වරින්වර සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරියට එන ආන්දෝලනාත්මක සේයාරුවක් පසුගියදා නැවත ජාලය තුළ සැරිසැරුවේය. පැරැණි තාලේ කඩ කාමරයක එළිපත්තේ ඉඳගෙන සිටින මුස්ලිම් තොප්පියක් පැළඳගත් මහළු මිනිසෙකි. කඩ කාමරය පරණ කුඩ කාමරයකි. මිනිසා බැලූ බැල්මට කුඩ රෙපයාර් කරන්නාය. මේ ඡායාරෑපයේ කැපී පෙනෙන දසුන වූයේ එළියේ සිට බලන අයෙකුට කෙළින්ම පෙනෙන බිත්තියේ ඉහළ රැඳවූ උඩුකය ඡායාරෑපයයි. එය ඉන්දියාවේ විශිෂ්ට විද්‍යාඥයකු මෙන්ම එරට 11 වැනි ජනාධිපතිවරයා ද වූ ආචාර්ය අබ්දුල් කලාම්ගේය. කලාම්ගේ අයියාගේ කුඩ රේපයාර් කඩේ හැටියට ලෝකයට ප්‍රසිද්ධ වූ මේ පින්තූරය නිහඬ කතා රැසක් පවසන්නකි. එය කලාම්ගේ පවුලේ අල්පේච්ඡ ජීවිතය මෙන්ම බඩගෝස්තරය සඳහා නොව ජනහිතකාමීත්වයට, රටට මුල් තැන දුන් ආචාර්ය අබ්දුල් කලාම්ගේ ආදර්ශවත් ජීවිතය ගැන පිටු දහස් ගණනක් පුරා ලිවිය හැකි කතාව එක රාමුවකට හකුළුවාලූ අපූරු නිර්මාණයකි. එය වරින්වර සමාජ මාධ්‍ය තුළ රැලි ඉහළට නැග එන්නේ එහෙයිනි.
වසර 2015 ජුනි මස එක් දිනක ආචාර්ය අබ්දුල් කලාම් එවකට සිය වාසස්ථානය වී තිබූ දිල්ලියේ නොම්මර 10 පිහිටි රාජා ජී මාර්ග් වෙත ආවේ මනාව එතූ සුවඳ හමන හුරුබුහුටි තෑගී පාර්සලයක් ද රුගෙනය. සාමාන්‍යයෙන් ඔහු තෑගී බෝග ආදිය රුගෙන එන්නකු නොවූ හෙයින් ඒ වනවිට ආචාර්ය අබ්දුල් කලාම්ගේ සහායකයාව සිටි ශ්‍රීජාන්පාල් සිං මේ ගැන ඔහුගෙන් විමසුවේය.
“අපේ අයියාට තව මාසෙකින් දෙකකින් 99යි. ලබන අවුරුද්දේ නොවැම්බරේට 100යි. එයා සුවඳ දියරවලට හරිම කැමතියි. ඒත් එයාට හැමදාම ඔහොම දේවල් ලැබුණේ නෑ. මට හදිසියේ මතක් වෙලා සැන්ට් කුප්පියක් ගෙන්නා ගත්තා. අපි මේකත් අරන් අයියා බලන්න රාමේෂ්වරමට යමු සියවැනි උපන්දිනේට. එයා හුඟාක් පුදුම වෙයි. හොඳටම සතුටු වෙයි.” කලාම් තමන්ගේ අඩුමකුඩුම තිබූ රාක්කයේ කොනක මේ සුවඳ දිය කුප්පිය තැබුවේය. ඒ හැරෙන්නට එහි වූයේ ඔහුගේ වීණාවත් ඔහු ඉතා ඇළුම් කළ පොත් එකතුවත් සූට්බූට් කිහිපයත් පමණි.
හිටපු ජනාධිපතිවරයෙක් වූවද ලෝකය වටා සැරිසරන්නකු වුවද ඔහු ගත කළේ අපිස් තවුස් දිවියකි. කෙසේ හෝ කලාම්ට සිය අයියා දකින්නට ඔහුට සියවස පිරෙනතුරු බලා සිටින්නට වූයේ නැත. දෛවයේ සරදමකට මෙන් ඊට මාසයකට පසු ජුලී මස 27දා ඔහු රාමේෂ්වරමට ගියේ සුවහසක් ජනගඟ මැදය. එදා ලොකු අයියා මොහොමඩ් මුතු මීරා ලෙබ්බේ මරීක්කාර් ඔහු බලන්නට ආවේ කඳුළු පිරි දෙනෙතිනි. රටේ නායකයා අගමැති මෝදි මෙන්ම විපක්ෂයේ රාහුල් ගාන්ධි ද ප්‍රධාන පෙලේ අමුත්තන් ගණනාවක්ද එදා කලාම් බලන්නට රාමේෂ්වරමට ගියෝය. කලාම් බලන්න යන්නට සිතා සිටි ඔහුගේ ලොකු අයියාව බලන්නට ඒ අය ගියෝය. මෝදි මේ ලොකු අයියාට නමස්කාර කළේ මේ තරම් ජනහිතකාමී නායකයෙක්, විද්‍යාඥයෙක් ගුරුවරයෙක් ලොවට පුදන්නට ඔහුද දායක වූ බව දන්නා නිසාය. කලාම් රාමේෂ්වරමේ සිය පවුලේ හිටපු උදවිය අතර සැතපෙද්දී අමුතු වෙසෙස් පුවත් සඳහා ඉව ඇල්ලූ මාධ්‍යයන්ට මේ කියන කුඩ කඩය හමුවිය.
