2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

පරිසරය වනසන පූජා වට්ටියේ ප්ලාස්ටික් මල් මාලය

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

දේවාල කෝවිල් මලින් පුදන සංස්කෘතියක මෙරට දෙවියන් ඉටි මලින් පිදුවත් ඉන්දියාවේ තිරුපති ඇතුළු ලෝකයේ ප්‍රසිද්ධ කෝවිල් හා දේවාලවලට ගෙන එන මල්වලටත් නීති ඇත්තේය. ඒ අනුව එම දේවාල කෝවිල් තුළට ස්වාභාවික නොවන මල් රැගෙන යාමත් තහනම්ය. එවන් දේවාල හා කෝවිල් අවට මල් වෙළෙඳාම සරුවටම කෙරෙන්නේත් මල් මාලා ගොතන සංස්කෘතියක් බිහි වන්නේත් ඒ නිසාය.

කතරගම, නවගමුව, කන්දේ විහාරය, මුන්නේෂ්වරම් ආදී එකී නොකී කොවිල් දේවාලවල දෙවියන් යදින්නට යන බැතිමත්හු දෙවියන්ට පළතුරු පූජාවක් තබන්නට අමතක නොකරති. බුදුන් වැඳීමට යන අය මල්, පහන්, තෙල්, හඳුන්කූරු රැගෙන යන්නා සේම දෙවියන්ට පුද පූජා පවත්වන බැතිමතුන් දෙවියන් උදෙසා පළතුරු පූජාවක් රැගෙන යන්නේ අතීතයේ සිටමය.

මෙලෙසින් දෙවියන් යදින්නට යන සියලු බැතිමතුන්  දෙවියන්ට පුද දෙන පළතුරු පූජා වට්ටියෙහි එම දෙවියන්ට ආවේණික වූ මල් මාලයක් තබන්නේ තමන්ගේ හිතේ තිබෙන දේව භක්තිය නිසාවෙනි. එදා ස්වාභාවික මලින් තැනුණු මල් මලා අද වනවිට තනන්නේ ඉටිකොළවලින්ය.

මෙරට බොහෝ දේවස්ථාන අසල දෙවිඳුන් උදෙසා පූජා වට්ටිවලට දෙන සෑම මල්මාලාවක්ම වසර ගණනාවක සිටම ඉටි කොළවලින් තැනූ ඒවා විය. මෙම ඉටිකොළ මල්මාලා සංස්කෘතියෙන් මිදෙන්නට වෙළෙඳුන්ට නොහැකි වී ඇත. ඒ ඔවුන් ඉක්මනින් මුදල් ඉපයීම හැර එමගින් දේව කරුණාවක් හෝ දෙවියන් කෙරෙහි භක්තිය මෙන්ම පරිසරයට සිදුවන හානිය ගැනත් නොසිතන නිසාය.

කෙසේ වෙතත් මෙරට දේවස්ථාන සඳහා පූජා පවත්වන්නට යොදා ගන්නා ප්ලාස්ටික් මල්මාලාවලින් පරිසර හානියක් සිදුවන බවට මෙරට භික්ෂුන් වහන්සේ පරිසර අමාත්‍යවරයාට පැමිණිළි කර ඇත. ප්‍රධාන පෙලේ පූජනීය ස්ථානවල විශාල වශයෙන් ඇති මෙම ප්ලාස්ටික් මල්මාලා දිරාපත් වීමටද බොහෝ කාලයක් යන බව ඒ හිමිවරු පෙන්වා දෙති.

රට තුළ ඇති ප්‍රධාන පූජනිය ස්ථාන ඉදිරිපිට ඇති මල් කඩවල කිසිම සුවඳක් හැඩක් සෞම්‍ය බවක් නැති ඉටි මල් මාලාවලින් කෙරන පරිසර හානිය පිළිබදව අප පාර්ශව කිහිපයකින් විමසීමක් කළෙමු.

