මිනුවන්ගොඩ බ්‍රුන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් ආරම්භ වූ කොවිඩ් පොකුර පසුගිය බ්‍රහස්පතින්දා වන විට 1789ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එම කොවිඩ් පොකුර පළමු සහ දෙවැනි ආශ‍්‍රිතයන් දක්වා විහිදී ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කරයි. එක් කොරෝනා ආසාදිතයකු හරහා 522ක් වැනි පිරිසකට වෛරසය පැතිරිය හැකි බවත්, වෛරසය සමාජගත වී ඇති බවට තවම නිශ්චිත වශයෙන්ම ප‍්‍රකාශ කළ නොහැකි බවත් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කරයි. වෛරසය සමාජගත වීම රුඳී පවතින්නේ ජනතාවගේ හැසිරීම මත බව ද ඔහු පෙන්වා දෙයි.
මෙවර හමු වූ ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් වාර්තා වූයේ ඇඟළුම් ක්ෂේත්‍රය තුළිනි. බ්‍රුන්ඩික්ස් කර්මාන්ත ශාලාවට අමතරව කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ආයතන කිහිපයකින්ද කෝවිඩ් 19 ආසාදිතයන් වාර්තා වූ අතර ඇතැම් ආයතන තම කර්මාන්තශාලා වසා දැමූ බවට මාධ්‍ය නිවේදනද නිකුත් කර තිබිණි. පසුගිය සතිය වන විට කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් 39 දෙනකුට කොවිඩ් වැළඳී ඇති බවට හඳුනාගෙන තිබූ අතර පසුගිය අඟහරුවාදා වනවිට තවත් 42කු ආසාදිතයන් බවට හඳුනා ගැනුණි. මේ වනවිට කලාපයෙන් හඳුනාගෙන ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව 111කි. ඒ අනුව එහි කම්හල්වල සේවයේ නියුතු පුද්ගලයන් රුසක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර තවත් රෝගීන් හමු විය හැකි බවට අනුමාන කෙරේ.
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් 87ක් පමණ ඇති අතර. එම ආයතනයන්හි සේවයේ නියුතු පිරිස 37,000ක් පමණ වේ. තවමත් කලාපය තුළ රෝගය පාලනය කිරීමට හැකි තත්ත්වයක් පවතින බවත් ඒ සඳහා කඩිනම් පියවර ගත යුතු බවත් නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ ඇන්ටන් මාකස් මහතාගේ අදහස වී තිබේ. මේ වන විට කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් හතරක් වසා දමා ඇති අතර එක් කර්මාන්තශාලාවක් වසා දමා ඇත්තේ කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසා නොව පැතිරීමට පෙර ගන්නා ලද ආරක්ෂක පියවරක් ලෙසිනි. ඉතිරි කම්හල් තුනෙන් දෙකක් ඇඟලුම් කර්මාන්ත ශාලාය.
කෙසේ වුවද නිදහස් වෙළෙඳ කලාපය තුළ කොරෝනා පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමට පත්විය නොහැකි යැයි ඇන්ටන් මාකස් මහතා පවසයි. නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන්ගේ පීසීආර් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු වාර්තා ලැබෙන තෙක් රඳවා තැබීම සඳහා සුදුසු ස්ථාන සොයා ගැනීමේ අපහසුතාවක් ඇතැයි ඔහු පවසයි. එලෙස පරීක්ෂණවලට බඳුන් කළ සේවක සේවිකාවන් පිරිසක් රඳවා ඇති ස්ථානයක ඔවුනට අවශ්‍ය අවම පහසුකම් හෝ නොමැති බවට වාර්තා වී ඇතැයි ඔහු කියා සිටියි. එහෙයින් එම ගැටලු කඩිනමින් හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමට පියවර ගත යුතුයැයි ඔහු සඳහන් කරයි.
කොවිඩ් තත්ත්වය යටතේ වුවද ආරක්ෂාකාරී පියවර යටතේ කම්හල් පවත්වා ගෙන යෑම කළ යුතු බව ඇන්ටන් මාකස් මහතාගේ මතය වී තිබේ. එසේ නොවුණහොත් විශාල අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ ඇතැයි පවසන ඔහු පසුගිය මාර්තු අප්‍රේල් මාසවල කම්හල් වසා දැමීම හේතුවෙන් සේවක සේවිකාවන්ගේ සේවය අහිමි වුණා. අතිකාල දීමනා, බෝනස් නැති වුණා. වැටුප 50කින් කප්පාදු කෙරුණා. පැමිණීමේ දීමනා අහිමි වුණා. එවැනි තත්ත්වයක් යළි ඇතිවිය යුතු නැහැ. ඒ නිසා ආයතන වසා නොදමා ආසාදිතයන්ට අවශ්‍ය ප්‍රතිකාරත්, ඔවුන් නිසි පරිදි හඳුනා ගැනීම සඳහා පරීක්ෂණත් සිදු කරමින් නියමිත සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුකූලව ආයතන පවත්වා ගෙන යා යුතුයි. සෑම ආයතනයකම සෞඛ්‍ය කමිටුවක් පත් කොට ඔවුන්ට පුහුණුවක් ලබා දීමට කටයුතු කරන ලෙසට අපි යෝජනා කර තිබෙනවා. එමෙන්ම සේවක සේවිකාවන්ගේ නේවාසිකාගාර විෂබීජහරණය කොට එම ස්ථානද රෝගකාරකයන්ගෙන් නිදහස් ප්‍රදේශ බවට පත් කිරීමට කඩිනමින් පියවර ගත යුතුයි. යනුවෙන් සඳහන් කරයි.
