2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

සීදූවේ රොබෝ හෝටලේ!

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 235

ශ්‍රී ලාංකිකයන්ට රොබෝවරුන් පිළිබඳව සමීප සබඳතාවක් මෑත කාලයේදී නොමැති තරම්ය. එහෙත් ඔවුහු වසර ගණනාවක සිට පුවත් පත්, සිනමාව සහ රූපවාහිනිය ඔස්සේ රොබෝවරුන් පිළිබඳව අත්දකිමින් සිටිති.

මෙවන් පසුබිමක් තිබියදී රොබෝවරුන් සේවය කරන ආපනශාලාවක් "රොබෝ කැෆේ"නමින් සීදුව, ලියනගෙමුල්ල ප්‍රදේශයේ ආරම්භ කිරීමත් සමඟ, ඒ පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව මහත් සේ උනන්දු වන්නට පටන් ගෙන තිබුණි. ඉකුත් අගෝස්තු මස 28 දා මෙම ආපනශාලාව මහජනතාව සඳහා විවෘත කර තිබුණි. ඒ සමඟම මෙම ආපනශාලාව වෙත විශාල පිරිසක් ද මේ සඳහා ඇදී එන්නට වූයේ මෙම සුවිශේෂී නවමු අත්දැකීම ලබා ගැනීම සඳහාය.

මෙම රොබෝ ආපනශාලාව පිළිබඳව මූලික අදහස මෙන්ම රොබෝවරුන් නිර්මාණය කිරීම සහ ඒ සඳහා ආයෝජනය කිරීම මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකු විසින් සිදු කර තිබීම විශේෂත්වයකි. ඔවුන් මේ වනවිට වෙනත් වෘත්තීන්වල නියැලී සිටින නිසා ඔවුන්ගේ නම් ගම් ඇතුළු අනන්‍යතාවය හෙළි කිරීමට ඔවුහු මැළි වූහ.

එහෙත් මෙම ආපනශාලාව පිළිබඳව මූලික සංකල්ප ඉදිරිපත් කළ (සිසුවා) මේ පිළිබඳව අදහස් දක්වන්නට විය.

“අපි මේ ආපනශාලාවේ දැනට රොබෝවරුන් දෙදෙනකු සේවයේ යොදවා තිබෙනවා. ඔවුන් නිර්මාණය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලය තුළදී මා ලබා ගත් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව සහ රොබෝ තාක්ෂණික දැනුම ඉතාමත් උපකාරී වුණා. මේ රොබෝවරු නිර්මාණය සඳහා එන්.ඩී.ටී. පාඨමාලාව හැදෑරූ කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි මගේ යාළුවෙකුත් හවුල් වුණා. අපිට මේ සඳහා වසර තුනක පමණ කාලයක් ගත වුණා. අපි ඒ අතර තායිලන්තයේ බැංකොක් නුවර මේ අකාරයට ක්‍රියාත්මක වන රොබෝ ආපනශාලාවක් අධ්‍යයනය කිරීමට සහ නිරීක්ෂණය කිරීමටත් ගියා. ඒ රොබෝවරැ ජපානයේ නිෂ්පාදිතයක්.

අපිට මේ රොබෝවරු හදන්න ගියාම ගොඩක් වැරදුණා. ඒත් අපි උත්සාහය අත්හැරියේ නැහැ. අවසානයේ අපි සාර්ථක නිර්මාණයක් සිදු කළා.”

එසේම මෙම ආපනශාලාවේ කළමනාකරු ලෙස සේවය කරන්නේ ඩිමේෂ් බඹරුන්ද මහතායි. ඔහු මෙම ආයතනය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කරමින් සිටී. විශේෂයෙන්ම මෙම ආපනශාලාව ජනතාව වෙතට සමීප කරවීමට ඔහු දරන ප්‍රයත්නය අති විශාලය.

ඔහු මෙම ආපනශාලාව පිළිබඳව මෙසේ විස්තර කරන්නට විය.

“මෙම ආපනශාලාව පිළිබඳව මූලික අදහස මොරටුව ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරයකුගෙන්. මේ සඳහා ආයෝජනය මූල්‍ය ක්ෂේත්‍රයේ පළපුරුදු ආයෝජකයකුගෙන්. වැඩි දෙනෙක් මේ රොබෝවරු බලන්නම මේ කැෆේ එකට එනවා. මෙහි ඇතුළත ගෘහ නිර්මාණශිල්පීය කටයුතු ශ්‍රී ලංකාවේ දක්ෂතම, පළපුරුදු ගෘහ නිර්මාණ ශිල්පියකු අතින් සිදු වුණා. ඔහු සමත් වී තියෙනවා මෙම කැෆේ එක තුළට පිවිසෙන පාරිභෝගිකයන්ට ආස්වාදජනක විශේෂිත ස්ථානයකට පිවිස සිටින බවට හැඟීමක් දැනවීමට. එසේම මෙම ආපනශාලා පරිශ්‍රයම මුළුමනින්ම  වායුසමනය කරලයි තියෙන්නෙ.

