිඳත් මෙහි පැලක් අටවාගෙන හේන් ගොවිතැන් කරගෙන හිටියේ. ඒ කාලෙත් මේ පැත්තේ වන අලි ඇතුළු වන මෘගයෝ හිටියා. හැබැයි නිතර නිතර නම් අපිට කරදර කළේ නෑ. නමුත් අපි බිම තිබුණු පැලට අමතරව ගහ උඩ පැලක් හදාගෙන තමයි හිටියේ. රෑ වෙනකොට අපි මේ ගහ උඩට නගිනවා. අද වෙනකොට නම් මේ පැතිවල ඉන්න බැරි තරමටම වන අලි කරදර ඇවිත් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි වන අලින්ට ඉන්න තිබුණු මේ මහ කැලේ අද විශාල වශයෙන් එළි පෙහෙළි කර තිබීම. ව්‍යාපාරිකයන් වගේම විවිධ කම්පැනිකාරයොත් අද මේ පැතිවල ඉඩම් අයිතිකාරයෝ වෙලා. ඒ අය අක්කර පනහ සීය වගේ කොටු කරගෙන මහා පරිමාණ ලෙස වගා කරගෙන යනවා. ඔවුන් වන අලි එනවට විදුලි වැටවල් දමාගෙන මහා පරිමාණ ලෙස තමයි ඒවා කරගෙන යන්නේ. මේ හේතුව නිසා අලින්ට ඉන්න තැනක් කැලේ දැන් නෑ. ඒ අලි ටික දැන් දිනපතාම දවල් රෑ දෙකේ කොස්වගාව ගම්මානයට පනිනවා. ගොවිතැනක් කරගන්නම විදියක් නෑ. යන්තම් ගහ උඩ පැලට වෙලා ජීවිතේ රැකගන්න විතරයි දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ. මෙච්චර කලක් පාරම්පරිකව හේන් ගොවිතැන කරගෙන හිටිය අපිට දැන් මේවා දමලා යන්න සිද්ධ වෙලා.
මේ කොස්වගාව ගමේ දැනට පවුල් 40ක් විතර ජීවත් වෙනවා. තවම පවුල් 20කට විතර තමයි විදුලිය තියෙන්නේ. බොහෝ පවුල්වලට විදුලිය ගන්න තරම් වත්කමක් මේ මිනිස්සුන්ට නෑ. බොහෝ දෙනෙක් තවමත් කුප්පි ලාම්පු එළියෙන් ජීවත් වෙන්නේ. පාරම්පරික හේන් ගොවියාට අද කිසිවකුගෙන් පහසුකමක් ලැබෙන්නේ නෑ. හේනක් කරන්න කැලේ කැපුවොත්, කෝටුවක් කැපුවොත් වන සංරක්ෂණයෙන් ඇවිත් අල්ලගෙන ගිහින් නඩු දමනවා. අමාරුවෙන් හරි භෝගයක් හැදුවොත් ඒකත් එක රැයට වන අලි ඇවිත් කාලා දමලා යනවා. මේ වෙනකම් කිසිදු බලධාරියෙක් අපේ මේ ගමට ඇවිත් අපේ මේ දුක බලලා නෑ. ඇයි ගස් උඩ මේ මිනිස්සු ඉන්නේ කියලා අහලා නෑ. වල්සපුගල ප්‍රධාන මාර්ගයේ සිට හැතැක්ම දෙකක් වගේ එනකොට තමයි මේ කොස්වගාව ගම්මානය හමුවෙන්නේ. දිනපතා වන අලින්ගෙන් බැට කන පිරිසක් ඉන්න මේ ගමට එන පාරට වීදි ලාම්පු ටිකක් දමලා දෙන්න කියලා අපි වගකිවයුත්තන්ගෙන් අවස්ථා කිහිපයකදිම ඉල්ලුවා. විදුලිය නැති නිවාසවලට විදුලිය ගන්න සහනදායී ක්‍රමයක් හදා දෙන්න කියලා අපි ඉල්ලුවා. නමුත් කිසිදු බලධාරියෙක් මේ වෙනකම් අපේ දුකට පිහිට වුණේ නෑ. අදටත් මේ වල්සපුගල කොස්වගාව ගම්මානය පවතින්නේ බලධාරීන්ගෙන් වෙන්ව හුදෙකලාව පවතින ගම්මානයක් ලෙසයි. දැන් නම් ඉතින් අපේ කාලය ඉවරයි. මට දැන් අවුරුදු 60ක් වෙනවා. ගෙවුණු වසර 07ක කාලයම අපි ජීවත් වුණේ මෙන්න මේ ගහ උඩ තියෙන පැලට වෙලයි. බිම හදාගෙන තියෙන පැල දැන් වාර තුනක්ම අලි බිමට පෙරළුවා. ඊට අමතරව අවස්ථා ගණනාවකදීම මේ පැලේ බිත්ති අලි පෙරළලා දැම්මා. ජීවිතය වන අලින්ගෙන් අනූ නවයෙන් බේරුණු අවස්ථා ඕන තරම් තියෙනවා. ඉස්සර වගේ දැන් ඉනිමඟ දිගේ ගහ උඩ තියෙන පැලට නගින්න බහින්න බෑ. දැන් මගෙත් අත පය ටිකක් වාරු නෑ. දැන් මට තියෙන එකම හීනය තමයි ජීවිතේ අන්තිම කාලෙදිවත් මහ පොළොවේ ගේ කාමර කෑල්ලක් හදාගෙන ජීවත්වෙන එකයි. නමුත් ඒ හීනය හැබෑ කරගන්න තරම් වත්කමක් දැන් මට නෑ. හේනක් පිටියක් කළත් වැඩක් නෑ ඒවා වන අලි කාලා යනවා. ඉතින් ඉතුරුවෙන දෙයක් තමයි අපි අපේ ප්‍රයෝජනයට ගන්නේ යැයි දිග හුස්මක් ද පිට කරමින් සිරිපාල මහතා පැවසීය.
අවසානව වශයෙන් මට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක් තමයි මහත්තයෝ කියමින් සිරිපාල මහතා කවියකින්ම ඔහුගේ කතාව අවසන් කෙරුණේ මෙන්න මේ විදියටය.
“කන්දේ කකා ලන්දේ යන බෝ සත්තු
අත මිණි බැඳ පය මිණි බැඳ ජයගත්තු
රාජ සබෙන් හොද කරැණා ලැබ ගත්තු
වල්සපුගල වැවට බැස්සයි ගෝමර ඇත්තු.“
සටහන හා සේයා රූ - සූරියවැව නුවන් ජයසේකර