ලාභය බලාෙගන ඉටි මල්මාල දානවා
සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමි

මෙරට බොහෝ පූජනීය ස්ථානවල ඇති දේවාල, කෝවිල්වලට බැතිමතුන් විශාල වශයෙන් යන බව අප සැම දන්නා කරැණක්. ඒ වගේම මෙම බැතිමතුන් එම දෙවියන් උදෙසා කෙරෙන පුද සත්කාරවලට මල්මාලා පළඳවන බවත් අපි හැමදෙනාම දන්න කරුණක් මෙතන තියන ප්‍රශ්නය තමයි මීට දශක දෙකකට පෙර වගේ මේ දෙවියන් උදෙසා සුවඳ මලින් තමයි මේ මල්මාලා පූජා කළේ. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා සෑම පූජනීය ස්ථානයකම අභියස තිබෙන බොහෝ කඩවල්වල ප්ලාස්ටික් මල්මාලා තමයි දැන් අලෙවි කරන්න තියෙන්නේ. බොහෝ වෙළෙන්දන් මෙන්ම මල්මාලා නිෂ්පාදකයන් ලාභයක් බලාගෙන තමයි මෙම කටයුත්ත සිදු කරන්නේ. ඇත්තටම ජනතාව දෙවියන් උදෙසා පුදපූජා පවත්වන්නේ ඒ බැතිමතුන්ගේ හිතේ ඇති භක්තිය නිසා. නමුත් ඇත්තටම මේ ප්ලාස්ටික් මල්මාලාවලින් සිදුවෙන්නේ පරිසර විනාශයක්. මේ ප්ලාස්ටික් භාවිතය ගැන අප කිහිප විටකදී අදහස් පළ කරලා තියෙනවා තහනම් කළ යුතුයි කියලා. මේ වෙනුවට ස්වභාවික මල්මාලා තනා දෙවියන් වෙත පුද කරානම් මේ ප්‍රශ්නයක් නැහැ. නමුත් බොහෝ දෙනා ලාභය බලාගෙන තමයි මෙම වැඩේ කරන්නේ. ඒ නිසා ඇත්තටම මේ පිළිබඳ පියවරක් ගන්න අමාත්‍යතුමාගේ අවධානය යොමු වුණ එක හොඳයි.

ප්ලාස්ටික් තහනම් කළ යුතුයි
සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානයේ ජාතික  සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම්

ඇත්තටම මේ ප්ලාස්ටික් මල්මාලා භාවිතය නතර කිරීමට භික්ෂුන් වහන්සේ කර තිබෙන මෙම යෝජනාව හොඳ තීරණයක්. එතකොට සමහර අය හිතයි මේ කියන්නේ දෙවියන් වෙත යාතිකා කරන්න එපා කියන එක කියලා. එහෙම නැහැ. නමුත් මේ ප්ලාස්ටික් තහනම් කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා. මේ වෙනුවට ස්වාභාවික මල්මාලා අලෙවියක් සිදු කළහොත් ඉතා හොඳයි. ඒ මගින් රුකියා අවස්ථා පවා උපදවන්න පුළුවන්. බොහෝ උදවිය ලාභය සහ තමන්ගේ පහසුව තකා තමයි මෙවා අලවි කරන්නේ. නමුත් මේ මල්මාලා පරිසරයට මුදා හැරියම දිරාපත් වෙන්න ලොකු කාලයක් යනවා. ඒ නිසා හැකි ඉක්මනින් මෙයට සුදුසු විකල්පයක් භාවිතා කරන එක හොඳයි කියන එක තමයි අපේ අදහස.

නුදුෙර්දීම ප්ලාස්ටික් මල්මාල තුරන් කරනවා
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර

මෙරට තිබෙන බොහෝ පූජනිය ස්ථාන අසල ඇති මල් වෙළෙඳාම පළතුරු වෙළෙඳාම් කරන අය ළඟ වැඩි වශයෙන් විකුණන්න තිබෙන්නේ ප්ලාස්ටික් මල්මාලා බවත් ඒවා දිරාපත් වෙන්න වසර කිහිපයක් යන බවත් භික්ෂුන් වහන්සේලා කිහිපදෙනෙක්ම පරිසර අමාත්‍යංශයට පැමිණිළි කරලා තියෙනවා. මම මේ වනවිට අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දීලා තියෙනවා. ඒ පිළිබඳව සොයා බලන ලෙසට සහ මෙයට අපට ගත හැකි ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක පිළිබඳව කොහොමත් අපි නුදුරේදීම මෙරට ප්ලාස්ටික් මල් මාලා භාවිතය තුරන් කරන්න වැඩපිළිවළක් සකසාගෙන යනවා.

 සටහන හසිත් අංජන