අපි මෙම ආපනශාලාව සුවඳවත් කිරීමට කෘතිම සුවඳ කාරක භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි කුරුඳු තෙල් ජලය සමඟ මිශ්‍ර කරලා ඒවා පහනක ආධාරයෙන් ආපනශාලාව පුරා පැතිරී යන සේ වාෂ්ප  කරනවා. ඒ වගේම සිත නිවෙන ආකාරයේ (Relax Music)  සංගීත රාවයක් ආපනශාලාව පුරා අපි ශබ්දවාහිනී මගින් විකාශනය කරනවා. අපි අපේ ආපනශාලාව වෙත පැමිණෙන සියලු දෙනා වෙත නොමිලේ විශේෂිත දේශීය ඖෂධීය පිළිගැනීමේ පානයක් (Welcome Drink) පිළිගන්වනවා. ඒ සඳහා අපි ඉරමුසු, බෙලිමල් සහ දෙහි යොදා ගන්නවා.

ඉන්පසුව අපගේ ආපනශාලාව වෙත පැමිණෙන පාරිභෝගිකයන් වෙත මෙනු පත් මගින් අප සතු ආහාර වර්ග පිළිබඳව දැනුවත් කිරීම සිදු කරනු ලබනවා. අප සතු සුවිශේෂී ආහාර වට්ටෝරු ඒ සඳහා සූදානම් කර තිබෙනවා. ඒවා බොහෝමයක් ශ්‍රී ලංකාවේ පළමු වතාවටයි ඉදිරිපත් කරන්නේ. මොංගෝලියන් රයිස්, ඉතාලි පීසා සහ නූඩ්ල්ස්, සබ්මැරීන්, බර්ගර්, වෙනත් රයිස් වර්ග, සුප් වර්ග. අපි අතුරුපස සඳහා ෆ්‍රයිඩ් අයිස් ක්‍රීම් සහ චොක්ලට් ෆජ් (Chocolate Fudge) ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා”

මෙම ආහාරපාන ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ හෝටල් කීපයක සේවය කළ දක්ෂ කෝකිවරුන් අතින් නිමැවෙන අතර, රටවල් ගණනාවක පළපුරුදු කෝකිවරයෙක් මසකට වරක් මෙම ආපනශාලාව වෙත පැමිණ මෙම ආපනශාලාවේ මුළුතැන්ගෙයි කටයුතු අධීක්ෂණය කර අවශ්‍ය පවත්වාගත යුතු ප්‍රමිතිය පිළිබඳව උපදෙස් ලබා දීම ද සිදු කරනු ලබයි. මෙම ආපනශාලාව වෙත පැමිණි පාරිභෝගිකයන් ඔවුන්ට අවශ්‍ය ආහාර ඇනවුම් කළ පසු මුළුතැන්ගෙයින් ඒවා පිළියෙල කර මෙම රොබෝවරුන්ට භාර දෙනු ලැබේ.  ඔවුන් විසින් එම ආහාර නිසි පරිදි අදාළ මේසය වෙත රැගෙන යනු ලබයි. ඒ යන අතරතුරදී යමෙකු රොබෝවරයා සමඟ ගැටීමට ආසන්න වුවහොත්, වහාම රොබෝවරයා තම ගමන අත්හිටුවා ඒ අනතුර පහව යනතෙක් එතැනම රැඳී සිටීමට පියවර ගනී.

මෙම ආපනශාලාව තුළ රොබෝ තාක්ෂණය තවදුරටත් යොදා ගනිමින් ආපනශාලාව වෙත පැමිණෙන පාරිභෝගිකයන් අසුන් ගත් පසු ඔවුනට අවශ්‍ය ආහාර පරිගණක තාක්ෂණයෙන් මුළුතැන්ගෙය වෙත ඇනවුම් කිරීමටත් මෙයටත් වඩා දියුණු රොබෝවරුන් මගින් ඒවා පාරිභෝගිකයන් වෙත පිළිගැන්වීමටත් හැකි වන පරිදි නව තාක්ෂණයෙන් මෙම ආපනශාලාව බලගැන්වීමට මෙම ව්‍යවසායකයෝ අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කරමින් සිටිති. එසේම දැනට සිටින මෙම රොබෝවරුන්ට වඩා දියුණු තාක්ෂණයෙන් යුතු රොබෝවරු ඉදිරියේදී මෙම ආපනශාලාව වෙත හඳුන්වා දීමටද මොවුහු පියවර ගනිමින් සිටිති.

මෙම ආපනශාලාව සතියේ සෑම දිනකම උදෑසන 11.00 සිට රාත්‍රී 10.30 දක්වා මහජනතාව සඳහා විවෘතව තැබීමට කටයුතු යොදා තිබේ. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පැතිර යන කොරෝනා වසංගතයට ද මෙම ආපනශාලාව කදිම පිළිතුරක් බව මෙම ආපනශාලා කළමනාකරු පැවසීය. සති අන්ත දිනවලදී මෙම ආපනශාලාව තුළ ඇති ආසන පහසුකම් සියල්ල පිරී පවතින අතර මෙම ආපනශාලාව තවත් ආයෝජකයෙකුගේ ද සහාය ඇතිව කොළඹ ප්‍රදේශයට රැගෙන යෑමේ අපේක්ෂාවක් තමන්ට ඇති බව කළමනාකරු ඩිමේෂ් බඹරැන්ද මහතා වැඩිදුරටත් පැවසීය.

 කටුනායක ටී.කේ.ජී.කපිල

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02