මල්ලි ජනාධිපති වුවත් සුපුරුදු පරිදි තමන් කරගෙන ආ වෘත්තිය සිදු කරගෙන ගිය මේ අයියා අවසන් කටයුතුවලින් පසු තමන්ගේ කඩය විවෘත කළේය. එදා එතැනදී මේ කතාකරන ඓතිහාසික ඡායාරූපය ගෙන තිබුණි.
කලාම්ගේ අයියා මේ වනවිට වසර 103ක් ආයු වළඳා 104 වැනි සීමාව කරා ළංවෙමින් සිටියි. ඔහුගේ ඇස් පේන්නේද නැත. නමුත් සිය දරු මුණුපුරන්ගේ ආධාරයෙන් කුඩ කඩයට ගොස් එහි එළිපත්ත මත සුපුරුදු ලෙස හිඳගෙන අතීතය සිහිකිරීම ඔහුගේ පුරුද්දය. පුංචි කලාම් ගෙදරට බරක් නොවී කීයක් හෝ උපයා දෙන්නට බයිසිකලයක නැගී පත්තර බෙදමින් ගිය හැටි, තහඩු ටකරන් බැඳගෙන රොකට් හදන්නට වෙහෙසුන හැටි, අන්තිමේ රටේ ජනාධිපති වූ පසුවත් වෙනදා වගේම රට පුරා යන අතර කුඩ කඩයට ගොඩ වී සිය පා නැමද පිටව ගිය හැටි ඔහු මතක් කරනවා විය හැකිය.
මේ කුඩ කඩයත් කලාම් කුඩා කල හැදී වැඩුණු නිවෙසත් මුළු ගම්මානයත් දැන් කෞතුක වස්තූන් සේ සංචාරක ආකර්ෂණය දැඩි ලෙස දිනා ඇති තැන්ය. නමුත් මේ පින්තූරය වරින්වර මතු වී අවුත් අපට ලොකු කතාවක් මතක් කර දෙයි. ඒ ආචාර්ය අබ්දුල් කලාම් යනු ඇත්තටම කවරෙක්ද යන කාරණාවයි. රටේ ජනාධිපති වෙලත් අයියාට කුඩ හදන්නට දුන්නේ මොන හිතකින්දැයි අපේ රටේ දේශපාලන උදාහරණ සලකන අය සිනාසෙන්නට ද හැකිය. ඒත් ආසියාවේ ලොකුම රටේ ජනාධිපති වුවත් ආචාර්ය අබ්දුල් කලාම් බඩගෝස්තර දේශපාලකයෙක් නොවීය. රට අභ්‍යවකාශ යුගයට ගෙන ගිය නමුදු ඔහු මිසයිල තැනූ මුණිවරයෙක් පමණක් විය. ආත්මාර්ථකාමී බලලෝභී විද්‍යාඥයෙක් නොවීය. උපතින් මුසල්මානුවකු වුවද හින්දු ධර්මයට ගරු කළ ඔහු ජීවිතය සකසා ගත්තේ බුදු දහමට අනුවය. සියල්ල අතහැරීමේ කලාව අනුගමනය කරමින්, බුදුන් වදාළ ලෙස ලොපුරා යමින් සිය දැනුම බෙදා දුන්නේය. වරක් ඔහුගේ සහායකයා ශ්‍රීජාන්පාල් සිං, ආචාර්ය අබ්දුල් කලාම්ගෙන් ඇසුවේ ඇත්තටම ඔබ කවුද? කියාය. ආචාර්ය අබ්දුල් කලාම් ගත් කටටම කීවේ, “ඇත්තටම මම ගුරුවරයෙක්!” කියාය. ඔහු ලොවට ආදර්ශ රැසක් දුන් ගුරුවරයෙකි. මේ ඡායාරූපය මතක් කර දෙන්නේද ඒ ආදර්ශවත් ජීවිතයේ අරුමයයි.
සුගත් පී. කුලතුංගආරච්චි