37000ක පමණ සේවක පිරිසක් කලාපයේ සේවය කළද කොරෝනා තත්ත්වය හේතුවෙන් මේ දිනවල එහි සේවයට වාර්තා කරනුයේ 7000ක පමණ පිරිසකි. ඊට හේතු වී ඇත්තේ ඇඳිරි නීතිය පනවා නොමැති ප්‍රදේශවල නේවාසිකව සිටින සේවකයන් පමණක් කැඳවීමට එම ආයතන පියවර ගැනීමය. ඒ අනුව වැඩි වශයෙන් සේවයට කඳවා ඇත්තේ අමන්දොළුව හා ඒ අවට සේවක සේවිකාවන් පමණි. ඇඳිරි නීතිය ඉවත් කළ පසු සෙසු සේවක සේවිකාවන්ද සේවයට කැඳවීමට එම ආයතන කටයුතු කරන බව පැවසේ. පවතින වාතාවරණය යටතේ ඇඳිරි නීතිය කෙදිනක අවසන් වන්නේදැයි කිව නොහැකිය. පසුගියදා කම්කරු ආමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත සේවක සංඛ්‍යාවකින් හෝ කම්හල් පවත්වාගෙන යා යුතු බවට තීරණය වී තිබේ.
කටුනායක නිදහස් වෙළෙඳ කලාපය වසා නොදමන බවට එහි කම්හල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබේ. වසා ඇති කම්හල්ද කඩිනමින් යළි විවෘත කිරීමට කම්හල් හිමියන් කටයුතු කරන බව පැවසේ. ආයෝජන කලාපය තුළ රෝගය පාලනය කර ඇති බවට සහතිකයක් ලද විගස අනෙකුත් සේවකයන්ද යළි සේවයට කැඳවීමට නියමිතය.
ඇඳිරි නීතිය පනවා ඇති හෙයින් හා ඇතැම් කම්හල් තාවකාලිකව වසා දැමීම නිසා සේවයට පැමිණීමට නොහැකිව විශාල පිරිසක් නේවාසිකාගාරවල රැඳී සිටින අතර මේ පිරිස ආර්ථික අපහසුතාවලට මුහුණ පා සිටිති. සාමාන්‍යයෙන් සේවකයන්ගේ උදෑසන ආහාර වේල ආයතනය මගින් නොමිලයේ ලබා දුන් අතර දිවා ආහාරයද සහන මිලකට ලබාගත හැකි විය. සේවයට වාර්තා කළ නොහැකි බැවින් දැන් ඔවුනට හිමිවන්නේ අවම වැටුප පමණි. නොමිලේ ලද ආහාර වේල සහ සහන මිලට ලද ආහාර සඳහාද වැඩි මිලක් ගෙවීමට ඔවුනට සිදුව තිබේ. එහෙයින් මෙම කාලය තුළද ඔවුනට කිසියම් සහනයක් ලබා දීමට පියවර ගන්නා ලෙස වෘත්තීය සමිති එම ආයතනවලින් ඉල්ලා තිබේ.
කොවිඩ් 19 ලොව පුරා ව්‍යාප්ත වී ඇති වසංගතයක්. ලොව කිසිම රටක් එය සම්පූර්ණයෙන්ම පාලනය කර නැහැ. ඒ නිසා කාලයක් ගතවන තෙක් අපට මෙම රෝගය සමඟ ජීවත් වෙන්න සිදුවෙනවා. සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගනිමින්, ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කර ගනිමින් ඔවුන්ගේ ආදායම සහතික කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා කම්හල් ක්‍රියාත්මක විය යුතුයි යනුවෙන් ඇන්ටන් මාකස් මහතා සඳහන් කරයි.
කලින් 60000කට අධික සේවක පිරිසක් සිටි කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ එම පිරිස ක්‍රමයෙන් 45,000 දක්වා අවම වූ අතර වර්තමානය වන විට සේවය කරනුයේ 37,000ක පමණ පිරිසකි. එලෙස සේවකයන් අවම වූයේ ඇතැම් පිරිස් නිල වශයෙන් මෙන්ම නොනිල ලෙසද රැකියාවලින් ඉවත් කිරීම හේතුවෙනි. ඇතැම් කම්හල් හිමියෝ සේවකයන්ට ලබා දුන් ප්‍රවාහන පහසුකම් කප්පාදු කළහ.. ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා සේවකයන්ට සේවයට වාර්තා කළ නොහැකි වූ අතර. එවිට සේවයට වාර්තා නොකිරීම නිසා සේවයෙන් ඉවත් කළ බවට දන්වා යැවුණි. පැමිණීමේ දීමනා අහිමි කෙරිණි. වැටුප් කප්පාදු කෙරිණි. 50ක වැටුපක් ලද ඔවුනට ප්‍රවාහන වියදම්ද දරා ගැනීමට සිදු විය. අතිකාල හා පැමිණීමේ දීමනාද නොමැති විය. එහෙයින් තවත් පිරිසක් සේවයෙන් ඉවත් වූහ. ඉතිරි වෙලා සිටින සේවකයන්ගේ රැකියා ආරක්ෂා කර ගැනීමට නම් මෙම කර්මාන්තශාලා දිගටම විවෘතව පැවතිය යුතුයි. අපිට කොවිඩ් 19 නිසි ලෙස පාලනය කිරීමට හැකි වුවහොත් වෙනත් රටවලට වඩා වැඩි ඇණවුම් ලබා ගැනීමට හැකි වේවි. එවිට සේවකයනුත් සුරක්ෂිතයි ඔවුන්ගේ රුකියාත් සුරක්ෂිතයි යනුවෙන් ඇන්ටන් මාකස් මහතා පවසයි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා